පෙරහැර කරන්නම්
කැවුම් – කිරිබතුත් කන්නම්
රබන් ගහ ගහ නටන්නම්
2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව අර්බුදයක් නොමැතිව බලය පිහිටුවාලීමට හැකි ආයතන 161ක් තිබුණු අතර ඉන් 151ක බලය ජාජබයට ද ඉතිරි සභා 10ක බලය ඉලංකෙයි තමිල් අරසු කච්චි 06ක්, ජාතික කොංග්‍රසය 02ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01ක් හා ස්වාධීන කණ්ඩායම් 01ක් ලෙස බෙදී ගිය බව ද මාධ්‍යවල පළවී තිබුණි. එසේම සජබ, එජාප හා පොදුජන පෙරමුණ යන කිසිදු පක්ෂයකට එකම සභාවක හෝ බලය හිමි නොවූ බව ද දැක්විණි. ඒ අනුව මෙම ආයතන පිහිටුවීමේ පළමු වටයෙන් ඔවුන්ට ඉවත්වී සිටීමට ද සිදුවිය. අප මෙය සැකෙවින් හෝ දැක්වූයේ මෙම පළාත් පාලන බල සටනේ වඩාත් ක්‍රියාකාරීව සිටින සජබයට හා එජාපයටත් පොදු පෙරමුණටත් තමන්ට හිමිවී තිබෙන වටිනාකම, තත්ත්වය සිහිපත් කරදීමටය. කුමක් වුවත් එම ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ විවේචන සිදුකළ ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සජබය, එජාපය හා පොදුජන පෙරමුණ ද ඒවා තම තමන්ගේ මට්ටම කපාගෙන වෙනම දේශපාලන ඔපයක් ද සහිතව ඉදිරිපත් කළ බව ද බොහෝ දෙනකුගේ අදහස විය. අපට පෙනී ගියේ ද මේ පිළිබඳව සිදු වූ අල්පශ්‍රැත දේශපාලන සංවාද විටෙක විගඩමක් ද තවත් විටෙක කොමඩියක් ද වූ බවය. ඇත්තටම අප තවමත් දකින්නේ පැරණි බමුණු කුලය නියෝජනය කළ ප්‍රභූන් යැයි පැවසෙන අයගේ දේශපාලන මුග්ධභාවයද?
කෙසේ හෝ මේ විකාර රූපී ඡන්ද ප්‍රතිඵලයේ දෙවැනි වටය සඳහා දැන් සූදානම් බව ද පෙනේ. එය මෙතෙක් බලය පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ජනවරමක් නොමැති සභාවල ඉරණම තීන්දු කිරීමේ අභියෝගාත්මක වටයක් ද වනු ඇත. ඒ අනුව කෙබඳු මෙහෙයුම් – දේශපාලන ඩීල් හෙවත් ගනුදෙනු කෙසේ සිදුවනු ඇද්ද යන්නත් අපට කිව නොහැක. එහෙත් ඉතිරිව තිබෙන ආයතන 178 සඳහා නියෝජිතයන් තේරී පත්වන බව නම් දැනට කිව හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ඉතිරි ආයතන බලගැන්වීමේ ක්‍රියාවලිය පළාත් පාලන කොමසාරිස්වරයකුගේ මැදිහත්වීමෙන් ආරම්භවීමට නියමිත බවය. ඒ අනුව තවත් ආයතන 178ක ඉරණම ඉදිරි කාලයේදී තීන්දු වනු ඇත. මේ අතර ඇතැම් පක්ෂවලට තම අපේක්ෂකයන්ගේ නාම ලේඛනයක් එවීමට තරම්වත් ශක්තියක් නැතිවීම ද කැපී පෙනෙන්නකි.
ආණ්ඩුවේ පාර්ශ්වය මෙන්ම විපක්ෂයේ ඉදිරියෙන් සිටින සජබය මෙන්ම එජාපය, පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය ද මේ ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කළ ආකාරය කව්රුත් දනිති. අප අවධාරණය කළේ ආණ්ඩුවට හෙවත් ජාජබයට මෙම මැතිවරණයේදී පසුබෑමකට ලක්වීමට සිදුවූවා සේම ජනතාව ඉහත සඳහන් කිසිදු පක්ෂයකට වැඩි බලයක් ලබාදී නොමැති බවය. සජබයත්, එජාපයත් එක්ව සිටියත් කොළඹ නගර සභා ප්‍රතිඵලය අනුව ඔවුන්ට ද හිමිව ඇත්තේ පරාජයකි. ඔවුහු ද කොළඹ බලය සඳහා අනිවාර්යයෙන්ම අනෙක් පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල අනුග්‍රහය ලබාගත යුතු වෙති. කොළඹ යනු දිගු කලක් එජාපයට බහුතර බලයක් හිමිව තිබුණු නගර සභාවකි. ඒ පසුබිම අනුව නම් ඔවුන්ට තවමත් කොළඹ පුරවැසියන්ගේ ප්‍රසාදය දිනාගැනීමට නොහැකි වී තිබේ. ඉකුත් සඳුදා (02) සජබය හා එජාපය ප්‍රකාශ කළේ ඔවුන්ගේ ජනාධිපති කවරෙක් දැයි පසුදිනට හෙළි කරන බවය. මේ තෙපරබෑම් තුළ බොහෝ ඇඟවීම් තිබේ. විශේෂයෙන් ජාජබය පැහැදිලිවම තම පුරපති අපේක්ෂිකාව ව්‍රායි බල්තසාර් බව නිවේදනය කර තිබියදීත් සජබයට හා එජාපයට ඒ සඳහා නමක් ප්‍රකාශ කිරීමට නොහැකිවීම ගැන ඒ නායකයෝ ලැජ්ජා විය යුතු නොවෙත්ද?
අප ආරම්භයේදීම සඳහන් කළ පරිදිම මෙරටේ කේන්ද්‍රීය මැතිවරණයක් මේ ආකාරයේ අවුල් ජාලයක් වූයේ කෙසේද? මෙරටේ ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශපාලන වේදිකාවල පාරම්බාන, වාද බයිලා ගයන නායක කාරකාදීහු හා ඔවුන්ගේ අනුගාමිකයෝ කොපමණ සිටිත්ද? එහෙත් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමයට අදාළ අණපනත්, නීති රීති සම්මත කළ කිසිවකුට මේ ක්‍රමයේ තිබෙන අඩුපාඩු නොපෙනීම පුදුම සහගතය. මෙරටේ ඇතැම් නීති සම්පාදනයේදීත් ඒවායේ සිදුරු, හිල් තැබීමේ කූට උපක්‍රම තිබෙන බවට විවෘත චෝදනා පවා තිබේ. අපේ ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන පක්ෂයක අපේක්ෂයකුට වුවද පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපති – අගමැති වැනි ධුරවලට වුවද පත්විය හැකිය. 1978 ව්‍යවස්ථාව හැදූ ජයවර්ධනගේ ඒ විහිළුව මෙරටේ ජනතා පරමාධිපත්‍ය ඔළුවෙන් හිටවීමක් නොවේද? කුමක් වුවත් අද රටම හිරවී සිටින්නේ මෙම පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අර්බුදයක් නිසා නොවේද? මෙහි ඇතුළත් නීතිමය විධි විධාන සම්පාදනය කළ නීති විශාරදයන්ට හෝ පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ කුහුලක් සැක සංකාවක් ඇති නොවූයේද? ඒ පනත ඉදිරිපත් කළ ආණ්ඩුවට හෝ එයට අත එස වූ සියල්ලන්ටම එහි ඇද කුද හෝ දොසක් හෝ පෙනී නොතිබුණු බව ද කල්පනා කළ හැකිය. එය දැන දැනම කළ දෙයක්ද?
කුමක් වුවත් මේ දේශපාලන විකෘතිය භාවිත කරමින් අලජ්ජී ලෙස තම පක්ෂවල තමන්ට මෙහෙයවිය හැකි චරිත තෝරා ඒවා ගමේ – නගරයේ ආයතන ප්‍රධානීන් ලෙස භෞතීස්ම කිරීමට ඒ පක්ෂවල නායකයෝ එඩිතර වෙති. ඇත්තටම මෙය අප කිසිවකුට සතුටුවිය හැකි තත්ත්වයක් නොවේ. මහ මැතිවරණය හා පුංචි මැතිවරණය යන වටිනා අවස්ථාවලදීවත් ජනමතය නිසි ආකාරව පිළිබිඹු නොවේ නම් එවන් රටකට ඡන්ද කුමකට දැයි ඇසීම වැරදි නොවේ. ඇත්ත වශයෙන්ම මෙවැනි සුවිශේෂ මැතිවරණයකින් පසු ජනතාවට තම ගමට, ප්‍රදේශයට තමන්ගේ අභිමතය පරිදි කණ්ඩායමක් තෝරාගැනීමට බාධාවක් තිබිය යුතු නැත.
අප බොහෝ දෙනෙක් කතාබහ කරන කොළඹ මහ නගර සභාව දෙස බලමු. එහි වැඩිම බලය, එනම් සභික ධුර 48ක් ජාජබයට හිමිව තිබේ. ඉතිරි සභික ධුර 69 සජබ, එජාප, පොදුජන පෙරමුණ ආදී පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට හිමිව තිබේ. මෙහිදී සජබයට 29ක් හා සෙසු සියලුදෙනාටම 35ක් හිමිව ඇත. එයින් පෙනී යන්නේ සජබය මොන තර්ක විතර්ක ඇද බෑවත් ඔවුන් සිටින්නේ ජාජබයට වඩා සභික ධුර 19ක් පසුපසිනි. අවම වශයෙන් ඔවුන්ට ජාජබය ආසන්නයටවත් ළංවීමට හැකිව නැත. කොළඹ නගර සභාවට වෙන වෙනම තරග කළ සජබය හා එජාපය තමන්ට හිමි වූ ජන කැමැත්තෙන් පසුව හෝ තමන්ගේ පසුබෑම පිළිබඳ නිවැරදි තක්සේරුවකින් නොසිටින බව අප මෙයට පෙර ද සඳහන් කර ඇත. ඇත්තටම ඔවුන්ගේ තර්කවල හරය වී ඇත්තේ කොළඹ ජනතාව ජාජබය ප්‍රතික්ෂේප කර සජබ, එජාප හා අනෙක් කණ්ඩායම්වලට බලය ලබාදී තිබෙන බවය. එසේ නම් මේ බලය සජබයට හෝ එජාපයට නුදුන්නේ ඇයි? එබඳු දේශපාලන කියවීමක් ජනතාවට තිබුණි නම් මේ ප්‍රතිඵලය කොළඹින් නොලැබෙන බව ද මේ මහත්වරුන්ට මතක් කළ යුතුය.

මේ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර පවසන්නේ කොළඹ ජනතාව ප්‍රතික්ෂේප කළ ජාජබයට තම පක්ෂයේ සහාය නොදෙන බවය. එය වැරදි බවය. අයෝග්‍ය බවය. එහෙත් ඔහුගේ පක්ෂයේ නායකයා වන මහින්ද බලය සඳහා ක්‍රියාකළ අයුරු ඉතිහාසයේ තිබෙන බව පමණක් සාගරට පෙන්වාදිය හැකිය. සජබය – එජාපය ඇතුළු පක්ෂවල බොහෝදෙනෙක් විවේචනය කරන්නේ වරප්‍රසාද ප්‍රතිලාභ ලබාදී ස්වාධීන සභිකයන් එකතු කර ගැනීම හෙවත් බිලිබා ගැනීම වැරදි බවය. රාජපක්ෂ හා වික්‍රමසිංහ දේශපාලනය තුළ කවදාවත් එබඳු මෙහෙයුම් සිදුවී නැතැයි මේ කාට හෝ කිව හැකිද? එසේ වුවද එබඳු බිලිබා ගැනීම්, දේශපාලන වෙන්දේසි අපට ද කිසිසේත් අනුමත කළ නොහැකිය. අපගේ අවධාරණය වන්නේ ද මේ කෂඩ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතු බවය. මහජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන කිසිවකුට මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටීමට සදාචාර අයිතියක් ද නැත. පෙරටුගාමී පක්ෂයේ ස්ථාවරය ද එය බව පෙනේ. එහෙත් ජයවර්ධනලා, රාජපක්ෂලා, වික්‍රමසිංහලා අඩු වැඩි වශයෙන් ඒ ජරපත් ක්‍රමය නඩත්තු කළහ. එසේම අලුත් දේශපාලන සංස්කෘතියක් සඳහා කැප වී සිටින ජනාධිපති අනුර හෝ මේ ආණ්ඩුව දශක ගණනාවක් පවත්වාගෙන එන ලද ඒ ගර්හිත ක්‍රමය එහෙම පිටින්ම වෙනස් කිරීමට ප්‍රතිඥාවක්ද දී තිබේ. රනිල් වික්‍රමසිංහ ඉදිරියට පැමිණියේ පළාත් පාලන ආයතන ඔස්සේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඒ දූෂිත වසල ක්‍රමය යළි ඔසවා තැබීමටද?
දින කීපයකට පෙර රනිල් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවසුවේත් ජනතාව පළපුරුදු, වැඩකළ හැකි මැති ඇමැතිවරුන් ගෙදර යවා අලුත් මුහුණු – ඔහුගේම වචනයකින් කිවහොත් ‘එල්බෝඩ්’ කාරයන් තෝරාගෙන ඇති බවය. ඒ ප්‍රකාශය තුළ කනස්සල්ලක් ද ඇත. රනිල් සජිත්ට හේත්තු වී කොළඹින් අත්හදා බැලීමට යන්නේ කුමක් දැයි ආණ්ඩුව ද තේරුම් ගත යුතුය.
මේ ආණ්ඩුවට එරෙහිව යළි විසිරී සිටින සියලු දෙනා එක්ව තම කඳවුර ගොඩනැඟිය යුතු බව රනිල් නිවැරදිව වටහාගෙන සිටියි. එයට ප්‍රාණ වායුව පිඹීමේ ව්‍යාපෘතිය, කොළඹ බලය ඔවුන් සතුකර ගැනීම බව ද රනිල් වටහාගෙන සිටියි. එසේම මේ ආණ්ඩුවට එරෙහිව කඳවුරක් ගොඩනැඟීම සඳහා සජිත් මෙන්ම මහින්ද පාර්ශ්වයට හා ශ්‍රීලනිපයට ද වුවමනා බව රනිල්ගේ දේශපාලන ඉවට දැනේ. පොදුජන පෙරමුණේ සාගර කොළඹ බලය සජබයට ලබාදීමට එක් වන්නේ ද අවශ්‍ය වෙලාවට තමන්ගේ (පොදුජන පෙරමුණ) සහාය ද ආණ්ඩුවට එරෙහිව ලබාදෙන බව සංකේතවත් කරමින්ය.
කෙසේ හෝ රනිල්ගේ ආශිර්වාදය ඇතිව දියත් වන කොළඹ පුරපති පුටු සටන මේ සියලු පක්ෂවලට ඉතා වැදගත් වනු ඇත. යම් හෙයකින් කොළඹ නගර සභාව ඔවුන්ට අත් වුවහොත් එය නිසැකයෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ට ද හොඳ දේශපාලන උත්තේජනයක් ලබාදෙන්නකි. ඇත්තටම කොළඹ දිනුවොත් ‘දැන් අපටත් පෙරහැර කළ හැකිය. කිරිබත් හා කැවුම් ද කෑ හැකිය. රබන් ගසන්ටත් හැකිය. අනේ අපටත් රජකමක් ලැබුණා’ යැයි ඒ පාර්ශ්වයේ සියලු ජනතාව උද්දාමයට පත්ව පවසනු ද ඇත.
මේ යථාර්ථය ආණ්ඩුව ද මැනවින් දන්නා දෙයකි. තමන්ට එල්ලවන අවලාද – විවේචන පවා නොතකා කොළඹ බල මෙහෙයුමට ආණ්ඩුව ඉදිරිපත්ව සිටින බව ද පැහැදිලිය. ඇත්තටම කොළඹ බලය අහිමිවීමෙන් ආණ්ඩුවට වන හානියක් නැත. එහෙත් එය විශාල මානසික ශක්තියකට වුවමනා දේශපාලන ජයග්‍රහණයකි. ජාජබ මැති ඇමැතිවරු දැනටමත් කොළඹ ජයග්‍රහණය පිළිබඳ තහවුරු කරති. තම පක්ෂයේ ව්‍රායි බල්තසාර් නිසැකයෙන්ම කොළඹ පුරපතිනිය වන බවට ඔවුහු කැට තබති. එහෙත් මෙහිදී ආණ්ඩුවට ද සීමාවන් තිබේ. බලය සඳහා බින්දුවට බැසීමට නම් ජාජබයට ඉඩ නැත. එහෙත් එන එන හැටියට ගහ උළුවස්ස යන ජනවහර අනුව ආණ්ඩුව ක්‍රියා කිරීමට වුවද බැරි නැතැයි සමහරු පවසති. ඇත්තටම කොළඹ ජයග්‍රහණය ජාජබ පාක්ෂිකයන්ට ද අලුත් දේශපාලන උත්තේජනයක් ලබා දෙන්නකි. වැඩවසම් බමුණු කුලයේ දේශපාලන නෂ්ටාවශේෂයක් බඳු කොළඹ යළි ඔවුන් අතට (සජබයට) පත්වීම ද ආණ්ඩුව ලබන පරාජයක් වැන්න. එහෙත් ඉහත සඳහන් කළ පරිදිම ඒ ජයග්‍රහණය දේශපාලන සදාචාරයට එකඟව සිදුවිය යුත්තකි.
දැන් අවසන් වශයෙන් අප අවධානය යොමු කරන්නේ ඉකුත් සඳුදා (02) ජනාධිපති මන්දිරයේදීම ජනාධිපති අනුර කුමාරගේම ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ‘බදු ශක්ති’ සමාරම්භක උළෙල කෙරෙහිය. මෙහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද අවධාරණයන් අතිශය වැදගත්ය. ඔහු විශේෂයෙන් සඳහන් කළේ මෙරටේ කළු යාන්ත්‍රණයක් තිබෙන බවත් ඒ දූෂිත කළු යාන්ත්‍රණයට දේශපාලන, ව්‍යාපාරික, රාජ්‍ය නිලධාරි, පාතාල ඇතුළු කළු ජාලයක්ම සම්බන්ධ බවත්ය. මෙතෙක් රටේ ආර්ථිකය බිඳවැටුණොත්, බදු ආදායම් නිසි ලෙස භාණ්ඩාගාරයට නොලැබුණොත් ඒ කළු යාන්ත්‍රණය හෙවත් කළු පාට සමාජය නිසා බව ජනාධිපති දැඩිව අවධාරණය කළේය.
මෙහිදී අපට සිහිපත් වන්නේ කලකට පෙර සමාජගත කළ කොළ පාට සමාජයයි. ඇත්තටම මෙම කොළ පාට සමාජය අද ජනාධිපතිවරයා විවේචනයට ලක් කරන කළු යාන්ත්‍රණයම විය නොහැකිද? දූෂණයෙන්, අයථා ක්‍රමවලින්, අල්ලස් මාර්ගයෙන් උපයන ධනය නීතියට යටත් සමාජයකට අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා ඇතැම් දේවල් සිහිපත් කරමින් ද පැවසීය. ඇත්තටම කෙබඳු ධනස්කන්ධයක් ගොඩනඟා ගත්ත ද සිය ජීවිත සැඳෑවේදී හෝ එයින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව ජනාධිපතිවරයා මතක් කළේ පසුගියදා එබඳු වරදක් නිසා 61 වැනි වියෙහිදී සිරබත් කෑමට සිදුවූ දේශපාලන චරිතයක් ද සිහියට නංවමින්ය.
අද තිබෙන ආර්ථික බිඳ වැටීමත් ඈත දුප්පත් ජනතාව පවා හිරවී සිටින සියයට 18 වැට් බද්දේ අහිතකර බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. රට ගොඩනැංවීමට නම් නීතිගරුක පුරවැසියන් මෙන්ම බදු ගෙවන ව්‍යවසායකයන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයාගේ අවධාරණය විය. දේශපාලන හිතවත්කම් මෙන්ම ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ නොතකා හැරීම් නිසා ද මේ රටට අහිමි වී ගිය බදු මුදල් කෝටි ගණනකි. ජනතාවගේ මුදලින් ගොඩනැඟුණු රාජ්‍ය බැංකුවලට පොලු තැබූ මහා ධන කුවේරයන්ට ද දේශපාලන රැකවරණ ලැබී තිබෙන බව රහසක් නොවේ. ඇත්තටම මේ දූෂිත කළු යාන්ත්‍රණය බිඳ දැමිය යුතුමය. ඇත්තටම මේ රට ගොඩනැංවීමට ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් ද අත්‍යවශ්‍ය බව පමණක් අපි ආණ්ඩුවට සිහිපත් කරමු.
ගාමිණි සුමනසේකර