මධ්‍යකාලීන යුගය ලෙස හැඳින්වෙන වකවානුවක් ලෝක ඉතිහාසයේ තිබේ. ක්‍රි.ව. 42 දී ඇරැඹි මේ කාලය ක්‍රි.ව. 1492 දී අවසන් වී යැයි කියනු ලැබේ. එතැන් සිට පටන් ගන්නේ පුනරුද යුගයයි. මධ්‍යකාලීන යුගය ඉතා දුෂ්ට, පරිහානිගත සහ අඳුරු කාලයකි. ලෝක ඉතිහාසය තුළ මේ යුගය හඳුන්වනු ලබන්නේ Dark Ages යනුවෙනි. කඩුව, හෙල්ල, බලය සහ රුධිරය විසින් මේ කාලය පාලනය කරන ලදී. මධ්‍යකාලීන යුගයේ සිටි වැදගත්ම සතා අශ්වයා ය. සිය පිට මත මිනිසුන් තබාගෙන ගියේත්, කරත්ත ඇද්දේත්, ඔලිව් තෙල් හිඳින සෙක්කු කරකවන ලද්දේත් අශ්වයා ය. ඊට අමතරව සමහර රටවල අශ්ව මස් අනුභවය අශ්ව කිරි පානය සිදුවිය. මේ නිසා බොහෝ විට අශ්වයා එකතු කරගෙන ප්‍රස්තාව පිරුළු බිහි විය. මධ්‍යකාලීන යුගය පසු කර පුනරුද යුගය හරහා නූතන යුගයට පැමිණ අදටත් භාවිතා කෙරෙන එවන් පිරුළක් වන්නේ “අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම” ය. මේ පුවත්පත පැරණි, දිරාගිය උපමා පාවිච්චි කරනු ලැබේ. එහෙත් අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමේ කියමන අදටත් සිහිපත් කරන සිදුවීමක් පසුගියදා ඇති විය. ඒ, මේ ආණ්ඩුව බලයට පැමිණි වහාම නිසි පරීක්‍ෂාවකින් තොරව කන්ටේනර් තොගයක් වරායෙන් පන්නන ලද්දේ ය යන සිද්ධිය ය. මේ කන්ටේනර් තුළ කුමක් තිබුණේ දැයි පාර්ලිමේන්තුවේ දී විපක්ෂය විසින් නිරන්තරයෙන්ම ප්‍රශ්න කරන ලදී. ඊට පසු මේ සිද්ධියට බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයාගේ නම ගාවන ලදී. තමා එයට කිසිසේත්ම සම්බන්ධ නැති බවට වහාම නිවේදනයක් නිකුත් කළ ආණ්ඩුකාරතුමා, අශ්වයා පැන යන්නට පෙර ඉස්තාලය වසා දමමින් තම හොඳ නම ආරක්‍ෂා කර ගත්තේය. මෙය එතැනින් ද නොනවතී. කන්ටේනර් පැන්නීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතා දරුණු වාද විවාද පාර්ලිමේන්තුව තුළ ඇති විය. මේ නිසා ආණ්ඩුවට ලොකු ඩැමේජ් එකක් සිදුවූ අතර සිද්ධියට අදාළ යැයි කියන ජේ.වී.පී. දේශපාලනඥයෝ මහත් කට්ටක් කෑහ. මේ තරම් විනාශයක් සිදුව තිබෙද්දීත් රේගුව මේ ගැන කටක් ඇරියේ නැත. ඒ අතර උතුරු පළාතෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින අර්චුනා නමැති මන්ත්‍රීතුමා මේ කන්ටේනර් තුළ එල්.ටී.ටී.ඊ. යට අයත් ආයුධ තිබෙන බවත්, පිටරට සිටින දෙමළ ඩයස්පෝරාවේ මිතුරන් විසින් තමන්ට ඒ බව දන්වන ලද බවත් පාර්ලිමේන්තුවේ දී කීවේය. මේ සමගම විශාල ගින්නක් පත්තු වූ අතර, ඒ ගින්නෙන් පස්ස රත්වූ රේගු දෙපාර්තමේන්තුවට ඇහැරිණ. ප්‍රශ්නගත කන්ටේනර් සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව දැන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ නිවේදනයට අනුව රේගුවට එන හැම කන්ටේනරයක්ම චෙක් කරන්නේ නැත. සැකයට පාත්‍රවන කන්ටේනර් පමණක් චෙක් කරනු ලැබේ. ඉතිරි කන්ටේනර් චෙක් නොකර එළියට යවන්නේ අවදානමක් යටතේ ය. ඒ අවදානම භාර ගැනීමට රේගුව එදා සිටම සූදානම් ය. එසේම ප්‍රශ්නගත කන්ටේනර් තුළ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, රසායනික ද්‍රව්‍ය සහ වෙනත් සාමාන්‍ය භාණ්ඩ පමණක් තිබුණු බව රේගුව සිය නිවේදනයෙන් කියා තිබේ. එනම් එම කන්ටේනර් අයිතිකරුවන් රේගුවට Declare කර තිබෙන්නේ තමන් ගෙන්වූ කන්ටේනර් තුළ එම භාණ්ඩ පමණක් තිබෙන බවය. රේගුව අදාළ කන්ටේනර්වල එම භාණ්ඩ පමණක් තිබෙන බව කියන්නේ ඇසින් දැක නොව, එම කන්ටේනර් ගෙන්වූ ආනයනකරුවන්ගේ ලිඛිත Declaration එකට අනුව ය. මේ ටික ප්‍රකාශ කර ආණ්ඩුව නිදොස් කිරීම සඳහා මාස 6 කට කිට්ටු කාලයක් රේගුවට ගත විය. සාමාන්‍යයෙන් රේගුව කාර්යක්‍ෂම ආයතනයක් නම් කන්ටේනර් පිළිබඳ චෝදනාව අද මතුවන විට හෙට උත්තර බැඳිය යුතුය. එසේ නොකොට රේගුව බම්බු ගැසුවේ දැයි අපි නොඅසමු. රේගුවේ ප්‍රමාදය නිසා අශ්වයා පැන ගොස් ඇති අතර, අපිට හිතෙන විදිහට ඌ කන්ජිපානි ඉම්රාන් මෙන් වැල්වැටිතුරයට ගොස් බෝට්ටුවකට නැඟ ඉන්දියාවට පැනගොස් ගොඩබිම් මාර්ගවලින් එංගලන්තය වැනි රටකට යන්නට ඇති. ඉදිරියේ දී මේ සතා එංගලන්තයේ අශ්ව රේස්වලට පවා ඉදිරිපත් වීමට ඉඩ තිබේ.
ආණ්ඩුවක් අමාරුවේ වැටෙන්නට යන විට අදාළ රාජ්‍ය ආයතන කටවසාගෙන සිටීමේ නරක පුරුද්දක් මේ රටේ තිබේ. ආණ්ඩුවේ මඟුල් වෙනුවෙන් තමන් ප්‍රකාශ නිකුත් කරන්නට ගොස් ප්‍රශ්න ඇති කර ගන්නේ මන්දැයි රාජ්‍ය නිලධාරීන් හිතනවා වෙන්නට පුළුවන. එය එක් අතකින් සත්‍යයකි. දේශපාලනඥයන්ගේ කීමට වැඩ කරන රාජ්‍ය නිලධාරීන් සෑහෙන දෙනකුට පසුගිය කාලයේ දී හිරේ යන්නට සිදුවිය. උදාහරණයක් ලෙස රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටි ඉහළම නිලධාරීන් දෙදෙනෙක් සිල් රෙදි කේස් එකකට ඇතුළට ගියහ. එසේම එම ආණ්ඩුවේ සිටි ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ද ඇතුළට දමන ලදී. ඒ සියල්ල කළේ යහපාලන ආණ්ඩුව විසිනි. මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යහපාලන ආණ්ඩුවේත්, ගෝඨාභයගේ ආණ්ඩුවේත්, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේත් වැඩ කළ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුම ඇතුළට දමන ලදී. මේ ප්‍රවණතාව නිසා ආණ්ඩුව නමැති දේශපාලනඥයන් කදම්බය තුළ සිටින පුද්ගලයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් රජය නමැති නිලධාරීන් කදම්බය අදිමදි කරන්නට පටන් ගත්තේය. ආණ්ඩුව අලුත් නමුත් රජය පරණ බව මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් විටින් විට පවසන්නේ මේ නිසාය. ආණ්ඩුවේ දේශපාලනඥයෝ අවුරුදු පහෙන් පහට මාරු වෙති. ඒත් රාජ්‍ය නිලධාරියා අවුරුදු පහෙන් පහට මාරු වන්නේ නැත. ඔවුහු බොහෝ විට අවුරුදු තිහ, හතළිහක් එක දිගටම ඇදගෙන යති. ඔවුන් සිය ක්‍රියාවලිය අවසන් කරන්නේ විශ්‍රාම යෑමේ දීය. ආණ්ඩුවේ අවශ්‍යතාවය මත ගත් තීරණ නිසා 1970 – 77 කාලයේ දී රට පාලනය කළ සමගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයවික්‍රමට ප්‍රජා අයිතිවාසිකම් පවා අහිමි විය. නිහාල් ජයවික්‍රම සිටියේ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යටතේ ය. ඔහු කියන දේ කිරීමට නිහාල් ජයවික්‍රම බැඳී සිටියේ ය. අන්තිමට සමගි පෙරමුණු ආණ්ඩුවට වෙන්න ඕන හරිය වී එහි දේශපාලනඥයන් කිහිපදෙනකු ගස්ගිය කල්හි එම දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කළ නිහාල් ජයවික්‍රමට ද එසේ වූවේය. ඒ නිසා ආණ්ඩුවක් හැම විටම රජයේ නිලධාරීන් ආරක්‍ෂා කළ යුතුව තිබේ. අප මෙයින් අදහස් කරන්නේ හොර නිලධාරීන් ආරක්‍ෂා කළ යුතු බව නොවේ. නිලධාරීන්ට වැරදි නියෝග දීමෙන් දේශපාලනඥයන් වැළකිය යුතුය. එවිට අශ්වයා පැන යන්නට පෙර ඉස්තාලය වසාදැමිය හැකිය.