පසුගිය සතියෙත් අපේ දේශපාලන කරළියේ තිබුණු ලොකුම ගැටලුව වූයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමයි. පළාත් පාලන ආයතන ජයග්‍රහණයේ බලගතුම පක්ෂය වන ජාතික ජනබලවේගයටත් අපේක්ෂා කළ පරිදි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ලේසි පහසු කාරණාවක් වූයේ නැත. විපක්ෂය එකතු වී ගත් කල ජාතික ජන බලවේගයට වඩා බහුතර සභිකයන් සංඛ්‍යාවක් සිටියද එකී පක්ෂවලත් මතිමතාන්තර විවිධතා හේතුවෙන් එකතු වී බලය පිහිටුවීම අසීරු කරුණක් වූහ. පොදුවේ එක මතයකට පැමිණීම දුෂ්කර වූහ. මේ හේතුවෙන් විපක්ෂයට බලය පිහිටුවීමට පහසුවෙන් හැකියාව තිබූ ආයතන ගණනාවක යළි බලය අත්පත් කරගන්නට මාලිමාවට හෙවත් ජාතික ජන බාලවේගයට හැකි විය. බණ්ඩාරවෙල ඊට හොඳම උදාහරණයයි.
බණ්ඩාරවෙල නගර සභාවේ විපක්ෂය එකතු වී බලය පිහිටුවන්නට ඉතා පහසුවෙන් හැකියාව තිබුණත් අවසාන මොහොතේ එය වෙනස් වූයේ සමගි ජන බලවේගයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු සභාපති තෝරන ඡන්දය විමසන අවස්ථාවේදී සභාවට නොපැමිණීමයි. මේ හේතුවෙන් මාලිමාවේ කණ්ඩායමේ බලය වැඩි විය. ඔවුන්ට පහසුවෙන්ම බණ්ඩාරවෙල බලය ලබාගැනීමට හැකි විය. රට වටෙන්ම මේ ආකාරයේ උදාහරණ ගණනාවක්ම හඳුනාගත හැකි විය.
කොළඹ මහ නගර සභාවේ බලය පහුගිය සතියේ අවසන් වන විටත් නිශ්චිත වූයේ නැත. විපක්ෂය එකතුවී බලය පිහිටුවීමට ඉතා පහසුවෙන් හැකි වුවත් ස්වාධීන කණ්ඩායම්වල ස්ථාවරය කුමක්දැයි හඳුනාගත නොහැකි වූහ. ස්වාධීන කණ්ඩායම්වල සභිකයන් හත් අට දෙනෙක්ම විපක්ෂයේ රැස්වීම්වලටත් සහභාගි වී ඔවුන්ට සහායෝගය ලබා දෙන්නට එකඟ වූහ. ඒ අතරතුරම මාලිමාවේ රැස්වීම්වලට ද සහභාගි වී ඔවුන්ට සහයෝගය ලබා දෙන්නට කොන්දේසි ඉදිරිපත් කරන්නට වූහ. එය අතරතුර මුදල හා වරප්‍රසාද තීරණාත්මක සාධකයක් ලෙස බලපාන බව පෙනෙන්නට විය.
කොළඹ මහ නගර සභාවේ බල තුලනය සම්බන්ධයෙන් සභිකයන් පිනවීමට බලවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් වෙහෙස මහන්සි වෙමින් කටයුතු කරන බවට කටකතා පැතිර ගියේ මේ අතරය. ඒ ව්‍යාපාරකයන් අතර මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහුගෙන් උදව් උපකාර වරප්‍රසාද ලබාගෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම පැමිණි දේශීය අති දක්ෂ ව්‍යාපාරිකයකුගේ නම කියවිණි. පහුගිය දිනක නෙළුම් මාවත කාර්යාලයෙහි පැවති සාකච්ඡාවකදී එහි සිටි ලේකම්වරයෙක් මේ පිළිබඳව කරන ලද සඳහනක් මෙසේය.
“ව්‍යාපාරිකයෝ එහෙම තමයි. මහින්ද මහත්තයාගේ කාලෙ අම්පාර පැත්තෙ තියෙන කර්මාන්ත ශාලාවක් ඒගොල්ලෝ අරගත්තා. ඒ කර්මාන්ත ශාලාවේ අතුරුඵල අහක දාන්න බෑනේ. ඒවායින් තවත් ලාභදායි කර්මාන්තයක් පටන් ගන්න මේ ආණ්ඩුවට උදව් කරනවා. ව්‍යාපාරිකයො එහෙම තමයි…”
කොළඹ දිස්ත්‍රික්කයේ බලය මාලිමාවට ලබා දෙන්නට එකී ව්‍යාපාරිකයා වෙහෙස මහන්සි වන අතර කළුතර දිස්ත්‍රික්කයේ බලය මාලිමාවට රැක දෙන්නට වෙහෙසි මහන්සි වෙමින් සිටියේ බස්නාහිර පළාතේ සුප්‍රකට බේකරි කර්මාන්තකරුවෙකි. ඔවුන්ගේ මුදල් හා වරප්‍රසාද ඉදිරියේ ලබන මස 16 වැනිදා වන්නට පෙර පළාත් පාලන ආයතනවල බල තුලනය කෙසේ විසඳේ දැයි කාටවත් අනාවැකි කිව නොහැකි වූහ.
පොසොන් පෝයට පෙර
අගමැතිනිය අහපු බණ…
පසුගිය සතිය පොසොන් සතියයි. පොසොන් උත්සව සමයේ රට පුරා විහාරස්ථාන ගණනාවකම රාජ්‍ය අනුග්‍රහයෙන් පොසොන් උත්සවය සමරන ආකාරය අපට දැකගත හැකිවිය. ඒ අතර පොසොන් තොරණ, පොසොන් දන්සල් හා විශේෂ පොසොන් ධර්ම දේශනා ගැන ද රට පුරා සිංහල බෞද්ධයන්ගේ අවධානය යොමුව තිබිණි. මේ අතර පොසොන් දිනයට පෙර දිනයේ එනම් පහුගිය 9 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලය කුලරත්න ශාලාවේ පැවැති උත්සවයකදී කොටපිටියේ රාහුල හිමිපාණන් අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරියේ තබාගෙන කියන ලද බණක් ගැනද දේශපාලන කරලියේ ලොකු කථිකාවක් ඇති විය. එක් අතකින් එය බණක් යැයි කීවාට දේශනාවක් යැයි කීම වඩාත් සුදුසුය.
පූජ්‍යපාද මාපලගම බුද්ධසිරි හිමිපාණන්ට දක්ෂිණ දේශයේ ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය කළේ කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින් එදින උදයේ රුක්මලේ උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයේදීය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් කීප දෙනකු ද ඊට සහභාගි වී සිටි අතර ගිහි පැවිදි අමුත්තන් රාශියක් ද පැමිණ සිටියහ.
එහෙත් ඒ පිළිබඳ සැමරුම් උත්සවය පැවැත්වුණේ එදින හවස ආනන්දයේ කුලරත්න ශාලාවේය. ත්‍රෛනිකායික මහනායක හිමිපාණන් වහන්සේලා, අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් ඊට සහභාගි වී සිටියහ. අගමැතිනි හරිනි අමරසූරිය මැතිනිය ප්‍රමුඛ රජයේ දේශපාලනඥයෝ ද ගයන්ත කරුණාතිලක, ඩලස් අලහප්පෙරුම ආදීහු ද පැමිණ සිටියහ.
උත්සවයේ අගමැතිනියට ද එක් කතාවක් තිබිණි. මාපලගම බුද්ධසිරි හිමිපාණන්ගේ අනුස්මරණ දේශනාව කරන්නට නියමිතව සිටියේ පූජ්‍ය කොටපිටියේ රාහුල හිමිපාණන්ය. එහෙත් උත්සවයේ සංවිධායකයන්ට අග්‍රාමාත්‍ය ආරක්ෂකයන් විසින් දන්වා තිබුණේ අගමැතිනියට තම කතාව නිමවා ඉතා ඉක්මනින් ආපසු යෑමට අවශ්‍යව ඇති බවකි. සෙසු දේශන අසා සිටින්නට අවස්ථාවක් නැති බවකි.
එම නිසා උත්සවයේ නිවේදන කටයුතු කළ ස්වාමීන් වහන්සේ අගමැතිනියගේ හදිසි අවශ්‍යතාව සලකා එතුමියට පළමුව දේශනාවට ආරාධනා කර සිටියහ. එහෙත් එසේ කියන විට අගමැතිනිය අතින් සංඥා කරමින් තමන් ප්‍රධාන දේශනය අසන්නට රැඳී සිටින බව කියා සිටියාය.
එහෙයින් සංවිධායකයෝ න්‍යායපත්‍රානුකූලව පළමු දේශනය පැවැත්වීමට කොටපිටියේ රාහුල හිමියන්ට ආරාධනා කර සිටියහ. ඒ වන විට කොටපිටියේ රාහුල හිමියෝ සිටියේ වගකිවයුතු රාජ්‍ය නායකයකු ඉදිරියේ තමන්ට කීමට අවශ්‍ය දේ පැවසීමට අවස්ථාවක් එළඹෙන තුරුය. ඒ සම්බන්ධයෙන් අතීත කතාවක් ද තිබේ.
මීට සති කීපයකට පෙර ඉපන්කන්දේ සද්ධාසිරි හිමියන් වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයක් (26දා) පන්නිපිටියේ දෙව්රම් වෙහෙරෙහි පැවැති අවස්ථාවක කොටපිටියේ රාහුල හිමියන් මේ රජයේ වැඩකටයුතු ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් අපූරු කතාවක් කීවේය.
“මෙතන ඉන්නවා විපක්ෂ නායකතුමා. එතුමට කියලා වැඩක් නෑ එතුමා තාම මේ රට පාලනය කරන්න භාර අරගෙන නැති නිසා. නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මැතිතුමා ඉන්නවා. හැබැයි මට වුවමනා මේ කතාව ඊට වඩා ඉහළ රාජ්‍ය නායකයකු ඉදිරියේ කියන්න. මට දවසක් අගමැතිතුමිය එන උත්සවයක දේශනයක් ලැබුණා. එදා මම මේ කතාව කියන්න බලාපොරොත්තුවෙන් හිටියා. හැබැයි උත්සවයේ සංවිධායකයො මට කිව්වා විනාඩි පහෙන් කතාව කරලා අගමැතිනිය එන්න කලින් යන්න කියලා. ඉතින් එදා මට එහෙම කරන්න සිද්ධ වුණා.”
ඇතැම් විට අගමැතිනියට එදා එසේ දුන් සංඥාව ආරංචි වී තිබුණාට සැකයක් නැත. එදිනත් කොටපිටියේ රාහුල හිමියන්ගේ කතාවට ඇහුම්කන් නොදුන්නේ නම් ඊටත් වඩා සැර කතාවක් මතු දිනක අහගන්නට සිදුවේ යැයි සිතාදෝ අගමැතිනිය උත්සවයේ රැඳී සිටින්නට තීරණය කළා විය හැකිය. අගමැතිනිය ඉදිරියේ කොටපිටියේ රාහුල හිමියෝ…
“මහා සංඝරත්නයේ පරම වගකීම තමයි රට කරවන පාලකයන්ට අනුශාසනා කරන එක. ඒ වගේම වැරදි තියෙනවනම් පෙන්නලා දෙන එක. සිංහල රජ දවසේ ඉඳලම අද දක්වා ඒක තමයි සිරිත. ඒක විවේචනයක් හැටියට භාරගන්න එපා. ඔබතුමිය ඇතුළු වර්තමාන පාලන තන්ත්‍රයට මේ රටේ මේසා විශාල ජන වාරමක් ලැබුණේ මීට පෙර හිටපු පාලකයෝ හරියාකාරව මේ රට නොකරපු නිසා. තම යුතුකම් කොටස හා වගකීම් කොටස හරියාකාරව ඉටු නොකරපු නිසා. ජනතාවගෙන් සත්‍යය වසන් කරපු නිසා. ඒගොල්ලො ඉවත් කරලා මේ ආණ්ඩුව බලයට පත් කළේ ජනතාව විශ්වාස කළා වත්මන් පාලකයෝ මේ ආණ්ඩුව හරි පාරේ අරගෙන යාවි කියලා.
මාස හතක් ජනතාව බලාගෙන හිටියා. හැබැයි මට නම් පේන්නේ නෑ වර්තමාන ආණ්ඩුව මේ රට හරි පාරේ අරගෙන යනවා කියලා. මට පැහැදිලියි මේ ආණ්ඩුව යන්නෙත් පහුගිය ආණ්ඩු ගිය පාරෙමයි කියලා.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමාගේ ඉඳලා වර්තමානය දක්වා රජවරුන් ඒ රාජ්‍ය නීතිය උල්ලංඝනය කළේ නෑ. හැබැයි දැන් වෙලා තියෙන්නේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය කියන ව්‍යවස්ථාවේ අඩංගු කාරණාව” යම් යම් පාලකයෝ විසින්ම අවඥාවට ලක් කරන්න පටන් අරන් තියෙනවා.
ඒ වගේම තමයි රටක විනයක් තියෙන්න ඕන. හැමෝටම පොදුවේ පිළිගත හැකි නීතියක් තියෙන්න ඕන. නමුත් සමහර තැන්වල අපට පෙනී යනවා ඒ නීතිය ඒ විනය මුළු රටටම පොදුවේ රැකෙන්නෙ නෑ. කන්ටේනර් තුන්සිය විසි තුනක කතාවෙන් රටට හෙළිදරව් වන කාරණාව ඒකයි. ඒත් එක්කම මේ රජය රට රටවල් එක්ක විවිධ ගිවිසුම් අත්සන් කරනවා. හැබැයි ඒ ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලා රටේ කවුරුවත් දන්නේ නෑ. කැබිනට් මණ්ඩලයේ ඉන්න අයවත් ඒවා ගැන දන්නවාද කියන එක සැකයි. එහෙම වෙන්න බෑ. මේ මාස හත ඇතුළත ඔබතුමියල අකමැත්තෙන් වුණත් පිළිගන්න ඕන ඔබලාට දීපු ජනවරම දියරු වෙමින් පවතිනවා කියන එක.”
කොටපිටියේ රාහුල හිමියන්ගේ කතාව අගමැතිනි හරිනි ඉතා ඕනෑකමින් නිහඬව හිස නමාගෙන අසා සිටිනු දැකගත හැකි විය. ඕ තම දේශනයේදී වත් කොටපිටියේ රාහුල හිමියන්ගේ දේශනයට හෝ එහි අඩංගු කරුණුවලට උත්තර දෙන්නට උත්සාහ කළේ නැත. ඒ පිළිබඳ මනා සේ පරිස්සම් වෙන්නට අගමැතිනිය වගබලාගත් බව පැහැදිලිවම දැකගත හැකි විය.
මිහිඳු හිමි දුන් බුද්ධාගම
මහින්ද ප්‍රසාදිනී රජුට…
නම වැනිදා කොටපිටියේ රාහුල හිමියන් ගේ කතාවට පසුව අපේ රටේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූ කාරණාව වූයේ පොසොන් දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මිහින්තලා පුදබිමේ රාජ්‍ය පොසොන් උත්සවයට සහභාගි වන්නට ගිය ගමනයි. ජනාධිපතිවරයා මිහින්තලාවේ පැවති පොසොන් උත්සවයට මෙවර සහභාගි වූයේ මිහින්තලාවේ රජමහා විහාරාධිපති වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන්ගේ ආරාධනාව අනුවයි.
සාමාන්‍යයෙන් වලවාහැංගුන වැවේ ධම්මරතන හාමුදුරුවෝ රටේ ප්‍රකටව සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් පුනරුද ආණ්ඩුවට දැඩි විවේචන ගෙන ආ ස්වාමීන් වහන්සේ කෙනකු හැටියටය. උන්වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී උදව් උපකාර කළේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට බව රහසක් නොවේ. පසුගිය දිනක උන්වහන්සේ ජනාධිපති අනුර කුමර දිසානායකට බරපතළ විවේචනයක් ගෙන ආවේ නිරාගමිකයකු කියාය. නිරාගමික ආණ්ඩුවක් කියාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මිහින්තලේ විහාරස්ථානයට ආ වෙලේ උන්නාන්සේ එතුමන්ව රාජ්‍ය නායකයා හැටියට පිළිගෙන ආශිර්වාද කර අතෙහි බඳින ලද පිරිත් නූල පන්සලෙන් පිටවී යන අවස්ථාවේ ගලවා වීසි කරන ලද, ආගමට දහමට කිසිදු ගෞරවයක් සැලකිල්ලක් නොදැක්වූ අයකු කියාය. ඒ පිළිබඳ උන්වහන්සේ පසුගිය දිනවල විවිධ අවස්ථාවන්හි කරන ලද විවේචනය පහුගිය සතිය පුරාම විවිධ අන්දමේ යූටියුබ් නාලිකාවල පළ වූ බව රහසක් නොවේ.
එහෙත් මෙවර මිහින්තලා පුදබිමට පොසොන් උත්සවය දිනයේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායකවත් ධම්මරතන හිමියෝ මුව නොසෑහෙන සේ ගෞරවාදරයට ලක් කළහ. ජනාධිපතිතුමන්ව “මහේන්ද්‍ර ප්‍රසාදිනී” නමින් ගෞරව නාමයක් ප්‍රදානය කිරීමට තරම් උන්වහන්සේ නොමසුරුව ප්‍රඥාවන්ත වූහ. ජනාධිපතිතුමන් ද එතුමා ඉදිරියේ දණ ගසා ඒ ගෞරව ප්‍රසාදිනී නාමය භාරගත්හ. එහිදී වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝ අනුර කුමාර ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනා කරමින් විශේෂ අනුශාසනාවක්ද පවත්වනු ලැබූ බව රහසක් නොවේ….
පසුගිය සතියේ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ හමුවීම් අවස්ථා ගණනාවක්ම පැවැත්වුණේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එම අවස්ථාවන්හි විවිධ අන්දමේ විපක්ෂයේ නායකයෝ එක්ව කතාබස් කළේ වලවාහැංගුන වැවේ හාමුදුරුවන්ගේ ගුණ වර්ණනාව හා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳුන්ගේ රඟපෑම පිළිබඳවය.
ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී හැසිරුනු ආකාරය හා පෙන්නුම් කළ සංග්‍රහශීලී සිනහව හා අනුගමනය කළ ඇවතුම් පිළිවෙතක් එම අවස්ථාවේ දී පක්ෂයේ පක්ෂනායකයෝ විග්‍රහ කළේ ඉතා හොඳ ගරු රඟපෑමක් ලෙසය. එම අවස්ථාවට සහභාගි වූ එක්තරා කට හැකර විපක්ෂයේ දේශපාලනඥයෙක් ඒ වෙලාවෙ හරි අපූරු කතාවක් කීවේ මෙසේය…
“මීට අවුරුදු දෙදහස් ගාණකට කලින් මිහිඳු හාමුදුරුවෝ මේ රටට බුද්ධාගම ගෙනාවනේ. අර අටලොස් කුලෙක ශිල්පීනුත් එක්ක. ඒ ඇවිල්ලා ලංකාවෙ හිටපු රජතුමන්ගේ අතට බුද්ධාගම භාරදීලා බුද්ධාගම රැකබලා ගන්න කියලා උන්නාන්සේට පැවරුවා. ඊට අවුරුදු ගාණකට පස්සේ මිහින්තලාවේ භාරකාර හාමුදුරුවෝ මොකක්ද දන්නවද කළේ….”
අනේ අපි නම් දන්නේ නෑ….. ඔයාම තමයි ඕව ගැන දන්නෙ…
“එදා මිහින්තලාවේදී මිහිඳු හාමුදුරුවෝ රජ්ජුරුවන්ගේ අතට දීපු බුද්ධාගම මෙදා මිහින්තලාවේ භාරකාර හාමුදුරුවෝ ආපහු මහේන්ද්‍ර ප්‍රසාදිනී රජතුමාගේ අතට දීපු එක තමයි සිද්ධ වුණේ”
“මේ කතාව ඇසූ එතන හිටි සමහර පක්ෂ නායකයෝ හිනා වෙන්නටවත් උත්සහ ගත්තේ නැත…. අනේ අපි නං ඕවා දන්නේ නෑ… අපිට නං ඇහුනේ නෑ… කියමින් ඔවුහු එක එක පැත්තට විසිර ගියහ.
ජනපතිගේ ගමන් ගැන
අනාවැකි කී අර්ජුනා…
පොසොන් පෝය දිනයේ මිහින්තලා ගමනින් පසු කොළඹ ආ ජනාධිපති අනුර කුමාර දිසානායක කටුනායක ගුවන්තොටුපළෙන් ජර්මනිය බලා පිටත්ව ගියේය. ජර්මන් ගමන ගැන ඊට පූර්වයේ පටන් ලොකු ප්‍රසිද්ධියක් ලබාදී තිබුණේ නැතත් යන දිනය වන විට ජනාධිපතිවරයාගේ ගමන ගැන මාධ්‍ය මගින් දැනුවත් කිරීම් ගණනාවක් සිදුවිය.
එහෙත් ඒ සියලු දැනුවත් කිරීම්වලට පෙර පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව යෑමට නියමිත බව මීට සති කිහිපයකට කලින් ප්‍රකාශ කරන්නේ යාපනයේ මන්ත්‍රී අර්චුනා ය. ඔහු ඒත් සමගම තවත් කරුණු කීපයක් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඔහු එසේ කියන විට ආණ්ඩුවේවත් විපක්ෂයේවත් කිසිවෙකුත් ජනාධිපතිවරයාගේ මීළඟ සංචාරය ගැනීම් වග විස්තර කිසිවක් දැන සිටියේ නැත.
අර්ජුනා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ජර්මනියේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවට විවිධ අන්දමේ පොරොන්දු ලබාදී ඔවුන්ගෙන් උපකාර ආධාර ලබා ඇති බවකි. ජර්මනියේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවෙන් තමන් ද ආධාර උපකාර ලබාගත් බවත් ඒ ආකාරයෙන්ම මාලිමාවේ නියෝජිතයෝ ද විවිධ පොරොන්දු ලබා දෙමින් ආධාර උපකාර ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරියේ දී ප්‍රභාකරන්ගේ මෑණියන්ගේ නමින් යාපනය ප්‍රදේශයේ වරායක් හෝ ජැටියක් ඉදි කිරීමටත් ප්‍රභාකරන් වෙනුවෙන් උතුරේ සැමරුම් පිළිරුවක් නිමැවීමටත් වත්මන් රජය කටයුතු කරනු ඇතැයි අර්ජුනා ප්‍රකාශ කළේය.
එහෙත් මේවා ගැන එතරම් විශ්වාස කරන්නට විපක්ෂයේ අනෙකුත් නියෝජිතයින් උත්සාහ නොකළේ පසුගිය දිනවල අර්ජුනා කළ කී කතාවන්හි මතුව තිබූ පරස්පරතාවයන් නිසාය. වරෙක අර්ජුනා පසුගිය දිනවල ආන්දෝලනාත්මකව කතාබහට ලක් වූ කන්ටේනර් තුන්සිය විසිතුනෙහි රැගෙන ගෙන ආ භාණ්ඩ පිළිබඳව විශ්වාස කළ නොහැකි කතාවක් කීවේය. ඒ අනුව ඔහු කීවේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ විදේශ රටක තිබී එම කන්ටේනර් මගින් ලංකාවට ගෙනා බවකි. කන්ටේනර් ගැන විපක්ෂය කවර කතා කීවත් අර්ජුනා කී කතාවෙහි කිසිදු පදනමක් නැතැයි ඔවුහු තරයේ විශ්වාස කළහ.
කෙසේ වෙතක් ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණේ ඩයස්පෝරාව හමුවන්නට නොවන බවත් ඒ ගියේ ජර්මන් රජයේ ආරාධනාව පරිදි රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් බවත් ඔහුට එරටේදී පිරිනමන ලද රාජ්‍ය ගෞරව වලින් ම පැහැදිලි විය. මෑතකදී එතරම් ගෞරව බහුමානයට පත් වූ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා ඔහු බව අවිවාදයෙන් පිළිගත යුතු ඇත්තකි.
උඩට යන ලිපිගොනු
පහළට එන්න ක්‍රමයක්…
පසුගිය පෝය දින රාත්‍රියේ කොළඹ නෙළුම් කුලුන මස්තකයේ පිහිටි කැරකෙන අවන්හලේ සුවිශේෂී උපන්දින උත්සවයක් පැවැත්විණි. මෙම උත්සවයට අලි සබ්රි, දිලිත් ජයවීර, සරත් අමුණුගම, චන්න ජයසුමන ඇතුළු හිටපු මන්ත්‍රීවරු හා දේශපාලනඥයෝ ගණනාවක්ම පැමිණ සිටියහ. වැඩිපුරම හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිටවුණු ඉහළ පෙළේ නීතිඥයෝය. ඒත් සමගම ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත නම් දිනූ ව්‍යාපාරිකයෝ ද ලොකු ප්‍රමාණයක් ආරාධනා ලැබ සිටියහ.
අලි සබ්රි මේ පිරිස ගැන කතා කළේ… පහුගිය කාලෙ වියත්මගේදී හම්බවෙච්ච ඔක්කොම වගේ දැන් මෙතන ඉන්නවනේ කියමිනි…
“වියත් මගේ කට්ටිය නෙවෙයි…. ව්‍යවසායකයෝ කියලා කියන්න… කියමින් එතන සිටි පිරිස ඉතා සතුටින් කතාබස් කරන්නට වූහ.
සැබැවින්ම මෙම උත්සවය පැවැත්වුණේ වරුණි අමුණුගමගේ සැමියාගේ උපන්දින සාදයක් ලෙසය. දෙරණ මාධ්‍ය ආයතනයට සම්බන්ධ ප්‍රධානීන් ද එතන සිටියහ.
දේශපාලනඥයෝ හා නීතිවේදී මෙන්ම ව්‍යාපාරිකයෝ මෙහිදී කතාබස් කරන්නට වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු කෙරෙහිය.
“ ආණ්ඩුවේ වැඩකරන හැටි මං දන්නෑ. කිසිම රාජ්‍ය ඉහළ නිලධාරියෙක් මින් පස්සෙ තීන්දු තීරණ ගන්නෙ නම් නෑ. “ රාජ්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමික ඉහළ නිලධාරියෙකු කීවේ එසේය.
“ ව්‍යවසායක ක්ෂේත්‍රයේ අපිට මේක මහ විශාල හිසරදයක්. අපේ ව්‍යාපාරවලට විවිධ රාජ්‍ය ආයතන වලින් අනුමැතිය ගන්න ඕන කම තියෙනවා. හැබැයි ඒ අනුමැතිය ගන්න ඉදිරිපත් කරපු එක ෆයිල් එකක්වත් යැව්ව තැනින් උඩට යන්න ක්‍රමවේදයක් දැන් නැහැ. මෙහෙම යනකොට රටේ වැඩ කෙරෙයිද…“
“ව්‍යාපාරිකයොත් පහුගිය කාලේ උඩ පැනගෙන ආණ්ඩුවක් පත් කර ගත්තෙ ඒකටනෙ… දැන් ඉතින් අපට දොස් කියන්න එපා“ කියමින් කීවේ සර්වජන බලය කණ්ඩායමේ දේශපාලනඥයෙකි.
“මේක විහිළුවක් නෙවෙයි මිත්‍රවරුනි… අද රේගුව, ප්‍රමිති ආයතනය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ආනයන අපනයන කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය ආයතන, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයතන මේ ආදී ඔක්කොම වැඩ අකර්මණ්‍ය වෙලා. අනුමැතිය භාරව ඉන්න හැම නිලධාරියෙක් ම ඉහළ නිලධාරියාගේ උපදෙස් පතමි කියලා ලිපිගොනු උඩට යවනවා. ඒ උඩට යන ලිපිගොනු පල්ලෙහාට කවදා ඒවිද කියලා සැකයක් තියෙනවා. “අලි සබ් රි නීතිඥවරු ඇතුළු දේශපාලනඥයෝ සියලුම දෙනා මේ සාකච්ඡාවන්ට අනුගත වෙමින් සිටින අතරේ සංග්‍රහයන්ට ද අනුකූලතාව පළ කරමින් විනෝද වන්නට වූහ.
එදින රාත්‍රියේ මේ සාදය රෑ බෝවන තුරුම පැවතුණේ සහභාගී වී සිටි බොහෝ දෙනා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් වූ නිසාත් පෝය දිනයේ නිදහසේ කාලය ගත කරන්නට කදිම විවේකයක් හා නිවාඩුවක් ලැබීම නිසාත් වන්නට ඇත.
පසුගිය සතියේ දේශපාලන කරළියේ අවධානයට ලක් වූ තවත් කරුණක් වූයේ කන්ටේනර් තුන්සිය විසිතුන පිළිබඳ කාරණාවයි. දයාසිරි ජයසේකර හා උදය ගම්මන්පිල මේ පිළිබඳ රට හමුවේ දැවැන්ත හෙළිදරව්වක් කරනු ලැබූයේ රහස් පොලිසිය ඉදිරියේ කරන ලද තොරතුරු ලබාදීමකින් ද පසුවයි.
උදයව රහස් පොලිසියට ගෙන්වා තිබුණේ මෙම සිදුවීම පිළිබඳ උදය දන්නා තොරතුරු පිළිබඳ ප්‍රශ්න කරන්නටය. එහෙත් උදය ගම්මන්පිල එසේ අදාළ තොරතුරු ලබාදෙමින් කරනු ලැබුවේ රහස් පොලිසියෙන් මේ සිදුවීම ගැන ප්‍රශ්න කීපයක් ඇසීමය. ඔහු එළියට පැමිණ මාධ්‍ය ඉදිරියේත් තම මිතුරන් වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඉදිරියේත් එම ප්‍රශ්න කිරීම ගැන මෙසේ විස්තරයක් කළේය.
උදය සීඅයිඩියට යන්නට පෙර ශ්‍රී ලංකාවේ රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ඉදිරිපත් වී පුවත්පත් සාකච්ඡාවක් පවත්වනු ලැබුවේය. එම පුවත්පත් සාකච්ඡාවේ දී ඔහු පැහැදිලි කරන්නට උත්සාහ කළේ එසේ නිදහස් කරන ලද කන්ටේනර් තුන්සිය විසිතුන නිදහස් කිරීමට ජනාධිපති හෝ අදාළ ඇමැතිවරයා හෝ කිසිදු බලපෑමක් කර නැති බවය. එම කන්ටේනර් සංඛ්‍යාව තමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් මෙසේ නිදහස් කරන්නට තීරණය කළේ නිසි පරික්ෂාවට ලක් කර ඉන් සෑහීමකට පත් වූ පසුබිමක බව ඔහු ප්‍රකාශ කළේය.
කටඋත්තරයම ප්‍රයෝජනයට ගෙන උදය ගම්මන්පිල රහස් පොලීසියෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
“මේ කන්ටේනර් තුන්සිය විසිතුන ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල්වලයා පසුගිය ජනනාරි 29 වැනිදා නිවේදනයක් නිකුත් කර විශේෂ ප්‍රකාශයක් කළා. එමගින් ඔහු පැහැදිලිවම කිවුවේ ජනාධිපතිවරයාගේ හා වරාය කටයුතු භාර ඇමැතිවරයාගේ උපදෙස් හා ඉලල්ලීම පිට මෙම කන්ටේනර් සංඛ්‍යාව නිදහස් කරන්නට රේගුවට සිදුවූ බවයි. උදය ඇසුවේ මේ පිළිබඳ තොරතුරු කියූ අපගෙන් ප්‍රශ්න කරනවා වෙනුවට ජනාධිපතිවරයා හා විෂය භාර අමාත්‍යවරයාගේ නම් හෙළිකරමින් චෝදනාව ඉදිරිපත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරවීමක් කර තිබේද කියාය. ජනාධිපතිවරයාට හා ඇමැතිවරයාට සෘජුවම චෝදනා කර ඇත්තේ තමන් නොව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බව උදය පැහැදිලි කළේය.
තවදුරටත් කරුණු කී උදය ගම්මන්පිල රහස් පොලිසියෙන් තවත් ප්‍රශ්නයක් ඇසීය. තමන්ගේ රේගුවේ ප්‍රධානියා ජනවාරි 29 වැනිදා මෙම කන්ටේනර් නිදහස් කිරීම ජනාධිපතිවරයාගේ හා විෂය භාර ඇමැතිවරයාගේ අනුදැනුම හා උපදෙස් පිට කළ බවට විශේෂ ප්‍රකාශයක් කර තිබිය දී සීවලී අරුක්ගොඩ මහතා එය තමන් වෙත පවරාගෙන ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කර ඇත්තැ දැයි විමසීය. මෙසේ ප්‍රශ්න කළ යුතු අය මෙපමණ සංඛ්‍යාවක් පැහැදිලිවම පෙනෙන්නට තිබියදී මේ සම්බන්ධයෙන් දහස් දක්වමින් කතා කළ තමන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් විසඳිය හැකි ප්‍රහෙලිකාව කුමක්දැයි උදය විමසා සිටියහ.
පසුගිය සතියේත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට තිබූ ලොකුම ගැටලුව වූයේ විපක්ෂයේ සෙසු කණ්ඩායම් හා එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම ඇති විය. විපක්ෂයේ පක්ෂ නායකයින් එක්කොට මේ ගැන සාකච්ඡා කළ අවස්ථා ගණනාවක්ම තිබිණිි. ලබන දාසය වැනිදා වන විට පළාත් පාලන ආයතනවල ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි මේ හැමෝගෙම බලාපොරොත්තුව වී තිබිණි.
බුලිත ප්‍රදීප් කුමාර