කෙටි කතාව
මබඳීවි ඉන්දියානු ලේඛක, ලක්ෂ්මිනාත් බේස්බරෝවා
සිශුරාම් කුඹුරේ සිට පැමිණියේ මේ දැන්ය. නඟුල මිදුලේ තබා ඉක්මනින් නාගත් ඔහු ඉණට හැඳ සිටි රෙදිකඩ මාරුකර ගත්තේ ය. අනතුරුව ඔහු කඩිනමින් තම බිරිඳ භදාරී දිවා ආහාරය සකස් කරමින් සිටි කුස්සියට පිය නැඟීය.
දහවල් බත තවම සකස් කර නොතිබීමත්, වෑංජන තවම ළිප තබා නොතිබීමත් දුටු සිශුරාම් කෝපයට පත්වීය. අඩුතරමින් ඇය පලාකොළ ටිකවත් ශුද්ධ කර නැත. වක්පිහිය කෙසෙල් කොළය මත වැතිර සිටියේ හරියට මියගිය මොණරකුගේ ස්වරූපයෙනි. බිම තිබෙන ‘කායි’ මාළුවා තවමත් අළු තැවරූ ගමන්ය. භදාරී සිටියේ, දුම වැදීම නිසා පියාගත් දෑසින් යුතුව ළිපට පිඹිමිනි.
දිවා ආහාරය සකස් කර නැති බව දැකීමෙන් සිශුරාම් කෝපයෙන් නොසන්සුන්ව සිටියේ ය. උදේ පාන්දර සිටම ඔහු සිටියේ හොඳ මනෝභාවයකින් නොවේ. බොහෝ හේතූන් නිසා ඔහුගේ කෝපය ක්‍රම ක්‍රමයෙන් එහි ඉහළම අවස්ථාවට ළඟාවෙමින් තිබිණි. ඊට පෙර දිනය ‘ක්‍රිෂ්ණා ඒකදාසි’ දිනය වූ නිසා ඔහුට සී සෑම නතර කරන්නට සිදුවී තිබිණි. ‘ක්‍රිෂ්ණා ඒකදාසි’ දිනය යනු සී සෑමට තහනම් දිනයකි. අද උදෑසන කුඹුරේ දී ඔහුට ගවයන් බොහෝ කරදර දී තිබිණි. ඊට අමතරව, තමාගේ ඉඩමට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අද උදෑසනම ඔහුගේ අසල්වැසියා වන බහුවා සමග සිශුරාම් ගැටුමක් ඇතිකර ගත්තේය. ගැටුම දුරදිග ගිය අතර, නිසැකවම එය පිපිරෙන්නට ආසන්නව තිබිණි. නමුත්, එහි අනතුර කලින් දකින්නට බහුවාට හැකි වූ හෙයින්, එය පුපුරා යන්නට පෙර ඔහු පලාගියේ ය. ‘කවරකු හෝ කෝපයට පත්වූ විට ඔහුගේ ඒ කෝපය තමාගේ භාර්යාව විසින් දරාගත යුතු ය’ යන්න පැරැණි කියමනකි. මීට පෙර අවස්ථාවක දී ද, නපුරු බහුවා විසින් සිශුරාම් තදබල ලෙස කරදරයට පත් කරන ලද විටෙක ගව රැළට කන්න නොදුන්නේ යැයි කියමින් භදාරීට පහර දී සිශුරාම් තම කෝපය නිවාගෙන තිබිණි.
හරියට පෘථිවි මාතාව මෙන්, භදාරී තම සැමියාගේ මෙම පහරදීම්, කෙඳිරිගෑමක් හෝ මැසිවිලි නැඟීමක් හෝ නොමැතිව ඉවසිලිවන්තව දරා ගත්තාය. ඇත්ත වශයෙන්ම භදාරීට ස්ථිර විශ්වාසයකට කියා තිබුණේ මෙලෙස ඉඳහිට ඇති වන පහරදීම් සහ දඬුවම් පමණි. ඒවා නින්ද සහ කුසගින්න වැනි ස්වභාවික ක්‍රියාවලියක් බව ඇය විශ්වාස කළාය. ඇය ඒවා විවාහ ජීවිතයේ අත්‍යවශ්‍ය සහ සම්බන්ධතා ලෙස සලකා සිශුරාම් කෙරෙහි ඇති භක්තිය තුළින් ඇගේ ගැළවීම සෙව්වා ය.
නමුත්, සෑම දෙයකටම සීමාවක් ඇත. ඉවසීම පිළිබඳ ප්‍රතිමූර්තියක් බඳු පෘථිවි මාතාව පවා සමහර විට කම්පනයක් ලබාදෙන්නී ය. එනිසා මේ දේවල් නොඉවසිය හැකි තත්ත්වයට පත්වන විට අසරණ භදාරී කැරැල්ලක් ගැසීම අස්වභාවික එකක් වන්නේ ද?
දුම් දමන ළිපට පිඹින්නට දැරූ උත්සාහයෙන් භදාරී වෙහෙසට පත්ව සිටියා ය. ඇය දෙස තියුණු බැල්මක් හෙළුෑ සිශුරාම්, දුර සිටම මහ හඩින් කෑගෑවේ ය.
“ඒයි ! ගෑනියේ..! මොකද කෑම ඉව්වෙ නැත්තේ? උඹට පේන්නේ නැද්ද දැන් දවල් වෙලා කියලා? ඔහුගේ මුහුණ සහ දෑස කෝපයෙන් රතුපැහැ ගැන්වී දිදුලමින් තිබිණි.
ඔහු දෙස හැරී බැලූ භදාරී තරමක් තදින් පිළිතුරු දුන්නා ය.
“මගේ ඔළුවෙන් කෑම උයන්නේ? ගෙදර හරියේ එක දර කෑල්ලක් නෑ. ගින්දර ටිකක් අවුලගන්න මේ තෙත දර කෑලිවලට මම පිඹින තරම දන්නේ මම විතරයි. ඔළුව පොඩ්ඩක් පාවිච්චි කරන් නැතුව මෙහෙම මගෙත් එක්ක ඇවිළෙන එක හරි ද? ඇගේ විඩාපත් ඇසිපිය දහදිය බිඳුවලින් බරවී තිබිණි.
“මොකද්ද බැල්ලියේ කියන්නේ? උරහිස් හකුලාගෙන ගොරවමින් භදාරී දෙසට දිවගිය සිශුරාම්, බිම තිබූ වක්පිහිය ගෙන ඇගේ පිටට පහරක් එල්ල කළේ ය. භදාරීගේ හද කම්පා කරවන සුළු විලාප හඬ අසා දෙවන පහර දෙන්නට පෙර සිශුරාම්ගේ සහෝදරයා වන කිනරාම් වහාම දිවවිත් තම සහෝදරයා අල්ලා ගෙයින් පිටතට ඇද දැමීය. අසරණ භදාරී සිහිසුන්ව ලේ විලක් මැද වැතිර සිටියාය.
පසුව, භදාරී රෝහලකට යවනු ලැබීය. දින තුනකට පසුව රෝහලේ දී පියවි සිහිය ලද ඇය ඇඳ අසල සිටින කිසිවකු අපේක්ෂාවෙන් මෙන් කාමරය පුරා දෑස් යොමු කළාය. සාත්තු සේවකයෙක් ඇගේ ඇඳ ළඟට පැමිණ ඈ දෙස බැලීය. භදාරී පහත් හඬින් බලාපොරොත්තු සහගතව මෙසේ විමසුවා ය.
එයා කොහෙ ද?
කාවද හොයන්නේ? උපස්ථායකයා ඇසීය.
මගේ මහත්තයා… මඳක්වත් කලබල නොවූ භදාරී පැවසුවාය.
ආ..! ඒ පාහරය ද? ඌ ඉන්නේ දැන් කූඩුවේ
එයාට මෙතනට එන්න දෙන්න බැරිද මහත්තයා? භදාරී අයැද සිටියා ය.
ඌ කොහොම එන්න ද? ඌ දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. මට නං ඌ විශ්වාස නැහැ. ඔබ ඌව විශ්වාස කළොත්… ඒක ගොඩක් නරකට හිටින්න පුළුවන්.
සේවකයා කී දෑ අසා සිටි භදාරීගේ ඇස් කුඩා වූ අතර, තත්පර කිහිපයකින් ඇය නැවතත් සිහිසුන් වූවාය. වහාම ඒ බව වෛද්‍යවරයාට දන්වන ලද අතර ඔහු පැමිණි විගස සේවකයා ඔහුට කාරණය කියා සිටියේ ය.
සිශුරාම් ඇය ළඟට නොගෙනාවොත්, ඇගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට බැරි නැතැයි වෛද්‍යවරයා තේරුම් ගත්තේය. ඔහු භදාරීගේ ඇඳ අසල සිශුරාම් තබන්නට අවශ්‍ය සියලු වැඩකටයුතු පිළියෙල කළේය. එවිට සිහිය ලද විගස ඇයට තම ස්වාමිපුරුෂයා දැකගන්නට හැකිවනු ඇත.
පසුදා උදෑසන සිහිය එනවිට, භදාරී දුටුවේ සිශුරාම් ඇගේ හිස අතගාමින් ඇඟිලි තුඩුවලින් ඇගේ කොණ්ඩය පිරිමදිමින් සිටින ආකාරය යි. එය දුටු සැණින් ඇගේ මුහුණේ මහත් ප්‍රබෝධයක් දිස්වීය. ඇගේ සැමියාගේ පැමිණීම ඇගේ සියලු කරදර විසුරුවා හැරියාක් මෙනි. ඇය සෙමින් සිනාසුණාය. ඒ අතර ප්‍රශ්න කළාය:
ඔයාට කොහොම ද? ඔයා හරියට කෑම කනව ද? මං දන්නවා… ඔයාට කෑම හදන්න අමාරුයි කියලා. කමක් නෑ, මට දවසකින් දෙකකින් සනීප වෙයි. කරුණාකර මාව ගෙදර එක්කගෙන යන්න ලෑස්ති කරන්න. මං එන්නම් ඔයාගේ උදව්වට.
සිශුරාම්ගේ ඇස්වලින් කඳුළු වැල් දෙකක් ගලාගොස් ඔහුගේ කම්මුල් දිගේ පෙරළී ගියේ ය.
තමාගේ ඇඳ අසලට එන වෛද්‍යවරයා දුටු භදාරී, මෙසේ බැගෑපත් වූවා ය.
මාගේ ස්වාමිනී, මාගේ පියාණෙනි, එයාට දොස් කියන්න එපා! එයා නිර්දෝෂි පව් නැති කෙනෙක්. එයාට සමාව දෙන්න. මම ඔබෙන් අයැද සිටිනවා, මාගේ ස්වාමිපුරුෂයාට සමාව දෙන්න කියලා. මම වප්පිහිය උඩට වැටුන නිසා තමයි මට තුවාල වුණේ. ඇගේ ඇස් කඳුළින් පිරී ගියේ ය.
වෛද්‍යවරයාත්, සිශුරාම් සහ සේවකයාත් භදාරීගේ මෙම වදන්වලින් නිශ්ශබ්ද වූහ. සිශුරාම්ට තවදුරටත් ඔහුගේ හදවතින් උතුරා යන දුක යටපත් කර ගන්නට බැරිවී ය. ඔහු දැඩි වේදනාවෙන් පෙළෙමින් කුඩා දරුවකු මෙන් හඬන්නට වීය.
ඒක ඇත්ත නෙවෙයි සර්! මම තමයි ඇයට වප්පිහියෙන් ගැහුවේ. ඒ නිසා මාව එල්ලන එක හරි. මාගේ ස්වාමීනි, මම මහ පව්කාරයෙක්. මම තමයි මගේ අසරණ භක්තිමත් බිරිඳට පිහියෙන් ගැහුවේ, ඔහු දැඩිව කියා සිටියේ ය.
සති කිහිපයක් ඇතුළත භදාරීගේ තුවාල සුව වූ අතර, ඇය රෝහලෙන් පිටව ගියාය. එසේ ගිය ඇය සිශුරාම්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට උත්සාහ කරමින් නීතියේ ක්‍රියාවලියෙන් ඔහු රැකගැනීම සඳහා කටයුතු කරන්නට වූවාය. එහෙත්, නීතියේ ගමන් මග ඇයට වෙනස් කරන්නට නොහැකි වූ හෙයින්, සිශුරාම්ට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වීය. සිශුරාම් තම පාපයට සමාව ගැනීම සඳහා සිනාසෙමින් සිරගෙට ගියේය. තම ආදරණීය සැමියාගේ ජීවිතයට සිදු වූ ඛේදවාචකය වෙනුවෙන් භදාරී තමාගේ නොවටිනා ආත්මයට ශාපකර ගනිමින් ඇය විසින්ම ඇය හෙළා දුටුවාය. ඇයට හැර වෙනත් කිසිවකුට එතරම් දරුණු ලෙස භදාරී හෙළා දක්නට නොහැකිය.
ඉන්දියානු කවියකු, නවකතාකරුවකු සහ නාට්‍ය රචකයකු වන ඇසෑම් කෙටිකතාවේ පියා ලෙස සැලකෙන ලක්ෂ්මිනාත් බෙස්බාරුවාගේ (1864-1938) Bhada රස නම් මෙම කෙටිකතාව පළව තිබෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘සාහිත්‍ය ඇකඩමි’ නම් ආයතනය විසින් 1959 දී පළමුවරට ප්‍රකාශයට පත්කරන ලද Contemporary Indian Short Stories – 1 නම් කෙටිකතා එකතුවේ ය. මුල් ඇසෑම් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ බිරින්චි කුමාර් බරුවා විසිනි.
පරිවර්තනය
අනුර බී. සෙනෙවිරත්න