
තරුණ’කාලේ ඇයගේ චිත්‍රපටි බලන්න අපි කවුරුත් පොර කෑවා. අපි කාගේත් හිතේ හිටපු නිළිය වුණේ ඇය. මේ වෙලාවේ ඇය අපෙන් සමුඅරන් තියෙනවා. මං හිතන්නේ ඒක සිනමාවට විශාල පාඩුවක්. රටටත් විශාල පාඩුවක්. යනුවෙන් මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.
මාලිනී ෆොන්සේකා ගැන ඇසුණු විවිධාකාර අදහස් අතරින්,’තරුණ’කාලයේ විප්ලවවාදියෙකු ලෙස තමන්ගේ ජීවිතය පූර්ණකාලීන දේශපාලනයට කැප කළ ටිල්වින් සිල්වා වැනි කෙනෙකු තමන්ද මාලිනීගේ රසිකයෙකු වූ’සැටි කීම තරම් මාලිනීව තේරුම් කරවන්නට අන් කිසි යමක් කියන්නද?
මාලිනී අපට සිනමා නිළියක් පමණක් නොවීය. ඇය ඉන් එහා ගොස් රටේ හෘදය සාක්ෂියේ සංකේතයක් වූවාය.
හැත්තෑ ගණන්වල,’අසූ ගණන්වල දැවැන්ත අසහනයන් මැද කැරළි ගැසූ, යුද වැදුණු තාරුණ්‍යය මාලිනී සිනමා තිරය මත පෙන්වූ නපුරුකමක් ගෑවී නොමැති අහිංසකත්වයට පෙම් බැඳීම අරුමයක්ද? යටත්විජිතවාදයෙන් මිදුණාට පසු, නැගී සිටින්නට වෙර දමන මුත් ශෝචනීය කැළඹීම් ගණනාවකට මුහුණදුන් අපේ රටේ මිනිස්සුන්ට මාලිනී කියන්නේ කවුද? සිනමා තිරය උඩ අප දුටු ඇය නියෝජනය කළේ අපටම මඟහැරෙමින් තිබුණු අහිංසකත්වය නොවේද? විවෘත ආර්ථිකයෙන් පස්සේ ආපු තරඟකාරීත්වය මැද්දේ හුස්ම හිරවෙද්දී ඇගේ නිර්ලෝභී සිනහවට ගැහැනු පිරිමි භේදයක් නැතිව අප ආදරය කළේ ඒ නිර්මල ස්වභාවය නිසා නොවේද?
එහෙත්, ඇගේ ඒ අහිංසකත්වය අපට පෙන්නූ සිනමාහල්, චිත්‍රාගාර පවා මේ ඛේදවාචක අස්සේ දවා හළු වෙද්දී අපට සිනමාවම අහිමි වුණා නොවේද?
ඇය නියෝජනය කළේ මේ ලංකාවේ අහිංසක ආත්මය නොවේද?’ඇය සමු ගනිද්දී පෝළිමේ ඇදී’ආ ජනතාව ඇය කෙරෙහි ස්තූතිවන්ත වුණේ කුමක් වෙනුවෙන්ද? ඇය නියෝජනය කළ ඒ පිවිතුරු,’නිර්මල සහ අව්‍යාජ හෘදය සාක්ෂිය කෙරෙහි නේද? අපට මඟහැරුණු අහිංසකකම ගැන නේද?
අප මිනීමරු ජාතියක්ද? නැත. අපි ආදරය කරන හැටි දැන සිටියෙමු. අපි ආදරය කළෙමු. එහෙත්,’අප මිනිසුන්ව හිංසනය කෙරෙහිම තල්ලු කළ දුෂ්ඨ බලවේග රැසකි. අපි හිංසනයට වෛර කරන්නෙමු. අපි අහිංසකත්වයට ප්‍රේම කරන්නෙමු. මාලිනී ඒ අහිංසකත්වයේ ප්‍රතිමූර්තියයි.
මේ කෙටි අදහස් විමසීම මාලිනී සමුගන්නා මොහොතේ ඇය දෙස හැරී බැලීමකි. සිනමා විචාරකයෙකු, පෙර පරම්පරාවේ අධ්‍යක්ෂවරයෙකු සහ නූතන පරම්පරාවේ අධ්‍යක්ෂවරයෙකු,’රංගන හැකියාවෙන් මෙන්ම ආකර්ෂණයෙන් අනූන සිනමා නිළියන් දෙදෙනෙකු සහ මාලනීගේ සිනමාවට දශක ගණනකට පසු ඉපිද, වයස අවුරුදු විසි ගණන්වල සිටින ඉසෙඩ් පරම්පරාවට අයත්, මාලනීට තදින් පෙම් බඳින තරුණ මාධ්‍යවේදිනියකගෙන් අපි මාලිනී ගැන අදහස් විමසුවෙමු.
ඇය කීවා ආකාස කුසුම් සංකල්පයට හිරිගඬු පිපුණා කියලා – සිනමාවේදී ප්‍රසන්න විතානගේ

මම මාලිනී ප්‍රධාන චරිතය රඟපෑ ආකාස කුසුම් චිත්‍රපටය හදන්නට හේතු වූ පසුබිම් කතාව ඇසුරින් ඇය ගැන කියන්නම්. මගේ ප්‍රථම චිත්‍රපටය සිසිල ගිනි ගනී තිරගත වීමට පෙරාතුව තමයි මම ආකාස කුසුම් චිත්‍රපටයේ කතාව ඇයට කිව්වේ. මම මුලින්ම තිර රචනයක් ලීවේ මාලිනී අක්කාට. ස්ත්‍රී සඳහා. මට ඕනෑ වුණේ පැයක රූපවාහිනි නාටකයක් කරන්න. ඇරැව්වල නන්දිමිත්‍රගේ කෙටිකතාවක් ඇසුරින්. මාලිනී අක්කා ඉල්ලුවා මේ ස්ක්‍රිප්ට් එක ෆිල්ම් එකකට දෙන්න කියලා. ඒ අනුවයි චිත්‍රපටය නිර්මාණය කළේ.
ඒ කාලයේ ලොකේෂන් බලන්න ගියාම පොල්පිතිගම, ගල්ටැම්වැව වගේ ප්‍රදේශවලට. මාලිනී අක්කා ගියාම ගමේ අය බලන්න එනවා. ඒකත් එක්ක ඇතිවෙච්ච කතාවක් තමයි ආකාස කුසුම් කියන්නේ. මුලින් තිබුණේ අද දකින කතාවම නෙවෙයි. මාලිනී අක්කාට මම චිත්‍රපටය ගැන කීවා ඇඟේ හිරිගඬු පිපුණා කියලා. ඒත් ඇයට රඟපාන්න වුවමනා වුණේ නැහැ. ඇය කීවා ප්‍රේක්ෂකයන් හිතාවි කියලා ඒක ඇගේ කතාව බව. ඒක යට යද්දී මම පවුරු වළලු, ඉර මැදියම වගේ චිත්‍රපට හැදුවා. එයින් පස්සේ තමයි 2006 දී මේක හැදුවේ. පසුකාලීනව ඇය පිළිකා රෝගයට ගොදුරු වුණාට පස්සේ, ඇගේ තත්ත්වය හඳුනා ගත්තාට පස්සේ මමත් දමයන්ති ෆොන්සේකාත් ගියා ඇය එක්ක කතා කරන්න. ඒ වෙලාවේයි මම පණ්ඩිතකමට කීවේ මාලිනී අක්කා එන්න, අපි ෆිල්ම් එක කරමු කියලා. මම කුඩා කාලයේ සිට මාලිනී අක්කාගේ රසිකයෙක්. හතරදෙනාම සූරයෝ, හොඳට හොඳයි, ආදරේ හිතෙනව දැක්කම, තුෂාරා ඇතුළු චිත්‍රපට පාසල් ශිෂ්‍යයෙක් හැටියට නරඹලා තිබුණා. පිළිකාවක් කියන්නේ යම් දුරකට මරණයේ දොරකඩ අසබඩට යෑමක්. ඒ මොහොතේ තමයි අර බලාපොරොත්තුව දුන්නේ අපි මේ කතාව කරමු කියලා. ඊට පස්සේ මම චිත්‍රපටය ලීවා. ලියනකොට ඇත්තටම ඒ කාලය වෙනකොට සහාය තිර රචකයන් හැටියට දෙදෙනෙක් සම්බන්ධ වුණා. මම ඒ වෙද්දී අධ්‍යයන කරලා තිබුණා තරුණ නිළියන් මැදිවියට යද්දී විඳපු අත්දැකීම්.
ආකාස කුසුම් චිත්‍රපටයේ තියෙන්නේ ඇගේ කතාව කියලා හිතන එක ගැටලුවක් කර නොගත්තේ මාලිනී අක්කාම තමයි. ඇයට කියන්න තිබුණු දේවල් ඇය මේකෙදී කිව්වා. සිද්ධි නෙවෙයි. ගැහැණියක් විදියට ඇයව සමාජය භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන ඇයට කියන්න හැකියාව ලැබුණා. මට බලපෑ දෙයක් තමයි ජේන් ෆොන්ඩාගේ ජීවිත කතාවේ දෙයක්. මම ලෝකය ගැන නොදැන මියැදෙන්නට සූදානම්. නමුත් මම මම ගැන නොදැන මියයන්නට සූදානම් නැහැ කියන එක. ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි තමා තමාව අවබෝධ කරගැනීම.
නිළියකට විශාල මානුෂීය සම්බන්ධතා ප්‍රමාණයක් අහිමි වෙනවා නිළියක් වීම නිසා. සැබෑ සම්බන්ධතා මත නෙවෙයි ජීවත් වෙන්නේ. ගොඩනඟන ලද ලෝකයක්. ඒ ලෝකයේම ඔවුන් ජීවත් වෙනවා දැනුවත්වම. මේ චිත්‍රපටියේ තියෙන්නේ එක මොහොතක යථාර්ථයට මුහුණදෙන්න සිද්ධවෙනවා.
බොහෝ අය ආකාස කුසුම් විචාරයේදී කීවා නිළියගේ ඛේදවාචකය, ස්ත්‍රියගේ ඛේදවාචකය වගේ දේවල්. ඒත්, මම ඛේදවාචකයක් හැටියට දකින්නේ නෑ. ජීවිතයේ කෙනෙක්ට මොනවා අහිමි වුණත් ජීවිතය තේරුම් ගන්නවා නම් ඒ තමයි වැදගත්ම දේ.
මාලනී තමයි ලේඩි සුපර්ස්ටාර් – රූපණවේදී රන්ජන් රාමනායක

මම ෆිල්ම්වලට එන්න තරම් වුවමනාව ආකර්ෂණය වෙන්න හේතුව තමයි විජය මාමා. හැමදාම මම කියන්නේ ඒක. විජය වැඩිපුරම ජනප්‍රිය වුණේ මාලිනී’ෆොන්සේකා එක්ක රඟපාලා. අපි දැක්කේ විජය,’මාලිනී’ෆිල්ම්. තුෂාරා,’වාසනා, සංගීතා,’අනූපමා වගේ ෆිල්ම්වල. ටීවී ඉන්ටවීව්ල, පත්තරවල බැලුවත් අපට ජනප්‍රියම නළුවා විජය. ජනප්‍රියම නිළිය මාලිනී. ජනප්‍රියම කපල් එක විජය මාලිනී කියන එක.
හැබැයි මාලිනී කලාත්මක සිනමාවේත් හිටිය. එක කාලෙක මාලිනී උදේට නිධානය ෂූටින්වලටත් හවසට මමයි රජා ෂූටින්වලටත් ගියාලු. ඇය මැද මාවතේ,’වාණිජ, කලාත්මක චිත්‍රපටි කරනවා. සිංදු කියනවා,’සිංදු ලියනවා,’කාර් රේස් පදිනවා,’අධ්‍යක්ෂණය කරනවා. ලොකු පැකේජ් එකක්.
මම ඉස්සෙල්ලාම එයාව දැක්කේ කටුකුරුන්දේ රේස් එකකට ඉදරිපත් වෙලා,’තරග කරනවා. ඇය මෝටර් රථ ධාවන ශූරියක්. ඇය කොළපාට කාර් එකක් එළවපු හැටි මට තාම මතකයි.
දෙමළ සිනමාවේ නයනතාරාට කියනවා ලේඩි සුපර්ස්ටාර් කියලා. රැජිණිකාන්ත් සුපර්ස්ටාර්. නයනතාරාට ලේඩි සුපර්ස්ටාර් කියන්නේ එයාගේ බ්‍රෑන්ඩ් එකට හීරෝ කෙනෙක් නැතිව ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් කරන්න පුළුවන් කියන එක. මේ කර්මාන්තය පුරුෂාධිපත්‍යය කේන්ද්‍ර කරගත්ත එකක් කියලනෙ කියන්නේ. හොලිවුඩ්,’බොලිවුඩ්, කොලිවුඩ් වගේම අපේ කර්මාන්තයේත් වීරයා ඉන්නවා. ඒත් මාලිනීගේ සසර චේතනා, රක්තා,’සත්‍යා වගේ චිත්‍රපටි දිව්වේ වීරවරිය ඇය නිසා. මාලිනී තමයි අපේ ලේඩි සුපර්ස්ටාර්.
මට මාලිනී අක්කා එක්ක ළඟින්ම වැඩ කරන්න අවස්ථාව ලබලා දුන්නේ පිටගම්කාරයෝ කියන ටෙලිනට්‍යයෙන් තිස්ස අබේසේකර. මගේ සහ ජැක්සන් ඇන්තනිගේ අම්මාට මාලිනී ෆොන්සේකා මහත්මිය රඟපෑවා. ඒක විශාල වියදමක් කරපු ටෙලිනට්‍යයක්. වීරෝධාර කියන ෆිල්ම් එකේ මම ඇය එක්ක වැඩ කළා. ඇය මහා පෞරුෂයක් තියෙන කෙනෙක්.
තව දෙයක්. අපව මෙතැනට ගේන්නේ ජනතාව. අපව ගෙනාවාම,’ලංකවේ මතයක් තියෙනවා අපි ලංකවේ අධ්‍යාපනය ලබලා,’දොස්තරලා වෙලා, නිදහස් අධ්‍යාපනය ලබලා,’ලොකු පඩියකට පිටරට වැඩ කරන්න යනවා කියලා. සිනමවේත් තියෙනවා එස්එම්එස් එකෙන්,’ෆිල්ම් ටිකට් එකෙන් ඇවිල්ලා විදේශික අයව බැඳලා පිටරට
ගිහින් සෙට්ල් වෙනවා කියලා එකක්. කරපු කාටවත් කියනවා නෙවෙයි. ඒත් එහෙම එකක් තියෙනා. මාලනී අක්කා එහෙම කළේ නෑ. සිනමාවේ විවිධ රැලි ආවා. ඉන්දියන් රැල්ලක්,’කාම රැල්ලක් ඇතුළු විවිධ රැළි ආවා.’කොවිඩ් ආවා, යුද්ධය ආවා, කළු ජූලිය ආවා, හෝල් පිච්චුවා, හෝල් වැහුණා. ඒත් මාලනී අක්කා ගෙවල් උකස් තියාගෙන, ණය වෙවී හිටියා. සිනමාවේ ස්වර්ණමය
යුග සහ අඳුරු යුගවලට ඔරොත්තු දීගෙන මේකෙන් පැනලා යන්නේ නැතිව නිෂ්පාදකවරුන් හොයාගෙන, ණයවෙලා චිත්‍රපටි කරලා මේකෙම අවුරුදු අසූවක් වෙනකල් හිටියා. ඒ නිසයි ඒ මිනිස්සු විශේෂ. ජෝතිපාල,’ගාමිණී ෆොන්සේකා,’විජය කුමාරතුංග,’ෆ්‍රෙඩී සිල්වා,’මාලිනී ෆොන්සේකා හදපු වේදිකාවේ තමයි අපි ඉස්සරහට යන්නේ. සිංහල සිනමාවේ ප්ලැට්ෆෝම් එක හැදුවේ ඔවුන්. ඒක හදන්න මුල් වුණ ප්‍රධානම ස්ත්‍රී චරිතය තමයි මාලනී.
මාව ආදරයෙන් පිළිගත්තා – රූපණවේදී දිල්හානි ඒකනායක

පොඩි කාලෙ ඉඳලා අපි නිළියකට ලියුම් ලීවා නම් ලිව්වේ මාලිනී ෆොන්සේකාට. පොඩි කාලේ අපව අරන් ගිහින් චිත්‍රපටියක් පෙන්නුවා නම් ඒ මාලිනී ෆොන්සේකා සහ විජය හිටපු චිත්‍රපටි. මේ මනුස්සයා කරලා තියෙන දේවල් බැලුරෑවාම, ඇය අපට හිතන්නවත් බැරි පරාසයක කෙනෙක් විදියට හැඟෙනවා.
මාලිනී අක්කාව මට මුලින්ම හමු වුණ දවසේ කොහෙත්ම දැනුණේ නැහැ, ඇය මේ තරම් විශාල කෙනෙක් කියන එක. එහෙම එකක් ඇය මට පෙන්නුවේ නැහැ. තමන්ගේ කුලයට ආදරයෙන් මාව පිළිගත්තා වගේ දැනුණේ. එදා ඉඳලා තිබුණු ආදරය හැමදාම මගේ හිතේ තිබුණා. මට මෑතකදී ඇයව’මුණගැහෙන්න බැරිවුණා ප්‍රියංකරත් අසනීප නිසා. ඒත් අපි හැමවිටම ගෞරවය දීලා නිසි තැන මාලිනී අක්කාව තියලා තිබුණා. එක එක්කෙනා පළුදු කරද්දී ටිකක් දුක හිතෙනවා.
එයා හරිම සරල කෙනෙක් විදියට. පරිසරය ආදරය කරන කෙනෙක් විදියට මම දකිනවා. සත්තුන්ට හරියට ආදරය කරපු කෙනෙක් විදියට ඇයව දකිනවා. මනුෂ්‍යයෙක් රජ වුණත් වැඩක් නැහැ ඒ කොටස නැත්නම්. මාලිනී’අක්කාගේ ඒ කොටස හොඳටම තිබුණා. මනුස්සයෙක් විදියට ඇය ජීවත් වුණා.
මම මාලිනීගෙන් ලැබූ දේවල් ගැන කීවොත්, මම ඇත්තටම එයාව රසවින්දා. ගැඹුරින් බැලුවා. ඒත්, ඇගේ කිසි දෙයක් මම අනුකරණය කරලා නැහැ. මගේ තුළින් තමයි මම මගේ දෙයක් බිහි කළේ. ඒ මාලිනී අක්කාගෙන් ගන්න දෙයක් නැති නිසා නෙවෙයි. රසවිඳලා, ඒ පරාසය ගැන හිතන්න ඕනෑ. ඒත් ඒක අනුකරනය කරන්න හොඳ නෑ. මාලිනීට කරන ගෞරවයක් නෙවෙයි මාලිනීව අනුකරණය කරන එක. විජයව කී දෙනෙක් අනුකරණය කළාද? එතකොට කරපු කෙනාව නැති වෙනවා. තමා තුළින් තව කෙනෙක්ව බිහි කරන එක තමයි ඇගේ පසුපස යන අය කරන්න ඕනෑ.
සෙලෝලයිඩ් නූතනත්වයේ දිව්‍යමය රූපය මාලනී – සිනමා විචාරක විදර්ශන කන්නංගර

මාලිනී ගැන කතා කරනකොට මම පාවිච්චි කළා සෙලෝලයිඩ් නූතනත්වය කියන වචනය. ඇත්තටම නෙගටිව් පටය ඇතුළේ,’කළුසුදු සිනමාව සහ විනෝදාස්වාද කර්මාන්තයක් විදියට ඒක දියුණු තැනක තිබුණු කාලයේ,’සෙලෝලයිඩ් නූතනත්වය කියන්නේ මොකක්ද? සිනමා කලාවට ප්‍රභා මණ්ඩලයක් තිබුනු යුගයක ප්‍රේක්ෂකයා සහ සිනමාව අතර තිබුණා දුරස්ථබවක්. කළුසුදු තිරය මත හදපු රූපය අපේ එදිනෙදා පියවි ඇහෙන් දකින රූපයට වඩා දූරස්ථ විදියට දිව්‍යමය රූපයක් හැටියට පෙනුණා. මාලිනීව දැක්කේ ඒ දිව්‍යමය රූපය විදියට. ඒ සෙලෝලයිඩ් නූතන යුගයේ අවසාන නිළිය ඇය. ඊට පස්සේ නිළියන් ආවේ නැහැ නෙවෙයි. එහෙත්, ඇය තමයි ඒ යුගයේ සංකේතය.
ඒ යුගයේ මිනිස්සු ප්‍රතිරූප ගොඩනගාගත්තේ සිනමාවෙන්. පෙම්වතිය සහ ස්ත්‍රීය අපි අඳුනගත්තේ සිනමාවෙන්. චණ්ඩියා චිත්‍රපටියේදී ගාමිණී මහපාරේ චණ්ඩියා අනුකරණය කළා නෙවෙයි. ඇත්තටම ගමේ චණ්ඩියා තමයි ගාමිණීව අනුකරණය කළේ. ඒ වගේමයි ලංකාවේ ස්වදේශික,’ලෞකික පෙම්වතියට තිබුණු පරමාදර්ශී රූපය මාලිනී. මාලිනීගේ මරණයෙන් පස්සේ අවසන් කටයුතුවල අප දුටු දීර්ඝ පෝළිම තුළ පරම්පරා කිහිපයක් හිටියා. ඒ ආවේ තමන්ගේ ආදරය, ජීවිතය,’පවුල,’ප්‍රේමය නිර්මාණය කරලා දුන්න ඒ කෙනාව බලන්න. මාලිනී ජනප්‍රිය සිනමාවේ එදත් සූරයා- අදත් සූරයා, හොඳට හොඳයි,’ආවා සොයා ආදරේ වගේ චිත්‍රපටිවල ගාමිණී එක්ක රඟපෑවා. තුෂාරා, සංගීතා.’උන්නත් දාහයි මළත් දාහයි,’පෙම්බර මධූ වගේ චිත්‍රපටිවල විජය එක්ක රඟපෑවා. ඒ වගේම නිධානය,’බද්දේගම, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්,’සිරිමැදුර වගේ කලාත්මක චිත්‍රපටිවලත් රඟෑවා. බඹරු ඇවිත්,’නිධානය වගේ චිත්‍රපටිවල එයා නිර්මාණය කරගත් චරිතයක් කළා වෙනුවට, මාලිනී ඒ චිත්‍රපටිවලින් ඉල්ලු චරිතය කළා.
ඒ විතරක් නෙවෙයි,’ඇයට වේදිකාවේ ආභාසය තියෙනවා. මාලිනී නාට්‍ය කලාවට එන්නේ 1963 දී නොරත රත කියන නිර්මාණයේ. ඇය ගුණසේන ගලප්පත්ති වගේ කෙනෙක් එක්කත් නාට්‍යවල රඟපෑවා. ධර්මදාස ජයවීර අධ්‍යක්ෂණය කරපු අකල් වැස්ස වේදිකා නාට්‍යයේ 1967 දී රඟපෑවා. ඒකෙදී සුමන ආලෝකබණ්ඩාර, සයිමන් නවගත්තේගම සහ එච් කරුණාරත්න වගේ අයව ඇයට ඇසුරු කරන්න ලැබුණා. ඔවුන් සාංදෘෂ්ඨික,’භවසත්තාවාදී කලාත්මක චින්තන ගුරුකුලයක්. සාත්‍රෙ,’ඇල්බෙයා කැමූ’කියවපු නාට්‍ය කණ්ඩායමක් ඔවුන්. මාලනීට ඒ ආභාසයත් තිබුණා. මාලිනීට ඉස්සෙල්ලාම සම්මානයක් ලැබුණේ අකල් වැස්ස කියන නාට්‍ය යෙන්. ලුම්බිණියේදී අකල් වැස්ස බලලා තමයි තිස්ස ලියනසූරිය පුංචි බබා කියන චිත්‍රපටියට මාලනීව තෝරාගන්නේ.
ඒ වගෙම මාලිනී චිත්‍රපටි අධ්‍යක්ෂණයට ආවා. සසර චේතනා, අහිංසා,’ස්ත්‍රී, සඳමඬල වගේ චිත්‍රපටි කළා. සසර චේතනා කියන්නේ ක්‍රියාදාම චිත්‍රපටියක්. ඇය කෝච්චිවල සටන් කරමින් චිත්‍රපටිය කළා. නිරූපමාලා කියන්නේ කාන්තාවක් අධ්‍යක්ෂණය කරපු පළවැනි ටෙලිනාට්‍යය. එයා දැන් ලොකු ළමයෙක් ෆිල්ම් එකට මොස්කව් ජාත්‍යන්තර සම්මාන අළෙලේදී ඩිප්ලෝමා සම්මානය ලැබුණා. විශාල පරාසයක වැඩකරපු දැවැන්ත චරිතයක් ඇය.
පතීගේ චිත්‍රපටිවල විතරක් නෙවෙයි. විජය ධර්ම ශ්‍රීගේ සිනමාවේ ඇය රඟපෑවා. කලාත්මක සහ වාණිජ කියන ඊනියා බෙදීම නැතිකරපු සිනමාවකට අයත් වූ ඒ සිනමාවේ ආරාධනා වගේ චිත්‍රපටියක කරපු රංගනය විශේෂයි. කේ.ඒ. විජේරත්නගේ මධුසමය චිත්‍රපටියත් ඒ වගේ වෙනස් චිත්‍රපටියක්. බහුවිධ අධ්‍යක්ෂවරුන්,’ජනප්‍රිය සහ කලාත්මක සිනමාව වගේ සියලු සිනමා ධාරාවන් හරහා සංචාරය කරපු ස්ත්‍රීයක් ඇය. එය තමයි මාලිනීගේ තිබුණු විශේෂත්වය.
මම ඉපදුණේ 79 දී. මම ඉපදුණේ අපේ අම්මා සහ මගේ තාත්තා අතර තිබුණු ප්‍රේමය තුළ නම් මම අම්මා මාව උපදවන්නේ මාලිනී නිර්මාණය කරපු රූපක තුළින්. අම්මා ආදරය කරන්න ඉගෙනගන්න ඇත්තේ මාලිනීගෙන්. ඇයට තිබුණු සමාජමය රූපය මාලිනී වෙන්න පුළුවන් පෙම් කරන්නට. ඒ නිසා මම ඉපදීම තුළත් මාලිනී ඉන්නවා. ඇය මේ රටේ කිසිම දේශපාලන බලවේගයකට කරන්න බැරිවෙච්ච සමාජ නිෂ්පාදනයක් කළ කෙනෙක්.
මට ඇත්ත මාලනී කියන්නේ බ්ලොක්බස්ටර්වල හිටපු මාලනී – චිත්‍රපටි අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න

මාලිනී සාධකය ඒ ඒ කාලවල සමාජ දේශපාලනය එක්ක බලන්න ඕනෑ, 1956න් පස්සේ බණ්ඩාරණායකගේ දේශපාලන ව්‍යාපාරය කලාව ඇතුළෙන් ආව විදිය පෙන්වන සංකේතයක් මාලිනී. ඇයට පෙරත් තරු ගුණය තිබණු නළුනිළින් හිටියා. ඒත්,’මාලිනී එනකොට සිනමාහල් බිහිවෙමින් ගම් නියම්ගම් කරා සිනමාව ඇදී’යමින් තිබුණ කාලයක්. ඒ යුගයේ බහුතර සමාජයේ අපේක්ෂාවයි මාලිනීයි මාර විදියට ගැලපුණා.
විජය සහ ගාමිණී කතා කරන්නේ බහුතර ගැමි චින්තනයට. මාස් ඕඩියන්ස් එක කොච්චර කළත් ගැමියන්. ගාමිණී සරම උස්සලා පයින් ගහන එක තුළ ඒ පන්නයේ වීරත්වය මතුවෙනවා. ලස්සන කෙල්ල දිනාගන්න තියෙන ෆයිට් එක. ඒ කාලයේ ධනවත් කියලා හදපු කෙනා වුණත් පොෂ් කෙනෙක් නෙවෙයි. සරම ඇඳපු මුදලාලි පන්නයේ කෙනෙක්. ඉංග්‍රීසිය බයිට් කරන චිත්‍රපටි තමයි ඒ කාලයේ හිට් වුණේ. කොළඹ සන්නිය වගේ. ඒක අස්සේ පොදු මහජනතාවට ආදරය කරන්න පුළුවන් වස්තුවක් වුණා ඇය.
අද සිනමාවේ මාලිනී කෙනෙකුට වඩා ප්‍රියන්ත සිරිකුමාර වගේ කෙනෙක්ට ඉඩ හැදෙන්නේ අද තියෙන දේශපාලන යථාර්තය එක්ක. කොච්චර කළත් අද මිනිස්සු බාරගන්නේ මේක. අද වුණත් අපි සාර්ථක චිත්‍රපටි කියන්නේ මධ්‍යම පන්තිය භාරගත්ත ෆිල්ම්. මාලිනීගේ චිත්‍රපටි අතරිනුත් කලාත්මක චිත්‍රපටිවල නම් ඉස්මතු වෙන්නේ ඒකයි. මට පිටගම්කාරයෝ සහ නිධානයේ මාලිනීට ආසයි. ඒත්,’මට ඇත්ත මාලනී කියන්නේ බ්ලොක්බස්ටර්වල හිටපු මාලිනී. ඒ තමයි පොදුජනතාවගේ මාලිනී.
මාලිනීගෙන් ඉගෙනගන්න තියෙන්නේ මොකක්ද?’මේ මොහොතේ පොළොව අපි ස්පර්ශ කරන්න ඕනෑ. සිරිකුමාර වගේ නළුවන් ජනප්‍රිය වෙන්නේ හෝ මේ වෙලාවේ සාර්ථක වෙන චිත්‍රපටි එන්නේම මේ මොහොතේ මිනිස්සුන්ගෙ මානසික,’දේශපාලන අවශ්‍යතාව තුළ තියෙන්නේ සාමාන්‍ය මිනිහා පොදු කියන තැන. පාලකයන් පවා අද සාමාන්‍ය පෙනුමැති මිනිස්සු. මම හිතන්නෑ නැවත මාලිනී බිහිවේවි කියලා. ඇය එකම එක්කෙනා. ඇයගේ මළගෙදර වගේ මළගෙදරක්වත් අපට ආයේ බලන්න ලැබෙන්නේ නෑ. කාලෙකින් එහෙම මළගෙදරක් දකින්න ලැබුණේත් නෑ.
ඇයට හරි ස්වභාවික ප්‍රවේශයක් තියෙන්නේ රූපණවේදී – නාට්‍යවේදී කෞෂල්‍යා ප්‍රනාන්දු

මම කුඩා කාලයේ ඉස්සෙල්ලාම රඟපෑම කියන දැක්ක ශ්‍රී’ලාංකික සිත්ගන්නාසුළු කෙනා තමයි මාලිනී ෆොන්සේකා. මට වැඩිය දේශීය වාණිජමය චිතප්‍රටි බලන්න අවස්ථාව ලැබුණේ නැහැ. ගෙදරින් එක්කාගෙන ගිහිල්ලා නෑ. ඒත් මාලිනී ෆොන්සේකා කියන නිළිය ගැන හරිම ආකර්ෂණයක් මට තිබුණා. එයාගේ තියෙන සුන්දරත්වය මම දැක්කා. පසුකාලීනව මම ලොකු වෙද්දී බඹරු ඇවිත්,’එයා දැන් ලොකු ළමයෙක්,’සොල්දාදු උන්නැහේ, රක්තා, අපේක්ෂා වගේ කලාත්මක සහ වාණිජ චිත්‍රපටි බැලුවා. අදහාගන්න බැහැ එහෙම හැම ආකාරයකම දේවල් රඟපාන්නට තියෙන හැකියාව.
ඇයට හරි ස්වභාවික ප්‍රවේශයක් තියෙන්නේ. හරිම අව්‍යාජ, නැවුම් විදියට ඇය රඟපානවා. ක්ෂණිකව ප්‍රතිචාරය දක්වනවා. එවේලේ ප්‍රතිචාරය දක්වනවා. ඇය මගේ අම්මා සෝමලතා සුබසිංහ එක්ක වසන්තයේ දවසක් සහ දාහකින් එකෙක් කියන චිත්‍රපටිවල රඟපෑවා. ඒ අවස්ථාවල මට ළඟින් ඇයව ඇසුරු කරන්න ලැබුණා. ඇය හරිම සුන්දර,’නිවුණු කෙනෙක්. අපි වගේ දඟලලා කෑගහන එකක් මම ඇගෙන් දැක්කේ නැහැ.
මට ආකාස කුසුම් චිත්‍රපටියේ ඇය සමඟම රඟපාන්න වාසනාව ලැබුණා. මම දැක්කා ඇය ලොකූවට ලෑස්තිවෙලා රඟපාන්නේ නැහැ. උත්පත්තියෙන්ම හැකියාව තිබුණා පිටපත කියවලා ඒක කරන්න. ඇය හොඳ චිත්‍රපටිවල කරපු චරිතවල තිබුණු ගැඹුර ඇයම මතු කරගත් ඒවා. හැම අධ්‍යක්ෂවරයාම කියන්නේ මේ කොටස කරන්න කියලා විතරයි. එහෙත් ඇය දැනගෙන හිටියා මොන දේද කරන්න ඕනෑ’කියලා. මම නිළියන් ගැන කතා කළොත්, තරුණ අය ඉන්නවා චරිතයට අවශ්‍ය ගැඹුර ඉදිරිපත් කරන්න තේරෙන්නේ නැති.
ඇය ජීවිතේම කැප කරලා තියෙන්නේ සිනමාවට. පෞද්ගලික ජීවිතේ ගොඩනගාගන්න දේවල් කරලා නෑ. දරුවන් හදන්න, විවාහ ජීවිතයක් පවත්වගෙන යන්න, ගෙවල් හදන්න වගේ දේවල්වලට වඩා සිනමාවට ජීවිතය කැප කරපු කෙනෙක්.
මාලිනී පුරාවෘත්තයක් – ෆාතිමා සුමෙයියා – තරුණ මාධ්‍යවේදිනි

මාලිනී නිළි රැජන බව අහද්දී ඇය ගැන ආදරයක් ඇති වෙනවා තමයි. ඇගේ සමුගැනීම නිසා ඇය ගැන හැමෝම ආදරයෙන් කතා කරනවාත් තමයි. ඒත් මම හිතන්නේ ඇය නැති වෙන්න කලින් පවා ඇයට බොහෝ අය ආදරය කළා. අද කාලේ කවුරු වුණත් නිළියකට ඒ විදියට ආදරය කරන්නේ නෑ. අපේ පරම්පරාවේ බොහෝ අය ටික්ටොක්වලින් තමයි නළු නිළියන් සහ ප්‍රසිද්ධ අය දකින්නේ. අපි ඔවුන් පළ කරන ඡායාරූප, ස්ටෝරීස් දකිනවා.
මාලිනී නිළි රැජන තමයි. මාලිනී වගේ වයසින් වැඩි නිළියක් නැති වුණත්, නැති වෙන්න කලින් වුණත් ඒ තරමට නිළියකට ආදරය කරන්නේ නෑ. කවුරු වුණත්, නිළියන්ට එහෙම ආදරය කරන්නේ නෑ. බොහෝ අය ටික්ටොක්වල ෆලෝ කරනවා ප්‍රසිද්ධ අයව. අද නිළියක් කියන්නේ වෙන එකක්. ඒත් අපේ පරම්පරාවට පවා මාලිනී කියන්නේ නිළියකට එහා ගිය කෙනෙක්. මාලිනී අපට පුරාවෘත්තයක්. අපේ පරම්පරාවේ කාටවත් ඇය අත්පත් කරගත් තත්ත්වයට ළඟා වෙන එකකුත් නෑ. මාලිනී නැති වුණාට පස්සේ කුතුහලය නිසා ඇය කරපු දේවල් හොයා බලන අය ඉන්නවා. අපි වුණත් අලුතින් මාලිනී කරපු දේවල් ගැන හොයා බැලුවා.
ඒ හොයා බලද්දී කුතුහලය ආපු දෙයක් තමයි ඉතාම තරුණ වයසේදී ඇය සිනමාවට ආපු හැටි. ගෙදරින් ඉඩ දුන්නාද? කාන්තාවක් විදියට ඇය පීඩාවට පත් වුණාද? ඒවාට මුහුණ දුන්නේ කොහොමද වගේ දේවල්. ඒවාට පවා ඇය මුහුණදීලා තියෙනවා.
පොඩි කාලේ අපි ටීවී එකේ දකිනවා කළු සුදු චිත්‍රපටි යනවා. ගොඩක් අපේ පරම්පරාවේ අය බලන්නේ නැහැ. ඒත්, මාලිනී ඉන්න චිත්‍රපටියක් නම් මම බැලුවා. ඒකට හේතුව මාලිනී ගැන ඒ තරම් දේවල් අපි අහලා තියෙන නිසා. මාලිනී ගැන ආසාව ඇතිවුණේ ඒ විදියට ඇයව දැකලයි. තුෂාරා ඇතුළු ඇගේ චිත්‍රපට බැලුවේ.
මම කවදාවත් චිත්‍රපටි ශාලාවක මාලිනීගේ කළු සුදු තරුණ රූපය දැකලා නැතත්, ඇගේ ඒ කාලයෙන් පස්සේ ඉපදුණා වුණත් මට මාලිනීව හිතේ මැවෙන්නේ කළු සුදු රූපයෙන්. ඇය වැඩිහිටි පරම්පරාවේ වුණත්, මගේ හිතේ ඇයව ඇඳෙන්නේ සම වයසේ තරුණියක් විදියට. ෆිල්ම්වල මම එයාව දැකපු ඒ මූණම තමයි මාලිනී කියන නම එද්දී හිතට මැවෙන්නේ. මාලිනීගේ ප්‍රසිද්ධ ෆොටෝ එකක් තියෙන හුළඟට කොණ්ඩය විසිවෙන එකක්. ඒක අහම්බෙන් ගත්ත ඡායරූපයක් වගේ. මුහුණේ වැඩි මේකප් නැති නැවුම් පෙනුමක්. ඒ පෙනුමටයි මම කැමති.
මාලිනී චිත්‍රපට 156ක රඟපාලා තියෙන බව මම කියෙව්වා. ඇය විවිධ චරිත රඟපාලා ඇති. ඒත්, ඒ කිසිම චරිතයක් විදියට නෙවෙයි අපි මාලිනීව දන්නේ අර පුරාවෘත්තය විදියට. දැන් රංගන ශිල්පිනියන් රඟපාන චරිතයක් ඉතා හොඳ ගති ලක්ෂණ තියෙන චරිතයක් වුණොත්, ඒ රංගන ශිල්පිනිය ඒ චරිතයේ ගති ලක්ෂණ එක්ක අනන්‍ය කරගන්නවා අපි. හොඳ චරිතයක් කළොත් මිනිස්සු හිතනවා එයා හරි හොඳ කෙනෙක් කියලා. නරක චරිතයක් රඟපෑවොත් ඒ ශිල්පියා සැබෑ ජීවිතේදී හොඳ කෙනෙක් වුණත් නරක විදියටයි අපි සලකන්නේ. ඒත්, මාලිනීගේ කිසි චරිතයක් මත මාලිනීව අපි මනින්නේ නැහැ. අහිංසක, හොඳ කෙනෙක් විදියටයි අපි ඇයට සලකන්නේ.
තරිඳු උඩුවරගෙදර