2025 ජුනි මස 15 වැනිදා ඉරිදා
මෙයට දින පහකට පමණ පෙර ඉන්දියාවේ අහමදාබාද්හි දී එයාර් ඉන්දියා ගුවන්යානයක් කඩා වැටීමෙන් 241 දෙනකු මරණයට පත්වීම ගැන අපි අපගේ සාතිශය සංවේගය පළ කරමු. අපගේ මිත්‍රයා ද සහෝදරයා ද වන ඉන්දියාව අපට සිදුවන සෑම අකරතැබ්බයක දීම මුලින්ම උදව් කිරීමට එන අසල්වැසියා ය. ගුවන්යානය කඩා වැටුණේ අඩි තිස්තුන්දහසක් ඉහළින් පියාසර කිරීමේ දී නොව ගුවන්තොටුපළට පේන මානයේ උසකින් පියාසර කරන විටය. මෙහිදී බේරුණේ එකම එක යුරෝපීය පුරවැසියකු පමණි. ඔහු ඇරුණු කොට අන් සියලුම දෙනා එකම තැනක දී මිය යන්නට පතාගෙන එන්නට ඇති. කර්ම ශක්තිය බොහෝ පුදුමසහගත ය. එය හොඳට මෙන්ම නරකට ද බලපාන බව පෙනේ.
පසුගිය වෙසක් උළෙල දා සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව දීමේ දී එම සමාව හොඳට මෙන්ම නරකට ද බලපා තිබේ. මේ සිද්ධියේ දී ජනාධිපති සමාව නොලැබූ පිරිසක් ද කාටත් හොරා එළියට දමන ලද අතර ඒ හේතුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියත්, අනුරාධපුර බන්ධනාගාරයේ කොමසාරිස්වරයාත් රිමාන්ඩ් සිරගෙදර ලගිති. සිරගෙදර යනු මෙතෙක් කලක් ඔවුන් වැඩ කළ තැනය. අද සිරගෙදර යනු ඔවුන් සිරකරගෙන සිටින තැනය. රජය අවුරුද්දකට අවස්ථා කිහිපයකදීම ඇතැම් සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබේ. ඒ සඳහා එම සිරකරුවන් අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ කළ යුතුය. පළමුවෙන්ම ඔවුන්ගේ කල්ක්‍රියාව යහපත් විය යුතුය. දෙවනුව ඔවුහු ස්ත්‍රී දූෂණ හෝ ළමා අපචාර හෝ කුඩු නඩුවල හෝ ත්‍රස්තවාදී නඩුවල වරදකරුවන් නොවිය යුතුය. එසේම ඔවුන් සිරගෙදර තුළ දීර්ඝ කාලයක් දඬුවම් විඳි අය ද විය යුතුය. මේ කොන්දේසි එකක්වත් සපුරා නැති මහතෙක් පසුගිය වෙසක් දවසේ දී ජනාධිපති සමාව ලැබීය. හෙතෙම මූල්‍ය වංචාවකට සිරගත කරනු ලැබ සිටි ෆිනෑන්ස් කොම්පැනිකාරයෙකි. ඔහු හිරේ ගොස් ඇත්තේ ද ඉතා කෙටි කලකට පෙර ය. ඔහු ප්‍රධානත්වය දරන මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ බොහෝ දෙනකු නන්නත්තාරව සිටින අතර විත්තිකරු සිරෙන් නිදහස්ව ආ බව ඔවුන්ට ආරංචි විය. කේස් එක ඇදුණේ මෙතැනිනි. මේ කේස් එක ඇදීම වාසනාවකි. මන්දයත් ජනාධිපති සමාව යටතේ මීට පෙර ද සමාව නොලැබූ පුද්ගලයන් එළියට ගොස් ඇති බව මේ කේස් එක එළියට ඒමත් සමගම හෙළි විය. ජීවිතාන්තය දක්වා හිරේට ගිය එකකු ආපසු එළියට යෑම සඳහා රුපියල් කෝටි තුන හතරක් වුව වියදම් කිරීමට කැමැතිය. එවැනි සල්ලිකාරයෝ බොහෝ දෙනකු හිරගෙදර තුළ සිටිති. අපට දැන ගැනීමට ඇති පරිදි හිරගෙදර සිටින සිරකරුවන් ජනාධිපති සමාව පෙන්වා නිදහස් කරන්නේ මෙසේය. ජනාධිපති සමාව දීම සඳහා සුදුසු පුද්ගලයන්ගේ නම් සෑම සිරගෙදරකින්ම කැඳවන අවස්ථා තිබේ. නිදහස් දිනය, වෙසක් පොහෝ දිනය වැනි විශේෂ දවස්වල මේ සිරකරුවන් නිදහස් කිරීම ආණ්ඩුවේ අරමුණ වෙයි. ඒ ඒ බන්ධනාගාරවලින් පුද්ගලයන්ගේ නම් යෝජනා කර අධිකරණ අමාත්‍යාංශයට එවීමෙන් පසු එම අමාත්‍යාංශය මගින් එම පුද්ගලයන් පිළිබඳ වෙන වෙනම වාර්තා කැඳවා වෝහාරික විගණනයක් කරනු ලැබේ.
බන්ධනාගාරය විසින් එවනු ලබන ලැයිස්තුවේ සිටින සිරකරුවන්ගෙන් කවරකු නිදහස් කළ යුතු ද යන්න තීරණය කරන්නේ එයින් පසුය. එසේ අනුමත කරනු ලබන සිරකරුවන්ගේ නම් ලැයිස්තුව ආපසු සිරගෙදර කොමසාරිස්ට යවනු ලැබේ. එය සිදුවන්නේ ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හරහා බව අපගේ වැටහීම වේ. මේ ලැයිස්තුවල කාත්කවුරුත් නැති හිරෙන් එළියට ගියොත් අනාථ වන නිසා හිරේම ඉන්නට කැමති හාන්චිපයිස් සිරකාරයෝ ද වෙති. කපටි බන්ධනාගාර නිලධාරීන් කරන්නේ එවැනි සිරකරුවන් සොයා බලා ඔවුන් වෙනුවට ඇතුළේ සිටින ජනාධිපති සමාව නොලැබූ හොර ගුඩ්ඩන් එළියට දැමීම ය. මේ සඳහා ගන්නා ගාස්තුව අපි නොදනිමු. මේ පිළිබඳව නඩු ඇසීමේ දී බන්ධනාගාර නිලධාරීන් අදාළ පුද්ගලයන්ගෙන් අය කළ මුදල ද, ඒ සඳහා වැට්එක ද අය කරගත යුතු බව අපගේ යෝජනාව වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සිරගෙවල් දූෂිත ය. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපති ධුරයට පත්වූ සැණින් සිරගෙවල්වල සිටි තම ආධාරකරුවන් 1500 ක් නිදහස් කළේය. ඒ සියලු දෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් පැරදුණු අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූ අය වෙති. ලංකාවේ පාලකයන් ඒ තරමටම දූෂිත නොවීම ගැන අප තුළ ඇත්තේ මහත් සතුටකි. පසුගිය කාලයේ දී බලයට පත්වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් කිහිපදෙනකු යටතේම සිරකරුවන්ගේ නම් මාරු කර ජනාධිපති සමාව අස්සේ නිදහස් කර ඇති බව හෙළිවී තිබේ. ඒවාට ඒ ඒ ජනාධිපතිවරුන් සම්බන්ධ නැත. ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ සිරගෙදර සහ අධිකරණ අමාත්‍යාංශය ය. සිරගේ ඇතුළේ කවර දූෂණයක් සිදු වුවද මේ ආකාරයේ ගේම් ගසන බව කවුරුවත් විශ්වාස කරන්නේ නැත. ඒ නිසා අපට මෙය අලුත්ම අත්දැකීමකි. සිරගෙදරට නම් පරණ අත්දැකීමකි. කල්ගත වී හෝ මේ දූෂිත තත්ත්වය හෙළිදරව් වීම ගැන අපි සතුටු වෙමු. මේ සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සියලුම දෙනා තම සේවා ස්ථානයේම නේවාසිකයන් බවට පත් විය යුතුම ය.