නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් වාරකන් සමය ආරම්භයත් සමග මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් කල්පිටිය සිට වෙන්නප්පුව දක්වා වූ වයඹ මුහුදු තීරයේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරය උග්‍ර ලෙස ඛාදනයට ලක් වීමෙන් ධීවර තොටුපළ රැසක් විනාශ වී ගොස් තිබේ.
වර්ෂාව පහව ගියද තවමත් මුහුද දැඩි ලෙස රළුය. මෙම තත්ත්වය වෙනත් වාරකන් සමයේ ඇතිවූ මුහුදේ කැලඹීම් ස්වභාවයට සාපේක්ෂව වැඩි බව පවසන ධීවර ජනතාව මෑත ඉතිහාසයේ මෙවන් තත්ත්වයක් ඇති නොවූ බවද කියති. හලාවත, මාරවිල, උතුරු මූදුකටුව, ඉරණවිල, තොඩුවාව, මුතුපන්තිය, කරුකපනේ යන වෙරළ තීරයන්හි ධීවර තොටුපොළවල් තවමත් ඛාදනයට ලක්වෙමින් පවතින අතර මින් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ මාරවිල උතුරු මූදුකටුව ධීවර තොටුපළටය.

දෙසීයකට වැඩි පිරිසක් මෙම තොටුපොළේ ධීවර කටයුතුවල නිරත වෙති. උග්‍ර ඛාදනයෙන් වෙරළ අහිමිවීමෙන් එක්දින යාත්‍රා සහ තෙප්පම් අනාරක්ෂිත ලෙස ගාල් කිරීමට සිදුව ඇති බව ධීවරයෝ පවසති.
මූදුකටුව දේවස්ථානය අසලටම වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වී තිබේ. ඉදිරි දින කීපය තුළ මෙලෙස ඛාදනය වුවහොත් දේවස්ථානය ද කැඩීයෑමේ අවදානමක් පවතින බවයි ධීවරයින් පවසන්නේ.
බොහෝ පිරිස් සිය ධීවර ආම්පන්න නිවෙස්වලට රැගෙන යෑමට කටයුතු කරන අතර ධීවර යාත්‍රා හා තෙප්පම් මහත් පරිශ්‍රමයක් දරා ආරක්ෂිත ස්ථාන වෙත රැගෙනයෑමට කටයුතු කරති.
දින ගණනාවක් තිස්සේ ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි බැවින් ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවද කියති.
පසුගිය කාලයේ අක්‍රමවත් ලෙස ගල්වැටි දැමීම හේතුවෙන් මෙම තොටුපළේ ධීවර කටයුතු පවත්වා ගැනීමේදී ගැටලුවක් පවතින බවත් මේ හේතුවෙන් ධීවර යාත්‍රා ගණනාවක් පසුගිය කාලයේ අනතුරට පත් වූ බවද ධීවර ජනතාව චෝදනා කරති.
මේ සම්බන්ධව අදහස් දක්වන ධීවර ජනතාව

ඩබ්ලිව්. සමන්ත ප්‍රනාන්දු
ගොඩක් කල් ඉඳන් මෙතන ඛාදනය වන්නේ. ඊට ප්‍රධාන හේතුව පසුගිය කාලයේ ඉදිකර ඇති ගල්වැටි ක්‍රමවත්ව ඉදිනොකිරීමයි. මේ නිසා ධීවර යාත්‍රා, තෙප්පම් දියත් කරද්දිත් නැවත ගොඩට එද්දිත් අපි ලොකු අමාරුවක වැටෙන්නේ. මේ හින්දා මෙතන ගොඩක් අනතුරු වෙනවා. අද වෙරළ කඩාගෙන අපේ පල්ලිය ගාවටම ඇවිල්ලා. අපිට දැන් යාත්‍රා ගාල් කිරීමට තැනක් නෑ. මේ වතාවේ මූද කවදාවත් නැති විදිහට සැර වෙලා. හැබැයි මේ ගල් වැටිය නියම විදිහට දාල දුන්නොත් කොච්චර මූද සැර වුණත් මේ වගේ විනාශයක් වෙන්නෑ. වාරකන් සමය ඉවර වුණාම ගල් වැටිය ක්‍රමවත්ව හදලා දෙන්න තමයි අපි කියන්නේ.
අයිවන් පෙරේරා
වෙනදා මේ වගේ විනාශයක් වුණේ නැහැ. අපි දැන් ගොඩක් කල් ඉඳන් බලා ඉන්නවා මුහුදට යන්න. බෝට්ටු, තෙප්පම් ගාල් කරන්න ඉඩක් නෑ. මුහුදට හරි අමාරුවෙන් දියත් කරන්න වෙන්නේ. ඇත්තෙන්ම මේ කාලේ ගල් වැටි දාන්න බෑ. අපි කියන්නෙ නියම විදිහට වාරකන් ඉවර වුණාම මේ තොටුපළ හදල දෙන්න කියලා.
නිමල් ප්‍රියන්ත
අපිට මේ වෙරළ ඛාදනයෙන් අපේ ධීවර ආම්පන්න තියාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මොකද මුහුදට ගසාගෙන යනවා. මේ තොටුපොළේ දාල තියෙන ගල් වැටිය හරි විදිහට දාල නෑ. ඒ නිසා මේ තොටුපොළේ ධීවර කටයුතු සිදුකරන්නෙ බොහොම අමාරුවෙන්. පහුගිය කාලයේ යාත්‍රා කීපයක්ම කැඩිලා ගියා.ඒවගේම ධීවරයින් කීපදෙනෙකුට අනතුරු සිදු වුණා. මේ තත්ත්වය සලකල බලල අපිට ඉදිරියේදී ධීවර කටයුතු හොඳින් කරගෙන යන්න තොටුපළක් හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
අමරනන්ද විජේසේකර මහවැව