මාර්ටින් වික්‍රමසිංහයන් එදා කළ සඳහනක්

උදය කාලයෙහි මිහින්තලය බලා ගිය අප එහි නැංගේ පියගැට පෙළින් නොවේ. අනිත් පැත්තෙන් සාදන ලද අලුත් පාරෙන් ගොස් මිහින්තලයට නැගුණු අපට පළමුව හමුවූයේ නටබුන් කුටිවල ගල් කණු, සංඝයා රැස්වී ශාසනය ගැන කතා බහ කළ මැදුරෙහි ගෙපිල, කොරවක් ගල් ආදියය. කඳු මුදුනෙහි දාගැබ් දෙකින් එකක් ජරා වාස වුවද ඉතා ශෝභනය. එහි බඳ බුබුලක හෝ පාත්‍රයක හෝ බද මෙන් දැනුදු පිම්බී සිටියි.
මෙම ස්ථුපයන් දෙකින් මදක් ඈත්ව ඊට පිටුපා සිට බලන්නකුට පෙනෙන්නේ පර්වතපාදයෙන් පටන්ගෙන පැතිරෙන වන ප්‍රවාහයකි. ගම් හා නගර පිහිටි තැන් පෙනෙන්නේ වන ප්‍රවාහය විසින් උඩට නගන ලද ලොකු සුදු පැල්ලම් ලෙසිනි. උඩින් නැගෙනහිර ද යටින් බටහිර ද බලා දෑතට දිවෙන සුදු වලාකුලු නිතැතින් අවුල් හැරෙන කපු පුළුන් කැටි සේ විසිරෙමින් අතුරුදහන් වෙයි. වන හිස්ද වැව්වල දියද පිසගෙන එන සුළඟ සුන් දැරියක සේ අප නළවමින් අපගේ මුහුණ සිඹ ඉඳ හිට හමන මේ සිහිල් සුළඟ නිසා නොවේ නම් අප තවන හිරු රැස් වඩා දරුණු වෙයි.
පැරණි සිංහල සංස්කෘතිය දඹදිව වෛදික ආර්යයන්ගේ සංස්කෘතියට මිස දෙමුහුන් හින්දු සංස්කෘතියට නෑ සබඳකම් නැත්තක් බවට මිහින්තලය දැනුදු දෙස් තියයි. පැරණි වෛදික සංස්කෘතියෙහි අංගයක වූ වාන ප්‍රස්ථ ජීවිතයට හුරු ජීවිතයක් පැරණි ලක්දිව භික්ෂුන්ට ද රුචිවූ බව මිහින්තලය අපට සිහි කරයි. එහෙත් එය වෛදිකයන්ගේ වාන ප්‍රස්ත ජීවිතය නොවූ බව මිහින්තලයට නගින විශාල පියගැට පෙල ගොළු බසින් කියයි. අපිස් ජීවිතය ප්‍රිය කළ පැරණි සිංහල භික්ෂූහු සිංහල පොදු ජනයා බැහැර නොකළහ. පිය ගැට පෙළ මෙන් කන්ථක චෛත්‍යයද පැරණි බෞද්ධයන් හා වන වාසින් අතර පැවැති නෑ සබඳකමට කදිම සාක්කියකි.
බෞද්ධ වාන් ප්‍රස්ථයන් මිහින්තලය තමන්ගේ වාසය සඳහා තෝරා ගත්තේ කයටත් සිතටත් වධදෙනු පිණිස නොවේ. එය කයත් සිතත් සනසන රමණීය තැනකි. එහි දකුණත හැරෙන හැරෙන අත දකින්නේ ඉතා සුන්දර දැකුම්ය. ගස් මුදුන්වලින් නොවැසුණු අහස ඇසට හසුවන්නේ දැවැන්ත ඉඳුනිල් මිණි බිම් ගෙයක මහා ආරුක්කුව වැනි වහල් තලයක් ලෙසිනි. වැව් හා මූකලාණ දඅතර වූ අනුරපුරය නෙත් සිත් පිනවන සිත්තම්පටක් වැන්න. ඉර මුදුන් යාමයෙහි වුවද මිහින්තලයෙහි ගල් තල්ලක් හෝ ගල් ලෙනක් හෝ යටට ගිය එකකුට දැනෙන්නේ කයත් සිතත් නළවන සිසිලකි. අඹ, කජු, නා, අශෝක, මූන, අරලිය ආදී ගස්වල මලින් හමන එකිනෙකට වෙනස් සුවඳ එක්ව පැතිර එකම මුදු සුවඳක් වෙයි. එ මල් ඇසට හසුවන්නේ එකිනෙකට වෙනස් වර්ණයන්ගේ තරගයක් හටනක් ලෙසිනි.
අහස ගොළු වෙති. මූකලානද ගොළු වෙති. නිසන්සලය දැඩිය. මේ දැඩි නිසන්සලය මිහින්තලයෙහි වෙසෙන යෝගීහුගේ සිත සුළඟින් පවා හැඬවෙන සේ සදන ලද තත් සයක් ඇති වීනාවක් මෙන් තියුණු කරයි. ඔහුගෙ අධ්‍යාත්මය ද පසිඳුරෝ වෙති.
මිහින්තලය සිත කය දෙකට වද දෙන තැනක් නොවේ. පසිඳුරන් පිනවන අරමුණුවල මල බැහැර කොට එයින් නිර්මල ආස්වාදයක් ලැබිය හැකි තැනකි.
මීට අවුරුදු තිහ හතළිහකට පෙර ලංකාවට ඇවිත් මහනුවර නැවතී භික්ෂූන් ඇසුරු කරමි. පාලිය උගත් ජර්මන් දර්ශන වාදියෙක් “ඇවිද්ද දර්ශනවාදියෙකුගේ සටහන් පොත” නමින් පොතක් ලියා පළ කළේය. බුදුසමයෙහි සාරය බුදුසමයට පරිසරයවූ ලක්දිව පැරණි සමාජය නටබුන් වස්තු යන ආදියෙහි මෙම ස්වරූප පැණැසින්දුටු ඔහු මිහින්තලය දැකීමෙන් හැඟීම් කීවේ මෙසේය. ”අශෝක රජුගේ පුත් මහ මහින්ද තෙරනුවන් මහා බෞද්ධ ධර්ම දූතයන් ජීවත්වී මියගිය මිහින්තලය, ලංකාවෙහි පුදුමයන්ගෙන් පුදුමය වෙයි. කඳු මුදුනෙහිවූ පටු ආලින්දයක වැනි මේ ආශ්‍රමය, ශිල්පියකු විසින් කපා හාරා නිම කරන ලද්දකි. එය මා මේ තැන් දුටු හැම දෙයකට වඩා ශ්‍රේෂ්ඨය. ඒ ලෙන සෙවණ කරන දුර්ගයක් වන පර්වතය එක විටම නිම්නය තිරා බසියි. අනන්තය අහසයට ආදි කාලීන මහා වනය පැතිරෙයි. එහි අකලංක නිසන්සලයට බාධා වන්නේ ඇතුන්ගේ කුංච නාදයෙන් පමණි. මේ වැනි දුර්ගයක මුදුන රජකු හැර අනිකකු තමාගේ වාසය තෝරා නොගනියි. මෙහි ටික වේලාවක් පවා ගත කරන්නාගේ අධ්‍යාත්මය දියුණු වන්නේය. මගේ කල්පනාවට මහින්ද හසුවන්නේ බුදු පිළිමයෙන් දැක්වෙන තරම් විශාල කයක් ඇති භාවනානුයෝගී බුදුවරයකු ලෙසිනි. මුදු මොළොක් ගුණ ඇතත් නොසැලෙන ඔහු එඩිතර තරුණ වියෙහිදීම සියලු දේ හැරදැමූවකු මෙන් නිම්නයෙහි වෘක්ෂලතා වේගයෙන් නැගෙන ජීවය දෙස බලන්ට ඇතැයි මට හැඟේ.
දැඩිකොට හික්මවන ලද ඉන්ද්‍රියන් ඇතිව විසූ වාන ප්‍රස්ථයෝ, කාම කෙලෙස් කුජ්ජන මිනිස් රූප, ඉතිරින්ගේ මුදු මොළොක් ගති හා අඟර දඟර පිහිකරවන ලියකම් ආදියෙන් මිහින්තලයෙහි ගල් කණු, ගල් පෝරු හා කොරවක් ගල් අලංකරණය කරනු වැළැක්වූහ. එහි ගල් කැටයම් අතර ලියකම් හා ගෑනු කයෙහි ලලිත තාලය දැක්වෙන රූපද දුර්ලභය. සංඝයා රැස්වූ ශාලාවට පිවිසෙන දොරටුවල කොරවක් ගල් පවා මකර රූපයෙන් තොර වෙයි. මිහින්තලය කළ ශිල්පීන් මකර කැටයම් දතූවන් බව නිසැකය. කොරවක් ගල්වල මුදුන මකර රූපයෙහි ඡායාවක් වැන්නය. එහෙත් මකරාගේ අවයව, ඉන්ද්‍රිය එහි නොදක්නා ලැබේ. මෙහි හැම ගල් කනුවකින්, ගල් පෝරුවකින් දැක්වෙන්නේ රූක්ෂ විනීත සෞන්දර්යයකි. බත් හල අසල දක්නා ලැබෙන ගල් ඔරුව ඉතාම සුන්දර නිර්මාණයකි. ඒ මත මට්ටමින් හා ස්වරූපයෙන් අනුරාධපුරයෙහි ගල් ඔරුවට වඩා බෙහෙවින් උසස් ගල් වඩුකමකි. පැරණි ශිල්පීන්ගේ ශක්තියත් සම්ප්‍රදායත් භික්ෂූන් විසින් දැඩි කොට හික්මවන ලද බව පෙනෙයි.
කැටයමින් හොබනා වාහලකඩ ඇති කණ්ඨක චෛත්‍ය, අනුරාධපුරයෙහි නාගරික සභ්‍යත්වය ක්‍රමයෙන් නැගීමත් එහි ඇතැම් විසිතුරු අංගයන් මිහින්තලයට රිංගා ගැනීමත් කියන ස්මාරකයක් වැන්න. කණ්ඨක චෛත්‍යයෙහි වාහල්කඩ සතර කොතරම් විසිතුරු වුවද රමණීය වුවද මිහින්තලයේ අනෙක් ගල් කැටයම් ගල් ලෙන් හා වන පරිසරයද හා අනායාසයෙන් නොසැස දෙන්නකි. එයින් මිහින්තලයෙහි රූක්ෂ විනීත මුහුණුවර මදක් වෙනස් වෙයි.
අනුරාධපුරයේ නැගීම හා වැඩීම හා සමග නාගරික සභ්‍යත්වයද දියුණු විය. මිහින්තලයෙහි වාන ප්‍රස්ථයන් විසින් හික්මවන ලද ශිල්ප සම්ප්‍රදාය, බොහෝ කලක් අනුරාධපුරයෙහි ශිල්පීන් කෙරෙහි බලපෑවේය. නාගරික සභ්‍යත්වයට හසුවූ අනුරාධපුරයෙහි ගල් කැටයම් හා පිළිම හත්වන අටවන සියවස් තෙක් වැඩී අලංකාරයෙන් දූෂණය නොවූයේ එහෙයිනි.
අනුරාධපුරයෙහි නාගරික සභ්‍යත්වය වැඩිවීම නිසා වනවාසී නිකාය කෙමෙන් දුබල විය. ග්‍රාමවාසී නිකාය කෙමෙන් වැඩී සබල විය. පශ්චිමාරාමය නොහොත් තපෝවනය නගරය ක්‍රමයෙන් නැගීමෙන් ප්‍රතිඵලයකියි හැඟේ. පශ්චිමාරාමය නමින් හැඳින්වෙන්නේ නගරයෙන් ඈත්වූ දුර්ගස්ථානයන් සොයා නොගොස් වාන ප්‍රස්ථයන් වන්නට සිතූ උගත් භික්ෂූන් උදෙසා තනවන ලද මහා මැඳුරු වැනි කුටි සමූහයකි.
(1953 ප්‍රකාශිත ලියවිල්ලකි)