ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19 න් පහළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ ප්‍රමුඛ පෙළ සටන සිකුරාදා (ජුනි 06) ආරම්භ කෙරේ.
පසුගිය වසරේ දී මෙන්ම මෙවර තරගාවලිය ද “ඩයලොග්” ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වෙන බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය නිවේදනය කර සිටී.
මෙවර ප්‍රමුඛ පෙළ තරගාවලියේ ,්, කොටසට පාසල් 18 ක් තෝරා ගෙන ඇති අතර එම පාසල් 01, 02 සහ 03 යනුවෙන් කාණ්ඩ 03 ක් යටතේ ලීග් ක්‍රමයට මූලික වටය ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත.
මෙවර තරගාවලිය ආරම්භ කරමින් සිකුරාදා (06) දින තරග 03 ක් ක්‍රියාත්මක කෙරෙන අතර තරග 03ක් අඟහරුවාදා (07) පැවැත්වේ. ඉරිදා (08) පැවැත් වීමට තීරණය කර ඇත්තේ එක් තරගයක් පමණි.
මෙවර ප්‍රමුඛ පෙළ ,1, කාණ්ඩය යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ආනන්ද විදුහල තරග වදින අතර ප්‍රමුඛ පෙළ “2” කාණ්ඩය යටතේ කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ සහිරා විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කොළඹ මහානාම විදුහල පිටියට පිවිසෙති.
කොළඹ රාජකීය විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල ප්‍රමුඛ පෙළ ,ක්, කාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වෙති. පසුගිය වසරේ දක්නට නොලැබුණු කොළඹ මහානාම විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල මෙවර ප්‍රමුඛ පෙළ එක්ව සිටීම කැපී පෙනෙයි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර