රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව:
රත්නපුරයට බෙහෙවින්ම බලපාන ගංවතුර උවදුර පාලනය කිරීම සඳහා වියළි බැම්මක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් එම ව්‍යාපෘතියේදී ගංවතුර අවදානමට ලක් නොවන පවුල් 2000ක් පමණ ඉවත් කර ඔවුන් වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට සිදුවන බවත් රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු ඩී. කේ. සම්පත් මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.
කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඔවුහු රැස් වූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග ඉංජිනේරුවරයා කුඩා ජලාශ ඉදිකිරීම මගින් ගංවතුර පාලනය කිරීම නොහැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් එය හෙළිදරවු වූ බවත් අවශ්‍ය වන්නේ වියළි බැම්මක් ඉදිකිරීම බවත් මෙය ලංකාවට අලුත් සංකල්පයක් බවත් හෙතෙම පැවසීය. ගංවතුර පාලනය කරගැනීම හැර මෙම බැම්මෙන් වෙනත් කාර්යයක් සිදුකිරීමට නොහැකිය.
එසේම වියළි බැම්ම ඉදිකිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 214ක් වැය වන බව දැනට ගණන් බලා ඇත. නමුත් එම මුදලට මිනිසුන් නැවත පදිංචි කිරීම සඳහා ගෙවිය යුතු වන්දිය ඇතුළත් කර නොමැති බවත් හෙතෙම පැවසීය.
ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාම කෝරලේ බෝක්කුව අසල සිදුවන අනවසර පතල් කැපීම වළක්වා ගැනීමට එම ස්ථානයට බලපත්‍ර ලබාදීම සුදුසු බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවේදී කළ යෝජනාව සභාපති ශාන්ත පද්මකුමාර මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
සභාපතිවරයා එසේ තීරණය කළේ එම ස්ථානයේ පතල් කැපීමට බලපත්‍ර ලබා දුන්නොත් මෙම රක්ෂිතය විනාශ වන බවත් එසේම මෙම ස්ථානයේ ඇති පෞරාණික බව කෙලෙසෙන බව හා මැණික් ඉල්ලම තිබෙන බව කියන බෝක්කුව යට හෑරීම නිසා බෝක්කුව කඩා වැටීමට ඇති ඉඩකඩ වැඩි බවත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරිය කමිටුව හමුවේ කරුණු දැක්වීම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ. ඒ. එස්. නිශාන්ත මහතා කමිටුව මෙහෙය විය.
රත්නපුර විශේෂ – දෑල බණ්ඩාර