සාරංච සාරතෝ ඥත්වා
අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා
සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත් දකින පුද්ගලයාට සත්‍යය අවබෝධයට පහසුය යන්න බුදුන්වහන්සේගේ මග පෙන්වීමයි.
සරු දෙය හා නිසරු දෙය කුමක්ද යන්න පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතු කාලයක් අප පසු කරමින් සිටී. එයට හේතුව සරුදේ මෙන් පැමිණෙන නිසරු දෙය අපගේ කාලය, මුදල්, ජීවිත විනාශ කර දමමින් තිබීමයි.
මිනිසුන් වැඩිහිටියන් ලෙස ලබන නිසි අවබෝධය මත සරු දෙය තෝරා බේරා ගැනීමට ඇති දක්ෂතාවය ඊළඟ පරපුරට ද මග පෙන්වීමට භාවිතා කළ හැකි දෙයකි. සරු දෙය මෙන් ඇස් රවටමින් අප වටා පවතින නිසරු දේවල් රාශියකි. කනගාටුවට කරුණ නම් නිසරු දේවල් බොහෝ ක්ෂේත්‍රයන් වසා පැතිරෙමින් පවතිද්දී දෑස් නොපෙනෙන අයවළුන් සේ බොහෝ දෙන ඒවා වැළඳ ගනිමින් තමා පරිහානියට පත්ව අනාගත පරපුරද ඒවාට බිලිදීමයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අප අවධානය යොමු කළ යුතුම ප්‍රධාන ක්ෂේත්‍රයක් නම් අධ්‍යාපනයයි. විවිධ නාමයන් භාවිත කරමින්, විවිධ විෂයන් පිළිබඳව සඳහන් කරමින් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබාදෙන ආයතන හා පුද්ගලයන් සිය ගණනක් සමාජ මාධ්‍යයේ දැන්වීම් පළ කරමින් සිටී. දහස් ගණනින් මුදල් අය කරමින් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ඒවායේ මූලික ක්‍රමවේදයයි. නමුත් මෙවැනි ආයතන බහුතරයකට රජයේ අනුමැතියක් නොමැති අතර ඔවුන් විෂය නිර්දේශවලටද කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැත. පාඨමාලාව අවසානයේදී ශිෂ්‍යයන්ගෙන් මුදල් ලබාගෙන අගනුවර ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවල උත්සව පවත්වමින්, ඡායාරූප ලබාගනිමින් සහතික පත් ප්‍රදානය කළ ද එම සහතික පත්‍ර කිසිදු වලංගුතාවයක් නොමැති හිස් කඩදාසි පමණි. මෙවැනි ව්‍යාජ පාඨමාලාවලට යොමුවීමට පෙර වැඩිහිටියන්ද, දූ දරුවන් ද නැවත නැවත සිතා බැලිය යුතුය.
“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” යනු සමාජයේ ප්‍රකට කියමනකි. යම් පුද්ගලයෙකුව වසර සියයක් පමණ ආශ්‍රය කරනු ලැබූවත් ඔහුගේ ඊළඟ මොහොතේ ක්‍රියාව නිශ්චිතවම කිව නොහැකිය. මිතුරුකමට වඩා මිතුරු වෙසින් සිටින්නන් බහුලය. මල් කැකුලක් වන් දියණියක විනාශ කර දැමූ බව වාර්තා වූයේ පියාගේ ළඟම මිතුරෙකු විසිනි. ටොෆි, චොකලට් වැනි දේවල් දිනපතා රැගෙන විත් ව්‍යාජ සෙනෙහසක් පෙන්වා එම දියණියව ඔහු විසින් රවටා ගෙන ඇත. අපගේ දූ දරුවන්ට ඉගැන්විය යුත්තේ සියල්ලට පෙර තමා අවට සැරිසරණ මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වීමටයි. නිබඳව සිහි තබා ගත යුත්තක් නම් අප සිටින්නේ ව්‍යාජ වෙස් මුහුණු පැළඳි පුද්ගලයින් සිටින සමාජයක බවයි. මෙයට කලකට පෙර ආයුර්වේද වෛද්‍යවරයෙක් සහ ප්‍රකට සමාජ සේවකයෙක් ලෙස පෙනී සිටි අයෙකු මරණාධාර සමිතියක් ආරම්භ කර දුගී දුප්පත් ජනතාවගෙන් එහි සාමාජිකත්වයට යැයි පවසා මාස ගණනක් ලක්ෂ ගණනින් මුදල් එකතු කරගෙන පලා ගිය අවස්ථාවක්ද අසන්නට ලැබිණි. මෙවැනි පුද්ගලයින්, මෙවැනි ආයතන, මෙවැනි කූට කටයුතු සහිත වැඩසටහන් අප වටා විවිධ ස්වරූපයෙන් දිනපතා සැරිසරමින් තිබේ. තවත් නිරතුරුව දැකිය හැකි කරුණක් නම් වැඩි පොලිය ලබාදෙන පදනම මත තමා අත රැඳි මුදල් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී පසුව රැවටුණු බව දැන ගත්විට අධිකරණයේ පිහිට පැතීම හා උද්ඝෝෂණය කිරීමයි. මෙවැනි වංචාවන් පිළිබඳව කොතෙක් දැනුවත් කළත් ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා මුදල් තැන්පත් කර’ ඩොලර් ලෙස පොලිය ඉපැයීමට ගොස් මූල්‍ය වංචාවලට හසු වූ පුද්ගලයින් පසුගියදා බහුලව වාර්තා විය.
මෙවැනි ගැටලු රාශියකට හේතුව සරුදෙය හා නිසරු දෙය එකට පැටලී තිබීමයි. මං මුලාවූ’ සමාජයක සරු දෙයත් නිසරු දෙයත් තෝරා ගැනීම අභියෝගයකි. සරු දෙය සොයා ගැනීම ඥානවන්ත සැමගේ කාර්යයකි. අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට ද සාර්ථක නිවැරදි ජීවන ගමනක් සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප, කුසලතා ආදී ගුණාංග නිසි අයුරින් ප්‍රගුණ කරලීමට මූලිකත්වය ගත යුත්තේ අවබෝධයක් ඥානයක් සහිත වැඩිහිටියන්ය. එබැවින් සමාජයේ විවිධ වගකිවයුතු භූමිකා ඉටුකරමින් සිටින වැඩිහිටි අප සියලු දෙනාම මතු පරපුරට සරු, යහපත් දේවල් සුරක්ෂිත කරගැනීමටත්, නිසරු, අයහපත් දේවල් දුරු කිරීමටත් මග පෙන්වීම කළ යුතුය. එය අනාගත පරපුර වෙනුවෙන් වර්තමානයේ අපට ඉටු කළ හැකි වටිනාම කාර්යයකි.
දියතලාව, ඇල්ලගම, සුධර්මාලංකාර විද්‍යායතනයේ ආචාර්ය, ශාස්ත්‍රපති,
පූජ්‍ය කැකුළුවෙල විපුලසාර හිමි