පළාත් පාලන ආයතන තුළ සිවිල් පුරවැසි නියෝජනයේ වගකීම්, අයිතිය සහ පුරවැසි සවිබල ගැන්වීම පිළිබඳව පසුගිය පළාත් පාලන පරිපාලන අවස්ථාවේ දකුණු පළාතේ සියලුම පළාත් පාලන ආයතනවලට “හඬට ඉඩක් – Right to Voice˜ නැමති පළාත් පාලන ආයතන සඳහා ජනතා සහභාගිත්වය වැඩිකිරීමේ වැඩසටහන සහ සභාවට නොගොසින් සභාවේ කටයුතු කරගන්නා ඊ-සභා e-sabha නමැති සුහුරු-Smart මෘදුකාංග ක්‍රමවේදය හඳුන්වා දුන් පරිසරවේදී, ආචාර්ය චතුර වැලිවිටිය මහතා දක්වන අදහස් විමසුමකි මේ.
ප්‍රජා මණ්ඩල සංකල්පය ඉංග්‍රීසි යටත් විජිත සමයේ දී ආරම්භ වූවකි. පශ්චාත් සංග්‍රාම කාලවල යටත් විජිත පාලකයන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් සහ අභියෝගයක් වූයේ තම යටත් විජිතවල ජන ජීවිත යථා තත්ත්වයට පත් කර ගන්නේ කෙසේ ද යන්නයි. පශ්චාත් යුද සමයේ කාංසාවට, ආතතියට, සන්ත්‍රාසයට සහ භීතියට පත් ජන සමාජය මානසිකව යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් පිහිටු වූ ජය සමාජ නැතහොත් ”Victory Volunteer Society වර්තමාන ප්‍රජා මණ්ඩල සංකල්පයේ මූලාරම්භය විය. ක්‍රීඩා සහ විනෝද කටයුතු සඳහා තරුණ ජනයා යොමු කරවා ගැනීම ජය සමාජවල ප්‍රධාන අරමුණ විය. ජය සමාජ පසුව ප්‍රජා මණ්ඩල නමින් 1969 දී නීතිගත කරන ලදී.
එමගින් සිදු කෙරෙන කාර්ය භාරය වඩාත් සංවිධානාත්මකව ඉටුකිරීම සඳහා 1969 වසරේ සිට සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික් ප්‍රජා මණ්ඩල නිලධාරි තනතුරක් (RACLG) ආරම්භ කරන ලදී. ප්‍රජා මණ්ඩල තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන් 1973 වසරේ දී පළාත් පාලන ආයතන මට්ටමින් පළාත් පාලන නිලධාරීන(LGO) පත් කරන ලදී. මහා නගර සභා සහ නගර සභාවලට අනුයුක්ත පළාත් පාලන නිලධාරීන් ප්‍රජා මණ්ඩල ව්‍යාප්ත කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. සුළු නගර සභා සහ ප්‍රමුඛ මට්ටමේ ගම් සභාවන්හි ද පළාත් පාලන නිලධාරීන් ප්‍රජා මණ්ඩල කටයුතු සංවිධානය කිරීම පිණිස සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ලදී. 1969 දී නීතිගත කරන ලද ප්‍රජා මණ්ඩල ක්‍රමය 1977 දී නැවත සංශෝධනයට ලක් විය.
මෙලෙස සංශෝධනයට ලක් වූ ප්‍රජා මණ්ඩල පිහිටුවීම පිළිබඳ උපදේශ මාලාව 1977 ඔක්තෝබර් 10 වැනි දින පළාත් පාලන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලදී. වඩාත් විධිමත් ප්‍රජා මණ්ඩල ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙම උපදේශ මාලාව නිකුත් කිරීමේ මූලික අරමුණ විය. එතැන් සිට ප්‍රජා මණ්ඩල ක්‍රමය ප්‍රදේශයේ පොදු යහපත අරමුණු කර ගෙන ශ්‍රමදාන කඳවුරු පිහිටුවීම, සාමූහික චාරිකා, වාර්ෂික දිස්ත්‍රික් සම්මේලන, සංස්කරණ සම්මේලන සහ පුහුණු පාඨමාලා පැවැත්වීම, සමාජ සේවා කටයුතු, බාහිර සහ අභ්‍යන්තර ක්‍රීඩා, සාහිත්‍යමය කටයුතු, නැටුම්, ගැයුම්, වැයුම් සහ නාට්‍යය, ප්‍රථමාධාර කටයුතු, මාතෘදාරකාභිවෘද්ධි සේවය සහ වෛද්‍ය සේවය, කර්මාන්ත කටයුතු පුහුණුව ආගමික කටයුතු, වගා සංවර්ධනය සහ ප්‍රාදේශීය සංවර්ධනය වැනි අංශ ආවරණය කරමින් ක්‍රියාත්මක විය.
1980 වර්ෂයේ දී එවකට පැවති ගම් සභා සහ සුළු නගර සභා අහෝසි කොට 1980 අංක 35 දරන සංවර්ධන සභා පනත මගින් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම දිස්ත්‍රික් සංවර්ධන සභා ස්ථාපනය කරන ලදී. එහි දී එතෙක් පැවැති සුළු නගර සභා 87 ක් සහ ගම් සභා 524 ක් අහෝසි වූ අතර ඒවායේ සිටි ප්‍රජා මණ්ඩල නිලධාරීන් උප කාර්යාල බවට පත් වූ එකී පළාත් පාලන ආයතනවල කාර්ය භාර නිලධාරීන් යටතේ ප්‍රජා මණ්ඩල නිලධාරීන් වශයෙන්ම ක්‍රියාත්මක වූහ. මෙම පසුබිම යටතේ 1984 වර්ෂයේ දී පළාත් පාලන සේවා කොමිෂන් සභාව විසින් ප්‍රජා මණ්ඩල නිලධාරීන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය කර ගනිමින් එම සේවාව දීප ව්‍යාප්තව සෑම පළාත් පාලන ආයතනයක්ම ආවරණය වන අන්දමින් ක්‍රියාත්මක කරන ලදී. එතෙක් දිස්ත්‍රික් ප්‍රජා මණ්ඩල නිලධාරීන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රජා සංවර්ධන නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය සඳහා පත් කරන ලදී.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මගින් 1988 වර්ෂයේ සිට ප්‍රාදේශීය සභා 256 ක් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කරන ලද අතර එකී ආයතනවලට මෙම ප්‍රජා සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කරන ලදී. මේ ආකාර ඉතිහාසයක් හිමි ප්‍රජා මණ්ඩල ක්‍රමය මහා නගර සභාවල දී ප්‍රජා සංවර්ධන සමිති යන නමින් ද අනෙකුත් පළාත් පාලන ආයතනවල දී ප්‍රජා මණ්ඩල යනුවෙන් ද ක්‍රියාත්මක වනු දැකිය හැකි ය.
ප්‍රජා මණ්ඩල පිහිටුවීම
ප්‍රජා මණ්ඩලයක් සඳහා එක් පළාත් පාලන ආයතනයකට අයත් පදිංචිකරුවන් යටත් පිරිසෙන් 25ක් වත් සිටිය යුතු අතර තත් මණ්ඩලයට අයත් ප්‍රදේශය අදාළ පළාත් පාලන ආයතන සීමාව තුළ එම මණ්ඩලය පිහිටි ස්ථානයේ සිට සැතපුම් 2.5ක අර්ධ විෂ්කම්භය තුළ ප්‍රදේශයට සීමා විය යුතු වේ. විශේෂ අවස්ථාවකදී පමණක් යම් ප්‍රජා මණ්ඩලයක පාලන ප්‍රදේශය ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව වෙනස් කළ හැකිය. ප්‍රජා මණ්ඩලයකට නාමයක් හා ලිපිනයක් තිබිය යුතු අතර, එය පිහිටු වූ වහාම පළාත් පාලන ආයතන කාර්යාලයෙහි ලියාපදිංචි කරවීම සඳහා ඉල්ලුම් කළ යුතුය.
පළාත් පාලන ආයතනයන්හි ආණ්ඩුකරණ ක්‍රියාවලිය සඳහා ප්‍රජාව සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ප්‍රජා මණ්ඩල/ ප්‍රජා සංවර්ධන සමිතිවල කාර්යභාරය
පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් 1977 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද ප්‍රජා මණ්ඩල පිහිටුවීම පිළිබඳ භාෂාත්‍රයෙන් පළ කරන ලද උපදෙස් මාලාව පළාත් පාලන ආයතනයන්හි ආණ්ඩුකරණ ක්‍රියාවලිය සඳහා ප්‍රජාව සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත් ප්‍රජා ආණ්ඩුකරණ හෙවත් පළාත් පාලන ආයතන ක්‍රියාවලියේ මූලික මට්ටමේ සංවිධානයක් ලෙස ප්‍රජා මණ්ඩල පිහිටුවා බල ප්‍රදේශයෙහි ප්‍රජාවගේ දෛනික ජීවිතයට ඍජු ලෙස බලපාන කරුණු සම්බන්ධයෙන් ප්‍රජා මණ්ඩලයෙහි අදහස් විමසා එහි එකඟතාව මත සංවර්ධන වැඩසටහන් හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ප්‍රජා මණ්ඩල ක්‍රමය සාර්ථක කර ගැනීම යහපත්, සංවිධිත සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අතිශයින්ම වැදගත් ය. යථෝක්ත උපදෙස් සංග්‍රහය පසුගිය වසර 40 ක පමණ කාලයක් ක්‍රියාත්මක වී ඇතත් මෙම කාලය තුළ සිදු වූ සමාජ, ආර්ථීක, දේශපාලනික වෙනස් වීම් සහ නව ප්‍රවණතා ඊට ගැළපෙන පරිදි ඇතුළත් වී නැත.
ප්‍රජා මණ්ඩල පිහිටුවීමෙහි පරමාර්ථය
ප්‍රජා සහභාගිත්වය සහ පොදු එකඟතාව මගින් වඩාත් යහපත්, තෘප්තිමත් සහ තිරසාර සමාජ ජීවිතයක්.
ප්‍රජා මණ්ඩල පිහිටුවීමෙහි අරමුණු
ප්‍රජා මණ්ඩල බල සීමාවෙහි වාසය කරන සියලු ප්‍රජාව ගේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජා මණ්ඩලය පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ය.
■ ප්‍රජාවගේ විවේක කාලය අර්ථවත් ලෙස ගත කිරීම සඳහා සංස්කෘතික කටයුතු, සාහිත්‍ය සහ කලා කටයුතු මෙන්ම සමාජ සහජීවනය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදීම,
■ ප්‍රජා අභිවෘද්ධිය සඳහා සාමූහික එකඟතා මගින් කළ යුතු හා නොකළ යුතු දෑ තීරණය කිරීම සහ මහජන අදහස් ස්වකීය පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කිරීම,
■ පළාත් පාලන ආයතන තුළ ප්‍රජාව නියෝජනය කිරීමේ සහ ග්‍රාමීය සංවර්ධනයේ දී ඵලදායී ව්‍යුහයක් ලෙස කටයුතු කිරීම,
■ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන අනෙකුත් සංවිධාන සමග මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනඟා ගැනීම සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම, `
■ ප්‍රජා මණ්ඩල බල ප්‍රදේශයෙහි තිරසාර සංවර්ධනය සඳහා සහභාගිත්ව සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
ප්‍රජා මණ්ඩලයක කාර්ය භාරය
■ සාමකාමී හා තෘප්තිමත් ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය ආර්ථීක, සමාජීය, සංස්කෘතික, දේශපාලන සහ පාරිසරික කේෂ්ත්‍ර ශක්තිමත් කිරීම,
■ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ප්‍රජාව සම්බන්ධ කර ගැනීම,
■ සහභාගිත්ව සංවර්ධන සැලසුම්කරණය,
■ ස්වාභාවික පරිසරය සුරක්ෂිත ලෙස පරිහරණය සහ කළමනාකරණය,
■ සංස්කරණ සම්මේලන හා පුහුණු පාඨමාලා පැවැත්වීම,
■ සමාජ සේවා කටයුතු,
■ බාහිර හා අභ්‍යන්තර ක්‍රීඩා,
■ නැටුම්, ගැයුම්, වැයුම් හා නාට්‍යය
ප්‍රාදේශීය ප්‍රජා බල මණ්ඩලය
මහා නගර සභා ආඥා පනතේ 29 සහ, ප්‍රාදේශීය සභා පනතේ 12 වගන්ති ප්‍රකාර පත් කරන කාරක සභා හතරෙන් දෙවන කාරක සභාව වන නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට මෙම විෂය ඇතුළත් වෙයි. සෑම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් සඳහාම සියලුම ප්‍රජා මණ්ඩල නියෝජනය වන පරිදි ප්‍රජා මණ්ඩල සභාපතිවරුන්ගෙන් යුත් ප්‍රාදේශීය ප්‍රජා බල මණ්ඩලයක් පිහිටු විය යුතුය. එම සභාපතිවරුන්ගේ කැමැත්තෙන් ප්‍රාදේශීය ප්‍රජා බල මණ්ඩලයෙහි සභාපතිවරයකු පත් කර ගත යුතු ය. ප්‍රාදේශීය ප්‍රජා බල මණ්ඩලයෙහි ලේකම් තනතුර සඳහා ප්‍රජා සංවර්ධන නිලධාරි නිල බලයෙන් පත්වේ. පළාත් පාලන ආයතනයෙහි පිහිටුවා ඇති කමිටු සඳහා එක් කමිටුවකට යටත් පිරිසෙන් ප්‍රාදේශීය ප්‍රජා බල මණ්ඩලය නියෝජනය කරමින් දෙදෙනකු වත් සම්බන්ධ කර ගැනීම සුදුසුය.
මෙම කරුණු පදනම් කරගනිමින් පුරවැසියාගේ සහභාගිත්ය පළාත් පාලනය තුළ වැඩි සක්‍රීයතාවයක් ඇතිකරලීමට අප විසින් eSabhawa ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී. විශේෂයෙන් තරුණ සහභාගිත්වය ලබාගැනීම මෙහි ප්‍රමුඛ අරමුණ වේ. වර්තමානයේ පළාත් පාලන ක්‍රමය පිළිබඳ ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි. එමෙන්ම විශේෂයෙන් ජනතාවට ඇති අයිතිය පිළිබඳව ජනතාවට ඇත්තේ අඩු දැනුමකි.
ප්‍රජා කොන්ත්‍රාත් ක්‍රමය…
ප්‍රදේශීයේ කිසියම් සංවර්ධනයක් සිදුකිරීමේ දී එහි ඉදිකිරීම් ප්‍රජා සංවිධාන වෙත ලබා ගැනීම කළ හැකිය. වර්තමානයේ සිදුවන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ලියාපදිංචි වී ඇති ගොවි සංවිධාන හෝ ග්‍රාම සංවර්ධන සමිති වැනි ආයතනවලට ලබා ගැනීමයි. නමුත් එමගින් ලැබෙන සියයට 10 රැඳවුම් මුදල ප්‍රදේශීයේ සංවර්ධනයට යොදා ගැනීමට ඇත්තෙ අඩු ඉඩකඩකි. මෙය ප්‍රජා මණ්ඩලය වෙත ලබා ගැනීමේදී එහි ප්‍රතිලාභ පළාත් පාලනයට සෘජුව යොදාගත හැක. මෙම ව්‍යාපෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ප්‍රජාව ද ස්වෙච්ඡාවෙන් කටයුතු කරයි.
සංවර්ධන යෝජනා සැකසීම හා ආයෝජන අවස්ථා හඳුනා ගැනීම.
බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීමේ දී ප්‍රජාවන්ට සෘජු ප්‍රතිලාභ ලැබෙන අයුරින් ඔහුන්ගේ ද සහභාගිත්වය ඇතිව සැලසුම් සැකසීම හා ඒ සඳහා දේශීය හෝ විදේශීය ආයෝජන අවස්ථා හඳුනා ගැනීම පළාත් පාලන ආයතන මගින් කළ යුතුව තිබේ. ස්වාභාවික ඇළ මාර්ග සංචාරක කර්මාන්ත සඳහා ඉඩකඩ සැලසීම වැනි වැඩසටහන් තුළින් ඒවා ආරක්ෂා කරමින් ආදායම් ඉපයීම් කළ හැකිවේ. මේ සඳහා පෞද්ගලික සමාගම් හෝ ව්‍යාපාරික ආයතනවලින් සහාය ලබාගත හැකිය.
කාන්තා සහභාගිත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තා කමිටු පිහිටුවීම
පළාත් පාලන ආයතනවල කාන්තා සහභාගිත්වය වැඩි කිරීමේ වැදගත්කම පැහැදිලිව හඳුනාගත යුතුය. අපගේ මෑත කාලීන සමීක්ෂණ සහ විමර්ශනවලදී හෙළි වූ කරුණු කිහිපයක් පෙන්වා දිය හැකිය. කාන්තා නියෝජිතයන් කාන්තාවන්ගේ හඬක් ලෙස නොව ඔවුන්ගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන බවක් පෙනෙන්නට තිබුණි. ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගැටලු විසඳීම සඳහා කිසිදු මුදලක් වෙන් කරන ලද බවට හෝ කවුන්සිලය තුළ හඬක් නැඟෙන බවට වාර්තා නොමැත. ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබුවේ කාන්තා නියෝජිතයන්ගේ සාමූහික රැස්වීමක් ලෙස නොව පක්ෂයක් ලෙසය. කාන්තා සංවිධානවල තේරී පත් වූ නායිකාවන්, කාන්තා පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාන්තා නිලධාරීන් ඇතුළු කවුන්සිලයේ සියලුම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කවුන්සිලය තුළ කාන්තා කමිටුවක් පිහිටුවිය යුතුය. මෙම කමිටුවේ මූලිකත්වයෙන් අනාගත සැලසුම් සහ වැඩසටහන් සකස් කළ යුතුය.
(ආචාර්ය අශෝක සිරිවර්ධන මහතාගේ හඬට ඉඩක් ව්‍යාපෘතියේ අත්පොත ඇසුරින් තොරතුරු ඇතුළත් කර ඇත)
පරිසරවේදී
සිංහ – ආචාර්ය
චතුර වැලිවිටිය
ප්‍රධාන විධායක HELP-O