වැලිමඩ ධම්මදින්න භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. වැලිමඩ ධම්මදින්න භික්‍ෂුණිය රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් වශයෙන් කටයුතු කරන්නීය
වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.
වැලිමඩ ධම්මදින්න නමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග විය.
එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
පෙත්සම්කාර භික්ෂුණිය කියා සිටින්නේ රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන බවත් තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්න භාවය ලැබූ භික්ෂුණියක් බවත්ය.
2013 වසරේ මැයි මස 31 වන දා තමා “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සඳහා අයදුම් පතක් ඉදිරිපත් කළත් එම අයදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කාරීය සඳහන් කරයි.