වරාය හා ගුවන්තොටුපළ ආශ්‍රිත තීරු බදු රහිත විදේශ මත්පැන් වෙළෙඳසල්වලින් හොර රහසේ මත්පැන් ලබාගෙන ඒවා මහා පරිමාණ සාද හා විවිධ පුද්ගලයන්ට බෙදාහැරිය තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි නිවසක් කොළඹ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (03දා) සවස වටලා රුපියල් ලක්‍ෂ 75කට අධික මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. බදු සතියට සමගාමීව මෙම වැටලීම සිදුකර තිබේ.
ගුවන්තොටුපළ සහ වරාය ආශ්‍රිත තීරුබදු රහිත විදේශ මත්පැන් වෙළෙඳසල්වලින් හොර රහසේ ලබාගන්නා මත්පැන් අලෙවි කරන මධ්‍යස්ථානයක් තිඹිරිගස්යායේ ඇති බවට ලද තොරතුරක් මත සුරාබදු නිලධාරීන් එම ස්ථානය වටලා තිබේ. එහිදී විදෙස් මත්පැන් බෝතල් 337ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 75කට අධික බව විමර්ශනයේදී හෙළි කරගෙන ඇත. මෙම මත්පැන් තොගය හේතුවෙන් රජයට රුපියල් ලක්‍ෂ 30කට අධික බදු මුදලක් අහිමිවූ බවද හෙළි වී තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග සහ සහකාර සුරාබදු කොමසාරිස් (බස්නාහිර පළාත) ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නගරය ෂ සුරාබදු අධිකාරි/කොළඹ නගර සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති තිලක් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන සුරාබදු පරීක්ෂක ආර්. චින්තක මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර ඇත. සුරාබදු පරීක්ෂක අකිල රත්මලවින්න, සුරාබදු කෝප්‍රල් (725) ධනංජය පුෂ්පකුමාර, කොළඹ නගර සුරාබදු ස්ථානයේ සුරාබදු කෝප්‍රල්වරුන් වන (716) බණ්ඩාර, (1097) හසිත, (1185) ඩිනෙත්, සුරාබදු නියාමක (1161) තිළිණ, සුරාබදු නියාමක ලංකා යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ. වැටලීමේදී අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සහ සැකකරු ඊයේ (04දා) කොළඹ 05 මහෙස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට රුපියල් එක්ලක්‍ෂ හතළිස්පන් දහසක (145,000) දඩයක් නියම කර මත්පැන් තොගය විනාශ කිරීමට නියෝග කර තිබේ.
චමින්ද සිල්වා