ශීත සෘතුවේ හිම වැටෙන දවසකි. එහි තියුණු ශීතල බව ඔබේ මුහුණට පවා දැනෙනු ඇත. ශෝකයෙන් බරිතවූ අහස ඝන තිමිරයකින් වැසී ගත් අතර කඳු සහ නිම්න සුදු පැහැති ආවරණයකින් වෙළාගෙන තිබුණි. හිම පතිත වීදියේ කපුටෝ එහා මෙහා පැන ගියෝ ය. හොඳින් ඇඳ පැලඳ සපත්තු පයලා සිටි මිනිස්සු, උණුසුම් නිවාස තුළින් එළියට බැස සුවපහසු ලෙස ඔවුන්ගේ අශ්ව කරත්තවල නැඟී ගියහ. ඇතැමෙකු පයින් ගියහ. හිම වැටෙන කටුක දවස ඔවුන් සතුටු කළා හැර කිසිවක් කළේ නැත.
ෂෙයිතාන් කඩවීදිය අද්දර, ගුර්බන් වාඩි වී සිටියේ ඔහුගේ ගම්වැසියෙකු වූ මුල්ලා ෆර්සාලි අසල ය. ඔහු අකුරු හා අභියාචනා ලියූ වීදි ලේඛකයෙකි. ගුර්බන් ශීතට නතුවී සිටියේ ය. එක් අතකින් ඔහු නූල් මතු වූ කමිසයේ විවෘත කරපටි එකටෙක අල්ලාගෙන සිටි අතර, අනෙක් අතින් තම සමට ඇලී තිබුණ කඩමාලු සපත්තුව ලිහිල් කිරීමට උත්සාහ කළේ ය.

“මට ලියුමක් ලියා දෙන්න මුල්ලා. මම හැමදාම ඔයාට ලාබයක් ගේනවා කියලා ඔයා දන්නවා නේ. මම ගමෙන් ඇවිත් අවුරුද්දකට වැඩියි. මේක ඔයා මට ලියාදෙන පස්වෙනි ලියුම.”
මුල්ලා ෆර්සාලි ඔහුගේ රළු ඇඟිලිතුඩු අතුල්ලමින් කඩදාසියක් එළියට ගෙන එය ඔහුගේ කලවා උඩ වූ ලෑලි කැබැල්ල මත තබාගත්තේ ය.
“මම මොනවද ලියන්න ඕන?” ඔහු ඈනුමක් පිටකළේ ය.
ඔහුට සමීපවූ ගුර්බන් ලොකු රහසක් කියන්නට මෙන් සැරසුණි.
“මුලින්ම, මගේ දරුවන්ගේ අම්මාට ආචාර කරන්න. දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්න කියලා එයාට කියන්න. ඊට පස්සේ අබ්දුල්ලා ෂයිගෙම්ව හොඳට බලාගන්න කියලා ලියන්න. අල්ලාහ්ට ප්‍රශංසා වේවා! මම හොඳින් ඉන්නවා. ගුලාම් – රේසා අත මම රූබල් පහළොවක් එවනවා කියලා ලියන්න. නිවාඩු කාලයේ තව ටිකක් එවන්නම් කියලත් එයාට කියන්න. දරුවන්ට අවශ්‍ය හැම දෙයක්ම අරන් දෙන්න කියන්න. වසන්තයේ අග භාගයේදී මම ගෙදර එනවා කියලා කියන්න.”
මුල්ලා තම පෑන ගෙන තීන්ත බඳුනට එබුවේ ය. ඔහු ලිපිය ආරම්භ කිරීමට සූදානම් වූ නමුත්, තීන්ත ඉතා ඝනවී ඇති බැවින් ලිවීමට නොහැකි විය. මුල්ලා ෆර්සාලි තීන්ත බඳුනට ප්‍රවේසමෙන් කෙළ ගසා, එය ඔහුගේ පෑන් තුඩෙන් කලවම් කර, කළ යුතු කාර්යයට යොමු විය.
නූල් පෑදුණු සළුව තම බෙල්ල වටා තවත් තද කරගත් ගුර්බන්, ඔහුගේ පපුවේ ඇති දිලිසෙන රෝම වසා ගත්තේය. කටුක ශීතලට තුන්කුදු ගැහී ඔහු පැමිණිලි කළේ;
“මගේ අලුත් ස්වාමියා කරුණාවන්ත නැහැ. අපි හාරමින් ඉන්න ළිඳ අඩි එකසිය අසූවකට වඩා ගැඹුරුයි. අපි පඩි වැඩිකරන්න කිව්වා, මොකද? ඒ තරම් ගැඹුරට යන එක බොහොම අපහසුයි. හුස්මගන්න බැරිව අපිව මැරෙයි. නමුත් ඒ අවජාතකයා, කැමති නෑ. ඌ කිව්වා අපි එකඟ වුණු විදියට හෑරීම කළේ නැත්නම්, ඌ අපිට කොහෙත්ම ගෙවන්නේ නෑ කියලා. මෙතැන සල්ලි හොයන එක අමාරුයි මුල්ලා.”
මුල්ලා ෆර්සාලි තම පෑන බිම තබා, අසල බිත්තියේ වූ කුහරයකින් වැලි ටිකක් ගෙන තීන්ත වියළීම සඳහා කඩදාසිය මත ඉස්සේ ය.
“ආහ්, මගේ මිත්‍රයා, ‘රණ්ඩුවක් පැත්තකින් ඉඳන් බලනකොට හැම වෙලාවෙම රසවත් වගේ පේනවා.”
“මිනිහෙකුට ඔයාගේ වැඩේට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඔයා දවසකට ලියුම් පහක් හෝ දහයක් ලියනවා ඇති. අනිත් අය වෙනුවෙන් යාඥා කිහිපයක් කියනවා. අල්ලාහ් හැමදාම ඔයාට ලබාදෙයි! ඔයාට ඇති තරම් කෑම තියෙනවා. අල්ලාහ්ට ප්‍රශංසා වේවා! මට වෙන මොනවද ප්‍රාර්ථනා කරන්න පුළුවන්?” ගුර්බන් නැවතත් පවසා සිටියේ ය.
“ඔයා මොනවා කිව්වත් මගේ රැකියාව. ඊර්ෂ්‍යා කරන්න තරම් දෙයක් නෙමෙයි. ගිම්හානයෙයි, ශීත කාලෙයි මම මංසන්ධියේ ඉඳගෙන ගනුදෙනුකරුවන් එනකම් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මගේ ඔළුව කරකැවෙන්න පටන් ගන්නවා. මට කිසිම වැඩක් නැති දවස් තියෙනවා. ඒ නිසා මම මෙතන ඉඳගෙන මගේ හිස්වුණ බඩ අතගානවා.”
මුල්ලා ගුලි වී, ඔහුගේ උරහිස් වටා වඩාත් තදින් සළුව ඇඳගෙන ලිපිය ශබ්ද නඟා කියෙව්වේ ය. ගුර්බන් ඕනෑකමින් ඊට සවන් දුන්නේය. මුල්ලාගේ මුවින් පිටවන වචන ගිල දැමීමට මෙන් ඔහු තම කට අයාගෙන සිටියේ ය.
ලිපිය ගැන ගුර්බන් සතුටු වූ බවක් ඔහුගේ මුහුණෙන් දිස්වුණි. අවසානයේ ඔහු මෙසේ පවසා සිටියේ ය.
“මුල්ලා, මගේ ලියුම ගුලාම් – රේසාට දෙන්න. ඉතින් මම ආපහු එනතුරු දරුවෝ බලාගන්න කියලා එයාට කියන්න. අපේ රතු එළදෙනට මොකද වුණේ කියලත්, පොඩි අශ්වයා විකුණුවා ද කියලත් මට ලිපියක් ලියා එවන්න කියලා එයාට කියන්න. මම ගෙදර එනකොට ආනා ඛානුම්ටත්, මෙමිෂ්ටත් රූප තියෙන රතු ලේන්සු දෙකක් ගේනවා කියලත් ලියන්න.”
මුල්ලා ෆර්සාලි ලිවීම අවසන් කළ පසු, ඔහු කඩදාසිය ප්‍රවේසමෙන් නමා, ලියුම් කවරයකට දමා;
“මේක කාගෙ නමට ද ලියන්න ඕනෑ?” යනුවෙන් අසා සිටියේය.
ගුර්බන් ව්‍යාකූලත්වයෙන් හිස කැසුවේය.
“එය ගුර්බන්ගේ දරුවන්ගේ මවට දෙන්න කියන්න.”
මුල්ලා ෆර්සාලි එහි ලිපිනය ලියා ගුර්බන් වෙත දුන්නේය. ගුර්බන් වෙව්ලන දෑතින් එය පිළිගෙන හොඳින් පරීක්ෂා කළේය. එය ඔහුගේ සළුව තුළට දැමීමට සූදානම් වන අවස්ථාවේ ශීතල වූ ඔහුගේ ඇඟිලි මතින් ලිස්සා ගියේය. ඔහු ක්ෂණිකව නැමී, එය රැගෙන, මෘදු ලෙස ඔහුගේ පපුවට තබා ගත්තේය. ඊට පසු තම බෑගයෙන් කොපෙක් දහයක කාසියක් ගෙන මුල්ලාගේ අතට දුන්නේය.
“මෙන්න මේක ඔයාට. නිවාඩුවට කලින් මම ආයෙත් එන්නම් තවත් ලිපියක් ලියාගන්න. ඔයාට මගෙන් වැඩක් ලැබෙයි. ටිකක් ඉන්න.”
ඔහු එක අතකින් ලියුම් කවරය තද කරගෙන නැඟී සිටියේය. ගුලාම් – රේසාගේ නිවසට ගොස් ඔහුට ලිපිය ලබා දී තමාගේම වචන කිහිපයක් එකතු කිරීමට ගුර්බන් ඉක්මන් කළේය. ඔහුට යමක් ඉතිරිකර ගැනීමට හැකි වූ අතර උපන් ගමට ගොස් තම දරුවන් බැලීමට ගුලාම්-රේසා අදහස්කර සිටියේය. ගුලාම්-රේසා වාසනාවන්ත මිනිසෙක් යැයි ගුර්බන් සිතුවේය. තවත් මාසයකින් එහි සියල්ල වෙනස්වන ආකාරය ඔහුගේ සිතුවිලි අතරට එකතු විය.
කඳු මුදුන් මරකත පලසකින් වැසී යනු ඇත. වනාන්තර කොළ පැහැයෙන් සැරසී මල් පිපී ලස්සන වනු ඇත. උණුසුම් ප්‍රදේශ වෙත ගිය සතුන් ආපසු පැමිණෙනු ඇත. සැළලිහිණියන් සහ කොක්කු උන්ගේ පැරණි වාසස්ථාන සොයා යළි පැමිණෙනු ඇත. උද්‍යානවල වැඩ කටයුතු ඇරඹෙයි. ධීවරයන් ගංගා සහ විල් බලා පිටත්ව යනු ඇත. ගුර්බන්ගේ පපු කුහරයෙන් නැඟී ආ සුසුම නාස්පුඬු ඔස්සේ වාතයට මුසු විය.
අහ්, කටුක දුප්පත්කම, ඔයා ගුර්බන්ට මොකද කළේ ? ඔයා, එයාව පිට පළාතකට යැව්වා. එයාගේ බිරිඳගෙනුයි දරුවන්ගෙනුයි එයාව ඈත් කළා.
ගුර්බන්ට උගුරේ අපහසුවක් දැනුණි. ඔහුගේ හදවත ගල් විය. දණහිස් අගුළු වැටී ඔහු හිම මත වැටුණි. මොහොතකට පසු සිහි එළැඹි ඔහු හිස එසවීමට උත්සාහ කළේය. ඉතා දුර්වල සහ අසරණ බවක් ඔහුට දැනුණි. අශ්ව කරත්ත තුළ සිටි මිනිසුන්ගේ ප්‍රීතිමත් මුහුණු පාවී ගියේ ය. ද්වේෂයෙන් හා දොම්නසින් ඔහු ඒ දෙස බලා සිටියේ ය. තම ශක්තිය රැස්කර ගනිමින්, ඔහු සෙමින් නැඟිට, ලිපිය තවමත් එහි ඇති බව සහතික කර ගැනීමට ඉක්මණින් තම අත සළුව තුළට දැමී ය. අතට හසු වූ ලිපිය තව තවත් යටට තදකර, සුදුමැලි වූ දෙතොල් අතරින් ගුර්බන් දිගු සුසුමක් පිට කළේ ය.
ඔහු නැවතත් තම මිතුරා සිටින ස්ථානය බලා පියවර නැඟීය. එය අනපේක්ෂිත බලාපොරොත්තු සුන්වීමකි. එහි දොර අගුළු දමා තිබුණි. ගුර්බන් දුකෙන් ආපසු හැරුණි. ඔහු කම්කරුවන් සමූහයා මැදින් දෑස් අඳුරුකරගෙන ඇවිද යන අවස්ථාවේ හදිසියේම සෆාර් දුටුවේය. ගුර්බන් ඔහුට අත වැනී ය. ගුලාම්-රේසා නගරයට ගොස් ඇති බව දැනගත්තේය.
“එයා ආපසු පැමිණි වහාම, ගමට යෑමට පෙර මට එයාව හමුවෙන්න ඕනෑ බව කියන්න. මට ලියුමක් එක්ක මගේ පවුලට මුදල් ටිකක් යවන්න ඕනා. මා වෙනුවෙන් ඔහුට එය කියන්න.”
එක්වරම ස්වාමි හාජි-ගුලි ඔවුන්ට කෑගැසීමට පටන් ගත්තේය:
“අනේ අපතයෝ! කම්මැළියෝ! ළිඳ නොගැඹුරු වුණාම, මෙතැන මම ඔළුව උඹලා වලිගය. මම කොහේ හැරුනත්, උඔලා මා පසුපස බඩගාගෙන එන්න ඕනෑ. නමුත් දැන්, ඒක ගැඹුරුයි කියලා, උඔලා ඔළුව වෙන්න හදනවා. හැමදාම උඹලා තර්ජනය කරනවා. හැමදාම උඹලා අලුත් ඉල්ලීම් අරං එනවා. උඹලා කියන්නේ ළිඳ ගැඹුරු වැඩියි කියලද? ඒකෙන් මරණීය සුවඳක් එනව කියලද?. තවත් ඒ වගේ විකාර කතා. හිතලා බලපල්ලා! උඹලට සංවරකමේ හැඟීම නැති වෙලා. උඹලට වුවමණා පහර දෙන්න විතරයි!”
සෆාර් සහ තරිවර්දි ළිඳේ පතුලේ සිට ඉවතට ගත් වැලි බැහැරට හළා. බකට්ටුව නැවතත් පහළට යැවූහ.
“අපි තාමත් වලිගය, අග්ඝා,” තරිවර්දි පැවසී ය.
“සෆාර් උඹ දන්නවනේ ඒක කොච්චර භයානකද කියලා. ඒකෙ පහළ වැඩකරන හැටි. ඒකෙ කට හරියට බලාගෙන ඉන්න මකරෙක් වගේ. උඹ දන්නවනේ හොඳ හෘද සාක්ෂියක් හොඳ දෙයක් බව.” තරිවර්දි නැවතත් පැවසී ය.
“අතන බලන්න. එතන හැම බිම් අඟලකම, කොතැනක ගල්කටුවක් ගැහුවත්, උඹ කම්කරුවෙකුගේ ඇටකටුවලටයි පහර දෙන්නේ. උඹට හැම තැනකම උන්ගේ කෙඳිරිගෑම ඇහෙයි. මේ ලස්සන, උස ගෙවල්වල ජීවත් වන අයට පවා” සෆාර් ඈතින් පෙනෙන තෙල් ඩෙරිකය පෙන්වමින් පවසා සිටියේ ය.
“උඹට ඕන නම් ගිහින් මැරියන්.” අග්ඝා හඬ නැඟීය.
ඔවුන් අසලට පැමිණි හාජි-ගුලි තම පාදයකින් පොළවට ගසා කෑගසමින්;
“උඹලා හිතන්නේ සල්ලි ලේසියෙන් උනනවා කියලාද? උඹලාගේ අවදානම ජීවිතය ගැනයි. නමුත් අපි අපේ වාසනාව අවදානමට ලක් කරනවා.”
“සෆාර්! හේයි, ගුර්බන්! කඹය පහළට ඇදගෙන පලයන්.”
කම්කරුවන් දෙදෙනා නැවත තෙල් ළිඳ වෙත දිව ගියහ. ඔවුන් බිම වැතිරී එහි ගැට්ටට ඉහළින් ඒ දෙසට නැඹුරුවූ අවස්ථාවේ, අතිමහත් ශබ්දයකින් නැඟී ආ වාතයේ සැරෙන් ඔවුන් ඉවතට විසි කළේය.
“දෙවියන්, අනුකම්පා කරත්වා.” ඔවුන් බියෙන් කොඳුරන්නට විය.
සෆාර් මහත් ආයාසයකින් හිස එසවූයේ ය.
“ගුර්බන් මැරිලා.”
හාජි-ගුලිට ඒ හඬ නොඇසුණු බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ළිඳ වෙත ගොස් ප්‍රවේශමෙන් නැමී සිටියේය. ඔහුගේ දෑස් දිලිසුන අතර ප්‍රීතිමත් සිනහවකින් දෙතොල් ඇදී ගියේය.
“තෙල් එන්න සිදුරක් මතුවෙලා! උල්පතකින් වගේ ඉහළට තෙල් එනවා!”
“ගුර්බන්ගේ මළ සිරුර ගැන මොකද කියන්නේ හාජි? ඒක එතනම තියන්න කියල ද කියන්නේ?” උපේක්ෂා සහගත බවක් පෙන්නුම් කරමින් තරිවර්දි අසා සිටියේය. ඒ වදන් ඔවුන්ගේ ස්වාමියාට බිය උපදවන බලපෑමක් ඇති කළේය.
හාජි-ගුලි ගේ දෑස් විශාල විය. ඔහු තම මුදල් පසුම්බියෙන් රූබල් විසිපහක නෝට්ටු දෙකක් ගෙන
“මෙන්න මේක මිනිය අරගෙන එන ඕනෑම කෙනෙකුට දෙනවා.” යනුවෙන් මිමිණුවේය.
තරිවර්දි ළිඳ දෙසට එබී බැලුවේය. බුබුළු දමමින් තෙල් මතුපිටට නැගෙන්නට විය.
“දුප්පත් ගුර්බන්. ඔයා ඔයාගේම මිනීවළ හාරගත්තා.”
“මෙන්න, මේ සල්ලි අරන් උඹලා අතරේ බෙදාගනිල්ලා. නමුත් කාටවත් වචනයක්වත් කියන්න එපා, ඇහෙනවද? හාජි-ගුලි නැවතත් පවසා සිටියේය.
“ගුර්බන්ගේ ඇඳුම්වලට මොකද කරන්නේ අග්ඝා?”
සෆාර්ගේ උරහිස මත මෘදු ලෙස අත තැබූ හාජි-ගුලි;
“ඒවා මෙහේ කොහේ හරි වළලපන්” යැයි පැවසීය.
ඔවුන් ගුර්බන්ගේ ඇඳුම් එකතුකරන අවස්ථාවේ ලියුම් කවරයක් බිමට වැටුණි.
තම බිරිඳට යවන්න ඔහු ලියවාගත් ලිපිය එහි විය.
“ආහ්…දුප්පත් ගුර්බන්….”
(මෙය Azerbaijan ජාතික Abdulla Shaig විසින් රචිත Undelivered Letter කෙටි කතාවේ පරිවර්තනයයි.)
(අබ්දුල්ලා ෂෙයිග් Abdulla Shaig 1881 පෙබරවාරි 24 වන දින ෂයිතාන්බසාර් Shaitanbazar දිස්ත්‍රික්කයේ ටිබිලිසි ඔඉසකසිස හිදී උපත ලැබීය. ඔහු පොහොසත් සාහිත්‍ය උරුමයක් ඉතිරි කළ ප්‍රමුඛ අසර්බයිජානියානු කවියෙකු, ලේඛකයෙකු සහ අධ්‍යාපනඥයෙකි. ඔහුගේ කවි, ගද්‍ය, නාට්‍ය මෙන්ම සාහිත්‍ය පරිවර්තන, පර්යේෂණ, අධ්‍යාපනික සහ මහජන සේවයට අදාළ බහුවිධ කෘති ඇතුළත් වේ. ඔහු අසර්බයිජානියානු ළමා සාහිත්‍යයේ සහ නාට්‍යයේ නිර්මාතෘ ලෙස සැලකේ. ඔහුගේ බොහෝ සාහිත්‍ය, ශාස්ත්‍රීය සහ අධ්‍යාපනික කෘති අසර්බයිජානයේ සහ ඉන් ඔබ්බට පරම්පරා
ගණනාවක ජනතාවට බලපෑම් කර ඇති අතර අසර්බයිජානියානු ජාතික අනන්‍යතාවය ගොඩනැඟීමට ඒ ඔස්සේ ඔහු දායක වී ඇත.
1946-1956 දී ෂයිග් සෝවියට් සංගමයේ උත්තරීතර සාමාජිකයෙකු ලෙස තේරී පත් විය. එම කාලයේදී ඔහුට රතු කම්කරු ධජය සහ වෙනත් පදක්කම් කිහිපයක්ම පිරිනමන ලද අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔහුගේ සේවාවන් වෙනුවෙන් හෙතෙම ගෞරවයට ද පාත්‍ර විය. වයස අවුරුදු 78 දී එනම් 1959 ජූලි 24 වන දින බාකුහිදී අබ්දුල්ලා ෂයිග් මියගිය අතර ඔහුගේ දේහය ඇලී ඔෆ් ඔනර්ස් (Fakhri Khiyaban)හි තැන්පත් කර තිබේ.
පරිවර්තනය : එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ – මත්තේගොඩ