දෙවියන් ගැන සාහිත්‍ය
පත්තිනි යන්නෙහි අර්ථය පතිභක්තිය ඇති පවිත්‍රතාවයෙන් යුතු බිරිඳය යන්නයි. දකුණු ඉන්දියාවේ පුහාර් නගරයේ ජීවත් වූ කන්නගී නම් කාන්තාව මියගිය පසු පත්තිනි දෙවඟන බවට පත්වුණා. මේ කතාව මුලින්ම රචනා කළේ ඉලන්කෝ ආඬිගල් නමැති පඬිවරයා. එම ග්‍රන්ථයේ නම ‘සීලප්පදිකාරම්’. සිංහල තේරුම තමයි ‘සලඹේ කතාව.’ අපේ ලංකා ඉතිහාසයේ දැක්වෙන විදිහට ක්‍රිස්තු වර්ෂ 1521 සිට 1592 කාලය තමයි සීතාවක යුගය. ඒ තමයි පළමුවන රාජසිංහ, නැත්නම් සීතාවක රාජසිංහ යුගය. මුඛ පරම්පරාගත ජනකතාවලට අනුව එදා සීතාවක රාජසිංහ රජුගේ සේනාවේ සෙනෙවියෙක් කළුතොට භාරව සිටියාලු.
බලන්ගොඩට නොදුරු ස්ථානයක් තමයි මේ කළුතොට බලකොටුව. මේ ස්ථානය භාර සෙනෙවියා තමයි රණසිංහ මුදියන්සේ. එතුමා ගැන අමනාපයෙන් සිටි නිලධාරී පිරිසක් බොරු කේළාම් කියා රජු නොමඟ යැව්වා. ඒ නිසාම රාජ උදහසට ලක්වුණු මේ සෙනෙවියා අත්අඩංගුවට ගන්නට නියම කළා. රජතුමාගේ හැටි හොඳටම දැන සිටිය මේ සෙනෙවියා තමන්ට මරණ දණ්ඩනය හැර නිදහසක් නම් නොලැබෙන බව නිතරම කල්පනා කළා. මේ කාරණය ගැන දුක් වෙමින් සිරමැදිරියට වෙලා කාලය ගත කළා. එතුමාගේ සහෝදරයා තමයි මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලයේ කපු මහත්තයා. මේ ආරංචිය දැනගත්තු මේ කපු මහත්තයා මොකද කළේ… දිනපතාමත් පත්තිනි දේව මෑණියන්ට මේ අවනඩුව කිය කියා යාතිකා කළා. එක දවසක් රජතුමා රාජකීය සිරියහන් ගබඩාවේ සැතපිලා ඉන්න වෙලාවේ මහ භයානක සිහිනයක් දුටුවා. දේවතාවියක් ඇවිත් රජතුමා බිය ගන්වමින් තර්ජනය කළාලු. ‘සිරභාරයට පත් කර තිබෙන නිර්දෝෂි සෙනෙවියා වහා නිදහස් කරනු’ කියලත් කිව්වලු. පසුවදා උදෙන්ම රජතුමා සියලු ඇමැතිවරු කැඳෙව්වා. වහාම සිරගෙට ගිහිල්ලා රණසිංහ මුදියන්සේ ගැන සොයා බලන්න ඕනේ. ඊට පස්සේ මා හමුවෙලා තොරතුරු කියන්න ඕනේ. රජතුමා එහෙම කිව් නිසා මේ ඇමතිවරු සිරගෙදරට ගිහින් බැලුවා. සෙනෙවිතුමා හොඳින් ඉන්නවා. නමුත් දෙපයට දාලා තිබුණු විලංගු… ඒවා කැඩිලා බිඳිලා ගිහින්.
ඇමැතිවරු ඉතා ඉක්මනින් ඇවිත් රජතුමාට මේ කාරණය කිව්වා. රණසිංහ මුදියන්සේ තමා ළඟට කැඳවාගෙන එන ලෙස රජු නියෝග කළා. රජතුමා දැන් මේ සිරකරුවාගෙන් අහනවා
“තමා ළඟ මොකවත් හාස්කම් බලයක් තියෙනවද?”
“මා ළඟ ඇති හාස්කම් බලයක් නෑ දේවයන් වහන්ස. නමුත් මම නිර්දෝෂී බව තමයි දන්නේ.”
මෙතෙක් සිරභාරයේ සිටිය රණසිංහ මුදියන්සේ නමැති සෙනෙවියාට අභය දානය දුන්නා. එදා සිට ඔහුගේ නම අභය රණසිංහ මුදියන්සේ වුණා. රජතුමා ඊට පස්සේ කබුළුමුල්ලේ පත්තිනි දේවාලය ඉදිකරවලා අභය රණසිංහ මුදියන්සේට භාර දුන්නා. එතැන් සිට අද දක්වාම මේ දේවාලයේ කපු පරම්පරාව අභය රණසිංහ මුදියන්සේ නමින් තමයි ප්‍රසිද්ධ වුණේ.
මේ රජතුමා අක්කර 484 ක් තඹ සන්නසක් මගින් කබුළුමුල්ල දේවාලයට පූජා කරමින් ලේඛනාරූඪ කර ඇති බව පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහතා ඔහුගේ කෑගලු වාර්තාවේ සටහන් තබා තිබීම විශේෂ කාරණාවක්. මෙම පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය දින නවයක් පවත්වනවා. කැලණි ගඟේ දිය කැපීමෙන් උත්සවය අවසන් වෙනවා. වර්ග පූර්ණිකාවට අනුව පත්තිනි දෙවඟනට මුලින්ම පූජාව පවත්වලා තියෙන්නේ සක්විති රාවණා මහ රජු.

නිමල් කුඩාතිහි
කතරගම