සුදු මහත්වරුන්ගෙ කටේ තිබුණෙම ලෙස්ටර් මහත්තයගෙ නම
කුසුම් හැමදාම ජීවමානයි

1978 වසරේදී සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් නිෂ්පාදනය කළ ගැහැනු ළමයි සිනමා පටය අදටත් ලාංකීය සිනමාවේ නොමැකෙන සලකුණක් ලෙසින් හැඳින්වේ. 78 වැනි Cannes සිනමා සම්මාන උළෙලේදී ගැහැනු ළමයි සිනමාපටය ප්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලැබීය. එය ශ්‍රී ලාංකීය සිනමාවේ රන් අකුරින් සටහනක් තැබිය හැකි දුර්ලභ අවස්ථාවකි. මෙම අවස්ථාව සඳහා ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ වසන්ති චතුරාණි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද සමගින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සහභාගි වූහ.

Cannes සිනමා සම්මාන උළෙලේ රතු පලස මතින් ගමන් කළ පළමු ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනිය ලෙස වාර්තා අතරට එක්වුණු වසන්ති චතුරාණි ලද අවස්ථාව ගැන ‘මීවිත’ පාඨකයන්ට මෙලෙස පැවසුවාය.
සිංහල සිනමාව ජාත්‍යන්තර ඇගැයීමකට ලක්වුණා. මේක පෞද්ගලිකව කාටවත් ලද අවස්ථාවක් නොවේ. සිංහල සිනමාව තමයි ඇගැයීමට ලක් කළේ. ඒකට අපි ස්තූතිය පිරිනමන්න ඕනෑ, සුමිත්‍රා පීරිස් මැතිනියට වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට. සුදු මහත්වරුන්ගේ කටේ තිබුණේම ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන නම. එතැනින් එහාට කෙනෙක් ඒගොල්ලො ලංකාවේ අඳුරන්නේ නෑ. ලෙස්ටර් මහත්තයාව අපේ රටේ මිනිස්සු අගයන්නේ නෑ.

ජීවිතයේ තමුන්ට යම්කිසි ජයග්‍රහණයකට යන්න තිබෙනවා නම් ඒකට ඉබේම තල්ලු වෙනවා. අපිට ඒක බලෙන් ලබාගන්න බැහැ. ස්වභාවදහමෙන් තමයි අපිට ඒ දේවල් ලබාදෙන්නේ. ඒක තමයි මගේ විශ්වාසය. ඉතිං එතැනට මාව තල්ලු වුණා.
Cannes උළෙලේ තිබුණ තවත් ලොකු විශේෂත්වයක් තමයි ඒගොල්ලෝ හරියට කාන්තාවන්ට ගරු කරනවා. ලංකාවේ අතිදක්ෂ නිර්මාණශීලී නවකයන් බිහිකරපු එයාගේ නවතම චිත්‍රපටය සහ නිෂ්පාදනය. එතකොට එයාටත් දක්ෂතාව නිකම්ම නෙමෙයි එන්නේ. එයා ඒක රටවල් රැසකට ගිහිල්ලා ප්‍රගුණ කරලා තිබෙනවා. ඒ ලබාපු දැනුම තමයි ගැහැනු ළමයි අධ්‍යක්ෂණය කරන්න උපයෝගි වුණේ. ඇය ලංකාවේ දැනුමෙන් පරිපූර්ණ වූ අධ්‍යක්ෂවරියක් කියන ඇගැයීම තමයි එම උළෙලේ දී සිදුකළේ. එතකොට බලන්න ඒ මිනිස්සු කොයිතරම් දියුණු ද කියලා.

ඒ කාලේ ගැහැනු ළමයි චිත්‍රපටය නරඹපු අපේ සමකාලීනයන් අදටත් සිටිනවා. ඔවුන්ගෙත් අද වෙනකම් ඒ චිත්‍රපටය ගැන පුදුම කැමැත්තක් තියෙන්නේ. කුසුම්ගේ චරිතයට ඒ තරම් ආදරෙයි. මම අලුතෙන්මනේ ආවේ. චරිතය තුළ ජීවත් කරවපු විදිහ මටවත් හිතාගන්න බැහැ.
කුසුම්ගේ චරිතය මගේ ජීවිතයේ ජයග්‍රාහී එක පැත්තක්. අපි කෑන්ස් සිනමා උළෙලේදී ෆිල්ම් එක බැලුවා. කුසුම් මාව කෑන්ස් සිනමා උළෙලටත් එක්කගෙන යනවා. මම ඒ සතුට බොහොම නිහතමානීව තමයි භුක්ති විඳින්නේ. ඒ ලද අවස්ථාව තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕනෑ නිහතමානීව විඳගන්න. එහෙම වුණහම තමයි අපිට මේ ගමන යන්න පුළුවන්.
අද වෙනකොට ඔබ බොහොම නිහඬව නේද කාලය ගත කරන්නේ?
නිහඬවෙලා නැහැනේ. මෙහෙමයි, මගේ එක ප්‍රතිපත්තියක් තියෙනවා. මම ජනප්‍රියත්වය පිටිපස්සේ හඹා යන්නේ නෑ. ජනප්‍රියත්වය අපේ පස්සේ හඹා එන්න ඕනෑ. දැන් මම නිහඬවෙලා හිටපු එකේ ප්‍රතිඵලයක් නැත්ද? අනික මට මේ ලද අවස්ථාව වුණත් මම හඹාගිහිල්ලා නෙමෙයි ගත්තේ.
කෑන්ස් උළෙලේදී චිත්‍රපටය නැරඹුවහම මොකද හිතුණේ?
මට හිතාගන්න බෑ චිත්‍රපටය නැරඹුවේ ප්‍රංශයේ මිනිස්සු සමගයි. ඒගොල්ලෝ අත්පුඩි ගැහැව්වා විනාඩි 20කට වැඩිය. අදටත් ඒ චරිතය නරඹලා මිනිස්සු අත්පුඩි ගහනවා කියන්නේ තව වෙන මොන කතාද? කුසුම් හැමදාම ජීවමානයි. සුමිත්‍රා පීරිස් හැමදාම ජීවමානයි. මේ අවස්ථාවට මගෙත් එක්ක අජිත් ජිනදාසත් ශ්‍යාමා ආනන්දත් චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැවත් සහභාගි වුණා. චිත්‍රපටයේ රඟපෑ අපි තුන්දෙනාටම වාසනාව තිබුණ කෑන්ස් යන්න.
නමුත් අපි මේ චිත්‍රපටය කරන කාලෙ පොඩි ළමයි. අපි තුන් දෙනාටම අවුරුදු පහළොවක් විතර ඇති. ඉතිං අපි හීනෙන්වත් හිතුවේ නැහැනේ එදා ඒකේ රඟපානකොට අද මෙහෙම වෙයි කියලා. ඉතිං ඒ ගැනත් අපි තුන්දෙනා කතාබහ වෙලා සතුටු වුණා. ජීවිතයේ විවිධ හැරවුම් ලක්ෂ්‍යයන්ට ගලාගෙන යනවා.
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් විදිහට වර්තමාන සිනමාව පිළිබඳ මොනවගේ කියැවීමක් ද ඔබට තියෙන්නේ?
දැන් විවිධ අධ්‍යක්ෂවරු බිහි වෙනවා. මම ආසයි එයාලා මේක ගැන දැනුවත් වෙලා ඒ දේවල්වලට අතගහනවා නම්. එකඑක්කෙනාගේ මිල මුදල් නිකරුණේ නාස්ති කරන්නේ නැතිව, හරි හැදෑරීමකින් යුතුව මේක කරන්න. නැතිනම් නිෂ්පාදකවරු අමාරුවේ දාන්න හොඳ නැහැ. මම හොඳටම දකිනවා වුවමනාවට වැඩිය මිල මුදල් වියහියදම් කරනවා. ඒකේ ඇති සාර්ථකත්වයකුත් නැහැ. එතැනදී තියෙන්නේ හොඳ අවබෝධයක් නැතිකම. මොනිටර් එකක් තියෙන නිසා එයාලා හිතනවා එතැනින් බලලා ඇක්ෂන් කට් කිව්වාහම හරි කියලා. එහෙම නෙමෙයි, ඒක තුළ තිබෙනවා ගොඩාක් ලොකු වර්ක් ෂොප් එකක්. සාමුහික වැඩක්. මට ඇත්තටම අද හිතෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා මේ වෙලාවේ ඉන්න ඕනෑ කියලයි.
වර්තමාන පරපුරෙත් කතාබහ වෙන්නේ එදා ඔබලා රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන නේද?
ඒක තමයි මම කිව්වේ, දක්ෂයෝ නැහැ කියලා. ඒගොල්ලන්ට අනෙක් අයත් එක්ක වැඩ කිරීමේ අවස්ථාව නැහැ. ඔවුන් හිතන්නේ මේක තමයි සිනමාව කියලා. මේක තමයි රඟපෑම කියලා. මේක තමයි විදිහ කියලා. නෑ… මේක නෙමෙයි විදිහ. මේක වැරදියි. අලුත් අයත් එක්ක වැඩ කරන කොට මට හරි දුකයි. මොකද තේරෙනවා ඔවුන්ට නොතේරෙන පැති ගොඩක් තිබෙනවා කියලා. මට ඒ වෙලාවට හිතෙන්නේ අනේ අර ඉස්සර ඩී.බී. නිහාල්සිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර වගේ අය අදටත් හිටියා නම් මේ ළමයින්ට කියලා දෙන්න කියලවත් කියයි කියලයි මට හිතෙන්නේ. ඇත්තටම මේ රටේ සිනමාවක් පවතින්න එපායැ. ඒක ඉහළට යනවා දකින්න මම ආසයි.
දිනේෂ් විතාන