ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාභය (PBT) වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාභයක් සමඟින් මේ දක්වා සමාගම විසින් වාර්තා කර ඇති සාර්ථකම මූල්‍ය කාර්යසාධනය වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 122% ක දැවැන්ත වර්ධනයකි. AMF සමාගමේ බදු පසු ලාභය 136% කින් වර්ධනය වෙමින්, රුපියල් මිලියන 750 ක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම සාර්ථක ප්‍රතිඵල, අනාගතය ඉලක්ක කරගත් මූල්‍ය ආයතනයක් වශයෙන් AMF සමාගමේ අඛණ්ඩ වර්ධනය ඉදිරියටත් තහවුරු කරයි.
උපායමාර්ගික දැක්ම, සවිමත් නායකත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් හරහා සියලු ශ්‍රී ලාංකිකයන් හට සවියක් වීම ඉලක්ක කරගත් AMF සමාගම, දීර්ඝ කාලයක් පුරා ඒ වෙනුවෙන් පරිවර්තනීය ගමනක නියැලුණු සමාගමකි. සාර්ථක සැළසුම් සකස් කිරීම මෙන්ම සැළසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කළ AMF සමාගම, මූල්‍ය වාතාවරණයේ ඇති අවිනිශ්චිතතාවය බාධාවක් කරගනු වෙනුවට එයින් පන්නරය ලබා, අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ මහතා මෙසේ පැවසීය “ගෙවුණු වසර අපගේ නොසැලෙන අධීෂ්ඨානය සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂාවට භාජනය කළ වසරක්. පසුගිය වසර තුළ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා මෙවැනි දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකි වූයේ සැළසුම් නිර්මාණයට මෙන්ම එම සැළසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් අපට ඇති හැකියාව නිසයි. AMF සමාගමේ සේවකයන් සහ හවුල්කරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්, එකම කණ්ඩායමක් වශයෙන් විදහා දැක්වූ විනය සහ එකමුතුකම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම විශ්වාසය මත, ඉදිරියටත් අඛණ්ඩවම සාර්ථක ඉදිරි ගමනක නියැලීමට හැකි බව අපගේ විශ්වාසයයි.”
2024/25 මූල්‍ය වර්ෂය සඳහා AMF සමාගම විසින් වාර්තා කළ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අතර කැපී පෙනෙන වාර්තාවන් ගණනාවක් වන අතර එයින් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 3.28 ක් දක්වා 53% කින් වර්ධනය වීම, 12% කින් පොලී ආදායම ඉහළ යාම සහ 19% කින් පොලී වියදම් අඩු වී තිබීම ඊට මූලික වශයෙන් හේතුසාධක වී ඇත. සමාගමේ ණය කළඹ 23% ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 13.61 දක්වා වර්ධනය වී තිබූ අතර සමස්ත වත්කම්වල වටිනාකම 10% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 21.17 ක් දක්වා වර්ධනය වී ඇත. ජනතාව විසින් සමාගම කෙරෙහි තබා ඇති සවිමත් විශ්වාසය තවදුරටත් වර්ධනය වන බව පෙන්නුම් කරමින්, මහජන තැන්පතු 7% කින්, එනම් රුපියල් බිලියන 15.55 ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම කොටස් හිමිකරුවන්ගේ අරමුදල 22% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 3.97 ක් දක්වා වර්ධනය වී ඇත.