මිනිසා විසින්ම මෙම මහ පොළව විනාශ කිරීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන අතර, එම පොළවත්, පරිසරයත් ආරක්ෂා කර ගැනීම මිනිසා වෙතම පැවරී ඇති විශාල වගකීමකි. මෙම මහා විනාශය පිළිබඳව ලාංකික අපත් තරමක් දුරට වගකිව යුතු අතර, මුළු ලෝකයාමත් වැඩි වශයෙන්ම වගකිව යුතු කරුණක් බවට පත් වී ඇත. අද පරිසර විනාශ එක් රටකට පමණක් සීමාවක් වූවක් පමණක් නොව මුළු ලොවම වගකිව යුතු කරුණක් බවට පත් වී ඇති බව පෙනේ. මෙම පරිසර විනාශය මුළු ලෝකයාටම බලපෑම් කරන බව 1972 දී ස්වීඩනයේ ස්බාක්හෝම් නුවර දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නීතියක් බවට පත්කරන ලද්දේ එම වගකීම මුළු ලෝකයාටම පැවරීමේ අදහසිනි. ඒ නිසාම මුළු ලෝකයටම ජගත් පරිසර දිනය යනුවෙන් ලෝකයම සමරන එක් පරිසර දිනයක් ප්‍රකාශයට පත්කරන ලදි.
පැළයක් රෝපණය කිරීම තුළින් රටක් සංවර්ධනය කිරීමේ හැකියාවක් ද ඇත. පැළය ගසක් වූ පසු එය පුනර්ජනනීය සම්පතක් වේ. එය තිරසාර ලෙස කළමනාකරණය කළහොත් පාරිසරික වාසි රැසක් ලබාගත හැකිව ඇත. ගසක ඇති වටිනාකම ජෛව වර්ගීකරණය තුළින් මනාව පැහැදිලි වේ. පැළයක් ගසක් වීමෙන් පසු එය රටට ධනය සපයන ධන නිධානයක් වේ. පැළයක් ගසක් වූ පසු එමගින් රටටම දැව සපයා ගැනීමේ හැකියාව පවතී. රටට අහිතකර ප්ලාස්ටික් භාජන වෙනුවට පරිසරයට හිතකර නිෂ්පාදන උත්පාදනය කර ගැනීමේ හැකියාව ඇත. ගසක දැව මගින් වාසි රැසක් ගෙන දෙන හරිත නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඇත. තාප ගති ගුණ, ශබ්ද ගති ගුණ තුරන් කර ගත හැක. මෙම දැවවලින් ලැබෙන ප්‍රතිලාභ සෞඛ්‍යමය අතින් ද ඉතා වැදගත් වේ. දැව භාණ්ඩ නිෂ්පාදනයේදී පිටතට විහිදී යන කුඩු වර්ග වාතය සමග පාවී ගියත් එය ප්ලාස්ටින් භාජන නිෂ්පාදනය කරන රසායනික අපද්‍රව්‍ය සමග සසඳන කල සෞඛ්‍යයට එතරම් බලපෑමක් එල්ලවන බවක් නොපෙනේ.
දැව යනු මළ නොබැඳෙන මහ මුහුදේ දී පවා දිනපතා ප්‍රයෝජනයට ගත හැකි නිෂ්පාදනයකි. ඒ අතරින් බලන කල දැව නිෂ්පාදන විනාශයට පත්වීමේදී පවා මිහි මවට කරදරයක් නොමැති පරිසර හිතකාමී අමුද්‍රව්‍යකි. දැව ශාක මගින් දිවා රාත්‍රි පිට කරනු ලබන වායුව පවා මිනිසාගේ දිවියට හිතකර වායූන් වේ. ගසකින් ස්වභාවිකම මිහිමවට දායකත්වය ලබා දේ. සිසිලස ලබා දීම, ගොඩනැඟිලි ඉදිකිරීමට අවශ්‍ය කරන දැව ලබා ගැනීම, මිනිසාට මෙන්ම සත්ත්වයන්ට ආහාර සැපයීම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය දැව ලබා ගැනීම, ඉන්ධන ලබා දීම, ආහාර හා ඖෂධ ලබා ගැනීම ආදිය සඳහන් කිරීමට පුළුවනි. ඒ අනුව දැව නිෂ්පාදන අබලි ද්‍රව්‍ය බවට පත් වී විනාශ වී යෑම මිහිතලයට බරක් නොවීමද විශේෂයෙන්ම සඳහන් කළ හැකිය.
ශාක වර්ග නිසා කෘෂි කර්මාන්තය නඟාසිටුවීමට ද විශාල සහයෝගයක් ලබා දේ. ගස්වල අතු රිකිලිවල ලැඟුම් ගන්නා වවුලා, කොහා, ඇටි කුකුළා, කපුටා ආදී පක්ෂීන්ගෙන් ද සහයෝගයක් ලැබෙන බව සඳහන් කළේ පක්ෂීන් විසින් පහරන දේවල් කුඹුරු සඳහා ප්‍රයෝජනවත් වේ. ඇටි කුකුළා ද වගාවන්ට හානි කරන කෘමි සතුන් ආහාරයට ගනී. අද රසායනික පොහොර නොමැතිව වගාවන් කිරීමට නොහැකි බව ගොවීන් විසින් පැවසුවත් මෙයට වසර කීපයකට පෙර වැට ඉනි, සූරිය කොළ, වල් බෙලි ඉති, ගිනිසීරියා, ඇලිබීසියා අතු වැට මායිම්වලින් කපා වළට දැමීමෙන් පරිසරයට හිතකර ජෛව පොහොරක් බවට පත් කර ගත්තේය. එයට හොඳම උදාහරණය වන්නේ හේන් ගොවිතැනයි. හේන් ගොවිතැනට කිසිම වෙලාවක රසායනික පොහොර භාවිතා කරන්නේ නැත. ඔවුන් හේන් වගා කරන්නේ ස්වභාවික කොළ, රොඩු කපා දමා දිරාපත් වන්නට හැර සහ දිරා නොගිය දැව අතු කොටන් පුළුස්සා දැමීමෙන්ය.
විදේශිකයන් මෙරට පාලනය කරන සමයේ දුම්රිය මාර්ගයන් සඳහා යොදා ගත්තේ දැවවලින් නිෂ්පාදනය කර ගන්නා ලද සිල්පර කොටන්ය. නමුත් මේ වන විට එය කොන්ක්‍රීට්වලින් නිෂ්පාදනය කිරීම දක්වා දියුණු වී ඇත. මෙම තත්ත්වය මඟහැරවීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ දැව සංස්ථාව පියවර ගත යුතුව ඇත. එමගින් රටට හිතකර පරිසර පද්ධතීන් නිර්මාණය කරගත හැක. ඒ නිසා යකඩ, සිමෙන්ති මෙන්ම බැර ලෝහ පරිසරයට එකතු වීම නවතා දැමිය හැක. රටේ වන වගාව විශාල ලෙස වැඩිදියුණු කළහොත් විදුලිබල මණ්ඩලයට මෙන්ම දුරකථන රැහැන් සවි කිරීමට ගන්නා කොන්ක්‍රීට් කණු වෙනුවට දැව කණු භාවිතා කිරීමට අවස්ථාව ඇත.
රක්ෂිත වනාන්තර රජයේ පාලනය යටතේ පවතින නිසා ඒවා ක්‍රමානුකූලව වගා කළ යුතු අතර නියමාකාරව නිසි කලට කපා හෙළා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ඇත. නමුත් අද පවතින රජයන් වන වගාව තුළින් ඉහත කර්මාන්ත සඳහා දැව ලබාගැනීමට එම දෙපාර්තුමේන්තු ද උනන්දුවක් නොදක්වන්නේ කොන්ක්‍රීට් කණු සැපයීමට පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් පෙළ ගැසී සිටින නිසා ඔවුන්ට අතහිත දීමට විය හැකිය. කොන්ක්‍රීට් මගින් මිහිතලයට වන විනාශය ඔවුන් කිසිවෙක් නොදකින්නේද? ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම මුළු රටේම අභාග්‍යයකි.
දැව ගැන සළකා බැලීමේදී අඩුම වියදමකින් ඉන්ධන නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින්නේ මෙමගින් පමණක්ය. කඩිනමින් භාණ්ඩ ලබාගැනීම සඳහා මහජනතාව දක්වන උනන්දුව නිසා වගා දැව, ගෙවතු වගා දැව, ආනයනික දැව, පොල්, කිතුල් ආදී රටට හිතකර භාණ්ඩ නිෂ්පාදනයන් ලබා ගැනීමටත්, දැව භාණ්ඩවල මිල තරමක ඉහළ යෑම නිසාත්, ජනතාව රට ගැන, මිහිතලය ගැන නොව තම සෞඛ්‍යය ගැනවත් නොසිතා ප්ලාස්ටික් උපකරණ මිලයට ගැනීමටත්, ඒවා පරිභෝජනය කරමින් වර්ණනා කිරීමත් නිසා රටට විශාල විනාශයක් අත්කර දෙයි.
මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව රටේ නොයෙක් ප්‍රදේශයන්හි තේක්ක, පයිනස්, ඇකේෂීයා, මහෝගනී, වැනි ශාක වර්ග වගා කරනු ලබයි. ඒවා ඉතා කඩිනමින් දැව සංස්ථාව මගින් පරිහරණයට ගත හැකි වන පරිදි මනාව සකස් කර දීම තුළින් මහජනතාව දැව භාණ්ඩ පරිහරණය සඳහා යොමු කළ යුතු වේ. නමුත් රජය මගින් විදේශීය රටවලින් ආනයනය කරන ලද සයිප්‍රස්, කෙම්පස් වැනි දැව කඳන් මෙරටට ගෙන්වා බෙදාහැරීම ඉතාමත් කනගාටුදායකය.
රටේ සංවර්ධනය ගැන මිස ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය ගැන හෝ ජීවනෝපාය ගැන කිසිම තැකීමක් නොකරන පාලකයන් සංවර්ධනය මුවාවෙන් තිරසාර ජල මූලාශ්‍ර පස් දමා ගොඩකරමින් රට කාන්තාරයක් බවට පත්කරමින් සිටී. රටට ජීවය ගෙන දෙන වගුරු බිම්, මඩ වගුරු, පොකුණු, වැව්, කලපු ගොඩකිරීමට පාලකයන් ඉඩහැරීම නිසා රටට ධන උල්පත් සපයන ගංඟා මාර්ග ද අද විනාශ වී ඇත. ගංඟා ඉවුරු දෙපස හොටෙල්, නිවාස මෙන්ම අනවසර ඉදිකිරීම් රාශියක් නිසා ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත.
ඒ නිසා පැළයක් රෝපණය කිරීමට තරම් බිම් කොටසක් ඉතිරි කර රටේ සංවර්ධනයට ඉඩ සලසා ගැනීමෙන් රටේ සංවර්ධනයත් ජනතාවගේ ජීවිතයත් යන දෙකම ආරක්ෂා කර ගනිමින් මධ්‍යම පිළිවෙතකට ගමන් කිරීමට රජයේ අවධානය යොමු විය යුතුය.
තලල්ලේ – ප්‍රඥාරත්න විදානගමාච්චි