වෘත්තීයෙන් නීතිඥවරියක වන දිලිනි කෞෂල්‍යා ජයසූරිය ජාතික රූපවාහිනියේ නිවේදිකාවක ලෙස වසර විස්සකටත් අධික කාලයක් සේවය කොට ඇත. ඉසොප්ටේරා දිලිනිගේ ප්‍රථම නවකතාවයි. මේ දිලිනි සමග දිවයින වටමඬල කළ කතාබහයි.
ප්‍රශ්නය- ඉසොප්ටේරා කියන නමේම විශේෂත්වයක් තියෙනවා. එහි අදහසත්, ඒ නම යොදාගත් හේතුවත් කිව්වොත් ?
ඉසොප්ටේරා කියලා හඳුන්වන්නේ පියාපත් ඇති කෘමි සතුන්ව. පියාපත්වලින් කරන කාර්යය වන්නේ පියෑඹීම වුණත් මේ කෘමි සතුන්ට තියෙන පියාපත්, ඉතා දුර්වල බැවින්, හිතන තරම් දුර පියාඹන්නට බැහැ. අපටත් පියාපත් තිබෙනවා. නමුත් ඒ පියාපත් පක්ෂීන්ගේ වගේ ශක්තිමත් නෑ. විවිධ සමාජීය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සීමා කිරීම් නිසා, අපට අපේ හිතේ හැටියට පියාඹන්න බැහැ. මේ පොතේ මේ සීමා කිරීම් පිළිබඳව විවිධ කෝණවලින් ප්‍රධාන චරිත ඇසුරෙන් සහ ඒ චරිතවලට මුණගැහෙන තවත් චරිත හා සිදුවීම් ඇසුරෙන් කතා කරන නිසා ඉසොප්ටේරා කියන නම මේ පොතට සුදුසුයි කියලා හිතුණා. පියාපත් ඇත්නම් බොහෝ දුර අපිට අවැසි ලෙස පියාසර කරන්න පුළුවන් කියල අපි හිතුවට විවිධ හේතුන් මත අපව සීමාවන අවස්ථාවන් බොහොමයක් අපේ ජීවිතවල තියෙනවා. කතාවේ කතා තේමාවට මේ නම ගැළපෙනවා කියලා මට හිතුණා. ඒකයි මේ නව කතාවට ඉසොප්ටේරා කියන නම වැටුණේ.
ප්‍රශ්නය- මේ කතාව කියවද්දි සහෘද පාඨකයාව මේ චරිත තුළ ජීවත් කරවන්න ඔබ සමත් වුණා කියලා ප්‍රශ්න කළොත් මොනවගේ අදහසක් ද ඒ ගැන ඔබට තියෙන්නෙ ?
නව කතාව කියවපු බොහෝ දෙනෙක් ඒ චරිත සමග ජීවත් වුණු බව මට කිව්වා. මුලින්ම මගේ හිතටත් ආවේ ඔය චරිත කිහිපය විතරයි. මූලික කථාවක් හෝ කතා තේමාවක් මට තිබුණේ නැහැ. කොටින්ම මම මේ ලියන්නේ නවකථාවක් කියන එක පිළිබඳවත් මට දැනීමක් තිබුණේ නැහැ. ක්‍රමයෙන් ඒ චරිතවලට තවත් විවිධ චරිත මුණගස්වමින් විවිධ අවස්ථාවන්වලට මුහුණ දෙන්න සලස්වමින් එම චරිතවල චරිත ලක්ෂණ මම ගොඩනැගුවා. ඒ තුළින් තමයි නවකතාව ගොඩනැගෙන්නේ. චරිත ගොඩනැංවීම දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් සංයමයෙන්, ඉතාමත් හෙමින් සිදුවුණු ක්‍රියාවලියක්.
මමත් ඒ චරිතවලට බොහෝ සේ සමීප වුණා. සාමාන්‍යයෙන් අපට මුණගැහෙන චරිතවලත් අපි කැමති වගේම අපි අකමැති ස්වරූපයන්නුත් තියෙනවා. මේ නවකතාවේ චරිත තුළත් මම ඒ ස්වභාවය අත්වින්දා. සමහර විට මේ චරිත ගොඩනගද්දී මම එකඟ නොවුණු අවස්ථා තිබුණත් ඒ අවස්ථා චරිතයේ මූලික ස්වභාවයට ගැළපෙන නිසා වෙනස් නොකරන්නට තීරණය කරපු අවස්ථා තිබුණා. ලිවීම තුළ චරිත සමග ගනුදෙනු කරද්දී මම අත්දැකපු විඳපු බොහෝදේ වචනයට නගන එක ඉතාමත් අපහසු දෙයක්. මේ නිර්මාණකරණයේදී, අවශ්‍ය ප්‍රමාණයට සියල්ල පාලනය කිරීමට තරම් බලයක් මට තිබුණත් සියල්ල මට අවශ්‍ය ප්‍රමාණයට හැසිරවීමට හෝ පාලනය කිරීමට නොහැකි වූ අවස්ථා එම චරිත නිර්මාණය කිරීම තුළදී මට අත්දකින්නට සිදුවීම මාවම පුදුමයට පත්කළා කිව්වොත් නිවැරදියි.
ප්‍රශ්නය- මෙහි එන කිසිදු චරිතයක් කළු හෝ සුදු නොවන අයුරින් නිර්මාණය කරන්න ඔබ විශේෂ උත්සහයක් අරන් තියනවා. ඒ ගැන කිවොත් ?
මට මගේ ජීවිතේ මේ වනතුරු සම්පූර්ණ කළු හෝ සම්පූර්ණ සුදු චරිත මුණගැහිලා නැහැ. මාත් ඇතුළු පෘථග්ජන මිනිසුන් සියලු දෙනාම අසම්පූර්ණයි. ඒක මං අත්විඳපු අත්දැකපු සත්‍යයක්. ඉතින් මගේ නවකතාව තුළ ඉන්න චරිතත් සුදු හෝ කළු නොවන අළුපාට චරිත වෙන්න මගේ අත්දැකීම්ම හේතු වෙන්න ඇති. මේ චරිත තුළ මගේ පරිකල්පනය වගේම මගේ අත්දැකීම් ගැබ්වෙලා තියෙනවා. සත්‍යයට සමීප හැමදේම අසම්පූර්ණයි.
සම්පූර්ණ වෙන්නේ සත්‍යය පමණයි. පොතේ අන්තිම පිටුවේ මමම කියනවා.
“පරිපූර්ණ මිනිස්සු මට කවදාවත් මුණගැහිලා නෑ. ඉස්සරහටත් පරිපූර්ණ මිනිස්සු මට මුණගැහෙන එකක් නෑ. පරිපූර්ණ ජීවිතත් නෑ…” කියලා.
ප්‍රශ්නය- ඔබ වෘත්තියෙන් නීතිඥවරියක්, ගෘහණියක්, මවක්, නිවේදිකාවක් විදිහට මේ වස්තු බීජය එක්ක කොයිතරම් කාලයක් ඔබ ජීවත් වුණාද, එය නිර්මාණයක් ලෙස දායක වුණේ කොහොමද?
වෘත්තීය ජීවිතය තුළත් පෞද්ගලික ජීවිතය තුළත් තවත් අලුත් නිර්මාණ කරන්න තරම් ඇත්තටම මට කාලවේලාවක් තිබුණෙ නැහැ. කොටින්ම හිතේ ඇඳුණු චරිත කිහිපයක් පිළිබඳව පරණ පොතක ලියද්දී ඒ ලිවීමේ අවසානය පිළිබඳ කිසිදු හැඟීමක් හෝ දැනීමක් මට තිබුණෙත් නැහැ. නමුත් ඒ ලිවීම මුළු හදවතින්ම මම වින්දා. මගේ ලිවීම තුළ කාලය පිළිබඳ හෝ අවසාන ප්‍රතිඵලය පිළිබඳව හෝ මෙවන් නිර්මාණයකට අනුගමනය කළ යුතු මූලික රීතීන්හි හෝ රාමු පිළිබඳව හෝ සවිඥානක වීමක් තිබුණෙත් නැහැ. ඒ නිසා මේ ලිවීම මට සතුටක් ආශ්වාදයක් මිසක් කිසිම ආකාරයක පීඩනයක් ගෙන දුන්නෙ නෑ. මම ලිව්වේ මගේම රසාස්වාදය සඳහායි. ලිවීම තුළින්ම මම ලබපු ආශ්වාදය මගේ ලිවීම නවකතාවක් ලෙස බෞතීස්ම කිරීමට උත්තේජනයක් සැපයුවා. විශේෂයෙන්ම මගේ ළඟින්ම සිටින මගේ ඥාතීන් සහ හිතවතුන් වගේ ඇම්. ඩී. ගුණසේන සමාගම ඉසොප්ටේරා බිහිවීමට ප්‍රබල හේතූන් වුණා.
ප්‍රශ්නය- ඉසොප්ටේරා රසවිඳි අයගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර විට පාඨකයින් සිදුවීම්වලට සහ චරිතවලට ඔවුන්ට ආවේණික වූ අර්ථකථනයන් දීපු අවස්ථා තියෙනවා. මේ කතාව සහ චරිත මා විසින් නිර්මාණය කළත් මට නොදැනුණු සහ මට නොපෙනුණු කෝණ වලින් සිදුවීම් සහ චරිත දෙස බැලීමට සමහර පාඨකයින් පෙළඹුණු අවස්ථා එමටයි.
බොහෝ විට මිනිස්සු හිතන පතන රටාවන් තිබෙනවා. රාමුවක් තුළ ගැහැණියෙකුගේ සහ පිරිමියෙකුගේ භූමිකාවන් මෙසේ විය යුතුය අපි බලාපොරොත්තු වෙනවා. මේ නිර්ණායකයන් බොහෝ දුරට අපගේ පරිකල්පනය සීමා කර ඇති බව මගේ නිර්මාණය රසවිඳි පාඨක ප්‍රතිචාර තුළින් සමහර අවස්ථාවලදී මට පෙනී ගියා.
ප්‍රශ්නය- ඔබේ ඉදිරි නිර්මාණ මොනවද?
පළමු නවකතාවෙන් ලැබුණු ප්‍රතිචාර නිසාම මට තවත් නිර්මාණකරණයෙහි යෙදීමට උත්ප්‍රේරකයක් ලැබුණා. තවත් නව කතාවක චරිතත් සමඟ මේ දවස්වල මම ගනුදෙනුවක නියැලිලා ඉන්නේ. මම හිතන්නේ ඉක්මනින් අලුත් නිර්මාණ බිහි කරන්න මට හැකි වේවි. ඒ වගේම පිටපත් නිර්මාණකරණයටත් මේ දවස්වල මම යොමුවෙලා ඉන්නවා. ඉතා ඉක්මනින් මේ නිර්මාණයන් එළිදැක්වීමට මම දැඩි උත්සාහයක් ගන්නවා.

සංවාදය – ජගත් අබේකෝන්