සුමනතිස්ස නායක හාමුදුරුවන්ගේ ගම මැදගොඩය. මැදගොඩ යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණියත් නාරම්මලත් අතර ඇති ගමකි. එබඳු ගමක් ගැන කලකට පෙර රටවැසියා දැනගෙන සිටියේ නැත. එහෙත් දැන් ඒ ගම ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ සුමනතිස්ස නායක හාමුදුරුවන් සහ උන්වහන්සේගේ අනුප්‍රාප්තික අභයතිස්ස නායක හාමුදුරුවන් නිසාය.
නාරම්මල රජයේ පාසලේ පස්වැනි පන්තිය දක්වා ඉගෙන ගෙන රත්මලානේ පියතිස්ස හිමියන් සමඟ පැපිලියානේ සුනේත්‍රාදේවි පන්සලට පැමිණි කුඩා දරුවා සුමනතිස්ස නාමය ලබන විට දාහතර වැනි වියෙහි පසුවිය. උන්වහන්සේට දාහත ලබද්දී පියතිස්ස ස්ථවිරයෝ අපවත් වූහ. සුමනතිස්ස ස්ථවිරයෝ පන්සලේ අධිපති වූහ.
පන්සලක් යැයි කීවාට එය දායකයන් නැති මිල මුදල් නැති දුප්පත් පන්සලක් විය. පන්සල සතු ඉඩකඩම් කොල්ලකරුවන් පැහැරගෙන තිබිණ. පොල්අතු සෙවිලි කළ ආවාස ගෙයි තනි වූ සාමණේර නම තනිවම උයා පිහාගෙන දන් වැළඳුවේ ය. යුද්ධ කාලය පැමිණීමත් සමඟ ආහාර හිඟය උග්‍ර විය. ඒ කාලයේ සාමණේර නම සාගින්නේ සිටි වාර අනන්තය. මේ කවර බාධක පැමිණියත් උන්වහන්සේ ඉගෙනීමේ කටයුතු නතර කරන්නට කැමති වූයේ නැත. මුලින් ගංගොඩවිල සුභද්‍රාරාමයට ගිය උන්වහන්සේ අනතුරුව මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූහ. බස් ගාස්තුව සොයාගත නොහැකි වූ ඇතැම් දිනවල පැපිලියානේ සිට මාලිගාකන්දට පයින්ම වැඩම කළහ.
එදා මෙලෙස දිළිඳු අඩියකට වැටී තිබුණේ කෝට්ටේ සවැනි පැරකුම්බා රජු ක්‍රි.ව. 1454දී සුනේත්‍රාදේවි නමැති සිය මවුබිසොවුන්ගේ නාමයෙන් ඉදිකළ මහ පිරිවෙනයි. එවක මෙරට බෞද්ධ අධ්‍යාපනය පැවතුණේ පිරිවෙන කේන්ද්‍ර කරගෙනය. තොටගමුවේ විජයබා පිරිවෙන, කෑරගල පද්මාවති පිරිවෙන, වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන ආදී වූ පිරිවෙන් අතර පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනට සුවිශේෂ තැනක් හිමි විය. මක්නිසාද යත්, ඉගැන්වීම සහ ඉගෙන ගැනීම හැරුණු කොට තවත් විශේෂ සේවාවක් එමගින් ඉෂ්ට සිද්ධ වූ බැවිනි. එනම්, රට පුරා බෞද්ධ අධ්‍යාපන ආයතනවලට බෙදාහැරීම සඳහා ධර්ම ග්‍රන්ථ පුස්කොළ පොත්වල පිටපත් කිරීමයි. රජතුමා මේ සඳහා පිරිවෙනේ ඉගෙන ගත් භික්ෂූන් වහන්සේ යොදාගත්තේ නැත. වැටුප් ගෙවා හොඳින් පුස්කොළ අකුරු ලිවිය හැකි ගිහියන් සේවයට බඳවා ගන්නා ලදී. තල්ගොබ ලබා ගැනීම සඳහා තල් ගස් ද වගා කර තිබිණ. රජතුමා විසින් පිරිවෙන් පරිශ්‍රයෙහි පුස්තකාලයක් සහ භික්‍ෂු නේවාසිකාගාරයක් ද ඉදිකරන්නට යෙදුණි. බොහෝ ඉඩකඩම් සහ කෙත්වතු ද පූජා කරන ලදී. මේ සා දීප්තිමත්ව බැබළුණු සුනේත්‍රාදේවි පිරිවෙන ක්‍රි.ව. 1505 කොළඹට ගොඩබට පරංගි හමුදාවෝ කඩා බිඳ දැමූහ. විසි වැනි ශත වර්ෂය ආරම්භ වනවිට සුනේත්‍රාදේවි පරිශ්‍රයෙහි පොල්අතු සෙවිලි කළ ආවාස ගෙයක් පමණක් ශේෂ වූයේ එනයිනි.
පන්සල අලුතින් පටන් ගැනීමට සුමනතිස්ස හිමියන්ට සිදුවී තිබිණ. එහි පළමු පියවර වශයෙන් 1952 දහම් පාසලක් ආරම්භ කළ සුමනතිස්ස හිමියෝ 1954 පේෂකර්ම මධ්‍යස්ථානයක් ද පටන් ගෙන ගමත් පන්සලත් යා කළහ. වෙහෙස නොබලා අධ්‍යාපන කටයුතු ද කරගෙන ගිය උන්වහන්සේ 1955 සිංහල – පාලි – සංස්කෘත යන ප්‍රාචීන භාෂා උසස් ලෙස සමත්ව ‘පණ්ඩිත’ උපාධි ලදහ.
මේ අතර පන්සලේ ඉඩම් කොල්ල කාගත් උදවිය සමඟ නඩු කියන්නට ද උන්වහන්සේට සිදු විය. යුක්තියේ නාමයෙන් ඒ නඩු හබ සියල්ල තීන්දු වූයේ සුමනතිස්ස හිමියන්ට වාසිදායක අන්දමිනි. එසේ නඩු මඟට නොබසින්ට සුනේත්‍රාදේවියට ඉතිරි වන්නේ පොල් අතු සෙවිලි කළ ආවාස ගෙය පමණි.
1956 සිංහල බෞද්ධ පාඨශාලවක් පටන් ගත් ‘පණ්ඩිත හාමුදුරුවෝ’ පුවත්පත් සඟරාවලට ලිපි ලිවීම නිසා ද විචිත්‍ර ධර්ම කථිකයකු බවට පත්වීම නිසා ද මහත් වූ ප්‍රසිද්ධියක් ලදහ.
සුමනතිස්ස ස්ථවිරයන් ජාතික ව්‍යාපාරයන්ට එකතුවී සිටියේ හතළිස් ගණන්වල සිටය. උන්වහන්සේ නිදහස් අධ්‍යාපන සටනෙහි නිරතව සිටි අතර 1955 සිංහල භාෂා සටනේදී මෙන්ම මහජන එක්සත් පෙරමුණේ සඟ – වෙද – ගුරු – ගොවි – කම්කරු පංච මහා බලවේගයේ ද පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළහ. ඒ අතර 1959දී විද්‍යෝදය ( ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. මේ ප්‍රගතිශීලී භික්ෂූන්වහන්සේ තත් විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම මහා ශිෂ්‍ය සංගමයෙහි ප්‍රථම සභාපතිවරයා ද වූහ.
මේ විද්‍යෝදය උපාධිධරයා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සදුනුස්මරණීය මෙහෙයක් කළේය. එනම්, මාලිගාකන්දේ කාමර අටක හිරවී තිබුණු විශ්වවිද්‍යාලය, අලුතින් ස්ථාපිත කිරීම සඳහා සුනේත්‍රාදේවි විහාරය සතුව ගංගොඩවිල තිබුණු අක්කර 25ක් විද්‍යෝදය ප්‍රථම උප කුලපති වැලිවිටියේ සෝරත හිමියන් වෙත පවරා දීමයි. සුමනතිස්ස හිමියන් එදා ඒ පැවරීම නොකරන්ට විද්‍යෝදය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අද කොතැනක කොයි ආකාරයකින් පවතින්ට ඉඩ තිබුණි දැයි සිතා ගන්ටවත් බැරි තරම්ය.
පණ්ඩිත උපාධියෙන් හෝ ශාස්ත්‍රවේදී උපාධියෙන් සිය අධ්‍යාපනය නතර කරන්ට නොසිතූ සුමනතිස්ස හිමියෝ එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් එම්. ඒ. උපාධියත් ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ඵග චයසක උපාධිය සහ ඡ්‍යෘ උපාධියත් ලබා ගත්හ. මේ කවර කටයුතුවල යෙදුණත් උන්වහන්සේගේ පරම අභිලාෂය වූයේ පැරකුම් රාජ සමයෙහි දීප්තියෙන් බැබළුණු සුනේත්‍රාදේවි පිරිවෙන යළි ස්ථාපිත කිරීමයි. 1964දී උන්වහන්සේ ඒ අභිලාෂය ඉෂ්ට සිද්ධ කර ගත්හ. එමතු නොව සිය පරිපාලන ශක්තියත් කාර්යක්‍ෂමතාවත් නිසා පස් වසරක් තුළ එය දිවයිනේ ප්‍රධාන පිරිවෙනක් බවට පත්කර ගන්ට ද උන්වහන්සේ සමත් වූහ. ඒ වනවිට පන්සල් පරිශ්‍රය සහ පිරිවෙන් පරිශ්‍රය දේශන ශාලා, ධර්ම ශාලා, දාන ශාලා, ආවාස, ළිං, පොකුණු, විහාර මන්දිරාදියෙන් අලංකෘත වී තිබිණ.
මල්වතු විහාරය විසින් මේ ධර්මධර විනයධර ශික්ෂකාමී තෙරනම වෙත ප්‍රවචන කීර්ති ශ්‍රී මංගල යන අභිධානයත් බස්නාහිර පළාත – කොළඹ හා නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක පදවියත් ප්‍රදානය කරන්ට යෙදුණි.
1998දී සුමනතිස්ස හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කරන ලදී.
ශ්‍රී ලංකා ඒකාබද්ධ භික්ෂු බලමණ්ඩලය, ආසියා බෞද්ධ සාම සම්මේලනය උන්වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ වූ සංවිධානය. උන්වහන්සේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගි වීම සඳහා ඉන්දියාව, රුසියාව, ජපානය, ස්වීඩනය, ජර්මනිය, කැනඩාව, චෙකොස්ලොවැකියාව, මොංගෝලියාව යන රටවල්වල සංචාරය කළහ. පහ සමත් වී මැදගොඩ සිට කොළඹට පැමිණි කොලුගැටයා පැවිදිව අවුරුදු 17දී විහාරාධිපති ධුරයට පත්ව කිසිවකුගේ මඟ පෙන්වීමක් හව් හරණක් නැතිව ජීවිතය ජයගෙන රට දැය සමය වෙනුවෙන් කළා වූ මෙහෙය අනුපමේයය. පරමාදර්ශීය.
මහාචාර්ය සුනිල් ආරියරත්න