ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්” යන තේමාව යටතේ ‘බදු ශක්ති’ නමින් ජුනි 02 සිට ජුනි 08 වැනිදා දක්වා ජාතික බදු සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙය බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනකි. බදු අනුකූලතාවය යනු බදු ගෙවීමට බදු ගෙවන්නාගේ ඇති සූදානමයි. බදු පදනම යනු රටක බදු ගෙවිය යුතු ආයතන හා පුද්ගලයින් ප්‍රමාණයයි. මේ කියන කාරණා දෙක ගැනම අප බොහෝ කලක සිට කතා කර තිබේ. බදු අනුකූලතාවය වර්ධනය කිරීමට නම් ජනතා බදු මුදල් වංචාවට හා දූෂණයට යට වන්නට නොදී මහජනයා වෙනුවෙන් නිසි පරිදි යෙදවිය යුතු වේ. පසුගිය ආණ්ඩු පාලන සමයන්හි මේ ආදර්ශය රජය පැත්තෙන් නිසි පරිදි දැකගත නොහැකි වූ අතරම පොදුවේ ආණ්ඩුවට, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට බොහෝ වංචා හා දූෂණ චෝදනා එල්ල වූ බව ද රහසක් නොවේ. මේ ගැන රටට බොහෝ තොරතුරු පසුගිය කාලයේ අනාවරණය වී තිබේ. එහෙත් ඒවාට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීමක් ද සිදුව නැත. මේ පසුබිම තුළ තට්ටු මාරු ක්‍රමයට කවර ආණ්ඩුවක් බලයට පත් වුවත් ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා (හොරු) රකිමින් සිටින බවට ද බොහෝ මහජනයා තුළ මතයක් තහවුරු වීමට මේ තත්ත්වය හේතුවක් වී තිබිණි. මේ තත්ත්වය බදු අනුකූලතාව වර්ධනයට බලවත් බාධාවක් වන බව රහසක් නොවේ. ජනතා බදු මුදල් හොරා කනවා නම් අපි මොකට ද ආණ්ඩුවට බදු ගෙවන්නේ යන ප්‍රශ්නාර්ථය බොහෝ දෙනෙක් තුළ ඇතිවීම ද ස්වාභාවික ය. මේ නිසා වංචා හා දූෂණ සියයට සියයක්ම පිටුදැකීම අපහසු විය හැකි වුවත්, බදු අනුකූලතාව වර්ධනය කිරීම සඳහා ජනතාව සහ ව්‍යාපාර ප්‍රජාව තුළ පොදුවේ බදු ගෙවීම ගැන යහපත් ආකල්පයක් ඇති විය යුතු අතර ඒ සඳහා මහජන බදු මුදල් හොරා කන්නේ නැති බවට සහ ඒවා නිසි ලෙස භාවිතා කරන බවට වන සහතිකය මහජනයාට ලැබිය යුතු වේ.

පසුගිය ආණ්ඩු සමයන්හි දී නම් මෙවැනි සහතිකයක් ජනතාවට නොලැබුණු අතරම ඒ නිසාම ජනතාවට බදු ගෙවීම සඳහා යහපත් ආකල්පයක් ද ඇති වූයේ නැත. මේ ගැන ඉකුත් ජුනි 02 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ‘බදු ශක්ති’ බදු සතිය සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බරපතළ කරුණු රැසක් අනාවරණය කරමින් ඉතා වැදගත් කතාවක් කළේය. ඔහු එහිදී මෙසේ කීවේය.
බදු මඟහැරීමේ ප්‍රයත්නය
“අප සතුව තිබෙන ඇතැම් දත්ත දෙස බැලූ විට එය සුබවාදී තත්ත්වයක් නොවෙයි. අපේ සමාගම් ලියාපදිංචි කර තිබෙන අයගෙන් වාර්තා ලබා දී තිබෙන්නේ සියයට 43යි. ඒ වගේම 2023 සහ 2024 වසරවල පුද්ගල ආදායම් බදුවලින් වාර්තා ලබා දී තිබෙන්නේ සියයට 23 යි. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දී තිබෙන්නේ සියයට 46 යි. ඒ වගේම PAYE TAX ගෙවන අයගේ වාර්තා ලබා දී තිබෙන්නේ සියයට 18 යි. මේ කිසිදු දත්තයක් සියයට 50 ඉක්මවා යන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ බදු ගෙවීමේ මැලිකමක් සහ බදු මඟහැරීම සඳහා තිබෙන ප්‍රයත්නයයි.
මෙයට හේතු වී තිබෙන්නේ පැවැති දේශපාලන අධිකාරිය විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය පිළිබඳව බදු ගෙවන්නන් සහ පොදු ජනතාව තුළ තිබෙන විවේචනයයි. ඒ නිසා පළමුව කළ යුතු වන්නේ ජනතාවගේ බදු මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවන බවට වන සහතිකය ජනතාවට ලබා දීමයි. එය මටත්, අපේ දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා. ඔබ ගෙවන කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය මම ඔබට ලබා දෙනවා.”
කලු යාන්ත්‍රණය
ජනාධිපතිවරයා මේ කියන ක ලුකරුණු කිසිවක් අපට බැහැර කළ හැකි නොවේ. මේ අනුව බදු ගෙවන්නන් තුළ බදු පැහැර හැරීමේ ප්‍රයත්නයක් තිබෙන බව රහසක් නොවන අතරම අප කියා සිටින්නේ බදු ගෙවීම් (විශේෂයෙන් ආදායම් බදු) පැහැර හැරිය නොහැකි වන පරිදි බදු පරිපාලනය ද ශක්තිමත් කිරීමට අවශ්‍ය ශක්තිමත් ක්‍රියාමාර්ග ගත යුතු වන බවයි. ජනාධිපතිවරයා තම කතාවේ දී කියන ඉතාමත් වැදගත් කරුණක් වන්නේ “ඔබ ගෙවන කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය මම ඔබට ලබා දෙනවා” යන්නයි. එය අප සිතන්නේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් බදු ගෙවන ජනතාවට ලබාදුන් ඉතාමත් වැදගත් සහතිකයක් බවයි. ඒ සහතිකය එලෙසම ඉටු කිරීමට ද හැකි නම් එය රටේ බදු අනුකූලතාව වර්ධනය සඳහා ප්‍රබල සාධකයක් වනු ඇති බව කිව හැකිය. එහෙත් මේ කියන බදු මුදල් හොරා කන්නේ දේශපාලන අධිකාරිය විසින් පමණක්ම ද නොවේ. ඇතැම් විට රාජ්‍ය නිලධාරීන් විසින් දේශපාලන අධිකාරියේ කිසිම අනුදැනුමකින් තොරව වංචා හා දූෂණ සිදු කරනවා ද විය හැකිය. ඒ ගැන මෙන්ම රට තුළ ක්‍රියාත්මක කළු යාන්ත්‍රණයක් ගැන තවත් බරපතල අනාවරණයක් ද ජනාධිපතිවරයා සිය කතාවේ දී සිදු කළේය. ඒ මෙසේය.
“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ ලොකර් එකේ තිබී ඔහුට වසර තුනකින්වත් ඉපැයිය නොහැකි මුදලක් ලැබෙනවා. කස්ටම් එක ගැන විශාල චෝදනා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළත් එම තත්ත්වය තිබෙනවා. ඒ නිසා අපේ රට තුළ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා වගේම යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටිනවා. මෑතකදී රේගුවේ බහාලුම් පද්ධතියක් විවෘත කිරීමේදී ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් විසින් නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ හමු වෙනවා. එම නිසා මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටිනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය වගේම මාධ්‍ය ද සිටිනවා.”
ජනාධිපතිවරයා කියන මේ කතාව අනුව රටේ ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ දූෂිත බව (සියලු දෙනාම නොවේ) අනාවරණය වේ. එය මහජනතාව ද නොදන්නා කරුණක් නොවේ. ඇතැම් විට රජයේ ආයතනයකින් නීත්‍යානුකූල දෙයක් කර ගැනීමට පවා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට පගාව දීමට මහජනයාට සිදුව තිබේ. ඇත්ත වශයෙන්ම මේ රාජ්‍ය නිලධාරීන් වැටුප් ලබන්නේ මහජන බදු මුදල්වලිනි. ඒ අර්ථයෙන් මහජනයා යනු රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාමියාය. තමන්ට වැටුප් ගෙවන තම ස්වාමියා වන මහජනයාගෙන්, යම් මහජන සේවයක් ඉටු කරදීමට යම් රාජ්‍ය නිලධාරියෙක් අල්ලස් ලබා ගන්නේ නම් එය කෙතරම් ඛේදජනක තත්ත්වයක් ද? එය සිදුවෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ කතාවෙන් ද එය පැහැදිලි වේ. ඒ නිසා දේශපාලන අධිකාරිය මහජන බදු මුදල් රුපියලක්වත් හොරකම් නොකළත් රාජ්‍ය නිලධාරීන් ද මේවා කිරීමෙන් වළකින පරිසරයක් නිර්මාණය කළ යුතු වේ. ඒ සඳහා ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වේ. මේවාට හරියට නීතිය ක්‍රියාත්මක වී, එවැනි දූෂිත නිලධාරීන්ට දඬුවම් ලැබෙන විට අනෙක් කිසිදු රාජ්‍ය නිලධාරියෙක් ද ඒ සඳහා පෙළඹීමට බිය වනු ඇත. ඒ ගැන ජනාධිපතිවරයා තම කතාවේ දී කියන්නේ මහජන බදු මුදල් එක රුපියලක් හෝ නාස්ති කරන්න, වංචාවේ යොදවන්න උත්සාහ කරනවා නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිම ලෙස මැදිහත් වන බවට ද සහතික වන බවයි. එසේ නම් දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද වංචා හා දූෂණ කිරීමට ඉඩ නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වන්නේ නම් රටේ බදු අනුකූලතාව වර්ධනයට එය ප්‍රබල පිටුබලයක් වනු ඇත.
මේ ආණ්ඩුව බොරු කියා බලයට පැමිණි බවට බොහෝ දෙනෙක්ගෙන් චෝදනා එල්ල වී තිබේ. ඇතැම් විට දේශපාලන වේදිකාවේ දී කියූ දේවල් එලෙසම එම වේගයෙන්ම කිරීමට ප්‍රායෝගිකව අපහසු විය හැකිය. එහෙත් මහජන බදු මුදල් හොරාකන හොරු ඇල්ලීමට මේ ආණ්ඩුවට තිබෙන දේශපාලන අභිප්‍රාය ඉතාමත් වැදගත්ය. නීතිපති දෙපාර්තමේන්තුව හරහා බලයේ සිටින ආණ්ඩුව ඇතැම් නඩු යට ගසන බවට චෝදනාවක් තිබේ. එවිට ඒ නඩු විභාග නොවන්නේ නම් ඒවායේ වගඋත්තරකරුවන්ට ලැබෙන දඬුවමක් ද නැත. මහජනයාට ඉටුවෙන යුක්තියක් ද නැත. ඒ නිසා හොරු රකින්නේ නැතුව තරාතිරම නොබලා සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක වන බවට රටේ මහජනයාට විශ්වාසයක් ජනිත කළ හැකි නම් එය ද ඉතාමත් වැදගත්ය.
ජනාධිපතිවරණ සමයේ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම
පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (03) අවසර ලබාදී ඇත. එසේම ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවැති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර තිබේ. මේ පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබෙන අතර හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පවසා ඇත්තේ 2024 වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස 26 වැනි සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි. හිටපු අමාත්‍යවරයකු වන ශාන්ත බණ්ඩාර මහතාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවට එම නීතිඥවරු අධිකරණයට වාර්තා කර ඇත. දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙසේ මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බව ද ඔවුන් අධිකරණයට සඳහන් කර ඇත. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ඊට එරෙහිව අධිකරණයට කරුණු දක්වා තිබුණත්, අදාළ පෙත්සම් විභාගයට ගැනීමට එම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසර දී තිබේ. එම පෙත්සම් විභාගය, නොවැම්බර් මස 19 වැනිදා සිදුකිරීමට ද දින නියම කර ඇත. මේ තීරණය ගැන අපට මහජනයා වෙනුවෙන් සතුට පළ කළ හැකිය. මැතිවරණයක දී දේශපාලන වාසි ලබාගැනීම සඳහා බලයේ සිටින පිරිස් එම රාජ්‍ය බලය උපයෝගී කරගෙන නොයෙකුත් වාසි හා වරප්‍රසාද ලබාදෙන බව රහසක් නොවේ. මේ පෙත්සම්කරුවන් පවසා ඇති ලෙස මේ සුරාබදු බලපත්‍ර දී ඇත්තේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා අනීතිකව ද යන්න ගැන නඩු විභාගයේ දී උසාවිය තීන්දු කරනු ඇත. එසේ නම් මේවාට එරෙහිව තරාතිරම නොබලා නීතියට අනුව දිය හැකි උපරිම දඬුවම් නියම වන්නේ නම්, එය අනාගතයේ දී ද මෙවන් දේ නොකිරීමට රාජ්‍ය පාලකයන්ට හොඳ පාඩමක් කියා දෙනු ඇත. ඒ නිසා අප විශ්වාස කරනුයේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩු විභාගය ගැන මෙන්ම මේ නඩු විභාගය ගැන ද මහජනයා බලා සිටිනු ඇති බවයි. ජනාධිපතිවරයා තම කතාවේ දී කියන්නේ ඔහු සඳහන් කරන එම කළු යාන්ත්‍රණය බිඳ දැමූවේ නැත්නම් මේ රට මෙතැනින් අඟලක්වත් ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබෙන්නේ නැති බවයි. “ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා” යයි ද ජනාධිපතිවරයා කියයි. ඔහුගේ කතාවේ දී සිදු කරන ඉතා වටිනා ප්‍රශ්න කිරීමකින්ම මේ ලිපිය අවසන් කරමු.
“හැම කෙනාම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා. ධනය කෙතරම් රැස් කර ගත්තත් වැඩක් තිබෙනවාද, අවුරුදු 61දී අවුරුදු 20ක් සිරගත වීමට සිදු වෙනවා නම්? මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන, මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගනිමින් මහජනතාවගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද?”
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]