Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය

4 days ago
296 Views

ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් පසු එම ස්ථානයේ විවිධ ගොඩනැඟිලි ඉදිකිරීම සම්බන්ධ තොරතුරු වංසකථාවල සඳහන් වෙයි. බෝධීන් වහන්සේ රෝපණය කර තිබූ මළුව චතුරශ්‍රාකාර එකකි. එය වටා ප්‍රාකාරයක් ද බැඳ තිබුණු අතර සතර දිසාවෙන් ම ඊට දොරටු හතරක් විය. පළමුව සලපතල මළුවක් දෙවනුව වැලි මළුවක් ද පිහිටා තිබිණ. පසු කාලයේදී දකුණු දොරටුවෙහි ශෛලමය සිංහාසනයක් හා සිව් කොනේ ධර්මචක්‍රය යෙදූ කුලුනු ද සවිකර තිබුණ බව සඳහන් වේ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්වැසි බෞද්ධයන් විසින් අතිශය පූජනීය වස්තුවක් වශයෙන් සලකනු ලැබෙයි. දඹදිව මගධ රට බුද්ධගයාවෙහි දී සිදුහත් බෝසතුන් බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත්තේ බෝධිවෘක්‍ෂය පාමුලදීය. බුද්ධගයාවේ පිහිටියා වූ එම බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලක්දිවට වැඩම කරවන ලද්දේ ක්‍රි. පූ. 246දී පමණ දේවානම්පියතිස්ස රජු දවසය. බෝධි ශාඛාව සහිත නැව ළඟා වූයේ දඹකොළ පටුන නම් ස්ථානයටය. එහි සිට අනුරාධපුරයෙහි උතුරු වාහල්කඩ දක්වා මඟ දෙපස අලංකාර ලෙස සරසා බෝධි ශාඛාව ඒ මගෙහි වැඩමවා ගෙන එන ලදී. මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙන ලද පරිදි මහමෙව්නා උයනෙහි රාජද්වාරය පිහිටා තිබුණු ස්ථානයෙහි බෝධි ශාඛාව රෝපණය කරන ලදී.

‘බෝධි’ යන්නෙන් බිඳී විත් පොදුජන වහරෙහි ‘බෝ’ යනුවෙන් හැඳින්වෙන්නේ ඇසතු නම් ගස් වර්ගයයි. එය පාලියෙන් අස්සත්ථ කියා ද සංස්කෘත භාෂාවෙන් අශ්වත්ථ යනුවෙන් ද යෙදේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය ඉංග්‍රීසි බසින් ත්‍සජමි රුකසටසදි් යනු වේ.

දේවානම්පියතිස්ස රජු සමයේ දඹදිව පාලකයා වූ අශෝක මහරජු විසින් සිය දියණිය වූ සංඝමිත්තා මෙහෙණිය භාරයේ එවන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව අද දක්වාම ඉතා ගෞරවයෙන් යුක්තව ආරක්‍ෂා කර ගෙන ඇත. බුද්ධගයාවේ පිහිටි බෝධි වෘක්‍ෂය පසුව අභාවයට ගොස් ඇති හෙයින් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය පැරැණිම බෝධි වෘක්‍ෂය ලෙස සැලකෙයි. ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා දක්වන පරිදි අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වාර්තාගත ඉතිහාසයක් ඇති වෘක්‍ෂ අතරින් ලොව පැරැණිම නිදසුන ලෙස සැලකිය හැකිය.

ශ්‍රී මහා බෝධිය හුදෙක් තනි පූජ්‍ය වස්තුවක් පමණක් නොව මෙරට ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායයන් බිහි කොට වර්ධනය කිරීමට හේතුකාරක වූ සංස්ථාවක් බව කිව හැකිය. එය මෙරටට ගෙන එන ලද අවස්ථාවේ, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ හා සෙට්ඨි (වෙළෙඳ) කුලවල ජනයා පමණක් නොව විවිධ කලා ශිල්ප ප්‍රගුණ කළ පවුල්වලට අයත් පිරිස් ද පැමිණි බව මහාවංසය, සමන්තපාදිකාව ආදී සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වෙයි. අදත් පාරම්පරිකව විවිධ කලා ශිල්ප කටයුතුවල යෙදෙන බොහෝ දෙනා තමන් ශ්‍රී මහා බෝධිය වඩම්මවාගෙන එන ලද අවස්ථාවේ දිවයිනට පැමිණි අයගෙන් පැවත එන්නන් බව සඳහන් කරන්නේ දැඩි ආඩම්බරයෙනි. දඹදෙණි රාජ්‍යය පිහිට වූ විජයබාහු රජු (ක්‍රි.ව. 1215-1236) ද ශ්‍රී මහාබෝධිය වඩම්මවා ගෙන ආ පිරිසෙන් පැවත එන බව රාජාවලියෙහි සඳහන් වෙයි. කෙසේ වුවද මෙහිදී අවධාරණය කළ යුතු කරුණ ශ්‍රී මහා බෝධිය සමග පැමිණි ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෙළෙඳ යන කුලවලට අයත් පිරිස් නිසා මෙරට සමාජයන් විවිධ ශිල්ප ශ්‍රේණිවලට අයත් කර්මාන්තකරුවන් නිසා කලා ශිල්පත් පෝෂණය වූ බවය.

අනුරාධපුර මහමෙව්නා උයනෙහි ශ්‍රී මහා බෝධිය රෝපණය කළ අවස්ථාවෙහි ඉන් ආශ්චර්යමත් ලෙස අංකුර අටක් පැන නැගුණු බව මහාවංසයෙහි සඳහන් වේ. මේවා මෙරට නොයකුත් ස්ථානවල පැළ කරන ලදී. මේ ආකාරයෙන් අනුරපුර ශ්‍රී මහා බෝධිය සිටුවා සුළු කාලයක් තුළ ශ්‍රී ලංකාවේ බෝධි වෘක්‍ෂ රෝපණය පැතිර ගිය බව පෙනෙයි. මෙකල ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන හැම එකකම අත්‍යවශ්‍ය පූජනීය අංගයක් ලෙස බෝධි වෘක්‍ෂයක් දක්නට ලැබෙයි. එය බෞද්ධයිනට බුදුරජාණන් වහන්සේගේ සහ සම්බෝධියෙහි ගෞරවාන්විත අනුස්මරණයකි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් පසු එම ස්ථානයේ විවිධ ගොඩනැඟිලි ඉදිකිරීම සම්බන්ධ තොරතුරු වංසකථාවල සඳහන් වෙයි. බෝධීන් වහන්සේ රෝපණය කර තිබූ මළුව චතුරශ්‍රාකාර එකකි. එය වටා ප්‍රාකාරයක් ද බැඳ තිබුණු අතර සතර දිසාවෙන් ම ඊට දොරටු හතරක් විය. පළමුව සලපතල මළුවක් දෙවනුව වැලි මළුවක් ද පිහිටා තිබිණ. පසු කාලයේදී දකුණු දොරටුවෙහි ශෛලමය සිංහාසනයක් හා සිව් කොනේ ධර්මචක්‍රය යෙදූ කුලුනු ද සවිකර තිබුණ බව සඳහන් වේ. මහානාග රජතුමා (ක්‍රි.ව. 569 – 571) විසින් මළුව වටා දිය අගලක් තනන ලදී. දෙවෙනි සේන රජතුමා (ක්‍රි.ව. 851 – 885) එය පිළිසකර කොට උත්සවයක් පැවැත්විය. දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණ ප්‍රාකාරය අබලන් වී අලි, ඇතුන් ආදී සතුන් විසින් හානි පමුණවා ඇති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747 – 1781) එම ප්‍රාකාරය තහවුරු කිරීමට කටයුතු කළේය. ඉහත කී පරිදි ප්‍රාකාර, දොරටු, දිය අගල් ආදී අංග අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් පමණක් නොව සෙසු බෝධීන් වහන්සේලා සඳහා ද ඉදි කෙරිණි.

බෝධිය මුල්කර ගෙන බිහිවුණ ඉතාමත් වැදගත් ගෘහ නිර්මාණාත්මක අංගය ‘බෝධිඝර’ (බෝ ගෙය) නම් ගොඩනැඟිලි විශේෂයයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ බෝධිඝරයක් ගැන ද මහාවංසයෙහි සඳහන් වෙයි. 4 වන සියවසේ දී ජෙට්ඨතිස්ස රජු බෝධිඝරයට තොරණ තුනක් සෑදවිය. 5 වෙනි සියවසේ දී ධාතුසේන රජු බෝධිඝරය නැවත සෑදූ ලෙස දැක්වේ. දෙවෙනි සේන රජු විසින් එම බෝධිඝරය ප්‍රතිසංස්කරණය කරවන ලදී. එහෙත් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට සම්බන්ධව මෙම බෝධිඝරය අද දක්නට නැත.

‘බෝධිඝර ගණනාවක් ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවලින් සොයා ගෙන ඇත. බෝධිඝරයක් යනු කෙබඳු නිර්මාණයක් දැයි දැන ගැනීමට හොඳම නිදසුන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම නම් ස්ථානයෙන් සොයා ගෙන ඇති ගොඩනැඟිල්ලයි. මේ බෝධිඝරයේ සපතල වේදිකාවකි. එය තට්ටු දෙකකින් යුක්තය. පහළ තට්ටුව සතරැස්ය. එහි නැඟෙනහිර හා බටහිර පැතිවලින් ද්වාර මණ්ඩප දෙකකි. ඉන් නැඟෙනහිර දොරටුව විශාලය. දොරටු දෙපස චාම් සඳකඩ පහන්වල සිට ඉහළට යාමට ඇති පියගැට පේලි දෙකකින් ඉහළ මාලයට පිවිසිය හැකි ය. ඉහළ වේදිකාවේ පාදය ද චතුරශ්‍රාකාරය. මේ වේදිකාව පොළොවේ සිට අඩි 6 1/2 උසය. ඉහළ වේදිකාවෙන් නොවැසුණු පහළ වේදිකාවේ බිමෙහි ගල් පුවරු අල්ලා තිබේ. අඩි 4ක් දිග අඩි 2 අඟල් 6ක් පළල ගලින් කළ ආසන 4ක් ඉහළ වේදිකාව ඉදිරිපිට සතර පැත්තෙන් පිහිටුවා ඇත. ශෛලමය වේදිකාවේ ස්තම්භ 16ක් වේ. ඉන් 12ක් පහත මාලකය වටා ඇති ශෛලමය ප්‍රාකාරයට සම්බන්ධ කොට පිහිටුවා ඇත. තවත් ස්තම්භ 4ක් ඉහළ වේදිකා පාදයට අඩියක් පමණ ඈත්ව ඊට සමාන්තර පිහිටි චතුරශ්‍රයක කොන් හතරේ සිටුවා ඇත. මෙම ගොඩනැඟිල්ල ආශ්‍රිතව සොයා ගන්නා ලද සෙල් ලිපියක් නිසා එය ක්‍රි.ව. 8 වන සියවස්වලට අයත් වූවක් බව තීරණය කර ඇත.

නිල්ලක්ගම බෝධිඝරය, මුලින් ම හඳුනා ගන්නා ලද ඒ වර්ගයේ ගොඩනැඟිල්ල ය. එමෙන්ම එය ඉතා හොඳින් ආරක්‍ෂා වී ඇති නිදසුන ද වේ. එය හැරුණු කොට වෙනත් බෝධිඝර රැසක් ඉන් අනතුරුව හඳුනා ගනු ලැබ ඇත. ප්‍රාචීනතිස්ස පබ්බත, පන්කුලිය, පුලියම්කුලම, විජයරාම, මගුල් මහ විහාරය, මොරගොඩ (පදවිය), තොළුවිල, කළුදිය පොකුණ, මැණික්දෙන, සීගිරිය, වෙස්සගිරිය, පුළුකුණාවී යනාදී ස්ථානවලින්ද ‘බෝධිඝර’ ලෙස හඳුනා ගත හැකි ගොඩනැඟිලි අවශේෂ හමු වී ඇත. බෝධිඝරයක් හැමවිටම නිල්ලක්ගමින් හමු වූ නිදසුන මෙන් සතරැස් ගොඩනැඟිල්ලක් නොවුණු බවත් ඒවා සැලැස්ම අනුව වර්ග කීපයකට අයත් ඒවා බවත් මහාචාර්ය සේනක බණ්ඩාරනායක පෙන්වා දෙයි. 1960 ගණන්වල කරන ලද පුරා විද්‍යා කැණීම් ගණනාවක් මගින් හඳුනා ගන්නා ලද ‘ආසනඝර’ නම් ගොඩනැඟිලි වර්ග ද ශ්‍රී මහා බෝධියට ද සම්බන්ධකම් දක්වන බව පෙනෙයි. යටත් පිරිසෙයින් මේ වර්ගයේ පුරාණ ගොඩනැඟිලි සහිත ස්ථාන විසිපහක් පමණ දැනට හඳුනා ගෙන ඇත. මේ ‘ආසනඝර’ නම් ගොඩනැඟිලි වර්ගයේ ආසනය පිහිටුවා තිබෙන්නේ හරි මැද වළක් වැනි දෙයකට ඉඩ තබා පැත්තකට වෙන්නට යැයි පවසන මහාචාර්ය බණ්ඩාරනායක මේ ගොඩනැඟිලි වර්ගය වජ්‍රාසනය මෙන්ම බෝධියද ප්‍රධාන වන්දනීය වස්තු ලෙස ඇතුළත් කොට තැනූ පූජනීය ගොඩනැඟිලි විශේෂයෙන් ලෙස සලකයි.

බෝධිඝර, ආසනඝර, බෝධි මණ්ඩප, බෝධිප්‍රාකාර යන ගෘහ නිර්මාණ අංග මුළු දිවයින පුරා ඇති ගම් නියම්ගම්වල දහස් ගණනින් ඉදිවී ඇත. බෝධි වෘක්‍ෂ රෝපණය ක්‍රි.පූ. 3 සියවසේ සිදුවූ මහා බෝධි ශාඛාව මහවිහාර භූමියේ පිහිටුවීමේ අවධියේ සිට නොකඩවා අදත් සිදු කෙරෙන්නකි. එක් එක් බෝධියක් සඳහා යටත් පිරිසෙයින් ප්‍රාකාරයක්වත් ගෘහනිර්මාණාත්මක අංගයක් ලෙස ඉදි කෙරෙයි. එබැවින් බෝධි වන්දනාව මගින් ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාවට විශාල බලපෑමක් සිදුවී ඇති බව නිගමනය කළ හැකිය.

මේ ගෘහනිර්මාණ අංගය එනම්, බෝධිඝර ආසනඝර, බෝධි මණ්ඩප, බෝධි ප්‍රාකාර යනාදිය අලංකරණය පිණිස කලාත්මක හැකියාවක් යොදා ගැනිණ. දැනට වඩාත් හොඳින් ආරක්‍ෂා වී ඇති නිල්ලක්ගම බෝධිඝරයෙන් මේ බව මැනවින් පැහැදිලි වෙයි. හස්තිපංති, හංස පන්ති, සිංහ පන්ති, ලියවැල්, පලාපෙති මෝස්තර අධෝවෘත පද්ම කුමුද බොරදම් මකර කොරවක්ගල්, සඳකඩ පහන් යනාදී වශයෙන් පැරැණි කලාවේ ප්‍රකට අලංකාර අංග රැසක් නිල්ලක්ගම බෝධිඝරය සම්බන්ධ ගෘහනිර්මාණ තුළ දක්නට ලැබේ.

ඉන්දියාවේ සාඤ්චි ස්ථූපයේ දොරටුවේ වම් කණුවේ මැද උන්නත කැටයමකින් බෝධිය සහිත ගෘහයක් දැක්වෙයි. එහි බෝධිය පාමුල ආසන ගලක් ද දක්නට හැකිය. හාරුත්, අමරාවතී, මථුරා යන දඹදිව පැරැණි බෞද්ධ ස්ථානවලින් ද මේ ආකාර බෝධිඝර කැටයම් සොයා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ කැටයම් කලාවේ එබඳු නිදසුන් හමුනොවුනත් පොළොන්නරුවේ ගල් විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමාව බෝධින් වහන්සේට අනිමිස ලෝචන පූජාව පැවැත්වීමේ ආකාරයෙන් නිරූපිත වූවක් යැයි මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලකගේ සහ ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර දැක්වූ අදහස මෙහි දී වැදගත් වෙයි. එම අදහස නිවැරදි නම් ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ට සිය විෂය පද්ධතිය පෝෂණයට ශ්‍රී මහා බෝධිය ද හේතු වී ඇති බව පෙනේ. බෝධිය පැරැණි චිත්‍ර ශිල්පියාගේ කෘතිවල බොහෝ විට දක්නට ලැබෙන විෂයයක් විය.

මහනුවර යුගයේ චිත්‍රවල සොළොස්මහා ස්ථානය දැක්වෙන තැන්වල අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක්වීමට බෝධි වෘක්‍ෂයක ශෛලීගත නිරූපණය හැමවිටම වාගේ යෙදිණ. දෙගල්දොරුව, මැදවෙල, ගංගාරාමය, රිදී විහාරය, දළදා මාළිගාව, යාපහු විහාරය ඇතුළු මහනුවර යුගයේ වැදගත් විහාර හැම එකකම වාගේ මේ චිත්‍රය දක්නට ලැබෙයි. එමෙන් බුදුරදුන් බෝධි මූලයෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව ඉඳගෙන සිටීම හෝ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් පෘථිවි දෙවඟන සාක්‍ෂියට කැඳවීම දක්වන දර්ශනවල ද බෝධි වෘක්‍ෂය බුද්ධ රූපයට පසුබිමින් ඉහළට නැගී තිබෙනු පෙන්නුම් කෙරෙයි. මාතලේ දෑඹව විහාරයේ වූ පෙතිකඩ චිත්‍ර කීපයක ද කොළඹ ජාතික කෞතුකාගාරයේ පෙතිකඩ චිත්‍ර තුනක ද මෙසේ ශ්‍රී මහා බෝධි වෘක්‍ෂය නිරූපිතය. දඹුලු ලෙනෙහි ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන ඒමේ අවස්ථාව දර්ශනීය චිත්‍රයකට නගා ඇත. දේවානම්පියතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධින් වහන්සේ තැන්පත් කරන ලද පාත්‍රයක් වැනි බඳුනක් හිස මත තබා ගෙන සිටින සැටිත් එයින් නිරූපිතය. එම දර්ශනයට දකුණතින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධියත් එයට වැඳ නමස්කාර කරන භික්‍ෂූන් වහන්සේලාත් දැක්වෙයි. ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමේ දර්ශනය වඩාත් නවීන චිත්‍ර ශෛලියකින් කැලණිය රජමහා විහාරයේ නූතන බිතුසිතුවම් අතර දැක්වෙයි. සංඝමිත්තා තෙරණිය විසින් නැවකින් වැඩමවා ගෙන එනු ලබන ශ්‍රී මහා බෝධි ශාඛාව මඳ තැන් දියෙහි ගිය දෙවන පෑතිස් මහ රජතුමා විසින් දෝතින් පිළිගන්නා අවස්ථාව මෙහිදී සෝලියස් මෙන්දිස් නම් සුප්‍රකට චිත්‍ර ශිල්පිය විසින් චිත්තාකර්ශණීය ලෙස චිත්‍රයට නඟා ඇත. සැබවින්ම මේ චිත්‍රය පසුකාලීන ශිල්පීන්ට බොහෝ විට එම සිද්ධිය නිරූපණය කිරීමේ දී ආදර්ශ රූපයක් වූ බව පෙනේ. බිතුසිතුවම් හා පෙතිකඩවල පමණක් නොව පුස්කොළවලින් ලියන ලද ධර්ම ග්‍රන්ථ බොහොමයක පොත්කම්බ කට්ටලයේ සොළොස් මහාස්ථාන දක්වා ඇති තැන්වල ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ චිත්‍ර දක්නට ලැබෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ මූර්ති කලාව හා චිත්‍ර කලාව කෙරෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බලපෑම ඉතා බලවත් බව සඳහන් කළ හැකිය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කොටගෙන සාහිත්‍ය කෘති ගණනාවක් බිහිවී ඇත. ක්‍රි. ව. 10 වැනි සියවසේ දී උපතිස්ස නම් තෙරුන් වහන්සේ විසින් දාථා නම් හිමියන්ගේ ආරාධනයෙන් පාලි භාෂාවෙන් රචිත බෝධි වංශය මේ සම්බන්ධයෙන් දැනට හමුවන පැරැණිම කෘතියයි. එහෙත් ඊට පෙර ලියැවුණු සිංහල බෝධිවංශයක්වූ බවත් උපතිස්ස තෙරුන්ගේ පාලි කෘතියට මුල් වූයේ එකී සිංහල ග්‍රන්ථය බවත් එය ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රමාණවත්වූ නමුදු අවශේෂ දේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා අභිනව පාලි කෘතිය ලිවීමට තමන්ට සිදුවූ බවත් උපතිස්ස හිමියෝ පවසති. උපතිස්ස හිමියන්ගේ ග්‍රන්ථය රචනාවීමෙන් පසුව ඉහත සඳහන් වූ සිංහල බෝධිවංසය පරිශීලනයෙන් ඈත් වන්නට ඇත. බෝධිවංස සාහිත්‍ය කෘතිවල අරමුණ ශ්‍රී මහා බෝධිය, ඵලරුහ මහා බෝධි, ශාඛා මහා බෝධි යන තුන් මහා බෝධින්ගේ වංසය වර්ණනා කිරීමය. ඒ සඳහා පසුබිම සකස් කිරීම් වශයෙන් බෝධි සත්ත්වයන් සම්බන්ධ නිධාන කථාව, බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය යන කරුණු ද මේ කෘතිවල ඇතුළත් කොට ඇත.

මහා බෝධිවංසය ඇසුරෙන් එයම පරිවාර ග්‍රන්ථ රැසක් ලියැවිණ. බෝධිවංස ටීකාව පාලියෙන් ලියැවුණු අතර ගැටපදයක් හා පරිකථාවක් ද අනුවාදයක් හා සන්නයක් ද සිංහලෙන් ලියැවිණි. බෝධිවංස ටීකාව දුර්ලභ කෘතියක් ලෙස දක්වා ඇත. බෝධි වංස ටීකාව ගැන මෙරට ලේඛන අතරින් මුල්ම සටහන හමුවන්නේ චුල්ලබෝධිවංසයෙනි. එහි ද සඳහන් වන්නේ බෝධිවංස ටීකා යන්න පමණි. ඊට වැඩි තොරතුරක් එහි නොදැක්වේ. බුරුම හා සියම් ලේඛකයෝ මේ කෘතිය පිළිබඳ වැඩි තොරතුරු දක්වති. සියමේ රතනපඤ්ඤ නම් යතිවරයකු විසින් ලියන ලද ජිනකාලමාලයෙහි බෝධිවංස ටීකාව ගැන සඳහන් වේ. බෝධිවංස ටීකාවක් ගැන බුරුම පාලි සාහිත්‍ය ඉතිහාසය නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. එම්. එච්. එම්. බොද් විසින් ලියන ලද එම ග්‍රන්ථයේ බෝධිවංස ටීකාව හඳුන්වා ඇත්තේ ‘සහස්සරස්මි’ යන නමින් ය. එහි සඳහන් වන අන්දමට පගන්හි නරපති නම් රජු සමයෙහි ක්‍රි.ව. 1174 එම කෘතිය ලියන ලදී. බෝධිවංස ටිකාව ‘සහස්සරස්මි’ නමින් හඳුන්වන ලද්දේ එය එනම් ආචාර්යවරයකු විසින් රචනා කරනු ලැබීම නිසා ද නැතහොත් අර්ථාවබෝධය සඳහා සූර්යයා මෙන් ආලෝකය විහිදුවන්නක් හෙයින් දැයි නිශ්චය කිරීම අපහසු බැව් මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියෝ පවසති.

මහාබෝධිවංස ග්‍රන්ථි පදය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා ඇති වූ තවත් සාහිත්‍ය ග්‍රන්ථයකි. එයවූකලී පාලි මහා බෝධිවංසයේ ගැටළු පදයන් පිළිබඳව කෙරුණු විවරණයකි. මේ ග්‍රන්ථය කවර වකවානුවක රචිත දැයි නිශ්චිත ලෙස කිව නොහැක. කර්තෘ නාම සංදර්ශනයක් එම ග්‍රන්ථයේ නොදැක්වේ. එහි අන්තර්ගත භාෂා ලක්‍ෂණ අනුව සංස්කෘත භාෂාව මෙරට බෙහෙවින් ප්‍රචලිතව ගිය පොළොන්නරු යුගයේ මේ කෘතිය රචනා වන්නට ඇතැයි ඇතැම් විචාරකයෝ අනුමාන කරති. එහෙත් එහි භාෂාව 10 වැනි සියවසේ භාෂා විලාසයට අනුරූප වන බවත් කතුවරයා අනුරාධපුර භූමි ප්‍රදේශයන් පිළිබඳ තොරතුරු ප්‍රකටව පැවැති වකවානුවක ජීවත් වන්නට ඇති බවත් මහාචාර්ය පරණවිතාන මහතා කල්පනා කරයි.

ධර්ම ප්‍රදීපිකාව මහාබෝධිය මුල් කොට ගෙන කර ඇති අතිශයින්ම උසස් සාහිත්‍ය කෘතිය වේ. එය ද මහා බෝධි වංසයේ පරිවාර ග්‍රන්ථයක් ලෙස රචනා කරන ලද කෘතියකි. මහා බෝධි වංස ග්‍රන්ථි පදය පාලි බෝධි වංසයේ දුර්බෝධ පදයනට අර්ථ දැක්වීම සඳහා ලියා ඇති අතර ධර්මප්‍රදීපිකාව බෝධිවංසයෙන් තෝරා ගැනුණු පද 205 කට පරිකථා දක්වනු වස් රචනා කොට ඇත. ධර්මප්‍රදීපිකාව දඹදෙණි රාජ්‍ය සමයේ ගුරුළුගෝමී පඬිවරයා විසින් ලියන ලද විශිෂ්ට සාහිත්‍ය කෘතියක් වශයෙන් සැලකෙයි.

“සිංහල මහාබෝධි වංසය” නම් කෘතිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කථා පුවත සම්පූර්ණයෙන් විස්තර කරමින් කුරුණෑගල හරතවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ලියන ලද ග්‍රන්ථයකි. එහි කතුවරයා වූයේ සූර්යශතකය නම් කෘතියට සිංහල පන්නයක් ද අනාගත වංසය නම් සිංහල කෘතියක් ද රචනා කළ විල්ගම්මුල මහා ස්ථවිරපාදයන් වහන්සේය. බෝධි ඉතිහාසය පමණක් නොව සාමාන්‍ය ඓතිහාසික හා භූගෝලීය විස්තර ද සිංහල බෝධිවංසයට ඇතුළත් වී තිබේ. දෙතිස් ඵලරුහ බෝධි පිහිටි ස්ථාන එකක් පාසා එහි දක්වා ඇත.”

බෝධිය ආශ්‍රයෙන් ‘චූලබෝධිවංසය’ නම් කුඩා කෘතියක් ද ලියැවී ඇත. එහි කර්තෘ හා කාලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වේ. දඹදිව ශ්‍රී මහා බෝධි මූලයෙන් පැනනැඟුණ බෝ පැළ ගෙනැවිත් ශ්‍රී ලංකාවේ රෝපණය කළ ස්ථාන ආදී අමතර කරුණු ද මෙහි විස්තර වේ. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විසින් රචිත මධුරාර්ථ ප්‍රකාශන නම් කෘතිය බෝධි වංශ සන්නයකි. ඒ උත්සව හතරකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරවීම සිහිවීමවස් අවුරුදු පතා පෙරහැරක් පැවැත්වෙයි. මෙය මුලින් පටන් ගන්නා ලද්දේ 1903 දී බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ මූලිකත්වයෙනි. බොහෝ විට වැදගත් සමාජීය හා දේශපාලන කාර්යයන් ආරම්භ කිරීමේ දී බෝධීන් වහන්සේ වැඳ පුදා එසේ කිරීම සිරිතකි.

බෝධි පූජා පැවැත්වීම අද ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා අතර ඉතා බහුලව පැතිරී ගිය ආගමික වතාවතක් වී ඇත. දීර්ඝායුෂ, නිරෝගිභාවය හා ජයග්‍රහණය වැනි ලෞකික සම්පත් බලාපොරොත්තුවෙන් බෝධි පූජා පැවැත්වෙයි. මෙහිදී කෙරෙනුයේ සාමාන්‍ය පරිදි බුදුන් වැඳීම් මල් පහන් පිදීම් සිදු කොට අනතුරුව බෝධීන් වහන්සේ ජලයෙන් නැහැවීමය. මේ සඳහා විවිධ පුද්ගලයන් විසින් රචනා කර ඇති “බෝධි පූජා” කවි ද ජනප්‍රිය සාහිත්‍යාංශයක් ලෙස දැක්විය හැකිය. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණක් නොව දිවයිනේ ශ්‍රී මහා බෝධිය මෙරට සමාජීය සම්ප්‍රදායයන් වර්ධනය සඳහා ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ සංස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. බෝධි ශාඛාව මෙරටට වැඩම කළ අවස්ථාවේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, සෙට්ඨි යන කුලවල ජනයාගේ බෝධිය හා සම්බන්ධ විවිධ සේවාවන් සඳහා නොයෙකුත් ශිල්ප ශ්‍රේණිවලට අයත් කුලවාසීන් පැමිණි බව කලින් ද සඳහන් කරන ලදී. ඇතැම් රජවරු ශ්‍රී මහා බෝධිය වඩම්මාගෙන ආ පිරිසෙන් පැවැති එන්නන් ලෙස තමන් හඳුන්වා ගෙන ඇති අතර බොහෝ ප්‍රභූ පවුල් තමන් එසේ පැවැත එන්නන් ලෙස අද ද හඳුන්වා ගනිති. මේ ලෙස නුවර වැව බුලන්කුලම පවුල බෝධිය වඩම්මාගෙන ආ බෝධිගුප්ත කුමාරයාගෙන් පැවැත එන බව කියනු ලැබේ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නොයෙකුත් සේවාවන් කරන පිරිස් නුවර කලාවියේ ජන සංයුක්තිය තුළ විශේෂයෙන් සඳහන් කළ යුතු කොටසකි. “විහාර පදවියේ ගම්වැසියන්” වශයෙන් සැලකුණු ශ්‍රී මහා බෝධියට අයත් විහාරගම්වල වාසය කළ අයගේ එක් රාජකාරියක් වූයේ වන සිව්පාවුන්ගෙන් බෝධිය ආරක්ෂා කිරීම බව සඳහන් වේ. මේ පිරිස ‘වෙල්ලි දුරයි’ නම් කුලයකට අයත් යැයි සැලකෙති. ඔවුන්ට ඒ නම යෙදී ඇත්තේ දුනු හී රැගෙන ශ්‍රී මහා බෝධියට ඉහළින් කපුටෙකුට හෝ වවුලෙකුට හෝ පියාසර කිරීමටවත් ඉඩ නොතබා එය ආරක්ෂා කිරීම භාර තනතුර නොහොත් ධූරය දැරූවන් නිසා බවත් ධුරය දැරූවන් යන්න උච්චාරණයේ පහසුව තකා දුරයි යනුවෙන් වෙනස් වන්නට ඇති බවත් ආචාර්ය යූ. බී. කරුණානන්ද අදහස් කරයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් අවුරුදු පතා ප්‍රධාන උත්සව හතරක් පැවැත්වෙයි. දුරුතු මස පසළොස්වක පොහෝ දින පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සිංහල අවුරුද්ද ආසන්නයේ දිනෙක පැවැත්වෙන පරණ අවුරුදු මංගල්‍යය, සිංහල අවුරුද්දෙන් දින කිහිපයකට පසු පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යය සහ ඉල්මස පසළොස්වක පොහොය දින පැවැත්වෙන කාර්තිය මංගල්‍යය සියලුම විහාරස්ථානවල ඇති බෝධීන් මේ බෝධි පූජා සඳහා දැන් සම්බන්ධ කොට ගන්නා බව කිව හැකිය. මෙහි චාරිත්‍ර ඉටු කිරීම ගිහි උපාසක උපාසිකාවන් අතින් මෙන්ම භික්‍ෂුන් වහන්සේලා විසින් ද සිදු කෙරෙයි. ඇතැම් භික්ෂුන් වහන්සේලා බෝධි පූජා පින්කම් නිසාම සමාජයේ විශේෂ ප්‍රසිද්ධියට පත්වූහ.

බෞද්ධ සංස්කෘතික ලේඛන (සංස්කෘතික දෙපාර්තමේන්තුව ප්‍රකාශිත) අනුග්‍රහයෙනි.

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

17 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

7 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

1 day ago
Related News
විශේෂාංග

පාර්ලිමේන්තුවට ගිය කට්ටිය පෝලිමට උසාව්යට

විශේෂාංග

පළාත් පාලනයේ රාමුවෙන් පිටත සිස්ටම් වෙනස

විශේෂාංග

දැයෙන් සමුගත් මහ සෙන්පති හැමිල්ටන් වනසිංහ

විශේෂාංග

බිත්තර පරිභෝජනය ගැන දුර්මත බිඳ දැමිය යුතු ඇයි?

විශේෂාංග

අපරාධ නිවාරණය හා මරණ දඬුවම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok