පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථයට මොකද මේ වෙලා තිබෙන්නේ? පින්වත, අතීතයේ මනුෂ්‍යත්වයේ සුදු පැහැයට අයිතිව තිබූ ආදරය, වර්තමානයේ රාගයේ රතු පැහැයේ ගොදුරු බිමක් වෙලා. පින්වත, වර්තමාන ආදරයට ඉවසීම නැහැ. පින්වත, ඉවසීම නැති ආදරය රාගයේ ඉඳුල් කඩක්ම වෙනවා. පින්වත, අධර්මිෂ්ඨ පාලක පින්වතුන්ලා අතින් රටක ආර්ථිකය කඩා වැටෙන කොට, රටක ණය බර වැඩි වෙන කොට, හැදියාවට, විනයට, සදාචාරයට, ශීලාචාර මනුෂ්‍ය ධර්මයන්ට දෙපයින් නැඟී සිටින්නට බැහැ. පින්වත, මේවා සද්ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයෝ මයි. පින්වත, මෙහෙව් සමාජයක කෙලෙසක නම් ආදරය මනුෂ්‍යත්වයේ සුදු පැහැයෙන්ම පවතින්න ද? පින්වත, රටේ කුසගින්නෙන් පීඩිත ආර්ථිකයට පින් සිද්ධ වෙන්න, අවිචාරයෙන් අයාලේ යන රටේ ව්‍යාපාරික ලෝකය, ආදරයේ, ආදරණීය මනුෂ්‍යත්වයේ බැඳීම්, අහිංසක ආදරයේ සුදු පැහැය මත, රාගයේ රතු පැහැය තවරලා ඇතෙක් බරට ලාභ සොයනවා. පින්වත, තරුණවියේ දීම සෝවාන්ඵල අවබෝධයෙන් සැනසුණ නකුල පියාගේ ආදරය, භවයෙන් භවය පටිච්චසමුප්පන්නව ප්‍රාර්ථනා කරපු ආදරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
“නකුල, සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා දෙදෙනාම සමව පුහුණු කරන්න. ඔබලා ඊළඟ භවයේදීත් ආදරණීයව මුණගැසේවි” කියලා. පින්වත, තෘෂ්ණා පච්චයා උපාදානයෝ අපේ ආදරණීය බැඳීම් භවයට දිගේලි කොට දෙනවා. පින්වත, කකුල් කඩා ගත්ත ආර්ථිකයක් හිමි අපිට කෙසේ නම් ඊළඟ භවයක් ගැන විවේකීව සිතන්න ද? පින්වත, අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාව රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයට මුවා වෙලා ආදරයේ නාමයෙන් අපිව විකුණනවා, අපි කෙටි ආස්වාදයෙන්ම විකිණෙනවා. පින්වත, ආදරයේ පීඩිත රාගයේ රතු පැහැය, මනුෂ්‍යත්වයේ දංගෙඩිය මත කෙටි ආස්වාදයේ, දීර්ඝ ආදීනවයන්ට තරු පහේ ආහාර සොයනවා.

පින්වත, රටක ජාතික ධනය සොරකම් කරනවාට වඩා, රටක ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කිරීම ගොඩාක් විනාශකාරී වෙන්න පුළුවන්. රටක ජාතික ධනය සොරකම් කළොත්, රට ආර්ථික අතින් බංකොළොත් වෙන්න පුළුවන්. පින්වත, රටක ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළොත්, රටේ ආර්ථිකය විතරක් නොවේ, මනුෂ්‍ය සමාජයේ මානසික නිදහසත් අනතුරට පත් වෙන්න පුළුවන්. පින්වත, බලය කෙරෙහි කෙටි ආස්වාදය, විනාශය කෙරෙහි දීර්ඝ ආදීනවයක් නොකර ගන්නට අපි වගබලා ගන්න ඕනේ. පින්වත, අවිද්‍යාවෙන් උපදින අකුසල් සංස්කාරයෝ, තට්ටු මාරු ක්‍රමයට අපිට දැනීම් ඔස්සේ මායාකාරී මැජික් පෙන්වනවා. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් තීව්‍රභාවය නිසාම, සංස්කාර මැජික් සන්දර්ශනයෝ අපි දකින්නේ ආත්මීය දෘෂ්ටියෙන් මයි. පින්වත, සංස්කාර මැජික් සන්දර්ශනයෝ අපි ආත්මීය දෘෂ්ටියෙන් දකිද්දී, අපේම ජීවිත තුළින්, අපි අවිද්‍යාවට සැඟවී සිටින්න පංචනීවරණ බන්කර් තනා දුන්නා වෙනවා. පින්වත, සමාජය තුළ වරෙක ජාතික ධනය සොරකම් කිරීමේ අකුසල් සංස්කාර මැජික් සන්දර්ශනයෝ නරඹන අපි, තවත් වරෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කිරීමේ අකුසල් සංස්කාර මැජික් සන්දර්ශනයෝ නරඹනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණ මැජික් සන්දර්ශන වේදිකාව, අපි හැමෝම ඉදිරියේ විවෘතව බැබලුණත්, මේ තට්ටු මාරු සංස්කාරයන්ගේ සැබෑ වගඋත්තරකරුවා වන අවිද්‍යාව හැමදාමත් සැඟවුණ අමුත්තාම වෙනවා. පින්වත, සංස්කාරයන්ගේ පදයට නටන විඤ්ඤාණයේ තට්ටු මාරු මැජික් සන්දර්ශන වේදිකාව, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් කඩා බිඳ දමන්න. එවිට අවිද්‍යාව ඔබේ විදසුන් නුවණ ඉදිරියේ නිරුවත් වේවි. පින්වත, එතෙක් අපිට උරුම සංස්කාර ලෝකයට රැවටීම මයි.
පින්වත, ලෝකයේ යුද උණුසුම වැඩියි නේද? පින්වත, යුද උණුසුම යළි හට නොගන්නම නිරෝධය කළ උත්තමයෝ වැඩ සිටින්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ පමණක් මයි. පින්වත, තෘෂ්ණාවේ ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ නිරෝධය කළ උන්වහන්සේලා, යුද උමතුව නිවා දමලයි වැඩ සිටින්නේ. පින්වත, යුද්ධ කරන්නේ අවි ආයුධ නොවේ, මනුෂ්‍යයාගේ තෘෂ්ණාවයි. පින්වත, යුද්ධය ස්ථානගත වී තිබෙන්නේ, මහ පොළොව මත නොවේ, මනුෂ්‍යයාගේ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම් තුළයි. පින්වත, කෙලෙස් ගැඹුරු ලෝකයක ස්වාක්ඛාත වූ සරල දහමක්, කුමක් නම් කරන්න ද? පින්වත, යුදබිම්වල මහ පොළොව, විනාශයේ මිනී අළුවලින් වැසී ගියත්, ඒ මිනී අළු මතින් ලෝකයාට හඬගා කියන පරම සත්‍යයක් තිබෙනවා. ඒ උත්තරීතර පරම සත්‍යය තමයි, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව, තෘෂ්ණාව යැයි කියන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල් ම ආර්ය සත්‍යය. පින්වත, විනාශයේ ගිනි ජාලා මතින්, ඒහිපස්සිකව විවෘතව ප්‍රකට වන්නේ, අශ්‍රද්ධාවේ ලෝකය ප්‍රතික්ෂේප කළ, උතුම් ශ්‍රී සද්ධර්මයේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන පූජනීය අර්ථය මයි. පින්වත, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් සහ උතුම් සීලයේ අර්ථයන්, පාළුවට ගිය පාළු ගෙවල්වල, මිථ්‍යා දෘෂ්ටිය අකුසලයේ වළං බිඳීම හේතුඵල ධර්මයෝ මයි. පින්වත, තෘෂ්ණාවෙන් වියරු යුදබිම් දෙස නොව, ඔබ දෙස ඔබ සිහිනුවණින් බලන්න. පින්වත, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පින්වත, වියරු යුද ගිනි මැද, පින්වත් ඔබ නිවුණ මිනිසෙක් වෙන්න. පින්වත, උපදින විදර්ශනාමය පිනෙන්, දස දිශාවේම සත්ත්වයන්ට මෙත් වඩන්න.
පින්වත, තමන්ට පහර දුන්නාය කියලා පෙරළා පහර දෙන්න යන මනුෂ්‍යයෝ මොනතරම් නම් සිටිනවා ද? පින්වත, තමන්ට බැන්නාය කියලා පෙරළා බනින්න යන මනුෂ්‍යයෝ මොනතරම් නම් සිටිනවා ද? පින්වත, ඔබෙන් පළි ගත්තාය කියලා, පෙරළා පළි ගන්න යන මනුෂ්‍යයෝ මොනතරම් නම් සිටිනවා ද? පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය අපි නොදන්නා නිසාම, අපි අවිද්‍යාවට පහර දෙනවා, අපි අවිද්‍යාවට බණිනවා, අපි අවිද්‍යාවෙන් පළි ගන්නවා. පින්වත, අවිද්‍යාව ආත්මීය දෘෂ්ටියෙන් වැසී තිබෙන නිසාම, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ නොමනා වේගයකින් පෙරළා සැඟවුණ අවිද්‍යාව ම පෝෂණය කරනවා. පින්වත, කුසල් වේවා, අකුසල් වේවා සංස්කාරයෝ වංචාවක්, ප්‍රෝඩාවක්, ඇස්බැන්දුමක්. සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් කියලා දෙනවා, සංස්කාරයන්ට අසිහියෙන් බැඳෙන්න එපාය කියලා. පින්වත, සංස්කාරයන්ට අසිහියෙන් බැඳී යන මොහොතක් පාසා අවිද්‍යාවට වර්ණය, සැපය, බලය ම ලැබෙනවා. පින්වත, අවිද්‍යාවට සීල විශුද්ධියෙන්, චිත්ත විශුද්ධියෙන් සහ දිට්ඨි විශුද්ධියෙන් ප්‍රතිකාර කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ගේ “කොඳු නාරටිය” බවට පත් වෙන්නේ, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන දැක්ම මයි. පින්වත, පැවිදි ශ්‍රාවකයාගේ “කොඳු නාරටිය” බිඳී ගියොත්, උන්වහන්සේ, පෙරළා වැටෙන්නේ අවිද්‍යාවේ රෝද පුටුවට මයි. පින්වත, අපි තවමත් පටිච්චසමුප්පන්න සංස්කාරයෝ විසින් තල්ලු කරන අවිද්‍යා රෝද පුටුවේ නේද වඩින්නේ? පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොදැනීම අවිද්‍යාවේ හැඩරුවයි. පින්වත, පින කෙරෙහි ලෝභ සිත යැයි කියන්නේ, සංස්කාර කැඩපතින් අවිද්‍යාවේ මුහුණ බැලීම මයි.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයට තවදුරටත් රැවටෙන්න එපා. රූප, වේදනාවෝ, සඤ්ඤාවෝ, සංස්කාරයෝ, විඤ්ඤාණ ධර්මයෝ සැපයි, සුභයි, නිත්‍යයි කියලා අවිද්‍යාව අපි හැමෝටම රාජකීය බොරුවක් කරන්නේ. පින්වත, රාජකීය බොරුවලට රැවටෙන්න අපි ගොඩාක් දක්‍ෂයි නේද? පින්වත, කාමයේ සහ රූපයේ පුංචි ආස්වාදයක් නම් තිබෙනවා, ඒ කතාව බොරුවක් නම් නොවේ, ඒ කතාව සැබෑ දහමක්. ඒත් ඉතින් අවිද්‍යාව පාරම්බාන නිත්‍ය වූ සැපය නම් රාජකීය බොරුවක් මයි. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය පෙරළ, පෙරළා සෙව්වත්, පින්වත් ඔබට හමුවන්නේ අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාව පමණක් මයි. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධයෝ, ඒ කියන්නේ ඔබේ සහ අනුනගේ ජීවිත, සිහිනුවණින් පෙරළ, පෙරළා බලන්නකෝ. තෘෂ්ණාවෙන් තොර දෙයක් ඔබට දකින්නට ලැබෙනවා ද? මෙය සටහන් තබන භික්ෂුව නම් විවේකීව සිටින විට භික්ෂුවගේ සහ අනුනගේ ජීවිත සිහිනුවණින් පෙරළ, පෙරළා බලනවා. පින්වත, තෘෂ්ණාව හැර වෙන දෙයක් නම් භික්ෂුවට හමුවෙලා නැහැ. පින්වත, ඔබ පංච නීවරණයන්ට විවෘත පින්වතෙක් නම්, ඔබ කියන්න පුළුවන් තමන්ට ආදරය හමුවුණාය කියලා. තවත් පින්වතෙක් කියන්න පුළුවන් තමන්ට මෛත්‍රිය හමුවුණාය කියලා. පින්වත, අවිද්‍යාව හරිම දක්‍ෂයි තෘෂ්ණාවේ ඇඳුම උඩින් පාට පාට විකට ඇඳුම් පොඩි අන්දවන්න. පින්වත, රාජකීය බොරු කරන අවිද්‍යාවට රැවටෙන්න එපා. පින්වත, ඔබට හමුවූ ආදරයේ සහ මෛත්‍රියේ ඇඳුම් ගලවා බලන්න, එවිට සක්සුදක් සේ තෘෂ්ණාව ඔබට හමුවේවි.
පින්වත, වෙසක් පොහොයත් ගෙවී ගියා, පින්වත් පොසොන් පොහොයත් ගෙවී ගියා. ඔන්න ආයෙමත් තවත් සතියකට පමණ පසුව පුණ්‍යවන්ත වස්සානයක් උදා වෙනවා. පින්වත, තිරිසන් සතුන් පවා සෙවණකට, කූඩුවකට ගාල් වෙන වැසි සමය නොකැඩෙන පුණ්‍ය නිධානයන්ට මතකය අවදි කොට දෙනවා. පින්වත, අතීතයේ වගේ නොවේ, අපේ කාලයේ නම් අවුරුද්දෙන් තුන් කාලක්ම වහිනවා. වැස්ස අපේ ජීවිතවලට සින්න වෙලා වගේමයි. පින්වත, වර්තමානයේ අකාලයේ අවිචාරයෙන් වැස්සත්, අහිංසක වැහි වළාකුළුවලට චෝදනා කරන්න නම් එපා. පින්වත, අකාලයේ ඇද හැළෙන වැසිවල වරදකරුවා අපි මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ උතුම් වස්සානය පැවිදි උපසම්පදා අපිට පනවන්නේ, ස්වභාවයේ වැස්ස උපයෝගී කොට ගෙන උපසම්පදා භික්ෂු අපේ ඇසෙන්, කනෙක්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් කඩා හැලෙන තෘෂ්ණාවේ කෙලෙස් වැස්ස අවම කොට ගැනීමටයි, නිරෝධය කොට ගැනීමටයි. පින්වත, අපි බුදුරජාණන් වහන්සේගේ පැනවීමට කීකරුභාවයෙන් ද වැඩ සිටින්නේ? පින්වත, වස් තුන් මාසයත්, චීවර මාසයත් අපි හැමෝටම කාර්යබහුල කාලයක් වෙලා නේද? පින්වත ස්වභාව ධර්මය විකෘති වීමෙන් මනුෂ්‍යයා විකෘති වුණා වෙන්නේ නැහැ. පින්වත, මනුෂ්‍ය ධර්මයෝ විකෘති වීමෙන් මයි පෙරළා ස්වභාව ධර්මය විකෘති වෙන්නේ. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, වර්ණය, සැපය, බලය ශක්තිමත් කොට දෙන පුණ්‍යවන්ත උදා වෙන වස්සානයේ, තරගකාරීත්වය, මිල මුදල්, ආදි වූ තෘෂ්ණාවේ ඥාති සමූහයා ළං කර ගන්නේ නැතිව, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ළඟ ම ඥාතියා කොට ගනිමු. පින්වත, උතුම් සද්ධර්මයේ පැනවීම් අපේ කෙලෙස් වැසිවලින් දූෂණය වුණොත්, ස්වභාව ධර්මය වේවැල අතට ගනීවි.
පින්වත, ලෝකයට සහ අපි ජීවත් වන සමාජයට, අකුසල් සංස්කාරයෝ විපාක දෙනවා වැඩියි නේද? පින්වත, ඔබට හෙට ගැන තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක් ද? එසේත් නැති නම් විවෘත අදහසක් ද? පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා වර්තමානය පමණක් දකින්නෙක් නොවේ. පින්වත, උන්වහන්සේලා වර්තමානය තුළ හිඳිමින් අනාගතයත් දකිනවා. උන්වහන්සේලා අනාගතය දකින්නේ දිවැස් ඥානයන්ගෙන් නොවේ, උන්වහන්සේලා අනාගතය දකින්නේ, මනුෂ්‍ය ජීවිත තුළින් අතීත සහ වර්තමානයේ සිදුවන කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් මයි. පින්වත, අපිට ලෝකය, ලෝකයම වුණාට, උන්වහන්සේලාට ලෝකය ඒහිපස්සික ධර්මයක්. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාය කර්ම, වචී කර්මයන්ට වඩා ලෝභ, ද්වේශ, මෝහ මනෝ කර්මයෝ බලවත්ය කියලා. පින්වත, වර්තමාන ලෝකය ලෝභ, ද්වේශ, මෝහ බලවත් මනෝ කර්මයන්ගෙන් ගිනියම් වෙලා. පින්වත, අකුසල් කාය කර්මයෝ සහ වචී කර්මයෝ පෙරළා සක්‍රීය කොට දෙන්නේ අකුසල් මූලයෝ මයි. පින්වත, අකුසල් සංස්කාරයන්ගේ සීමාරහිත හැසිරීම් මත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දන්නවා නැවතිය යුතු තැන කොතන ද, ක්‍රියාත්මක විය යුතු තැන කොතන ද කියලා. උන්වහන්සේලා නැවතිය යුතු තැන, ක්‍රියාත්මක වීමට යන්නේ නැහැ. පින්වත, අකුසල් සංස්කාරයන්ගේ බර කිරන්න, මනින්න අපි නොදන්නවාට, උන්වහන්සේලා හරි දශමයට සංස්කාරයෝ කිරන්න, මනින්න දන්න සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක පිළිබඳ උපාධි අවසන් කොටයි වැඩ සිටින්නේ.
පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ