පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීමම මානසික රෝගයක්
2020 දී මෙක්සිකෝවෙන් 11 හැවිරිදි පරිගණක ඝාතකයෙක්
දරුවන් පරිගණක ක්‍රීඩාවලින් මුදාගැනීමේ පළමු වගකීම ඇත්තේ ගුරුවරුන් සහ දෙමව්පියන් වෙත
දරුවා දිනකදී අන්තර්ජාලය හෝ ජංගම දුරකතනය ඉදිරියේ සිටින උපරිම කාලය පැය දෙකක් විය යුතුය.
විශේෂයෙන්ම අප රටේ දෙමව්පියන් පරිගණක ක්‍රීඩා සහ අපරාධ ගැන එතරම් බැරෑරුම්ව තබා කොහොමවත් කල්පනා කරන්නට සූදානම්ව නැති නමුදු, ලොව අංක එකේ ජනමාධ්‍ය ආයතනය සේ සැලකෙන බ්‍රිතාන්‍යයේ බීබීසී ආයතනය මේ පිළිබඳව ඉතා ගැඹුරින් සලකා බලා තිබේ.‘’The Game Changer” නමින් ටෙලි වෘතාන්තයක් ඔවුන් විසින් 2015 සැප්තැම්බර් මාසයේදී විකාශනය කරනු ලැබුවේ එහෙයිනි. ඕවන් හැරිස් නම් අධ්යක්ෂවරයාගේ නිර්මාණයක් වූ මෙය නිකුත් වූයේ Grand Theft Auto 111 නම් පරිගණක ක්‍රීඩාව නිකුත් වී වසරකට පසුවය. ඒවායින් සමාජයට වන බලපෑම සහ ඇමෙරිකාවේ ඉහළම දේශපාලන අධිකාරිය ඒ සඳහා සිය අවධානය යොමු කෙරෙන ආකාරයට මෙම ටෙලි වෘතාන්තය නිම කර තිබිණි. එම ටෙලි නිර්මාණය අවසන් වන්නේ පෙර කී ක්‍රීඩා මාලාව නිර්මාණය කළ ඍදජන ීඒර සමාගමේ එක් හිමිකරුවකු වන සෑම් හවුසර් නමැත්තා තමා අවට පරිසරය Grand theft Auto 111 ක්‍රීඩාවේ පසුබිම යයි සිතින් මවාගෙන රාත්‍රියේ වීදිවල සැරිසරන්නට පටන් ගැනීමෙනි!
විශේෂයෙන්ම අද වන විට අප රට තුළ ද දිනකට හතරක් පහක් මරා දැමීම සාමාන්‍ය කරුණක් බවට පත් වෙමින් තිබුණ ද, මේ අපරාධවලින් වැඩි කොටසක් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මුල් කර ගනිමින් ඔවුනොවුන් අතර සිදුවන ඒවා බව පෙනේ. වාසනාවකට මෙන් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඇති වූ විකෘතියෙන් කළ මිනීමැරුම් ගැන අපට අසන්නට ලැබෙන්නේ ඉඳහිට ය. නමුත් මීට මාස ගණනාවකට පෙර කැනඩාවේ ඔටාවාහිදී ශ්‍රී ලාංකික තරුණයකු විසින් සිංහල පවුලක නවදෙනකු ඝාතනය කිරීම අපට පෙන්වා දෙන්නේ වීඩීයෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම හේතුවෙන් තරුණයින්ගේ සහ ළමයින්ගේ මනස හෙරොයින් හෝ අයිස්වලටත් වඩා විකෘති වන බවය. බිහිසුණු ලෙස ව්‍යාකූල වන අයුරුය.
වාසනාවකට මෙන් තවම අප රට ඒ තත්ත්වයට පත් වී නැති නමුදු, කලින් රූපවාහිනි ටෙලි නාට්‍ය පෙන්වා දරුවන්ට බත් කැවූ මව්වරුන්, දැන් ස්මාර්ට් දුරකතනය දරුවා අතට දී බත් කවන්නට පටන් ගැනීම තුළ පෙනෙන්නට ඇත්තේ තවත් දශකයක් පමණ ගිය තැන එවැනි අත්දැකීම් ද නොඅඩුව විඳ ගන්නට හැකිවෙනු ඇති බවය.

ස්මාර්ට් ජංගම දුරකතනය ඉතා හොඳින් හසුරවන්නට හැකි දරුවකු සිටීම ගැන උදම් අනන වත්මන් දෙමව්පියන් ද ලෝකය ගැන හෝ සමාජය ගැන නිසි පරිදි කියවීමකින් තොර පරම්පරාවක් බැවින් ඔටාවා සිද්ධිය පරදවන පුවත් මැවීමේ හැකියාවක් අපට ද ලැබුණහොත් පුදුම විය යුතු නැත. අද දවසේ දෙමව්පියන් අත මෙන්ම දරුවන් අතට ද දී ඇති ස්මාර්ට් ෆෝනය සක්වළ සිසාරා බැලිය හැක්කක් වුවද දෙමව්පියන් නම් බලන්නේ ඉතා කෙටි දුරකි.
මෙවැනි කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වන රූමි රූබන් මහතාගේ අදහස වන්නේ පරිගණක ක්‍රීඩාවකට හෝ වේවා වෙනත් දෙයකට හෝ වේවා ඇබ්බැහිවීම යනු මානසික රෝගයක් බවය. ඔහු පවසන පරිදි එය අදවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා පිළිගත් කරුණකි. අනෙක් ඇබ්බැහිවීම්වලට වඩා අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහිවීම (Internet Game Addiction) මගින් විශේෂයෙන්ම දරුවකු අරබයා ඇතිවන ප්‍රධාන අහිතකර ලක්ෂණ කීපයක් හෙතෙම මේ ආකාරයට පෙන්වා දෙයි.
ප්‍රථමයෙන්ම සිදු වන්නේ ජීවිතයේ එදිනෙදා කළ යුතු අනෙක් කාර්යයන්ගෙන් ඔහු ඈත් වීමය. එමෙන්ම දවසේ වැඩි කාලයක් පරිගණක තිරය ඉදිරියේ හෝ ජංගම දුරකතනය සමග ගත කරන්නට පටන් ගනී. යම් ආකාරයකින් මෙම කටයුත්ත නවතා දැමීමට ඔහුට සිදුවුවහොත්, කෝලාහල කිරීම, දැඩි කනගාටුවකට පත්වීම, ජීවිතය ගැන කලකිරීමක් ඇතිවීම ආදී විරමණ ලක්ෂණ පෙන්නුම් කරයි.
වෛද්‍ය රූමි රූබන් මහතා පවසන පරිදි එසේ වන්නේ, පරිගණක ක්‍රීඩාවන් තුළින් ඔහු එතෙක් ජීවත් වූ සුන්දර ලෝකය අහිමිවීම නිසාය. එම ලෝකය පවතින යථාර්ථවාදී ලෝකයට වඩා බොහෝ සුන්දර එකකි. මෙය සුන්දර ලෝකයක් වන්නේ එය තුළ ළමයාගේ සිහින ලෝකයට අයත් බොහෝ බලාපොරොත්තු ඉටුකර ගත හැකි බැවිනි. මෙම පරිගණක ක්‍රීඩා හැම එකක්ම පාහේ නිර්මාණය කර තිබෙන්නේ ඉතා විචිත්‍ර ලෙසත්, කෙනෙකු එයට ඇබ්බැහිවන ආකාරයටත්ය. ඒ නිසා සැබෑ ලෝකයේ තිබෙන අධ්‍යාපන කටයුතු, එළිමහනේ සිදු කෙරෙන ක්‍රීඩා කටයුතු සහ සමාජ ක්‍රියාකාරකම් ආදී කිසිවක් පරිගණක ක්‍රීඩාව තුළදී තමා ගොඩනගා ගන්නා ලෝකය තරම් සුන්දර නැතැයි ළමයාට කල්පනා වෙයි. අන්තර්ජාල ක්‍රීඩාවලදී චරිතයක් ගොඩනඟා ගන්නට ලැබීමම ඔහු ලබන විශේෂ ජයග්‍රහණයකි. එසේම තමා කැමැති ආකාරයේ භෞතික පෙනුමකින් යුතු ශරීරයක් තෝරා ගන්නට ද, ඔහුට හැකියාවක් ලැබේ. තමාට අවශ්‍ය කණ්ඩායමක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ද මේ තුළ තිබේ. නමුත් ඔහුට පරිගණක ක්‍රීඩාව තුළින් තමාගේ ඉලක්කය සපුරා ගත හැකි වන්නේ වඩාත් දරුණු ලෙස වැඩි ප්‍රමාණයක් මරා දමමිනි.

මේ හේතුවෙන් දරුවාට මිනිසුන් ඝාතනය කිරීමේ කටයුත්ත ඉතා සාමාන්‍ය කාරණයක්වීම, ඔහුට මෙන්ම සමස්ත සමාජයටම ඉතාමත් අහිතකර කටයුත්තක් බවයි වෛද්‍ය රූමි රූබන් මහතාගේ අදහස වී ඇත්තේ.
තවදුරටත් මේ තත්ත්වය පිළිබඳව විග්රහයක යෙදෙන වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ පරිගණක ක්‍රීඩා නිසා ඊට අමතරව දරුවා තුළ ඇති එදිනෙදා ජීවිතයට අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව මෙන්ම, එදිනෙදා අත්‍යවශ්‍ය කාරණා පිළිබඳ මතක ශක්තිය ද අඩුවෙන බවද පවසයි. ඒ මහතා පෙන්වා දෙන පරිදි පරිගණක ක්‍රීඩා පමණක් නොව, විද්‍යුත් තිර ඇසුරින් ලබන අධ්‍යාපනය ද දරුවාට එතරම් හිතකර නොවේ. එහිදී පොත පත කියවීමෙන් අනතුරුව, තමාට යම් යම් සංකල්ප මවා ගැනීමට සහ ප්‍රශ්න කර විසඳා ගැනීමට තිබෙන අවස්ථාවන් අහිමි වෙයි.
වෛද්‍ය රූමි රූබන් පෙන්වා දෙන පරිදි විශාදය වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් පරිගණක ක්‍රීඩා සඳහා ඉක්මනින්ම ඇබ්බැහිවීමට ඉඩ ඇත. එමෙන්ම මොළය අඩු නමුත් ශාරීරිකව, ක්‍රියාකාරී නොහොත් අධි ක්‍රියාකාරී දරුවන් ද මේ සඳහා යොමුවීමේ ප්‍රවණතාවය වැඩිය.
විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා තවදුරටත් පවසන පරිදි දරුවන් පරිගණක ක්‍රීඩාවලින් මුදා ගැනීමේ පළමු වගකීම ඇත්තේ ගුරුවරුන් සහ දෙමව්පියන් වෙතය. ඔවුන්ට මේ සඳහා අවංකවම උවමනාවක් තිබේ නම් අනිවාර්යයෙන්ම දරුවා දිනකදී අන්තර්ජාලය හෝ ජංගම දුරකතනය ඉදිරියේ සිටින උපරිම කාල සීමාව පැය දෙකකට සීමා කළ යුතුය. ගුරුවරුන් තම දරුවන් සමග වට්ස්ඇප් හරහා කෙරෙන දැනුම් දීම් සහ ඉගැන්වීම් හැකි තාක් සීමා කළ යුතුය. සමාජ මාධ්‍ය හරහා කෙරෙන අධ්‍යාපනය දරුවාට ලබා දෙන්නේ අංග සම්පූර්ණ අධ්‍යාපනයක් නොවේ.

“පරිගණක ක්‍රීඩාවන්ට හා අන්තර්ජාලයට ඇබ්බැහිවීමෙන් දරුවා ගලවා ගැනීම සඳහා අදවන විට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. පරිගණක ක්‍රීඩාවලින් ඈත්වීම නිසා ඇතිවන මානසික ව්‍යාකූලතාවයන් සඳහා වූ ඖෂධ වර්ග පවා මේ වන විට නිපදවා තිබෙනවා.” වෛද්‍ය රූමි පවසයි.
මේ සඳහා පොදුවේ කිවයුතු කරුණක් ලෙස වෛද්‍ය රූමි රූබන් මහතා පෙන්වා දෙන්නේ අවුරුදු 12න් පහළ දරුවන්ට විද්‍යුත් තිර භාවිතය අහිතකර බවය. අවුරුදු 12 ට වැඩි දරුවන්ට වුව සීමාව ඉක්මවා අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී මානසික රෝගාබාධවලට අමතරව වෙන් ශාරීරික රෝග ද ඇතිවීමට ඉඩකඩ බහුල බවය.
පරිගණක ආයතනයක අධිපතිවරයකු වන නාලක සඳරුවන් ගම්හේවා මහතා පවසන්නේ, දරුවාගේ පරිගණක අවශ්‍යතාව පිළිබඳව දැනුවත්ව දෙමව්පියන් විසින් ළමයාට සුදුසු පරිගණකයක් රැගෙන දිය යුතු බවයි.
ඔහු පවසන ආකාරයට අද සාමාන්‍යයෙන් පාසල් සිසුන් ඉතා වැඩිදෙනකුගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල ධාරිතාවයකින් යුත් පරිගණක අවශ්‍ය නොවේ. එවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ ග්‍රැෆික් ඩිසයින් පාඨමාලා, නිවාස සැලසුම් ශිල්පය ආදී විෂයන් හදාරන අයට පමණයි. එවැනි විෂයන් හදාරන තත්ත්වයකට පත් වූ සිසු සිසුවියන් බොහෝ දුරට පරිගණකයේ හරි පැත්ත තේරුම් ගත් අයයි.
“නමුත් පොදුවේ ගත් කල ළාබාල දරු දැරියන් වැඩි වශයෙන් ඉහළ ධාරිතාවකින් යුතු පරිගණකයක් දෙමව්පියන්ගෙන් ඉල්ලනු ලබන්නේ බොහෝ විට පරිගණක ක්‍රීඩාවල ඇබ්බැහිවීමේ ප්‍රතිඵලයක් වශයෙන්” නාලක සඳරුවන් මහතා පවසයි.
ඔහුගේ අදහස වන්නේ සමහර දෙමව්පියන් දරුවාට පරිගණකයක් අවශ්‍ය වුවත් නැතත් උපන් දිනය, විභාගයෙන් ලකුණු ගැනීම ආදී කාරණා මත පරිගණකයක් රැගෙන දීමට පෙළඹී සිටින බවයි. නමුත් වැදගත්ම දේ නම් අවශ්‍යතාව මත සුදුසු පරිගණකයක් රැගෙන දීමයයි ඔහු කියයි.
“මෙය කැපෙන පිහියක් වගේ. එයින් තුවාල කර ගන්නත් පුළුවන්. ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. කොහොම වුණත්
ගේම්වලට ළමයි පෙළඹෙන මූලිකම හේතුව තමයි මේවා පියවරෙන් පියවර අසීමිත ලෙස කුතුහලය දනවන අයුරින් නිර්මාණය කර තිබීම. ඒ නිසා දරුවා එයට ඇබ්බැහි නොවී රැක ගැනීම සඳහා පරිගණකයක් ලබා දීමේ දී ඒ ගැන විමසා බලා කටයුතු කරන්නේ නම් මෙම ගැටලුව යම් පමණකට විසඳාගත හැකියි.”

මේ වන විට ළමයින්ගේ පරිගණක අපරාධ ඉතිහාසය අන්තර්ජාතිකව ඉතා බිහිසුණුය. වීඩීයෝ ක්‍රීඩා නිසා ළමයින් අතින් වූ අපරාධ ගැන සොයා බැලීමේදී පෙනී යන්නේ එම අපරාධ ඉතිහාසය ආරම්භ වන්නේ 1950 දශකයේදී එළිදුටු කාටූන් පොත් තුළින් බවය. ඇතැම් චිත්‍ර කතාද බාල අපරාධවලට තුඩු දෙන බව පෙන්වා දී ඇත්තේ 1954 දී Seduction of The Innocent නමැති කෘතිය රචනා කළ මනෝ වෛද්‍ය විශේෂඥ පෙඩි්රක් බර්ට්‍රම් විසිනි. හිටපු ඇමෙරිකානු නීතිවේදියකු වූ ජැක් තොම්සන්ගේ අදහස වන්නේ මෙවැනි අපරාධවල යෙදෙන්නන් සිය අපරාධ සැලසුම් කිරීමටත්, ඒ සඳහා පුහුණුවක් ලැබීමට ද, මෙම ප්රචණ්ඩත්වය සහිත වීඩීයෝ ක්‍රීඩා යොදාගෙන ඇති බවය. 1999 – කොලොම්බියන් උසස් පාසැලේ (Columbiane High School) සමූහ ඝාතනයට සම්බන්ධ වූවන් ගැන කළ පරීක්ෂණවලදී හෙළි වූයේ ශිෂ්‍යයින් එරික් හැරිස්, ඩිලන් ක්ලේබෝල්ඩ්, ඩූම් වැනි ප්රචණ්ඩ වීඩීයෝ ක්‍රීඩාවල නිරත වූවන් බවය. එසේම ඔව්හු (Golden Eye 007) වීඩියෝ පරිගණක ක්‍රීඩාවේද යෙදී ඇත. කැමති ලෙස කැමැති අයුරින් මිනී මැරීමේ නිදහස ඇති ක්‍රීඩා කීපයක් 2001 වසරේදී Rockstar Games සමාගම විසින් නිතුත් කරන ලදී. ඒ අතර (Playstation- 2) ක්‍රීඩාව සහ (Grand Theft Auto -111) යන පරිගණක වීඩියෝ ක්‍රීඩා දෙක විශේෂය.
මෙම ක්‍රීඩාවේ විශේෂත්වය වූයේ ඒ සඳහා ඇතුළු වන්නාට හිතුමතේ, තමන් කැමති විදියකට මිනී මැරීමට, වධ හිංසා කිරීමට සහ මිනිසුන් යට කරමින් අනීතික ලෙසින් වේගයෙන් රිය පැදවීමට ද අවස්ථාව ලැබීමය. මේ හේතුවෙන් මාස හයක් ඇතළත එම ක්‍රීඩාව මිලියන දෙකක් අලෙවි වූයේය. ඉන්පසු මෙම සමාගම විසින් ඒ අයුරින්ම තවත් පරිගණක ක්‍රීඩා 3 ක් නිර්මාණය කර අලෙවි කරන ලදී. නමුත් ඒවා සමාජය තුළ බරපතළ විවේචනයකට ලක් වූ අතර, ඒවා තහනම් කරන ලෙස විවිධ සංවිධානවලින් රජයට බලපෑම් එල්ල වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2005 දී කැලිෆෝනියානු රජය ප්රචණ්ඩ වීඩියෝ ක්‍රීඩා බාල වයස්කරුවන්ට විකිණීම තහනම් කළේය. එම තහනම් කිරීමෙන් පසුවද මෙවැනි තරුණයන් විසින් කැලිෆෝනියාව තුළ සිදු කළ අපරාධ සහ මිනීමැරුම් ගණනාවක් (Grand Theft Auto -111) පරිගණක ක්‍රීඩාව අනුව කළ ඒවා බව හෙළි විණි. 2009 විනෙන්ඩන් (Winnenden) පාසලේ වෙඩි තැබීම කළ වෙඩික්කරුද (Counter strike සහ Far Cry-2) වැනි ප්රචණ්ඩ වීඩියෝ ක්‍රීඩා කෙරෙහි ආසක්ත වූවකු බව පසුව සොයා ගන්නා ලදී.
ලෝක යුද්ධයකට මග පාදන ක්‍රීඩාවක් Call of Duty ( Modern Warfare -2) වන මෙම කතා මාදිලියට අයත් No Russian (රුසියාවක් නැත) නමින් හඳුන්වනු ලබන වීඩීයෝ ක්‍රීඩාව ඉතාමත් භයානක ලෙස ජාතිවාදය අවුස්සන්නකි. මෙහිදී ක්‍රීඩකයා අන්ත ඇමෙරිකානු ජාතිවාදී කණ්ඩායමකට ඇතුළු වී සිටින සී අයි ඒ නියෝජිතයකු බවට පත්වේ. කණ්ඩායම් නායකයා අනතුරු ඇඟවීමක් ලෙස පවසන්නේ “රුසියාවක් නැත” යන්නය. මෙම කරුණු ගැන සලකා බැලූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක් වැඩිහිටි තේමාවන් සහ ප්රචණ්ඩත්වය අන්තර්ගත පරිගණක ක්‍රීඩා දරුවන්ට විකිණීම සීමා කෙරෙන නීති පනවන ලදී.
2012 අමෙරිකාවේ සෑන්ඩ් හුක් ප්‍රාථමික පාසලේ වෙඩි තැබීම 2012 දෙසැම්බර් 14දා සිදු වූ අතර අපරාධකරු වූ ඇඩම් ලන්සා ද ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූවෙකි. මෙම අපරාධයත් සමග එවකට ඇමෙරිකන් උප ජනාධිපතිවරයා වූ ජෝ බයිඩන් සහ පරිගණක ක්‍රීඩා නිපදවන සමාගම් හිමිකරුවන් අතර, සාකච්ඡා ඇරඹිණි. ඇමෙරිකාවේ රයිෆල් සංගමය ද මෙවැනි පරිගණක ක්‍රීඩා නිපදවන්නන්ට එරෙහිව සිය චෝදනා ඉදිරිපත් කළේය.
2016 මියුනිච් ඔලිම්පියා මාල් වෙඩි තැබීම ජර්මනියේ බැවේරියාවේ මියුනිච්හි බුසාමි දිස්ත්‍රික්කයට අයත් ඔලිම්පියා සාප්පු සංකීර්ණයට ආසන්නයේ වූ සිදුවීමකි. ඒ 2016 ජූලි මස 22 දාය. අපරාධකරු වන ඩේවිඩ් සොන්බෝලි පොලිසිය විසින් වට කරන ලද අවස්ථාවේ දී දිවි නසා ගත්තේය. එහෙත් ඊට ප්‍රථම ඔහු විසින් 9 දෙනකු ඝාතනය කර ඇත. මෙම සිද්ධියෙන් බරපතළ කම්පනයට පත් ජර්මානු අභ්‍යන්කර කටයුතු අමාත්‍ය (Thomas de Maiziere) පැවසුවේ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවල සීමාව ඉක්මවා යෑම යෞවනයන්ගේ ජීවිත ගමනට ඉතාමත් අහිතකර ලෙස බලපා ඇති බවය.
2018 ෆ්ලොරිඩාහි පාර්ක්ලන්ඩ් පාසලේ වෙඩි තැබීම සිදු වූයේ මේ පෙදෙසෙහි උසස් පාසලකදීය. එය පිහිටා ඇත්තේ ෆ්ලොරිඩාහි පාර්ලන්ඩ්හිය. කෙන්ටකී ආණ්ඩුකාරයා වූ මැට්බෙවන් මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ අප රටෙහි තරුණ තරුණයින් අතට පත්වන දේවල් විශේෂයෙන්ම පරිගණක වීඩියෝ ක්‍රීඩා විමර්ශනයට භාජනය කළ යුතු බවය.
මෙම සිද්ධියෙන් මසකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පරිගණක ක්‍රීඩා කර්මාන්තයේ නියුතු වූවන්ට තම උපදේශකයන් සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස දන්වා සිටියේය. මේ සඳහා ඇමෙරිකන් එක්සත් ජනපදයේ දෙමව්පිය රූපවාහිනී කවුන්සලයේ මෙලීසා හෙන්සන් ද සහභාගී විය.
දෙමව්පිය රූපවාහිනී කවුන්සලය යනු රටෙහි දරු පරපුරට රූපවාහිනී ආයතන විසින් කුමක් පෙන්විය යුතුද යන්න ගැන බලකෙරෙන ස්වෙච්ඡා සංවිධානයකි. සුපතල පාපන්දු ක්‍රීඩකයින්, ජනප්‍රිය ගායක ගායිකාවන්, සිනමා නළු නිළියන්, මාධ්‍යවේදීන් සහ චිත්‍රපට විචාරකයින් ආදීහු මෙහි සාමාජිකත්වය දරති. 2019 බ්‍රසීලයේ සුසානෝ පාසලේ වෙඩි තැබීමේදී බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ සුසානෝ මහ නගර සභාවේ මහාචාර්ය රාවුල් බ්‍රසීල් රජයේ පාසලට අපරාධකරුවන් තිදෙනෙක් පැමිණි අතර, ඔව්හු පාසල් සිසුන් 5 දෙනකු සහ සේවකයින් දෙදෙනකු ඇතුළු 7 දෙනකු ඝාතනය කළහ. අපරාධකරුවන් සියල්ලෝම ප්රචණ්ඩ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන් විය.
2019 අගෝස්තු ටෙක්සාස්හි වෙඩි තැබීමේදී දිනක් තුළ ඇති වූ සමූහ ඝාතන දෙකක් සඳහා ද වීඩියෝ ක්‍රීඩාවන් අර්ධ වශයෙන් වගකිව යුතු බව පර්යේෂණවලදී හෙළි විය. එවකට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මේ අයුරින් සමාජය තුළ ප්රචණ්ඩත්වය උත්කර්ෂයට නැන්වීම වහාම නැවැත්විය යුතු බවය. ඔහු පැවසුවේ මෙවැනි අපරාධ සඳහා ප්රචණ්ඩ වීඩීයෝ ක්‍රීඩා මුල්වීම සාමාන්‍ය කාරණය වීම බරපතල කනගාටුවට කරුණක් බවය. 2019 ජර්මනියේ හෝලේ සිනගෝගයේ වෙඩි තැබීම ඇතැම් සමාජ මාධ්‍ය හරහා එම ප්‍රහාරය සජීවීව ද විකාශනය විය. අපරාධකරුවා පොලීසිය විසින් යටත් කර ගන්නා විට ඔහු විසින් පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කර අවසන්ය. “බොහෝ අපරාධකරුවන් පරිගණක ක්‍රීඩාගාරයේ සිට පැමිණෙන බව…” ජර්මන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ඒ අවස්ථාවේය.
2020 මෙක්සිකෝවේ 11 හැවිරිදි ඝාතකයකු මෙක්සිකෝවේ කොහුයිලාහි ටොරියන්හි පිහිටි පාසලක වෙඩි තැබීමක් කර ඇති අතර ප්‍රාන්තයේ ආණ්ඩුකාර මිගෙල් ඇන්ජල් රි කෙල්ම් ප්‍රකාශ කළේ මෙම පිරිමි ළමයා ද සම්පූර්ණ වශයෙන් පරිගණක ක්‍රීඩාවන්හි ආධිපත්‍යයට යටත් වී ඇති බවයි.
මෙක්සිකෝවේ ජාතික ස්වයං පාලන විද්‍යාලයේ (UNAM) මනෝ විද්‍යාඥ Erik Salazar Flores ප්‍රකාශ කළේ මේ ආකාරයට වීඩියෝ ක්‍රීඩාවලටම දොස් පැවරීම ගැටලුවේ සංකීර්ණත්වය නොසලකා හැරීමට පහසු මගක් බවය. ඔහු පවසන්නේ වීඩියෝ ක්‍රීඩා දරුවන්ගේ මනසට බලපෑම් කළ හැකි නමුත් දරුවන් මේ තත්ත්වයට පත්වීම පිළිබඳව දෙමව්පියන් සෘජුවම වගකිව යුතු බවය.

තිස්ස ප්‍රේමසිරි