සිංහල කතාකරන ජන සමාජය තුළ සිංහල බසින් කවි කීමේ ආරම්භය ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසටත් එපිට ඉතිහාසයකට දිවෙන බවට ඉතිහාසඥයන් මත පල කරයි. එවැනි ඉතිහාසයකට උරුම හරුම කම් කියන සිංහල කවියේ ස්වර්ණම යුගයක් ලෙස සැලකෙන දහනම වන සියවසේ අග භාගය සැලකිය හැකිය. පුරාතන සිංහල සම්භාව්‍ය කවි යුගය පසුකරමින් නූතන සිංහල කවිය ආරම්භ වීම කොළඹ යුගයේ ආරම්භය ලෙස සැලකේ. කොළඹ යුගයේ ආරම්භයේ පටන් වැඩිහිටි කවින් සරල සුඛනම්‍ය බස් වහරක් හරහා කවිය වඩාත් ජනයා වෙත සමීප කරවීමට උත්සාහ දැරීම එහි සුවිශේෂී කාරණාවක් විය.
සරල කටවහර යොදාගනිමින් ජාත්‍යානුරාගය, දේශාභිමානය මෙන්ම අනාගත පරපුර පිළිබඳ විශේෂ උනන්දුවක් දැක් වූ නූතන කවියා පීඩිත පංතියේ විමුක්තිය වෙනුවෙන් ද කවියෙන් තම යුතුකම් කොටස ඉටුකර ඇති බවට නූතන කවියේ ආරම්භයේ පටන්
ගවේෂණය කිරීමේදී මනාව පැහැදිලි වන්නේය.
පීඩිත පන්තිය වෙනුවෙන් කවි ලියූ කවියෙක්

පීඩිත පන්තිය වෙනුවෙන් තම යුතුකම් කොටස මනාව ඉටුකළ සුවිශේෂි කවින් අපට දහනම වන සියවසේ අගභාගයේදී පමණ හමුවන්නේය. දහනම වන සියවසේ අගභාගයේ කොළඹ යුගයේ කවීන් වැඩි පිරිසක් කවි ලිව්වේ දුක්විඳින පීඩිත පන්තියේ හෙට දවස වෙනුවෙනි. එයට හේතු වූ කරුණු කාරණා ඕනෑවටත් වඩා එකල මෙරට ජන සමාජය තුළ කවින් අත්දැක්කේය. රට දැය සමය සුරකින්නට ගෙනයන අරගල වෙනුවෙන් ඔවුන් ජනතාවට වඩාත් සමීප වෙමින් කවි ලීවෝය. එලෙස ජනතාවට සමීප වෙමින් කොළඹ යුගය වර්ණවත් කළ කවියකු ලෙස බේලින් ලොකු විතානයන් සැලකිය හැකිය.
ඔහු ගුරුවරයෙකු මෙන්ම මුල් ගුරුවරයෙකු ද විය. ගුරු සංගම් ව්‍යාපාරයේ පතාක යෝදයෙක් ද විය. තම වෘත්තිය දිවිය මෙන්ම සාමාන්‍ය දිවියේදිත් කවියෙන් කටයුතු කිරීම මෙන්ම කවියට මුල්තැන දීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණයක් විය.
හොරණ වැලිකල තිබ්බොටුගොඩ නම් පිටිසර ගම්මානයේදී සමරජීව ලොකුවිතාන වෙද මහතාට සහ හේවා සුරගේ පොඩිනෝනා මහත්මියට දාව 1916 ඔක්තෝම්බර් මස 16 වෙනි දින බෙලින් ලොකු විතන මෙලොව එළිය දුටුවේය.
මව්කුස තුළදීත් උපතින් පසුවත් පුංචි බේලින්ට තම නිවසින් නිතර ඇසුනේ සංස්කෘත, පාලි, ශ්ලෝක, කවි, වෙදගැට, සෙත් කවි, යන්ත්‍ර මන්ත්‍ර ආදියේ හඬය. දරුවන් පස්දෙනකු සිටි පවුලේ එකම පිරිමි දරුවා වූ බේලින්ට තම පරම්පරාවෙන් ආ වෙද ශිල්පය ඇතුළු සියලු ශිල්පයන් උරුම කරදීමට පියා සිතුවේය. එහෙත් අවාසනාවකට මෙන් බේලින් ඉපදී වසර දෙකක් යන්නට මත්තෙන් සිය පියා මෙලොව හැරයන්නේ බේලින් ඇතුළු දරුවන් පස් දෙනාගේ බර මවගේ කර මත තබමිණි.
කුඩාකල සිටම කවියට හපන්කම් පාන බේලින්
නිසි කල වයසයත් සමඟ කුඩා බේලින් අයනු ආයනු කියෙව්වේ හොරණ රජ මහා විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය කරඳන දේවානන්ද ලොකු හාමුදුරු වන්ගෙන්ය. සරම සහ සුදු කමිසය බේලින්ගේ නිල ඇඳුම විය. ගල්ලෑල්ල අතින් ගත් බේලින් තිබ්බොටුගොඩ වෙල්යාය මැදින් පාසල් ගියේ වැලිකල රජයේ පිරිමි පාසලටය. බේලින් ක්‍රියාකාරී දරුවෙකු විය. කොළු කුරුට්ටන් සමග දුවන පනින බෙලින් කුඩා කල පටන්ම කවි කීමේ නොසන්සිඳන ආශාවකින් පෙළුනේය. නිවස ඉදිරිපිට මහ ගල්තලාව බේලින්ගේ වේදිකාව විය. අවට සිසාරා විහිදුණු වෙල්යාය ගව රැල අතරින් දුවන පනින වසුපැටවුන්ගේ කෙළි සෙල්ලම් අවට වැලිකෙලින කොළු කුරුට්ටන් සතා සිවුපාවුන්ගෙන් සැදුම්ලත් සුන්දර වන පියස කුරුලු කොබෙයියන්ගේ නාදරටා බෙලින්ගේ කවි සිතුවිලි වර්ධනය කළේය.
වරෙක ඔහු මෙසේ ලියා තිබුණේය.
දුව පැන නටන වසු පැටවුන් නඟන හඬයි
සුරතල් බොළඳ දරුවන් වැලි කෙලින හැඩයි
ජංගුටු පනින්න ගැටවරයන් කරන වැඩයි
මගේ කවි කමට නව පණ දී රසය වඩයි
අධ්‍යාපනය හොඳින් අවසන් කළ බේලින් නොතාරිස් කෙනෙකු යටතේ ලිපි කරුවකු ලෙස සේවයට බැඳුනත් එම රැකියාවට බේලින් එතරම් කැමැත්තක් නොදැක්වූවේ තමා කුඩා කල පටන් ගුරුකමට කැමැත්තක් දැක්වූ නිසාවෙනි. ගුරුවරයෙකු වීමේ දැඩි බලාපොරොත්තුවෙන් පසුවූ බේලින් 1943 සැප්තැම්බර් මස පළමුවැනිදා හොරණ බැල්ලපිටියේ පිරිමි පාසලට මුල්ම පත්වීම ලැබුවේය. එතැන් පටන් තම ගුරු වෘත්තිය තුළ නොමැකෙන මතක සටහන් තැබූ ඔහු දිවයිනේ පාසල් දහයක පමණ සේවය කර ඇත. මළල්ගොඩ, අලුත්ගම වැනි ප්‍රදේශවල මෙන්ම රජරට වැව් බැඳි රාජ්‍යයේ ඉතා දුෂ්කර ප්‍රදේශවල අලි කොටි වලස්සු ගහන වන මැද දුෂ්කර දිවි ගෙවන ගොවි රජවරුන්ගේ දුවා දරුවන්ගේ නැණ නුවණ පහදන්නට ශිල්ප ඥානය දුන්නේ ඉතා සතුටින්ය. ජරාවට ගිය වැව හා එම ගමේ වැසියන් විඳින දුක්ගැහැට පිළිබඳව වරෙක බේලින් ලොකුවිතාන මෙසේ ලීවේය.
ඒ කොටුගම්හි ඉන්නෝ…

දරා දස දුක් හේනෙ වැඩකොට රෑට පැල් රැක වෙහෙස වන්නෝ..
නරාවල වැනි වැවෙහි දියබී එයින් නාගෙන පැලට යන්නෝ…
නිරාදුක් වළඳනා පිරිසකි ඔවුන්ගේ දුක දනිති දන්නෝ….
රජරට ටික කලක් සේවය කළ ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ නිවිතිගල තුත්තිරිපිටිය මිශ්‍ර පාඨශාලාවටය. කෙතරම් දුෂ්කර කාලවකවානු ගතවුවත් ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට ඔහු දේශපාලඥයන් පසුපස නොගියේය.
ජාතික හඬට කන් දී අස අසා බැනුම්
මහජන වේදිකාවෙන් මම ලබා ඇනුම්
ඉන්පසු පිටිසරට මාරුව ලබා පිනුම්
ගම්බද පාසලෙන් මතුවෙමි ලබා දිනුම්
ඇමැතිට ලියූ කවිය
එම පාසලට පැමිණෙන විට පාසලේ තිබුණේ එක් ගොඩනැඟිල්ලක් පමණි. එකල වැසි සමයක් විය. ලෑලි වලින් වට කරන ලද පොල්අතු සෙවිලි කළ ගොඩනැඟිල්ලේ වහලය අතරින් වැටෙන වැහි බිඳු ගොඩනැගිල්ලේ පොළොව එකම මඩ ගොඩක් බවට පත් කර තිබුණි.
එකල පාසලේ පැවති තත්ත්වය බේලින් ලොකුවිතාන නම් කවිකාර ගුරුවරයා එකල සිටි අධ්‍යාපන ඇමති ඩබ්ලිව් දහනායකට මෙසේ ලියා යැව්වේය.
සුළං පහරින් අපේ පාසල හරහා දිව යන දරුණු වැස්සට
දුවන්නට වෙයි ඔළුව හංගා ගන්න මැතිඳුනි බංකු අස්සට
එයින් පසු මඩ ගොඩේ වැඩ කොට මෙහෙන්
ගියපසු එකයි විස්සට
තදින් ලෙඩ වී කීප දවසක් බෙහෙත් බොන්නෙමු උණට කැස්සට
ඒ අනුව වැඩිකල් නොගොස් පාසලට ස්ථිර
ගොඩනැගිලි තුනක්, ගුරු නිවාසයක්, වැසිකිළි කැසිකිළි ආදී සනීපාරක්ෂක පහසුකම් ද ක්‍රීඩාපිටියක් සහිතව අංග සම්පූර්ණ පාසලක් බවට එම විදුහල පරිවර්තනය විය.
කාලයත් සමඟ ඔහුට තුත්තිරිපිටියට සමුදීමට කාලය පැමිණියේය. ඔහුගේ සමුගැනීම ඇසූ ගම්වාසීහු කඳුළු පිරි දෙනෙතින් ඔහු සොයා ආවහ. ඔහු සමුගන්නා විට ගම්පියසේ නොහැඬූ කෙනෙක් නැති තරම්ය. දරුවන් දෙමාපියන් මෙන්න ගම් වාසීන් ද ඔහුට එතරම් ආදරය කළහ. ඔහු තම සිත රැඳි වේදනාව සඟවා කවියෙන් රැස්ව සිටි පිරිස සැනසූවේ මෙසේය.
දක් සව ඉගෙන ගෙන අප හා එකට හිඳ
එක් වී නිතර කෙලි සෙල්ලම් කරන ලද
ලක් සන මිතුරියනි, මිතුරනි ඔබට හොඳ
දුක් වී ආයුබෝවන් යයි කියමු අද
හොඳින් සතර දිය ඉස හද තැන්න තෙමු
මෙයින් ගියත් යළි ඔබ හමුවන්න එමු
සිතින් සතුටු වී හැමදෙන දෙන්න සමු
ඉතින් ආයුබෝවන්! අපි යන්න යමු
එසේ සමුදුන් බේලින් ලොකුවිතානයන් ස්ථාන මාරු ලබා පැමිණෙන්නේ බුලත්සිංහල යටගම්පිටිය පාඨශාලාවටය. ඔහු පැමිණෙන විට පාසලේ අඩුපාඩු එමටය.
දිනක් පාසලේ ගුරු දෙගුරු රැස්වීමට පළාතේ මන්ත්‍රී එඩ්මන්ට්ස් සමරක්කොඩි මහතාට ආරාධනා කළ බේලින් ලොකුවිතානයන් දෙමාපියන් සහ දූ දරුවන් ඉදිරියේ පාසලේ සියලු එකට කැටිකර කවි පන්තියත් සකසා පාසල් ශිෂ්‍යාවක ලවා ගායනා කරවන්නේ මෙලෙසය.
විදු උපකරණ හෝ ගුරුවරයෙකු නැතුව
අඳුරුව ඇත අපේ ජීවිත බලගතුව
පොදු වැඩ කැමති මැතිඳුනි මෙය සිහි ඇතිව
සුදුසුම විලස විසඳනු මැන එකමුතුව

ඇතැම් විට ලියුම් කරදයි සිය ගණන් ලිව්වත් ජයගත නොහැකි දේ පද පේළි හතරක කවියකින් ලොකුවිතාන ජය ගත්තේය. වැඩි දිනක් යෑමට මත්තෙන් පාසලට විද්‍යාව උපකරණ සමග විද්‍යා ගුරුවරයෙක් ලැබුණා පමණක් නොව ක්‍රීඩා පිට්ටනිය ද කැපුණේය.
නිසි වයස් සපිරෙන විට ඔහුගේ හිත නැවතුනේ බණ්ඩාරගම රයිගම නම් සොඳුරු ගම් පියසේ විසූ සුන්දර යුවතියක් වන පී. විතාන මෙනවිය ළඟය.
ඇය දුටු දින ඇය පිළිබඳව ලොකු විතානයන් මෙසේ ලියා තැබුවේය.
දුටු දින සිටම මා දෙස විහිදු වන පබා
මේ රතු කැටය මගේ හදවත් විමනේ තබා
යළි ඉන් නිකුත් වී එන නව එළිය ලබා
ඉන්නෙමි ඉතින් මින් පසු කිසිවකට නොබා
1950 වසරේ හෙතෙම ඇය සමඟ විවාහ ගිවිස ගත්තේය. ඒ වනවිටත් ඇය නුවර දොඩංවල පාඨ ශාලාවේත්, ලොකුවිතානයන් බණ්ඩාරගම අලුත්ගම පාඨශාලාවේත් සේවය කළෝය.
ජයටම ගත් විවා මංගල්‍යයට දිවයිනේ ප්‍රසිද්ධ කවි කිවිඳියන් රැසක් පැමිණ සිටියහ. මංගල්‍යය එකම කවි සාගරයක් බවට පත් වූහ.
මේ අතර සිටි මී වදයේ සංස්කාරක ජෝන් රාජදාස කවියා තම සුභපැතුම මෙසේ ඉදිරිපත් කළේය.
කවියෙහි අනුහස පෙන්වා මහ කවියන් මැද නවීන
දිව ආ ඉදිරියටම පොඩි කරමින් හණමිටි පුරාණ
කවියාණනි! හිතවත් වැලිකළ බේලිං ලොකුවිතාන
දිවිය සුවෙන් වැජඹෙනු මැන මැතිනිය සහ පී. විතාන
සමන් මලක් ආදරයෙන් සිඹ සිඹ සිට නුදුරුදාක
සුරංගනා ලොව රස විඳ ඔබ අද කල් ගෙවන සේක
එයින් අප ද සැනසෙන මුත් ඇති පිටිසර දිළිඳු ගේක
නෙළුම් දේවි වැලපෙනු ඇත මට මහ ගැටලුවකි ඒක
මේ දෙපළට දාව දරුවන් අට දෙනෙකි. චන්ද්‍රා, ශාන්ත, පද්මා, කමල්, සුජීවා, රෝහිනි, වසන්තා සහ යසන්තා ඒ අට දෙනාය. රාජකාරිය දේවකාරී මෙන් සැලකූ ලොකුවිතානයන් තමන්ගෙන් සිය බිරියට සහ දරුවන්ට සිදු විය යුතුකම් නොපිරිහෙළා ඉටුකළ ආදරණීය පියෙකි.
1960 දශකය වනවිට බේළින් ලොකුවිතානයන් ගුරු සංගම් ව්‍යාපාරයේ පතාක යෝධයෙක් විය. හෙතෙම රජයේ ගුරු සංගමය පිහිටුවා ගත්තේ 1954 වර්ෂයේදී තෝපාවැව පාඨශාලාවේ පැවති හමුවකදීය. එහි සභාපති ලෙස එවකට තෝපා වැව පාඨශාලාවේ ප්‍රධානාචාර්ය වූ ඩී.ටී.කඩුගම්පල මහතා පත් වූ අතර මින්නේරිය රොටවැව පාඨශාලාවේ සිටි බේලින් ලොකුවිතානයන් ලේකම් ලෙස පත් විය.
සේවයෙන් අඩුපාඩුවක් නෑ හිඟන වැටුපට තට්ටු වෙනවා
බෑ ඉතින් තවදුරට ඉවසා ඉන්ට කෝදය කිට්ටු වෙනවා
මා කියන්නට ගියොත් මේ ගැන එදා මාවම මට්ටු වෙනවා
ඒ හෙයින් ගුලි ගැහී හිඳගෙන ලැබෙන වැටුපෙන් පිට්ටු කනවා
ඉහළ තැන්වල රැවුම් ගෙරවුම්වලට ලක්වී හඬා දුක් වී
අබල දුබලව සිටිය කල් ඇත ඔබම ඔබ හට විඩාවක් වී
දුබල කම් හැරදමා දැන්වත් පරණ හණමිටි කඩා එක්වී
බබල වේගෙන් පෙරට යමු ගුරු සහෝදරයනි! වඩා රොක් වී
ගුරුවරුන්ගේ වෘත්තිය තත්ත්වය නගාසිටීමට මෙන්ම ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමටත් ඔහු බොහෝ වෙහෙස මහන්සි විය. ඔහුගේ සෘජු බව වෘත්තීය සමිති නායකත්වයට පත්වීමට බලපෑ ප්‍රධාන සාධකයක් විය.
දේශපාලනික වශයෙන් බණ්ඩාරනායක දර්ශනය වැළඳගත් ඔහු නිදහස් රටක නිදහස් මිනිසුන් නිදහසේ ජීවත්විය යුතු යැයි පිළිගත්තේය. ඒ වෙනුවෙන් ඔහු බණ්ඩාරනායක මහතාගේ දේශපාලන වේදිකාවල කවියෙන් කතාවෙන් ජනතාව අවදි කරන්නට දැඩි වෙහෙසක් දැරිය.
කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු මීමන ප්‍රේමතිලකයන්, ඩී.කුමාරසිංහයන,් උපනන්ද බටුගෙදර, ධර්මසිරි හරිච්චන්ද්‍ර, පුෂ්පකුමාර ප්‍රේමරත්න යන කවීන් සමඟ එක්ව රයිගම්පුර කවි සමාජය ගොඩනගමින් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය.
ඔහු විසින් ලියා තම රසිකයන්ට දයාද කළ මුද්‍රිත කෘති ගණන හතරකි. ඔහු කුළුඳුලේ ලීවේ “පෙරළිය” නම් කාව්‍ය සංග්‍රහයකි.
හෙළයින් කුළුගැන්වීමේ අරමුණින් ඔහු අතින් තේජස නම් කාව්‍ය සංග්‍රහය ලියැවුණි.
හෙළ රසා වැවේවා !
එල්ල බස පණ ගැසේවා!
හෙළ එඩි වැඩි වේවා!
හෙළය හෙළයට අයිති වේවා!
ලෙඩ ඇදෙත් කවි ලියයි
පුවත්පත්වලට ඔහු නිරන්තරයෙන්ම කවි ලීවේය. ලොකුවිතානයන් රෝගී තත්ත්වයෙන් ලෙඩ ඇඳට වී සිටියදී පවා කවි ලීවේය.
මට හිමි වැඩ කොටස කෙරුමට ඇතුව හිත
වැටහෙන නැනැති බිරිඳක හා දරුවෝ ඇත
හෙට මිය ගිය නමුත් මේ ලෙඩ යහන මත
මට හඬ හඬා වැලපීමට කරුණු නැත
රෝගී තත්ත්වයේ සිටයේදීත් තම අසනීප මැඩගෙන දරුවන්ගේ නැණ නුවණ පාදන්නට වෙහෙස වූ බේලින් ලොකුවිතානයන් 1971 වර්ශයේදී තම රෝගී තත්ත්වයන් හේතුවෙන් නිසි වයස සම්පූර්ණ වීමට ප්‍රථම විශ්‍රාම සුවය ගත්තේය.
විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුට තිබූ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ මහ රෝහලට ඇතුළත් කළ ඔහු 1972 අගෝස්තු පහළොස් වන දින මෙලොවින් සදහටම සමුගත්තේය.
ඔහු මියයෑමට පැය කීපයකටකට පෙර අවසන් වචන කීපය අපැහැදිලි ලෙස මෙසේ සටහන් කර තිබුණි.
වේදනාව ඉවසාගත නොහැකි නිසා මරණය කරා යමි. දැන් මා එහි යා යුතුය…(ඉතිරිය අපැහැදිලිය) රට දැය සමය වෙනුවෙන් කවියට පණ දුන් වැලිකල කවියා නමින් ජනාදරයට පාත්‍ර වූ ඔහු මියගොස් මේ වනවිට දසක පහ ඉක්මා ගොස් අවසන්ය.
අද වනවිට ප්‍රවීණ ලේඛකයෙකු වන ඉන්දික සංජීව විතාන මහතා විසින් වැලිකල කවියා වෙත පිදෙන උපහාරයක් ලෙස”පීඩිත පන්තියේ විමුක්තිය සෙවූ වැලි කළ කවියා නමින් චරිතාප්‍රදානයක් ද ලියා එළි දැක්වීය.
ඔහු තම අත් අකුරෙන් ලියූ කවි පොත් පරිහරණය කළ කී දෑ පත්තර පිටු තවමත් ඔහුගේ බිරිඳ වන පී. විතාන මහත්මිය ආදරයෙන් සුරකී. අද වනවිට ඇය තම ජීවිතයේ සියවෙනි උපන් ්දිනේ සමරා හමාරය. බේලින් ලොකුවිතරණ නම් ආදර සැමියා මෙන්ම රටක් සැනසූ කවියාගේ කවි තුළ ඇය තවමත් ජීවත්වන්නීය. ඒ කවි අදටත් ඇයට ජීවය දෙන්නීය. තවත් දශක ගණනාවක් ගතවුව ද වැලිකළ කවියා පීඩිත පන්තිය වෙනුවෙන් නැගූ හඬ සදා ජීවමාන වනවා නියතය.
නයනදුල සෙන්දනායක