මෙම ලිපියේ මුල් කොටස ඊයේ පත්‍රයේ පළ විය
කොළඹදී, තම ප්‍රකාශයේදී ජනාධිපතිතුමා, විශේෂිත ආර්ථික කලාපයේ මායිම්, මහාද්වීපික තටාකයේ බාහිර සීමාවන් ඉක්මවා ස්ථාපනය කර ගැනීමට, මහාද්වීපික තටාක සීමා නිර්ණය කරන එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව කළ හිමිකම පිළිබඳව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා ඉක්මනින් අරඹන ලෙස, මෝදි අගමැතිතුමාගේ මැදිහත්වීම ඉල්ලා සිටියේය.
මෙය 2009 සිට පැවතෙන, නිකිතින් සීමවුන්ට් හසුවනසේ අපගේ මහාද්වීප තටාකය ව්‍යාප්තියට, අන්තර්ජාතික සමුද්‍ර පත්ල අධිකාරියට අප ඉදිරිපත් කළ ඉල්ලීමකින් පැවතෙන ප්‍රශ්නයකි. 2010 දී ඊට විරුද්ධ නොවූ ඉන්දියාව, 2022 දී සහාය ඉල්ලා අස්කරගෙන, 2024දී නිකිතින්හි කොබෝල්ට් ගවේෂණය සඳහා ඔවුන්ගේම ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
අපගේ මායිම් වෙනස ඉල්ලීමට හරස් වෙමින්, අපට විධිමත්ව හිමි භූමියේ, සමුද්‍රීය සම්පත් පර්යේෂණය හා ගවේෂණයට තාක්ෂණ හුවමාරුව ගිවිසුම්ගත කිරීමෙන්, ඒ කාර්යයන්හි ‘ඒකාධිකාරය’ වක්‍රව ඉන්දියාවට ලබා ගැනීම, ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික අපහසුවකට පත් කරයි. අපගේ තාක්ෂණ දැනුම මද හෙයිනි.
2024 වන විට, චීන-මිත්‍ර මාක්ස්වාදී රජයක් බලයට පත්වීමේ ඉඩකඩ ඉන්දියාව අසීරුවට පත්කරන්නට ඇත. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ගැන ‘රෝ’ සංවිධානයේ පුරෝකථන, 2024 ඉන්දීය ප්‍රති-ඉල්ලුමට හේතුවන්නට ඇත. ඉන්දීය සාධාරණීයකරණය, ආරක්ෂාව, ඛනිජ සම්පත්, හා ආසන්නභාවය වැනි බහුවිධයන් නිසා විය හැකිය.
ගිවිසුම දෙරටටම වාසිදායක වීමට නම්, දිල්ලියේදී මෝදිතුමන් ජනාධිපතිතුමන්ගේ කරවටා දැමූ අත, සත්‍ය මිත්‍රත්වයට බව ඔප්පුකර, උදාරත්වය පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් විය. එය එසේ නොවීය. “අපගේ අශිර්වාදයෙන් පර්යේෂණ කරන්න!” හෝ “අපගේ ඉල්ලීම අස් නොකර ගනීමු!” වැනි අභිනයක් එහි විය. එය සම්මුතිගත ගිවිසුම මගින් ඉන්දියාවට වාසියක්ම ලබාගැනීමකි. විදේශ ඇමැති ආචාර්ය ජයෂන්කර් හා ලේකම් මිස්රි “විශිෂ්ටත්වය” කුමක් දැයි ඔප්පු කළහ.
සමපාතව, චීන දේශපාලන නායිකාවක් වන ක්වින් බොයොන්ග් කොළඹට පැමිණ, නව රජයේ අධිකාරීන් හමුවී, සමුද්‍ර පර්යේෂණ නැවත ඇරඹීමට සැලසුම් කරන බව පැවසුවාය. ඉන්දියාව එය වැළැක්වීමට වේගවත්වීම නොවලහාම විය යුතුය. චීන පර්යේෂණ, ඔත්තු බැලීමට හා කොබෝල්ට් හා අන් ඛනිජ වෙළෙඳපොළ නායකත්වය ලබාගැනීමට ක්‍රියාකරන බව ඉන්දියාව දනී. මෙය පරාජය කිරීම ඉන්දියාවට අත්‍යවශ්‍යය. ගැටලුව උපයමාර්ගිකය, භෞමිකය, යුදමයය, ආර්ථිකමය සහ දේශපාලනිකය. එහෙයින් සාගරික ආරක්ෂාව, පර්යේෂණ, ගවේෂණය, තාක්ෂණය බෙදාගැනීම, ජලවිද්‍යාව සහ සමුද්‍රවිද්‍යාව ආදී වදන්, චීන වුවද, ඇමෙරිකන් වූවද, ඉන්දියන් වුවද සැඟවුණු ඒවාය.
අවබෝධතා හා ප්‍රතිචාර
සිසෑන්ග් (ටිබෙට්) හා සින්ජියෑන්ග් (උඝූර් ස්වාධීන කලාපය) පිළිබඳව චීනයට පුළුල් සහායක් දක්වමින්, ජනාධිපති දිසානායක, ඉන්දියාවට දුන් ආරක්ෂක පොරොන්දුවම බීජින්හිදී චීනයට දුනි. ඉන්දියාව හා චීනය යුද්ධයකට පැටලුනොත් පමණක් මේ පොරොන්දු ක්‍රියාත්මකයෙන් හානියක් වේ. එය දිගුකලකට පුරෝකථන කළ නොහැකිය.
උපදේශන හා සාකච්ඡා මගින් ආරවුල් සමථකරණය ගිවිසුමේ 10 වගන්තියෙන් දෙපාර්ශ්වයට පැවරේ. ඊට එකඟ වීමෙන්, අප, ජාතික/ අන්තර්ජාතික අධිකරණයකට, සමථ යාන්ත්‍රණයකට, හෝ සමාන ආයතනයකට හෝ අන් තෙවැනි නිරාකරණ මණ්ඩලයකට යෑමේ අන්තර්ජාතික පරිචය අත්හැර ඇත. පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර ගැටලුව, විශේෂිත ආර්ථික කලාපයේ / නිකිතින් සීමවුන්ට් මායිම් නිරාකරණයට බාධා, දිගුකලක් අභියෝගවලට ලක්කරන කච්චතිවු ප්‍රශ්න විසඳීමට ඇති ප්‍රමාදයන් අපගේ නෛතික අයිතීන් ඉන්දියාව සමගින් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවෙන් විසඳා ගැනීමේ අසාර්ථකත්වය ඔප්පු කරයි. ඉන්දියාව සමගින් ආරක්ෂාවට බැඳුනු සාකච්ඡා අසාර්ථකත්වයක් සඳහා උචිතම උදාහරණය 1987 ජුනි 4 දින උතුරට ආහාර පතිතයය. එහෙයින් බාහිර මැදිහත්වීම් වඩා සුදුසුය. ඉන්දියානුවන්ද වෙනස්ව ඇතිහෙයින් වඩා හොඳ ප්‍රතිචාර ලබා දෙතැයි අපේක්ෂා කරමු.
සමාප්තිය
ආරක්ෂක ගිවිසුම ඉදිරි ප්‍රගති සමාලෝචනයට, සංශෝධනයට, ඌනපූර්ණයට ප්‍රතිපාදන සලසන හෙයින්, සාමය, සංහිඳියාව, ආරක්ෂාව, දේශපාලනය හා රාජ්‍ය තාන්ත්‍රිකත්වය රැකෙන පරිදි, ගැටුම් නැති කිරීමට, ගිවිසුම හොඳින් අධ්‍යයනය කොට පියවර ගැනීම උචිතය. ආරක්ෂාව ගැන ක්‍රියාකිරීමේදී වුවද, ඉන්දියාව සමග සාමකාමී වීමේ විශාල ආර්ථික වාසිද, සිත්හි තබාගත යුතුය.
ක්‍රියාත්මකයේදී ගැටලු ඇතිවිය හැකිමුත්, ආරක්ෂක අවබෝධතා ගිවිසුමේ බොහෝ දේවලට එරෙහිවීම අපහසුය. විශේෂයෙන්ම සාකච්ඡාවලදී ඉන්දියාව අප අභිභවා යෑමේ ප්‍රවණතාවය කළමනාකරණය කරගත යුතුය. ක්‍රියාදාම නීතිපතිගේ ආසන්න අධීක්ෂණයට ලක්විය යුතුය. වරද පැටවීමට නොව, නීතිපති ලියැවිල්ල අත්සනට පෙර විශ්ලේෂණාත්මක පරීක්ෂාවට ලක් කළේ නම් සමහර අඩුපාඩු වළක්වා ගත හැකිව තිබුණි. දැන් එය අත්සන් කොට ඇති හෙයින්, හොඳම පිළියම වන්නේ මිත්‍රශීලී ජාතීන් සමග, අනාගත රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට හානි නොවන පරිදි, සාපල්‍ය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් හා පද්ධතීන් නිම කිරීමයි.
විජිත හේරත් ඇමැතිතුමනි, ඔබට සුබපැතුම්!
ඔස්ටින් ප්‍රනාන්දු
විශ්‍රාමික ජනාධිපති ලේකම්