(පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ජීවතුන් අතර සිටියදී ‘වටමඬලට’ එවූ අවසාන ලිපිය මෙසේ පළකරන්නෙමු.)
ලිවීම අත හරින අනාගතයක ලේඛන කලාවට අත තැබූ පුංචි ලේඛකයෙක් මට සම්බන්ධ විය. ලේඛන කලාව සහ දේශන කලාව හරි අපූර්වට ගොඩනඟන්නට හැකිවීම ඔහු තුළ සහජයෙන් ලැබී ඇති අංගයකි.
දැනට ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ 8 ශේණියේ ඉගෙනුම ලබන විහේන් දින්හස් බාලසූරිය නමැති මේ දරුවා ඔහුගේ අභිනව කෘතිය ලෙස “මගේ ලෝකයේ හපන්කම්” කලඑළි දක්වන්නේ මේ අතරතුරය.
තමන් ලද හා නොලද අත්දැකීම්වල සම්මිශ්‍රණයක් ඔහුගේ මේ කතාවේ දක්නට ලැබේ.
“කෘතියෙන් දැක්වෙන්නේ නිදහස් ජීවිතයක් ගත කරන ළමයකුගේ කතාවකි. නමුත් මගේ ජීවිතය මෙසේ නොවේ. ඇත්තෙන්ම මම සිටින්නේ තනිවමය. මෙය මා දුටු සිහිනයක් පමණි” රචකයාගෙ පෙරවදනින් මෙලෙස ඔහු පවසන්නේ, ඔහු සමාජයට විවෘත නොවූ හුදෙකලා දරුවකු බවයි. ඔහු ඇසූපිරූ තැන් හීනයකි. එම අව්‍යාජ සිතුවිලි කෘතියට අරගෙන ඇත්තේ සමාජයේ සම වයස් දරුවන්ටත් නොලද අත්දැකීමක් එය කියැවීමෙන් පමණක් උකහා ගන්නට විය යුතුය.
සමාජයේ විපරිත බව විසින් වර්තමාන දරුවන්ගේ ළමා කාලය, කෙළිලොල් වයස ගිලගෙන ඇත. එදා වැඩිහිටි අප, ඇළේ – දොළේ – වෙලේ – නියරේ කළ සෙල්ලම් අද දරුවන්ට හීනයකි. ළමා පරපුර සොබාදහමෙන් ඉවත්ව ඇති බවත් එයින් යම් මානසික ආතතියක් ඔවුන් තුළ වන බවත් කතුවරයා ඇතැම් තැන් හි ව්‍යංගාර්තව පවසයි.
“මීට අවුරුද්දකට පමණ පෙර මාගේ පාසලේ දේශනයක් තිබුණි. දේශකයා වූයේ අවුරුදු පනහක පමණ පෙනුමක් තිබූ කෙනෙකි. ඔහු ඇත්තෙන්ම හොඳ දේශකයෙකි. නමුත් ඔහුගේ වරද වන්නේ පම්පෝරි ගැසීමයි” (මගේ ලෝකයේ හපන්කම් – පරිචය 8) පාසල් පරිපාලනය ශිෂ්‍යන්ගේ මානසික සුවතා මූලික කොට විවිධ බාහිර වැඩසටහන් වැඩමුළු පවත්වයි. එයින් දරුවන්ගේ ප්‍රතිපෝෂණය (feedback) පරිපාලනය ලබාගත යුතුමය.
ප්‍රතිපෝෂණය පුද්ගලික ආයතන නිරතුරුව කරන්නේ සේවකයා ඉන් තෘප්තිමත්වේද යන්න බලා ගැනීමටය. පාසල් පද්ධතියටත් මෙය ඇතුළත් කළ යුතුයි. ලේඛකයා ඔහුගේ අත්දැකීමක් අනුසාරයෙන් ලබාදී ඇත්තේ එයයි. දේශනයන් හෝ ඉදිරිපත් කිරීම් කළ යුත්තේ දැනුමට නොව මනසටය, ආකල්ප සංවර්ධනයටය. රසාස්වාදය එහි යම් දුරකට හෝ තිබිය යුතුය. මා දේශන කළ ගණන සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැක. නමුත් ඒ සෑම දේශනයකම අරමුණ නිර්මාණය වන්නේ මා ඇසූපිරූ සහ ලබාගත් දැනුම් සම්භාරයක සංකලනයක් සමග බව ශ්‍රව්‍යදෘශ්‍යවන්නා දනී.
මිනිසාගේ සදාචාරත්මක, ආධ්‍යාත්මක බුද්ධිමය සාධනය සංස්කෘතිය ලෙස සෑලකිය හැකිය. යමෙක් සදාචාරවත් වූ විට සමාජය සමග මිත්‍රවේ. සමාජය කෙරෙහි විශ්වසනීයත්වය ගොඩනැඟේ. එවිට යහපත් සමාජයකට සාරධර්ම සහිත මිනිසුන් බිහි වේ යන්න සහ ගුරුවරයා නිර්මාපකයා වේ. “අධ්‍යාපනය” යනු ලොව ප්‍රබලම අවිය වේ. එය සත්‍ය කරුණකි. මම ද විවිධ ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලබා ඇත්තෙමි. ඒ අතරින් මගේ දිවිය වෙනස් කළ කිහිපදෙනෙක්ම මට සිටියේය” (මගේ ලෝකයේ හපන්කම් පරිචය 17) මගින් මෙම කුඩා ලේඛකයා පැහැදිලි කරයි.
ගුරු කුසලතා වැඩිවූ රටක ගුරු ගරුත්වය පහළටම අද ඇදවැටී ඇත. නිපුණතා සංවර්ධනය කරන සිසුවාගේ ගුණවගා පුරන්වී තිබේ. සමාජ මාධ්‍ය තුළ අසැභි වචනවලින් ගුරුවරුනට සංග්‍රහ කරන සිසුවෙක් දැක වරක් මම තුෂ්නීම්භූත වුණෙමි. එය පළමු හෝ අවසන් සිද්ධිය නොවනු ඇත. කියවීම විය යුත්තේ පෙළ පොත පමණක්ම නොවේ. බාහිර ලෝකය අතර දරුවන් සැරිසැරිය යුතුය.
“ජීවිතේ කම්කටොලු” බොහොමයි
මුහුණ දීපන් මගෙ පුතේ
එසේ කියු අම්මගෙ වදන් මට
නොමැක සිහිවෙයි මගෙ සිතේ
නුඹේ තුරුලේ තිබෙන උණුසුම
වෙන කොහේදෝ ඇත්තෙ අම්මේ
පොත ලිවීමට දිරිය දුන් ඔබ
මහමෙරක් මට වටී අම්මේ…”
“පේරාදෙණියේ කවිය” (keieoei) මට මතක් වෙන්නේ, ජී.බී. සේනානායකයන් සමගයි. ඒ කවි ඇසුර මෙහි නොතිබුණත් පුංචි ලේඛකයා මවකගේ උදාර මාතෘත්වය සහ මව වෙත කෘතගුණ සැලකීම අපූරුවට පද පෙළහරකින් මතු කොට ඇත.
සම්මතය තුළ සිටි මනින්න බැරි ආදරය වන අම්මා සහ නොකියන සෙනෙහසක සජීවී ප්‍රතිමූර්තිය වන තාත්තා, දරුවාගෙන් විසිවී නැති බව දින්හස්ගේ මගේ “ලෝකයේ හපන්කම්” කතාසාරය තුළ ගලා ගොස් ඇත.
බොහෝ දරුවන්ගේ මානසික අතෘප්තිකර ස්භාවය දෙමාපියන් ද හැඳිනගත යුතුය. එසේ නොවන්නට අපේ හෙට අනාගතය තුළ මනුදම්, ගුණ දම් රහිත මිනිසුන් අපට හමුවණු ඇත. එම නිසා මේ කෘතිය ළමා සහ වැඩිහිටි දෙපාර්ශ්වයම කියවන්නට මැනවි.
අත්තනායක එම්. හේරත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය