Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජයතිලක සාහිත්‍ය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජයතිලක සාහිත්‍ය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අකුරු දි​ගේඅතිරේක

ජයතිලක සාහිත්‍ය

June 29, 2025
87 Views

බස්නාහිර පළාතට අයත් ගම්පහ දිශාවේ සියනෑ කෝරළේ රදාවාන කන්නිමහර ගම්මානයේදී 1926 ජුනි මස 27 උපත ලද කේ. ජයතිලක සිංහල භාෂා සාහිත්‍යයට සුවිශාල සේවාවක් කළ ඉතාම නිහතමානී ලේඛකයෙකි. සිංහල නවකතාව, කෙටිකතාව, සාහිත්‍ය විචාරය පිළිබඳ ග්‍රන්ථ සම්භාරයක් රචනා කළ හෙතෙම නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වූ ආකාරය දක්වා ඇත්තේ සැබෑ ගුරුවරයාගේ භූමිකාව පිළිබඳ වර්තමාන සමාජයට ද සිතන්නට බොහෝ දේ ඉතිරි කරන වාසගමකිනි.

“අපි කෙතරම් කියවීමෙහි ගැලී සිටියත් සාහිත්‍යය පිළිබඳව ක්‍රමානුකූල දැනුමක් හා නියම රුචියක් අප තුළ වගා කරන ලද්දේ ජයසේකර මහතා විසිනි. ඔහු අපට සාහිත්‍යය ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ අටවැනි ප්‍රමාණයේදීය. අවුරුදු තුන හතරක් ගතවන කලියෙන් කව්සිළුමිණ දක්වා වූ සෑම පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක්ම මා කියවා තිබුණේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ කාලයේ දී මගේ ස්මරණ ශක්තිය ද අධික විය.”

කේ. ජයතිලක සඳහන් කරන ආකාරයට “සාහිත්‍ය පිළිබඳ ක්‍රමානුකූල දැනුමක් හා නියම රුචියක්” ඇති වර්තමාන පාසල් ගුරුවරයෙකු සොයාගැනීම කළුනික සොයන තරමට දුෂ්කරය. අද දවසේ සාහිත්‍ය පොතපත කියවන, ඒවා ඇසුරින් දරුවන්ට යහපත් රසවින්දනයක් උගන්වන ගුරුවරු විරල වෙති. වර්තමාන පාසල් සෑම දරුවෙකුම විශ්වවිද්‍යාලවලට පෝලිම් කරන වර්ගයේ ක්‍රීඩා පිට්ටනිය. ඒ ක්‍රීඩා පිට්ටනිවල තරගයට ළමුන් සූදානම් කිරීම හැර රසවින්දනාත්මක ඉගැන්වීමේ කලාවකට ඉඩකඩ නැත. විෂයය මූලික යාන්ත්‍රික ඉගැන්වීම් නිසා දරුවෝ නිර්වින්දනය වෙති. කුසලතා පදනම් වූ අධ්‍යාපනයක් දරුවන්ට ගුරුවරු ලබා නොදෙති. ඒ නිසා නූතනයේ බොහෝ දරුවෝ විකෘති මානසික තත්ත්ව ඇත්තෝ වෙති. ඊට වගකිව යුත්තෝ ගුරුවරුය. පැරණි සමාජයේ ගුරුවරයා හොඳ මාර්ගෝපදේශකයෙකි. දරුවන්ගේ විවිධ කුසලතා වර්ධනය වන ආකාරයෙන් උගන්වන්නෙකි. කේ. ජයතිලකයෝ ඒ උත්තම ගුරු පෞරුෂය අගයති.

“ජයසේකර මහතා මට වඩාත්ම අමතක නොවන්නේ අන්‍යතරවූ හේතුවක් නිසා ය. ඔහු සිය ගොවිපළේ සියලු පැළෑටීන්ගෙන් එකම ප්‍රතිඵල අපේක්ෂා නොකළේය. ඔහු ඒ එකිනෙකින් ගෙඩි, මල්, කරල්, අල, මුල්, ඉපල් ආදී ප්‍රතිඵල බලාපොරොත්තු විය. ඔහු ඒවාට සාත්තු සප්පායම් කළේ ද ඒ අනුවයි. මම මේ ගොවිපළේ ක්ෂණිකව වැඩුණු කජු පැළයක් වීමි.”

කේ. ජයතිලකගේ මේ ප්‍රකාශය වර්තමාන අධ්‍යාපනයට ගැඹුරු අන්තර් දෘෂ්ටීන් සපයන්නකි. වර්තමාන අධ්‍යාපනයට අනුව අපේ දරුවෝ අශ්ව පෝතකයෝය. ඔවුහු අනාගත ධාවන තරග සඳහා සූදානම් කරති. දවසේ පැය විසිහතරම පන්ති කාමරවල හිරකරති. එක විෂයයක් අවසන් වන කල තවත් විෂයයක් උගන්වති. උදේ කාලයේ පාසලෙත්, සවස ටියුෂන් කඩවලත් උගන්වති. ධනපති පන්තියේ දරුවන්ට රෑ නින්ද ද අහිමිය. ඔවුහු රාත්‍රී කාලයේද නිවසට ගුරුවරු ගෙන්වා උගන්වති. නිර්ධන පන්තියේ දරුවෝ දවල් ඉගෙන ගෙන මදිවාට රාත්‍රී ටියුෂන් කඩවලට ද යති. මේ මාර යුද්ධයෙන් අතිවිශාල පිරිසක් පරදිති. සෑම දරුවෙකුම දොස්තරවරුන්, ඉංජිනේරුවන් කිරීමේ තරග විභාගවලින් අසමත් වන ඇතැම් දරුවෝ පිස්සන් කොටුවට යති. ඔවුනගේ ජීවිත විනාශය. කේ. ජයතිලකයාණන්ට සාරසිප් ඉගැන්වූ ජයසේකර ගුරුතුමාගේ අරමුණ වූයේ ළමයින් යාන්ත්‍රික විභාග පෝලිම්වලට හිරකිරීම නොවේ. ළමුන් විභාගවලින් අසමත් වුවද කම් නැත. එහෙත් කිසිම ළමයෙකු ජීවිතය අසමත් නොවිය යුතුය. ජීවිතය සමත් කරන්නට නම් දරුවන්ගේ කුසලතා පදනම් කරගත් අධ්‍යාපනයකට මුල්තැන දිය යුතුය. කේ. ජයතිලකයාණන්ට පාසල් බිමෙහිදී හමුවන ජයසේකර ගුරුතුමා ළමුන්ගේ විවිධ කුසලතා හඳුනාගැනීමට උත්සුක වූ බැව් “ඔහු සිය ගොවිපළේ සියලු පැළෑටීන්ගෙන් එකම ප්‍රතිඵල අපේක්ෂා නොකළේය. ඔහු ඒ එකිනෙකින් ගෙඩි, මල්, කරල්, අල, මුල්, ඉපැල් ආදී ප්‍රතිඵල බලාපොරොත්තු විය” යන ප්‍රකාශයෙන් පෙනේ. කේ. ජයතිලක ඔහුගේ ගුරුවරයාගේ දෘෂ්ටියෙන් පෙන්වාදෙන අධ්‍යාපනයට අනුව, වර්තමාන ගුරුවරුන් කළ යුත්තේ දරුවන්ගේ විවිධ කුසලතා හඳුනාගෙන විද්‍යාවට දක්ෂ දරුවන් විද්‍යාගාරයෙන් ද ගණිතයට දක්ෂ දරුවන් ගණිතාගාරයෙන් ද කලාවට දක්ෂ දරුවන් කලාගාරයෙන් ද සංගීතයට දක්ෂ දරුවන් සංගීතාගාරයෙන් ද විශ්වය දිග්විජය කරවන්නට පෙලඹවීමය. එසේ නැතිව දුවන්නන් වාලේ සියලුම දරුවන් යාන්ත්‍රික අධ්‍යාපන රාමු අභ්‍යන්තරයේ එකම දිශාවට දිවවීම නිෂ්ඵල ක්‍රියාවකි. ඉන් බිහිවන්නේ යාන්ත්‍රික වූ මිනිසුන්ය. ගහක, කොළක, ඉරක, හඳක සැබෑ සෞන්දර්යය නොහඳුනන වල්මත් වූ පරපුරක් දැන් බිහිව ඇත. ඔවුන්ගෙන් සාහිත්‍ය කලාකෙත අස්වද්දන්නේ කෙසේද? ඔවුනට ළමා ජීවිත පවා අහිමිකර ඇත්තේ වැඩිහිටියෝමය. කුඩාම කාලයේ ජංගම දුරකථන අතට ගත් ඔවුහු මනෝරාජික ලෝකවල ජීවත් වෙති. ළමා කාලයේ ක්‍රියාකාරකම් අහිමි ඔවුහු දැන් ළමා වැඩිහිටියෝය. එහෙත් එකල ළමා ලෝකය කෙතරම් සුන්දර දැයි කේ. ජයතිලකගේ මෙබඳු ප්‍රකාශයකින් වුවද උපකල්පනය කිරීමට පුළුවන.

“පාඨශාලාව පිහිටි සෙල්ලම් පිට්ටනියට ඔබ්බෙන් අතු පතර විදහාගත් විශාල කජු ගසක් විය. මේ ගසයට වූයේ මැටි බිමකි. එහි එකද තණ කොළයක්වත් නොමැත. කජු ගසෙන් වැටෙන වියළි කජු කොළ ද දිනපතා අහුලා ඉවත දමනු ලැබුවෙන් පිරිසිදුව පැවැත්තේය. පාසල් එළිමහනේ පන්ති පැවැත්වූයේ මෙතැනය. අපි ඒ ගුරුවරයා වටා වලයාකාරව සිටගෙන කවි හා කතන්දර උගනිමු. ඉන් මේ කවිය කජු ගසම සංකේත කර තැනුවක් වැනි විය.

පුංචි ඇටේ පැළ වෙනා
පුංචි පැළේ ගස වෙනා
පුංචි පුංචි නුවණිනා
පුංචි ළමෝ පඬිවෙනා

මේ පුංචි පැළෑටිය මරණාසන්නව තිබියදී බේරාගෙන වර්ධනයට රුකුල් දෙන ලද්දේ ජයසේකර මහතා විසිනි. මේ පිළිබඳ පහත සඳහන් පුවත මා මෙතෙක් කිසිවෙකුට කියා හෝ කිසි තැනක ලියා නැත. ඊට හේතුව ටිකක් එය මගේ තරමට වැඩි කතාවක් යැයි තවමත් සිතෙන බැවිණි. එය කවදා හෝ කිය යුත්තක් නිසා මෙහි සඳහන් කරමි.

හොඳම නිර්මාණශීලී ගුරුවරයා උත්තම පුරුෂයෙකි. ඔහුට ළමා මනසෙහි පරිවර්තනයක් කිරීම දුෂ්කර නොවේ. කේ. ජයතිලක නම් සිංහලයේ මහා ලේඛකයාට ළමා කාලයේ මුණගැසෙන ජයසේකර මහතා එවැනි උත්තම ගුරුවරයෙකි. ඔවුහු ශිෂ්‍යයන් නිර්මාණශීලී පරිවර්තනයකට පොලඹවති. ජයතිලකයාණෝ ඒ අතීත ගුරු සුවඳ ස්මරණය කරති.” කෘෂිකර්මයට, කර්මාන්තයට හෝ මොනම කලා ශිල්පයකටවත් දක්ෂකමක් මා තුළ නොමැත. එක්තරා අන්දමකට පන්තියෙන් කොන් වී සිටින මම ද සෙසු ළමයින් සමග පන්තියට පැමිණෙමි. කලින් දින භාරදුන් අපේ රචනා සහිත පොතුත් රැගෙන ගුරුතුමා පන්තියට පැමිණෙයි. හරිබරි ගැහී වාඩිවෙන ඔහු එහි උඩින්ම ඇති රචනා පොත අතට ගෙන රැල් බුරුල් අරියි. ඒ මගේ පොතයි. මම සිහින් බියකින් වෙළීයමි.

ඔහු රචනා කියවන්නේ හොඳ නිසාද? දුර්වල නිසාද? ඔහුගේ මුහුණේ පවතින්නේ ප්‍රීතියක් මිස කෝපයක් නොවේ. රචනයේ කිසියම් තැනක එන අදහසක් අවධාරණය කරන ඔහුට “වෙරි ගුඩ් අයිඩියා” යැයි ඉබේටම කියවෙයි. සිංහල පුහුණු ගුරුවරයෙකු වෙතත් ඔහුට බලවත් සතුටක් ඇති වූ අවස්ථාවල මෙසේ ඉංග්‍රීසි වාක්‍යාංශයක් හෝ වචනයක් කියවෙයි. “මෙන්න මේ වගේ තමයි වාක්‍ය රචනා ලියන්න ඕනෑ” ජයසේකර මහතා පන්තියේ මුල්ලක ගුලිවී එහෙත් සතුටින් පිම්බී සිටින මා දෙස බලා පවසති. ඉන්පසු ඔහු මා පන්තියේ ඉදිරියට කැඳවා කියන පුරාවෘත්තයක් ඇත. “සර්, ඩී. බී. ජයතිලක උන්නැහේ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. පුංචි කාලේ උන්නැහෙගේ නම බාරොන්. බාරොන් ඉගෙන ගත්තේ විද්‍යාලංකාර පිරිවෙනේ අධිපති රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවන්ගෙන්. බාරොන් පාඩම් දෙන කොට හාමුදුරුවෝ නිතර කියපු දෙයක් තමයි බාරොන් කවදා හරි මිනිහෙක් වෙනව කියන එක. ඔහු පුංචි මගේ සිරුරේ උඩ සිට පහළට ඇස් දුවවා හිස සලයි. ඒ වගේ අපේ මේ බාරොන් කවදාහරි මිනිහෙක් වෙයි.”

සැබෑ ගුරුවරයාට තුන්කල් විනිවිඳ දක්නා නුවණක් තිබිය යුතුය. ඔහු හොඳ මූර්ති ශිල්පියෙකි. ශිල්ප හදාරන්නට එන ශිෂ්‍යයා මැටි පිඬකට සමානය. මූර්ති ශිල්පියාගේ කාර්යය භාර්යය වන්නේ ඒ මැටි පිඬ ලස්සන මූර්තියක් බවට පත් කිරීමය. රත්මලානේ ධර්මාරාම නාහිමියෝ ද ජයසේකර මහතා ද ඒ කාර්යය මනාව කළ බැවින් අමරණීය වූහ. සර් ඩී. බී. ජයතිලක, කේ. ජයතිලක මෙරට සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් කර අමරණීය වූවෝ වෙති. වර්තමාන ගුරු පරපුරට ද ශිෂ්‍ය ප්‍රජාවට ද ඔවුහු පූර්වාදර්ශයෝ ය.

පසු කලෙක සිංහලේ මහා ලේඛකයා යන විරුදාවලිය ලත් කේ. ජයතිලකයාණෝ ආ මග මෙසේ ආවර්ජනය කළහ. “නූතන සිංහල ලේඛකයන් අතර මා තරම් පහළින් ආරම්භ කළ වෙනත් ලේඛකයෙකු ඇතැයි නොසිතමි. ඒ නිසාම ඉදිරිපත්වූ බාධාවන් මධ්‍යයේ මා ගමන් කර ඇත්තේ මවිසින් පවා බලාපොරොත්තු නොවන තරම් දුරකිනි. ඉතා හෙමින් මේ ගමන නොනවත්වාම තවමත් යන්නේ හෙමිහිටය. නූතන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය දෙස බලන විට සමහරු ඔවුන් සිටින තැන්වල වෙනත් අය විසින් ගෙනවුත් තබන අය වෙති. තවත් සමහර අය එක්කෝ වක්‍ර මාර්ගවලින් නැත්නම් ඍජු මගින්ම සුවපහසු වාහනවල පැමිණි අය වෙති.”

කේ. ජයතිලකගේ “පුංචි පැළේ ගස වෙනා” කෘතියෙහිලා දක්වන මෙම අව්‍යාජ මතක සිතිවිලි කියවන කල රසිකයාගේ ස්මරණයට නැඟෙනුයේ සුප්‍රකට සාහිත්‍යධර රුසියාවේ මැක්සිම් ගෝර්කිය. ගෝර්කි කුඩා කාලයේම මව ද පියා ද අහිමි ළමයෙකි. ඔහුට විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබුණේය. එනිසා ඔහු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ සමාජයේ පහළම තලයක සිටය. ගොර්කි අත්දැකීම් ලබාගත් පහළම සමාජය ඔහු විසින් හඳුන්වනු ලැබුවේ “මගේ විශ්වවිද්‍යාලය” යනුවෙනි. ගෝර්කිට ජීවිතාවබෝධය ද විශ්ව ඥානය ද ලබාදුන් හැටි මේ ආත්මභාෂණයෙන් අවබෝධ කරගත හැකි ය.

“හිමිදිරියේ අරුණට පෙර සිට මැදියම් රෑ වනතෙක් බේකරියෙහි බර වැඩ කිරීමට මට පැවරිණි. එහෙත්… මැදියමින් පසු මම කියවීම හා ලිවීම කළෙමි. ඉගෙනීමට තිබූ ආසාව හා ධෛර්යය නිසාම දිනකට පැය දෙකක නින්දකින් පමණක් මම සෑහීමකට පත්වීමි. කොටින්ම කියතහොත් සෑම දිනයකදීම ප්‍රසිද්ධ ස්ථානයකදී මා නිරුවත් කොට කස පහර සියය බැගින් දීමේ පොරොන්දුව මත මට ඉගැන්වීමට කෙනෙකු යෝජනා කළේ නම් මම එයට එක හෙළාම කැමති වෙමි.”

මෙවැනි අතිදුෂ්කර ජීවිතයක් ගත කරන්නට මැක්සිම් ගෝර්කිට සිදු වුවද කේ. ජයතිලකගේ සමාජ පසුතලය මෙතරම් දුෂ්කර එකක් වූයේ නැත. සහෝදර – සහෝදරියන්ගෙන් පිරුණු පවුලක ඉපදුන කේ. ජයතිලක කුඩා කල සිටම ගුරු දෙගුරුන්ගෙන් අනුග්‍රහ ලැබූවෙකි. එහෙත් ඔහු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට පහළ සිට පැමිණි බව ප්‍රකාශ කිරීමෙන් අදහස් කළේ කිසිවෙකුගේ ලේඛන අනුග්‍රහයකින් තොරව බිම් මට්ටමෙන්ම අවදි වූ බවය. එසේ අවදි වුවද කේ. ජයතිලකට මිය යන තෙක්ම මැක්සිම් ගෝර්කි “අම්මා” නවකතාව ලිවීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයට සමීප වන්නටවත් නොහැකි විය. අදීන චින්තනයකට උරුමකම් කී කේ. ජයතිලක සිංහල සාහිත්‍යයට අගනා ග්‍රන්ථ රැසක් දායා ද කළ ලේඛකයෙකි. නවකතා, කෙටිකතා, ළමා කතා, සාහිත්‍ය විචාර, සිංහල භාෂා ව්‍යාකරණය ආදී විවිධ විෂයයන් යටතේ රචනා කළ ග්‍රන්ථ ද විවිධ සංස්කරණ ද ඒ අතර වෙයි. පෙර අපර දිග සාහිත්‍යය ද පැරණි සාහිත්‍යය ද නූතන සාහිත්‍යය ද විශ්ව සාහිත්‍යය ද ඔහු ගැඹුරින් හදාළේය. අදීන නිවහල් චින්තනයකට උරුමකම් කී ඔහු ප්‍රඥාවෙන් දැල්වී සිටියේය. ඒ නිසාම ඔහු කැලණිය විශ්විවද්‍යාලයෙන් ද ජයවර්ධනපුර විශ්වවිද්‍යා
 ලයෙන් ද සාහිත්‍යයට කරන ලද සේවාව වෙනුවෙන් සම්මාන, ආචාර්ය උපාධි ද්විත්වයකින් පිදුම් ලැබුවේය. ඒ කවර තත්ත්ව යටතේ වුවද ඔහුගේ සිතෙහි වූ මහා ගැමියා ඔහු හැර නොගියේය. එකල ලංකාවේ සිංහල ගැමි සාහිත්‍යය බැබළ වූ මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර හැරුණු කොට අනන්‍යතාවක් ඇති අනෙක් ලේඛකයා කේ. ජයතිලකය. අමරසේකරත්, වික්‍රමසිංහත් ස්වකීය සාහිත්‍ය ග්‍රන්ථ මගින් නිරූපණය කළේ ලංකාවේ දකුණු පළාතේ ගාලු දිශාවේ ගම් කිහිපයකි. වඩාත් ප්‍රබලව නිරීක්ෂණය කර බැලුවේ නම් එය සිංහල සංස්කෘතියේ සැබෑම ගම ද යන ගැටලුව ඇතිවේ. සිංහල සමාජ සංස්කෘතියේ සාධනීය හා නිෂේධනීය අංග නිරූපණය නොවන ස්වභාවය ඒ සාහිත්‍ය නිර්මාණවලින් පෙනේ. එහෙත් කේ. ජයතිලකගේ කෙටිකතාවල මෙන්ම නවකතාවල ද සිංහලයේ නියම ගම නිරූපණය වන බව කිව යුතුය. ඒ ගම්වල ජීවත්වූ ගැමියන්ගේ ප්‍රබලතා ද දුබලතා ද දුප්පත්කම, නැති බැරිකම නිසා සිදුවන ව්‍යසනය ද කේ. ජයතිලක ඔහුගේ කෘති මගින් නිරූපණය කරන අපූර්වත්වය “චරිත තුනක්”, “පුංචි රාළ”, “පරාජිතයෝ”, “අප්‍රසන්න කතාවක්”, “දෙලොවට නැති අය” වැනි කතා නිරීක්ෂණය කිරීමෙන් පෙනේ. ඔහු 1966 දී රචනා කළ “පිතාමහ” නවකතාවේ එන මේ වාසගම හොඳින් නිරීක්ෂණය කර බලනු වටී.

“නැගිටි පාන්දරින් වහලයට ගොඩවුණු තාත්තා එහි මුදුන ගලවාදමා දකුණු පයේ විළුඹින් මැඩ මැඩ රීප්පවල බැඳ තිබුණු පරණ පොල් අතු එකිනෙක සිඳලන්නට විය. ඔහු විසින් බැම්මෙන් මුදන ලද කාලය විසින් මස් කා නාරටි මතු කරනු ලැබූ මහලු පොල් අතු එක මත එක ගොඩ ගැසෙමින් පහළට තල්ලු වෙයි. තනි ගොඩක රැඳී සිටීමට නුපුළුවන් තරම් අතු පොදියක් වහල ඇලයේ ගොනුවූ විට ඒ සියල්ල සූටවා විත් බිම ඇද වැටෙයි. තාත්තා එක් පලයක් පමණ නිසෙවිලි කළ ඉක්බිති වහලයට නැඟුණු අයියා ද තාත්තා සමග හරි හරියට වැඩ කිරීමට උත්සාහ කළේය. යෞවනත්වය විසින් දෑත වනා සාදරයෙන් කැඳවනු ලබන්නකු වුවත්, අයියාට තවම තාත්තාට අලගු තබන්නටවත් නොහැකිය. වහලය මත දිගාවීමට මෙන් දෑතින් රීප්ප අල්ලාගෙන ප්‍රවේසමෙන් පය ඔසව ඔසවා ඔහු පොල් අතු බැන්දේ තාත්තා සමග සමකර බලන විට හත් දොහකින් කැඳ නොලද්දකු මෙනි.”

මාර්ටින් වික්‍රමසිංහගේ “විරාගය” නවකතාවෙන් පසුව කේ. ජයතිලක රචනා කළ පරාජිතයෝ (1960) “අප්‍රසන්න කතාවක්” (1962) “චරිත තුනක්” (1963) “දෙලොවට නැති අය” (1964) යන නවකතාවන්හි එන ප්‍රධාන චරිත, “විරාගයේ” අරවින්ද මෙන්ම පරාජිත චරිත යැයි විචාරකයෝ කීහ. එය අසත්‍යයකි. අරවින්දගේ චරිතය විග්‍රහ කළ ඇතැම් විචාරකයෝ අරවින්ද නිෂ්ක්‍රීය, අක්‍රියකාරී, අජීවී, අපිස් ජීවිත ගත කරන පරාජිත පුද්ගලයෙකු යැයි කීහ. සැබැවින්ම පරාජිත, ජයග්‍රාහී වශයෙන් මිනිස් චරිත විභේදනය කළ හැකි ද? තණ අග දිය බිඳුවක් සේ තත්ක්ෂණයෙහි විනාශයට පත් වන මිනිස් ජීවිතයට දුක සැප දෙකම උරුමය. කිසිම මනුෂ්‍යයෙකුගේ ජීවිත මුළුමනින්ම තෘප්තිමත් නැත. සමහරු ජීවන අරගලයෙහි යෙදෙමින් මරණය දක්වාම දුක්ඛිත ජීවිත ගත කරති. සියලු සැප සම්පත් තාවකාලිකය. හැමටම අවසානයේදී ගෙවන්නට සිදු වන්නේ දුක් පිරුණු ජීවිතය. සියලු සැප සම්පත් බහුලව තිබුණු පමණින් මිනිස්සු අපරාජිතයෝ නොවෙති. සියල්ල අහිමිවූ පමණින් පරාජිතයෝ ද නොවෙති. මිනිසා මෙලොවට එන කල ගෙනා කිසිම දෙයක් නැත. මෙලොවින් යන කල කිසිම දෙයක් ගෙන යන්නට ද නොහැක. යමක් ගත්තේ ද මෙලොවින්මය. යමක් දුන්නේ ද මෙලොවටම ය. තත්ක්ෂණයෙහි සියල්ලම වෙනස්වීමට පුළුවන. ලෝක ස්වභාවය එයයි.

මාර්ටින් වික්‍රමසිංහගේ විරාගයෙහි අරවින්ද, කේ. ජයතිලකගේ පරාජිතයෝහි උදේනි, අප්‍රසන්න කතාවේ පාල, චරිත තුනක්හි ඉසා ආදී චරිතවල අනන්‍යතාව සැබෑ ලෙසම හඳුනාගැනීමට කේ. ජයතිලක 1963 රචනා කරන ලද “සාහිත්‍ය විචාර සටහන්” කෘතියෙහි එන මෙම වාසගම වැදගත් වනු ඇත. “වර්තමාන නවකතාවල එනුයේ පරාජිත කලකිරුණු උදාසීන නිෂ්ක්‍රීය චරිත යැයි සමහරු චෝදනා කරති.” වර්තමාන ලාංකීය සමාජය එක්තරා පරිවර්තන අවස්ථාවක පවතිතැයි කියනු ලැබේ. “මේ අවස්ථාවේ සමාජයේ සිටින ක්‍රියාශීලී යයි ගැනෙන පුද්ගලයන් ස්වකීය ජීවිත පරමාර්ථය හැටියට සලකනුයේ මොනවාද? මත් වීමකින් ඔවුන් තරගයට දුවගෙන යන්නේ කවර ඉලක්කයන් කරාද? එකක් ධනයය. අනෙක බලයය. තවෙකක් ප්‍රසිද්ධිය ය. ධාවන මතයෙන් පුහු ඉලක්ක කරා දුවන ජනතාව විසින් එකතැන සිට නිවී සැනසිල්ලේ යමක් කිරීමට උත්සාහ කරන ඔවුන් (එනම් නිෂ්ක්‍රීය ලෙස ලේබල් ගසනු ලබන්නන්) මාර්ගයෙන් ඉවතට ඇද දමා ඇත. පරීක්ෂාකාරීව සමාජය දෙස බැලුවොත් අද උසස් යමක් කිරීමට උත්සාහ කරන හැම දෙනාටම මුහුණදීමට සිදුව ඇති බාධක විශාලය. මෙබඳු අවස්ථාවලදී එක්තරා උදාසීනකමක් පරාජිත හැඟීමක් ඔවුන් තුළ මතුවීම ස්වභාවිකය. (සාහිත්‍ය විචාර සටහන් – 1963, 133 පිටුව)

ජයතිලකගේ මේ අදහස් ප්‍රතික්ෂේප කරන විවාදාත්මක ලිපියක් 2003 වර්ෂයේදී එච්.එම්. මොරටුවගම සංස්කරණය කළ “කේ. ජයතිලක නිර්මාණ විචාරය” කෘතියට මහාචාර්ය ඒ.වී. සුරවීරයන් විසින් “කේ. ජයතිලක සහ වල්මත් වූ චරිත” යන ශීර්ෂය යටතේ ඇතුළත් කරන ලද ලිපිය හැමගේ අවධානයට ලක් වූවකි. එහිදී සුරවීරගේ ඇතැම් විවේචනාත්මක කරුණු ද ජයතිලකගේ වචනයෙන් ම කිවහොත් නිෂ්ක්‍රීය වේ. කේ. ජයතිලකගේ “චරිත තුනක්” නවකතාවේ එන ඉසාගේ චරිතය හොඳින් නිරීක්ෂණය කළේ නම් ඔහු කියන “උසස් දේවල් හඳුනා ගැනීම දුෂ්කර නොවේ. ඉසා මුළු ජීවිත කාලයම පවුලේ යහපත වෙනුවෙන් කැප කරන්නෙකි. ඔහු හැඟීම් ආශාවන් ඇතත් ඒවා මැඬගෙන ජීවත්වන්නේ තම පවුලේ ආර්ථික දුෂ්කරතා ජයගෙන යහපත් ජීවිතයක් අනාගතයේ උදාකර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. තාත්තා නැති පවුලක සියලු වගකීම් කරට ගෙන තම මවට, නැගණියට, රංජිත් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉසා උසස් යමක් කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකි.

නවකතාවෙන් මෙන්ම කෙටිකතාවෙන් ද උසස් සේවයක් කිරීමට පෙලඹුණු කේ. ජයතිලක හැටේ දශකයට පෙර සිටම සිංහල කෙටිකතාවේ විකාශනයට දායක වූයේය. එහෙත් කෙටිකතාකරුවකු ලෙස ඔහු අනන්‍යතාවක් ගොඩනඟා ගත්තේ 1971 දී ප්‍රකාශයට පත් කළ “එකගෙයි අවුරුද්ද” කෘතියෙනි. පුළුල් ජීවිතාවබෝධයකින් යුතුව අත්දැකීම් පරිකල්පනය කිරීමට ඔහු පැසුණු බුද්ධියකින් යුතුව සිටියේය. “අම්ම”, “එකගෙයි අවුරුද්ද”, “ආවර්තනය”, “රෝහිණී”, “පරිත්‍යාගය”, “අවතාරය”, “ව්‍යාඝ්‍රයා සහ හිවල් පැටව්”, “ඇමෙරිකාව ලංකාව හා සෙනෙහස”, “අනුන් කියූ කතාවක්” යන හිසින් රචිත කතා නවයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. අපූර්ව අත්දැකීමක් විෂයය කරගත්, උචිත කථන ක්‍රමයකින් සිදුවීම් හා චරිත ගොඩනංවා ඇත. මෙහි අන්තර්ගත තරමක් උසස් කෙටිකතාවක් ලෙස සැලකෙන “එකගෙයි අවුරුද්ද” “එකගෙයි කෑම” හෙවත් බහුපුරුෂ සේවනය නමැති කාමසම්භෝග චාරිත්‍රය සිංහල අවුරුදු උත්සවය මූලික කරගෙන ගැමි නිවසක පවුල් සංස්ථව හා බැඳි පුද්ගල සම්බන්ධතා සියුම් කලාත්මක විඥානයකින් ඉදිරිපත් කරන කෙටිකතාවකි. ස්වාධීන කෙටිකතා රීතියක් ගොඩනංවා ගැනීමට ඔහු දැරූ ප්‍රයත්නය “එකගෙයි අවුරුද්දෙහි” එන කෙටිකතා දෙක තුනකට පමණක් සීමා වූ බැව් පෙනේ. එහෙත් “එකගෙයි අවුරුද්ද” කතා සංග්‍රහය මගින් ඔහු දැමූ පදනම වඩාත් ශක්තිමත් ලෙස ගොඩනඟා ගැනීමට සමත්වූ අයුරු “නොනිමි සිත්තම” (1984) කතා සංග්‍රහයෙහි අන්තර්ගත “එය සත්‍යයකි” නමැති කතාව හැරුණු විට සෙසු සෑම නිර්මාණයකින්ම ප්‍රකට වනු ඇත. “අපට වැසිකිළියක්” නමැති කතාව සිංහල ගැමි සංස්කෘතිය සුදු කැන්වසයක් මත සිත්තම් කළ අපූර්ව කෙටිකතාවකි.

● ආචාර්ය මහේෂ් ක්‍රිෂාන්ත

ඡායාරූප – හර්ෂණ ජයතිලක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ඒ සමාජ – දේශපාලන අරගලයෙන් බිඳක්

අතිරේක මීවිත

ලකාගෙ වැඩවල මට හම්බවුණේ දුවන්නමයි… – අංජන ප්‍රේමරත්න

අතිරේක මීවිත

ආලවන්ත වීදියේ සින්දු ලියන දොස්තර…

අතිරේක මීවිත

අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok