දරුවා විසින් සාදන ලද මෙම විෂන් බෝර්ඩ් එකේම පසෙක ඔහු මා දුන් උපදෙස ද ඇතුළත් කර ඇත. ඔහු හොඳින් කල්පනා කරන, හොඳින් වැඩ කරන නිර්මාණාත්මක දරුවෙකි. එසේම, මා ඔහුට දුන් පැවරුම අදාළ නිමාකිරීමේ කාලයටත් ප්‍රථම නිමාකර මා වෙත එවූ දක්ෂ දරුවෙක්. නමුත් වරදක් ඇත. ඒ වරද ඇත්තේ කොතැනද ? මේ ස්මාර්ට් දුරකථනය ඔහුගේ, අපගේ සතුරෙක් වී ඇති බව නොවේද..? එසේ නම් මේ දුරකථන භාවිතයෙන් දරුවන් බැහැර විය යුතුයි තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න නම්. මා එසේ කියන්නේ අධ්‍යාපනවේදියකු ලෙසය. යූටියුබ්, ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් යන්නට එපා යැයි මා කියන්නේ නැත. නමුත් ඒවා අපගේ ජීවිත සඳහා ධනාත්මකව භාවිත කරන්නට පුළුවන.
පොඩි දරුවන් ඉන්න දෙමව්පියන්ට ඉතා වැදගත් පණිවිඩයක් කියන්න අද මම මෙම පුවත්පත් තීරය අවස්ථාවක් කරගනිමි. පසුගිය දිනක ආරාධිතයෙකු ලෙස කොළඹ පිහිටි ඉතා සුප්‍රසිද්ධ විද්‍යාලයක දෙමව්පිය රැස්වීමකට සහභාගිවීම සඳහා මට අවස්ථාවක් හිමිවිය. එසේම, පැය දෙකක පමණ කාලයක් දේශනයක් සඳහා එහිදී මට ඉඩකඩ වෙන් විය. දෙමව්පියන් – දරුවන් මෙන්ම, ගුරුවරුන්ද මෙම රැස්වීමේ එකම ශාලාවක වූහ. මට තිබුණු දේශනයේ මාතෘකාව වූයේ දරුවන්ට කොහොමද තමන්ගේ “විෂන් – මිෂන් – ගෝල්ස්” හදාගැනීම තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ දැක්ම, ඒ අනුව කටයුතු කිරීම සහ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම. මම දේශනය කළා පමණක් නොව, මෙහිදී දරුවන්ට දෙමව්පියන් ඉදිරියේම තම දැක්ම, එහෙමත් නැත්නම් “විෂන් එක” මොකක්ද යන්න ඉදිරිපත් කිරීම සඳහා “විෂන් බෝර්ඩ්” එකක් හදාගන්නා හැටිත් කියාදී ගෙදර වැඩකුත් ලබා දුනිමි. එනම්, විෂන් බෝඩ් එකක් සාදා එදින රාත්‍රී 12.00 ට කලින් මට එවන ලෙස මම ඒ දරුවන්ට පැවරුමක් ද එහිදී ලබා දුනිමි.
එදින සවස් යාමයේ එක දරුවෙක් ඔහුගේ “විෂන් බෝඩ්” එක මට ඒවා තිබිණි. මේ පැවරුම අනුව ඔහු ලියා තිබෙන ආකාරයට ඔහුගේ ප්‍රධාන ඉලක්කය වූයේ තම යූටියුබ් නාලිකාවට 100K Subscribes ලබාගැනීමයි. ඔහුගේ තවත් ඉලක්කයන් කිහිපයක් සඳහන් කර තිබුණත් ප්‍රධාන ඉලක්කය “යූටියුබ් නාලිකාවේ” සබ්ස්ක්‍රයිබ්ස් (සාමාජිකයින් 100,000) ක් ලබාගැනීමයි. නව (9) වැනි ශ්‍රේණියේ දරුවකු විසින් සඳහන් කර තිබුණු මෙම අපේක්ෂාව අපට අනුමත කරන්නට පුළුවන්ද..? දෙමව්පියන් සිටින සභාවකදී මා දුන් පැවරුමට මේ දරුවාගේ අරමුණ එබන්දකි. මෙයින් අපට අදහස් කළ හැක්කේ දෙමව්පියනි…! කුඩා දරුවන්ට ස්මාර්ට් දුරකථනය සතුරෙක් වී ඇති බව නොවේද..? අපි මේ තත්ත්වය හදන්නේ නැතිව දෙමව්පියන් ලෙස දරුවන්ට කොපමණ කිව්වත් පොත් පාඩම් කරන්න.. පොත් පාඩම් කරන්න කියා දරුවන් පොත් පාඩම් කර ඉගෙන ගන්නේ නැත. දරුවන්ගේ මනස, ඔවුන් කල්පනා කරන විදිහ සම්පූර්ණයෙන්ම යථාවත් කරන්නට අවශ්‍ය බව මේ පණිවිඩය අපට කියයි.
දරුවා විසින් සාදන ලද මෙම විෂන් බෝර්ඩ් එකේම පසෙක ඔහු මා දුන් උපදෙස ද ඇතුළත් කර ඇත. ඔහු හොඳින් කල්පනා කරන, හොඳින් වැඩ කරන නිර්මාණාත්මක දරුවෙකි. එසේම, මා ඔහුට දුන් පැවරුම අදාළ නිමාකිරීමේ කාලයටත් ප්‍රථම නිමාකර මා වෙත එවූ දක්ෂ දරුවෙක්. නමුත් වරදක් ඇත. ඒ වරද ඇත්තේ කොතැනද ? මේ ස්මාර්ට් දුරකථනය ඔහුගේ, අපගේ සතුරෙක් වී ඇති බව නොවේද..? එසේ නම් මේ දුරකථන භාවිතයෙන් දරුවන් බැහැර විය යුතුයි තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න නම්. මා එසේ කියන්නේ අධ්‍යාපනවේදියකු ලෙසය. යූටියුබ්, ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් යන්නට එපා යැයි මා කියන්නේ නැත. නමුත් ඒවා අපගේ ජීවිත සඳහා ධනාත්මකව භාවිත කරන්නට පුළුවන.
මා මෙම දරුවාට උපදේශකයෙක් වෙමින් තවදුරටත් අදහස් හුවමාරු කරමින් කීවේ 100K Subscribes කතාව ඔබ ඉවත් කර, ඔබ අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වන “උපාධිය” කුමක්ද යන්න සඳහන් කරන ලෙසයි. දරුවනේ ඔබ රජයේ විදුහලක, ජාත්‍යන්තර පාසලක, වෙනත් පෞද්ගලික විද්‍යාලයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය – ශිෂ්‍යාවක් විය හැකිය. දැයේ දරුවන් ලෙස අප හැම දෙනාටම පෙර කී පරිදි “විෂන්-මිෂන්-ගෝල්ස්” යන තෙවැදෑරුම් සැලසුම හදාගත යුතුයි අනාගතය ජයගන්නට නම්. එසේම මා දෙමාපියන්ට, ගුරුවරුන්ට කියන්නේ දරුවන් සමග එක්වී ඔවුන්ගේ මනස, සිතුම්-පැතුම් නිර්මාණය කර දිය යුතුයි, මග පෙන්වීම කර දිය යුතුයි අනාගතය ජයගන්න. මේ නිසා අනාගතයේ කිනම් ක්ෂේත්‍රයකින් හෝ ඉදිරියට යන්න අපි ඔවුන් “උපාධිධාරීන්” බවට පත්කර පළමුව ජීවිතය සවි බල ගන්වා දිය යුතුයි අනාගතයට මුහුණ දෙන්නට. ජාත්‍යන්තරය හා මුහුවෙන්න. ජාත්‍යන්තරය හා තරග කරන්නට, ගැටෙන්නට. ඊට හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. ස්මාර්ට් දුරකථනය මේ ගමනට බාධාවක් බව මගේ හැඟීමයි. එය භාවිත කළ යුත්තේ අවශ්‍ය දෙයට පමණයි. තවත් නිදසුන් අවශ්‍යනම් මෙවන් කතාවක්ද කිව හැකිය.
මා තවත් දේශනයක් සඳහා යෑමට ඉකුත්දා කොට්ටාව-මාකුඹුර බස් පර්යන්තයට ගියේ මාගේ මෝටර් රථය එහි ගාල්කිරීමෙන් පසුවය. රටක තිරසාර දියුණුව අප භාවිතයට ගත යුතු අතර, මාතර යෑමට මා ගොඩ වුණේ අධිවේගී මාර්ගයේ යන බස් රථයකටය. බස් රථයේ සිටින විට අධ්‍යාපනය ලබන හෝ රැකියාවකට ආසන්න කාලයේ එළඹුණු වයසේ දරුවෙක් බස් රථයට ගොඩවැදුනේ තම ස්මාර්ට් දුරකථනය අත්දෙකෙන්ම ක්‍රියාත්මක කරමින් වෙනම කල්පනාවකිනි. ඔහු මාගේ බෑගයේද පය පැකිලෙමින් අසුන් ගත්තද දිගටම සිටියේ ස්මාර්ට් දුරකතනය තුළ බොහෝ දුර ගොස් ය. බස් රථය ධාවනය ආරම්භ කර කහතුඩුව ද පසුකර යන විට ටිකට් කඩන්නට ගිය කොන්දොස්තරවරයා සමග ඔහු යම් කතා බහක් ඇතිකර ගත් බැවින් විමසා බැලීමේදී අන් අයට ඒත්තු ගියේ ඔහුට යන්නට උවමනාවී තිබුණේ කටුනායකට නමුත් ඔහු නැග තිබුණේ මාතර බසයකට බවය. ඉතිං තවත් කුමන කතා ද. දරුවන් මේ යන්නේ කොහෙද..? සැබැවින්ම මේ අර්බුදයට විසඳුමක් අවශ්‍යය. දරුවන්ගේ භාවිතයෙන් ස්මාර්ට් දුරකථනය ඈත් කර තැබිය යුතුය. අපේ දරු පැටවුන් කොහෙද මේ යන්නේ කියන කාරණය දෙමව්පියනි, ගුරුභවතුනි අප ඉතා වගකීමක් ගෙන විසඳිය යුතු ප්‍රශ්නක් බැවින් මේ කියන ස්මාර්ට් දුරකථන අනිසි භාවිතය ගැන නිවසේදී හෝ සැලකිලිමත් විය යුතුය. ඉගෙන ගන්නට ඕනෑ තරම් විෂය ක්ෂේත්‍ර අද තිබියදී, ඕනෑ තරම් මාධ්‍ය තිබියදී, ඕනෑ තරම් අධ්‍යාපන ආයතන තිබියදී අප ඒවාට මුල් තැනදී අපේ අධ්‍යාපන අරමුණු ජයගත යුතුය. ඒ සඳහා ඉගෙනුම් උපදේශකයකු ලෙස මට වුවද මගපෙන්වීම කළ හැකිය. ධනාත්මක චින්තන අධ්‍යාපනවේදියකු, අධ්‍යාපන දේශකයකු ලෙස මම ඉටුකරන්නේ ද එම කාර්යයම බැවින් දෙමව්පියන්ට, දරුවන්ට, ගුරු භවතුන්ට මගපෙන්වීමට මා ද කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදී අප-ඔබ හමුවීමට ද ඉඩ ඇත.

සුගත් මුණසිංහ
ඉගෙනුම් උපදේශක