අග්‍රගණ්‍ය සිනමා නිළි, සිනමාවේදිනී මාලිනී ෆොන්සේකාගේ අභාවය නිසා මුළුමහත් රටම කම්පා වූ පරිසරයක වේගවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. පසුගිය සතියේ කතාබහ කරන්නට කොතෙකුත් දේශපාලන කරුණු කාරණා තිබුණත් ඒ සියල්ල පරයා අපේ රටේ දේශපාලන කතිකාවේ කතාබහට ලක්වූ කාරණාව වූයේ මාලිනී ෆොන්සේකාගේ මරණය පසුබිමේ අපේ සමාජය මුහුණ පෑ සිදුවීම් සමුදායයි. ඒ බොහෝ දේවල්වලට සෘජුවම දේශපාලනය සම්බන්ධ වී තිබීම නිසා කිසිවක් දේශපාලනයෙන් තොරව කතාබහ කරන්නට නොහැකි විය.
ඒ හැරුණු විට රටට බලපාන දේශපාලන කරුණු කාරණා රාශියක් පසුගිය සතියේත් මේ සියල්ල මැද ශේෂව තිබීම කැපී පෙනෙන කාරණාවක් වූයේය.
මීට සති කීපයකට පෙර පැවැති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයට අනුව ජයග්‍රාහී ජාතික ජන බලවේගයට බාධාවකින් තොරව බලය පිහිටුවන්නට පුළුවන් වූයේ මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාවෙන් අඩකට මදක් වැඩි ආයතන සංඛ්‍යාවක පමණි. ආයතන සියල්ලෙහි බලය පිහිටු වීම සඳහා විපක්ෂය ඒකරාශී වීමට උත්සාහ කළ ද යම් යම් පාර්ශ්වයන්හි දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාකාරීත්වය නිසා විපක්ෂයට ඒ අභියෝගය එක එල්ලේ ජයගන්නට නොහැකි විය. විපක්ෂයේ වඩාත් බලවත් පක්ෂයේ වූයේ සමගි ජන බලවේගයයි. එහෙත් සමගි ජන බලවේගයට තනිවම බලය පිහිටු විය හැකි ආයතන කිසිවක් තිබුණේ නැත. ඒ සඳහා ඔවුන්ට අනෙකුත් පක්ෂවල හා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නිසැකයෙන්ම ලබා ගත යුතු වීම නිසා පසුගිය සති කීපයම ගෙවුණේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවන්ටය.
රටේ පාලන බලය හොබවන ජාතික ජන බලවේගය ද විපක්ෂයට ඒකරාශී වී පළාත් පාලන ආයතනයන්හි බලය අත්පත් කර ගැනීමට ඉඩ හැර නිකම් බලා සිටියේ නැත. ඡන්දයට පෙර පෙන්නුම් කළ එන්පීපී ප්‍රතිපත්ති කවරක් වුණත්, නායකයෝ පෙර කළ කී කතා කවරක් වුණත් විපක්ෂයට බලය නොදී බලවත් පළාත් පාලන ආයතනවල බලය රැකගන්නට ජාතික ජන බලවේගය නොයෙකුත් දේශපාලන උපක්‍රම අනුගමනය කරමින් සිටි බව අපට පසුගිය සති දෙක තුළින් පැහැදිලිවම දැකගත හැකි විය.
තවමත් සැක සහිත
කොළඹ ආණ්ඩුවේ බලය…
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට අත්පත් කර ගැනීමට ඉඩ දී බලා සිටීම රජයට විශාල මදි පුංචිකමක් ලෙස දැනුනාට සැකයක් නැත. එම නිසා ජාතික ජන බලවේගය පහුගිය දිනවල දේශපාලනිකව තමන් සමඟ පෑහෙන්නේ නැති ස්වාධීන අපේක්ෂකයන් කෙරෙහි පවා අවධානය යොමු කළේය. ඔවුන් හා සාකච්ඡා ආරම්භ කළේය. ඔවුන්ගේ සහයෝගය ආණ්ඩු පක්ෂය වෙත ලබාගන්නට උපක්‍රම සැලසුම් කළේය. ස්වාධීන මන්ත්‍රීවරුන් හතක් අටක් බඳු සංඛ්‍යාවක් මේ අනුව ජාතික ජන
බලවේගයට සහාය පළ කරන්නට සූදානම් බව ද අනාවරණය විය.
මේ අතර කෙසේ හෝ කොළඹ බලය තම අතට ගන්නට සමගි ජන බලවේගය දැඩි අධිෂ්ඨානයක සිටියේය. මුජිබර් රහුමාන් මේ මෙහෙයුම සඳහා නායකත්වය ගත්තේය. ඒ සඳහා කොහොමටත් සූදානම්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග ද සාකච්ඡා වට ගණනාවකින් පසුව ඔහුගේ සහය ද ඒ සඳහා ලබා ගැනීමට හැකි විය. පහුගිය කාලයේ රනිල් උත්සාහ කළේ පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම මුල් කරගෙන විපක්ෂයේ නව සන්ධානයක් පවා ගොඩනගන්නටය. එහෙත් සන්ධානයේ වෑයම අසාර්ථක විය. පොහොට්ටුව සර්ව ජන බලය වැනි දේශපාලන පක්ෂ එවන් සන්ධානයකට කැමති වූයේ නැත. එහෙත් විපක්ෂයට බලය පිහිටුවීමට හැකියාව ඇති තැන්වල නිහඬව සිටිමින් ඔවුන්ට බලය ලබාගන්නට බාධාවක් නොවී සිටීමට එම පක්ෂ දෙක කැමැත්ත පළකර සිටියහ.
ඒ කෙසේ වෙතත් කොළඹ සටන අවසානය තෙක්ම තීරණාත්මක විය. ඇතැම් ස්වාධීන අපේක්ෂකයෝ යම් යම් රහස්‍ය සාකච්ඡා තුළින් දෙපැත්තටම කැමැත්ත පළකර, දෙපැත්තටම බලාපොරොත්තු ලබා දී දෙපැත්තෙන්ම වාසි ප්‍රයෝජනය ලබාගන්නට උත්සාහ කිරීම කැපී පෙනෙන කාරණාවක් වූහ. ඒ අනුව අවසන් තීන්දුව මැතිවරණ කොමිසමේ ඡන්ද විමසීම තෙක් දිග්ගැසී ගියේය. බලය පිහිටුවීමට නොහැකි, දෙපැත්තටම සමබර පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක සභාපතිවරුන් පත් කිරීමට මැතිවරණ කොමිසමේ ඡන්ද විමසීම ඒ අනුව ලබන මස දෙවැනිදා පැවැත්වීමට නියමිත විය.
සමගි ජන බලවේගය
ප්‍රශ්න විසඳුවේ මෙහෙම…
එහෙත් ඒ අතරතුර විපක්ෂයේ ප්‍රධානම දේශපාලන ප්‍රවාහය වන සමගි ජන බලවේගයට ඇතුළාන්තයේ අභ්‍යන්තර ආරවුලක් පැන නැගුණේ පළාත් පාලන ආයතනවලින් දිනාගත් මන්ත්‍රී ආසන වෙනුවෙන් මන්ත්‍රීවරුන් නම් කිරීමේදීය. ඒ ප්‍රශ්නය ඔවුන්ට පමණක් නොවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට ද බලපාන්නට වූහ. එහෙත් එක්සත් ජාතික පක්ෂය මෙහිදී පොදු පිළිවෙතක් අනුගමනය කරමින් අභියෝගය ජයගත්තේය. ඔවුන් කියා තිබුණේ තමන් මන්ත්‍රී ධුර ලබාදෙන්නේ ඒ ඒ ආයතනවල තම පක්ෂයෙන් වැඩිම ප්‍රතිශත ලබාගත් අපේක්ෂකයන්ට පමණක් බව ඔවුන් තරයේ කියා සිටියහ. එම ප්‍රතිපත්තිය නිසා කළුතරින් නන්දන ගුණතිලකට පවා මන්ත්‍රී ධුරයක් හිමි වූයේ නැත. ඒ හා සමානවම පොදුජන එක්සත් පෙරමුණ ද ගැටලු නිරාකරණය කර සිටියහ. අර්බුදය උත්සන්න වූයේ සජබය ඇතුළේය. බණ්ඩාරවෙල ආසන සංවිධායක චමින්ද විජේසිරි ඇතුළු ආසන සංවිධායකයෝ සැලකිය යුතු සංඛ්‍යාවක් සිය ආසන සංවිධායක ධුර වලින් පවා ඉවත් වන්නට තරම් මේ කාරණාව ප්‍රබල විය. ඒ අතර ඇතැම් දිස්ත්‍රික්කවල හා ආසනවල නායකයන්ගේ ක්‍රියාකාරකම් ද මේ බොහෝ ගැටලුවලට මුල්වී තිබුණු බව පැහැදිලි වූයේ මෙබඳු කතා නිසාය….
කළුතර ප්‍රාදේශීය සභාවට වැඩිම ප්‍රතිශතයක් ගෙන සජබෙන් පත්වුණු මන්ත්‍රී මාපුටුගල ලක්ෂිතයි. දෙවනියට ප්‍රතිශතය තිබුණේ ටන්සන්ලාල් ටය. එහෙත් අවසානයේ මේ දෙන්නාටම මන්ත්‍රීකම් ලැබිලා නැත. ඊට පහළින් සිටින වෙන දෙන්නෙක් ඒ වෙනුවට පත් කර තිබිණි.
මේ අවනඩුව අරගෙන දෙකොන රත් වුණු තන්සල් ලාලුයි ලක්ෂිතයි දෙන්නා නඩුව කියන්න ගියේ ජගත් විතාන ළඟටය… වූයේ කුමක්දැයි හොඳින් දන්නා ඔහු දුරකථනයෙන් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට කතා කළේය.
“වැඩිම ප්‍රතිශතයට නම් මන්ත්‍රීකම් දෙන්නේ ඇයි අපිට හම්බ නොවුණේ… ” ගිනි ගෙඩිය ජගත් විතාන භාරගත්තේ නැත. කෙලින්ම දුරකථන ඇමතුමෙන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අමතා ඔහු ළඟට දෙන්නව යැව්වේය…
ටන්සන්ලාල් යනු සජිත් ප්‍රේමදාසලගෙ තාත්තා පවා හඳුනන ළඟම පාක්ෂික පවුලක අයෙකි…
එබැවින් රංජිත් මද්දුම බණ්ඩාරත් ටක් ගාලා දෙන්නව ගෙන්න ගත්තේය…
“තමුසෙලා දැන් ද එන්නේ… මොකද බෑ කිව්වේ…”
“මොකක්ද සර් ඒ කතාවේ තේරුම. අපි ආවේ වැඩිම ප්‍රතිශතවලින් තේරිලා ඉද්දි ඇයි අපිට මන්ත්‍රීකම් නොලැබුණේ කියලා අහන්න…”
“තමුසෙලා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරලා කියලා තිබුණනේ බැහැ කියලා. ඉතින් අපි ඊට පහළින් ඉන්න අයව පත් කළා….”
“අනේ සර්… අපි නම් දීපු දිවුරුම් ප්‍රකාශයක් නෑ. කවුද අපි වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ දුන්නේ…”
“රංජිත් මේ වෙලාවේ speaker phone දමා දුරකථන ඇමතුමක් ගත්තේ අදාළ දේශපාලන ප්‍රදේශයේ බලධාරියටය…”
“ඇයි අර කළුතර වැඩිම ප්‍රතිශත තියෙන දෙන්නට මන්ත්‍රීකම් දෙන්න අපට බැරි වුණේ…”
“ඒ දෙන්න බෑ කිව්වනේ සර්… ඇයි මං දිවුරුම් ප්‍රකාශත් එව්වේ…” මේ වෙලාවේ ඒ සංවාදය අහගෙන හිටපු ටන්සන් ලාල් මෙන්න මෙහෙම කෑ ගැහුවා…
“බොරු කියන්න එපා සර්… අපි දීපු දිවුරුම් ප්‍රකාශයක් නෑ… කවුද ඔය කූටලේඛන හැදුවේ…”
මේ වෙලාවේ අදාළ බලධාරියා දුරකථනය විසන්ධි කළේය. මහ ලේකම්ටත් කරකියාගන්න දෙයක් නැතිවුණ තැන වරද නිවැරදි කරන්න භාරගත්තේය… ඒ අතර ඔහු සජිත් ප්‍රේමදාසට ද දුරකථනයෙන් කතා කර මේ සම්බන්ධයෙන් ඔහුගේ උපදේශයක්ද ගත්තේය. ඔහුගේ නිර්දේශය වූයේද වැඩිම ප්‍රතිශත ලාභීන්ට මන්ත්‍රී තනතුරු ලබා දිය යුතු බවයි.
ඒ වනවිටත් සජබෙ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී නම් ඇතුළත් ලැයිත්තුව ගැසට් එකට මුද්‍රණයට යවා තිබුණි. කළුතර අදාළ ලැයිස්තුව නතර කරන්න පුළුවන්ද කියා බලන්නා රංජිත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මාලිනිය රටට දුන් දේ හා
සමාජය ඇයට දුන් දේ…
අග්‍රගන්‍ය සිනමාවේදිනී මාලිනී පොන්සේකා මේ රටේ සිනමා ලෝලීන් බහුතරයක් අතර ඉමහත් ගෞරවාදරයට පත් වන්නේ 60, 70, 80 දශකවල ඇය රංගන දායකත්වය එක් කළ චිත්‍රපට සමුදාය නිසාය. සිනමා ලෝලීන්ගේ ගෞරවාදරය මධ්‍යයේ ඕ මේ රටේ සිනමාවේ අග රැජිණිය බවට පත් වූයේද රඟපෑම නිසාය. එහෙත් ඇයට පසු කාලයේදී මේ රටේ දේශපාලන කරළියට ද එක් වන්නට විරල අවස්ථාවක් හිමි විය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ දේශපාලන බලවේගය ඔස්සේ ඕ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පත්වූවාය. පාර්ලිමේන්තුවේ දී ද ඇය දේශපාලනය නොකළාය. ගෞරවනීය නිහඬ සේවයක් කරමින් සිටියාය.
පසුකාලීනව යම් යම් සමාජ බලවේගයන්හි ගර්හාවට හා අපහාසයට ලක් වන්නට මාලිනියට සිදු වූයේද ඇයගේ එම නිහඬ අහිංසක දේශපාලන භූමිකාව පවා බොහෝ දේශපාලනඥයින්ගේ හිතසුව පිණිස නොවූ නිසාය. එහෙත් දේශපාලනයේ දී ඕ කිසිවෙකුටත් මොනම ආකාරයකවත් එදිරිවාදිකමක් නොකළාය.
තමන්ගේ නිසි කාලය අවසන් වූ පසු ඇය දේශපාලනයෙන් සමුගෙන නිහඬ වෘතයක් අනුගමනය කළා මිස දේශපාලන වේදිකාවේ කතා කරන්නට හෝ හරඹ කරන්නට ඉදිරිපත් වූයේ නැත. අනතුරුව වියපත්ව බරපතළ ලෙස රෝගීව ප්‍රතිකාර ගන්නට ඇගේ මූල්‍යමය දුෂ්කරතා සලකා ජනාධිපති අරමුදලෙන් පවා ඇයට යම් යම් ප්‍රතිලාභ හිමිවූයේ ඈ සිනමාවට ඉටු කරන ලද ගෞරවාන්විත සේවය සලකා මිස දේශපාලනයෙන් ඕ ලබා තිබූ කීර්ති කදම්භයක් හෝ වෙන දැන හැඳුනුම්කමක් සලකා නම් නොවේ.
එහෙත් අවශේෂ පොදු ජනතාවට නොමැති වරප්‍රසාද දේශපාලන දැන හැඳුනුම්කම් හා බලපුළුවන්කම් හරහා මාලිනිය ලබාගත්තේ යැයි කියමින් ඇයට වෛරී දේශපාලන බලවේග කොතෙක් නම් අපහාස කළෝ ද..
පසුගිය සතියට පෙර සතියේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ වියෝවත් සමඟම අපේ රටේ මාධ්‍යය මාලිනිය රටට කළ දේ හා සමාජය මාලිනියට කළ දේ පුළුල් ලෙස සාකච්ඡා කරන්නට වූහ.
මේ අතර ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය ද මාලිනී ෆොන්සේකාගේ වියෝව කෙරෙහි යොමු විය. දේශපාලන කරළියේ දී නලින්ද ජයතිස්සලා මාලිනී ගැන කවර කතා කීවත් කළ යුතු හොඳම දේ සාකච්ඡා කර ඉටු කරන මෙන් ජනාධිපතිවරයා පවසනු ලැබුවේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි වෙතටයි. ඒ අතර 24 වැනිදා සවස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ සුනිල් සෙනෙවි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අවමංගලෝත්සවයේ වැඩකටයුතු ඉදිරියට සිදු කරන ආකාරය ගැන පුළුල් සාකච්ඡාවක් ඇති විය. ඒ සඳහා පවුලේ ඥාතීන්ගේ අදහස් උදහස් හා අනුදැනුම ද ලැබී තිබිණි. දේහය පළමු දිනයේ මාදිවෙල, මාලිනීය විසින් තැනූ කුඩා නිවසේ තැන්පත් කර තැබීමටත් 25 දිනයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමටත් 26 වැනිදා නිදහස් චතුරශ්‍රයේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර තබා පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අවසන් කටයුතු කිරීමටත් නියමිත විය. කලාකරුවන්ගේ පූර්ණ එකඟතාවය ද ඒ සඳහා ලැබීම නිසා සංවිධාන කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවීය.
දේශපාලන වාසි නොගෙන
නිසි ගෞරවය පමණක් දුන්නා
දේහය මාදිවෙල නිවසේ තැන්පත් කර තැබූ පළමු දිනයේම මේ රටේ දේශපාලනඥයෝ රැසක්ම මාලිනියට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රාශියක් පළමු දිනයේම පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීම විශේෂත්වයකි.
ඒ අතර මාලිනියට හිමි විය යුත්තේ රාජ්‍ය අනුග්‍රහය ද පූර්ණ රාජ්‍ය ගෞරවය ද යන කාරණා දෙක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ දැඩි ලෙස සාකච්ඡා වන්නට පටන් ගත්තේය. ඒ පිළිබඳ දේශපාලනඥයෝ ද විවිධ මත පළ කරන්නට වූහ.
මාලිනීගේ වියෝව ආරංචි වූ සැණින් දැඩි සේ සංවේගයට පත් අයකු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ආරංචිය ලත් සැනින් මහින්දට හිතවත් පිරිසක් විජේරාම මාවතේ නිවසට ගොස් සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකාවක් ලෙස දිගින් දිගටම කටයුතු කළ මාලිනී වෙනුවෙන් පක්ෂය කුමක් කරන්නේදැයි කියා සාකච්ඡා කරන්නටය. නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
“ජනාධිපති අරමුදලෙන් අනවශ්‍ය පරිදි සල්ලි ගත්තා කියලා අපහාස කළත් මේ වෙලාවෙ ආණ්ඩුව මාලිනීගේ අවමංගල්‍යය පිළිබඳ අවසාන කටයුතු වෙන විදියකට සංවිධානය කරනවා. සමහර විට රාජ්‍ය ගෞරව ලබා දෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා අපි මැදිහත් වෙන්න යන එක සමහර විට මේ ආණ්ඩුවත් එක්ක ඉන්න මාලිනීගේ ඥාතීන් විරුද්ධ වෙන කාරණාවක් වෙන්න බැරි නෑ. ඒක නිසා අපි ඉස්සෙල්ල මළගෙදරට සහභාගි වෙලා අපෙන් මොනවද කෙරෙන්න තියෙන්නේ කියලා බලමු.”
“මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට නිවසට ගොඩ වැදුනේ ඒ අනුවය. එහිදී පැමිණ සිටි අමුත්තන් සමග කෙටි අදහස් හුවමාරු කිරීම් කීපයක්ද සිදු විය. මහින්ද මහතා මාධ්‍යවලට ද කතා කළේය. මහින්ද මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු මාධ්‍යවේදියෙකුට හරි අපූරු උත්තරයක් දුන්නේ මෙසේය.
“මාලනී ෆොන්සේකා කියන අග්‍රගණ්‍ය සිනමා නිළියට අපි දක්වන්න ඕන උපරිම හරසරය ජීවත්ව සිටියදී දක්වල ඉවරයි. එතුමිය නිළියක් හැටියට, අධ්‍යක්ෂිකාවක් විදියට මේ රටේ සිනමා කර්මාන්තයට කරපු සේවාවට උපහාරයක් හැටියට තමයි මම එතුමියව මේ රටේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීලා පිළිගත්තේ. හැබැයි හොඳට මතක තියාගන්න. හොඳට හොයලා බලන්න. වෙන අය ජනප්‍රිය නළු නිළියන්ට කලාකාරයින්ට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර ලබාදීල දේශපාලනයට ඈඳගන්නේ ඒගොල්ලන්ගේ ජනප්‍රියත්වයෙන් දේශපාලන වාසි ප්‍රයෝජන ලබා ගන්න. අපි එහෙම කළේ නෑ. අපි මැතිවරණ ව්‍යාපාරවලදී මාලිනී මැතිනියව අපේ දේශපාලන වේදිකාවේ ප්‍රචාරක උපක්‍රමයක් විදියට පාවිච්චි කළේ නෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේදීත් එතුමියට ගෞරවනීයව කලා කටයුතු සම්බන්ධයෙන් කතා කරන්න ඉඩහැරියා මිස දේශපාලන වාද විවාද සංවාදවලට යොදාගත්තේ නෑ. එතුමිය ඉතා හොඳ චතුර කථිකත්වයක් තිබුණු මන්ත්‍රීවරියක්. රට ගැන පුළුල් අවබෝධයකින් කටයුතු කරපු මන්ත්‍රීවරියක්. හැබැයි අපි ඒවායින් වාසි ප්‍රයෝජන ලබා ගත්තේ නෑ. එතුමිය සිනමාවෙන්වත් දේශපාලනවත් හරි හම්බ කරලා ඉතිරි කරපු දෙයක් නැති බව දන්න නිසා රජයෙන් ඉඩම් කොටස් වගේ ප්‍රදානයන් ඇයට විශේෂයෙන් ලබා දෙන්නත් අපි උත්සාහ කළා.
අපි අපේ රාජ්‍ය ගෞරවය දැක්වූවේ එහෙමයි.
තව දෙයක් කියන්න ඕන… වර්තමානයේ සමහර අය මාලිනී මැතිනියට අපහාස කරන්නෙත් එතුමිය රාජපක්ෂ කඳවුරේ කෙනෙකුව සිටිය නිසාම කියලත් මම දන්නවා.”
රාජ්‍ය ගෞරවය ගැන
මෛත්‍රී කියපු කතාව
පහුගිය බදාදා හවස BMICH එකේ මිලිනා සුමතිපාල මැතිනියගේ 99 වැනි සංවත්සර උළෙල මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි. ආරාධිතයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, සරත් වීරසේකර, හර්ෂණ රාජකරුණා දයා ගමගේ ඇතුළු ලොකු පිරිසක් ඇවිත් හිටියහ. එක පේළියට එක ළඟ ආසන තුනක සිටියේ ඩලස්, මෛත්‍රී හා දයාසිරිය. මෛත්‍රී සිටින තැනක දයාසිරිත් සිටීම නිසා හොඳ හොඳ කතා කීපයක්ම අසා ගැනීමේ වරම අවට සිටි අයටත් උදාවිය. විවිධ මාතෘකා ඔස්සේ ආගිය තොරතුරු කතා කළ ඔවුන් අවසානයේ මාලිනීට මුහුණපාන්නට සිදු වූ අසාධාරණය ගැනද කතා බහ කළහ.
“මහ පිස්සො ටිකක්… කියන්නේ එකක්. කරන්නෙ තව එකක්…” දයාසිරි කිවේය.
”මේ රටේ හැම ක්ෂේත්‍රයකම හිස්තැන් පුරවන්න බැරි යුග පුරුෂයෝ හිටියා. සරච්චන්ද්‍ර, ලෙස්ටර්, අමරදේව, කේමදාස වගේ. මාලිනී අයිති වෙන්නෙත් ඒ පරපුරට… ඒක තේරුම් ගන්න මේ ගොල්ලන්ට බැරිවුණා…”
පරණ බී ආර් කරපු වැඩ
අලුත් බී ආර් කරන හැඩ…
අග්‍රගණ්‍ය සිනමා නිළි මාලිනී ෆොන්සේකාගේ ආදාහන කටයුතු කොළඹ නිදහස් චතුරස්‍රයේ සිදු කෙරෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් එම බිමේ එහෙ මෙහෙ සක්මන් කරමින් පොදු ජනතාවත් සමග කතාබස් කරන්නට වූහ. ඒ අතර කැපී පෙනෙන දෙදෙනකු වූයේ දයාසිරි ජයසේකර හා චාමර සම්පත් ය.
“ඔන්න මරු… හොඳම බඩු දෙකක් තමයි සෙට් වෙලා ඉන්නේ… ඔබතුමාල දෙන්න හරියට එකතු වෙලා ගේමක් ගහනවා නම් ආණ්ඩුවේ එකසිය පනස් නවයම දණගස්සන්න පුළුවන්…” ජනතාව අතර සිටි කීපදෙනෙක් කියන්නට වූහ. තවත් පිරිසක්ම චාමරව වට කරගෙන ආණ්ඩුවට බනින්න පටන් ගත්හ.
“බලන්න මන්ත්‍රීතුමා මේ රටක් වටින මනුස්සයෙකුට මේ ආණ්ඩුවේ මිනිස්සු කතා කරපු හැටි. සලකපු හැටි. ඔබතුමාලා මේවා තමයි පාර්ලිමේන්තුවේ ඇදලා කතා කරන්න ඕන. ඔබතුමා බය නැතුව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ.. හිරගෙවල් පිට පිට හිරගෙවල්වල දැම්මත් මාලිනීට කරපු අපහාසය ගැන නම් කට වහගෙන ඉන්න එපා…” සිනමාලෝලීන් චාමරට හා දයාසිරිට පැමිණිලි කරන්න පටන් ගත්හ.
“අපි මේ බලන් ඉන්නේ මාලිනී ෆොන්සේකාට අපහාස කරපු එවුන් මළගෙදරට එනවද කියලා. කෝ කවුරුවත් ඇවිල්ල නෑ…” එහි සිටි පිරිසක් කියමින් සිටියහ.
“ඇත්තටම මල්ලි මුං අද මෙතෙන්ටවත් ඇවිල්ලා නෑ නේද.?” චාමර ඇහුවෙ දයාසිරිගෙනි.
“දොඩාවත්ත නම් මේ පැත්තෙ ඇවිදිනවා දැක්කා. වෙන කවුරුවත් නම් දැක්කේ නෑ. හැබැයි උන් ඇඟේ හැපිල ගියත් මේ මිනිස්සු කවුරුවත් උන් කවුද කියලා අඳුනන්නේ නෑනේ…. ඒක හින්දා හොඳයි…” එහෙම කිව්වේ දයාසිරි.
ඔය අස්සෙ අලුත් බී ආර් කෙනෙක් ගැනත් කතාවක් පටන් ගත්හ.
”අලුත් බී ආර් වැරදි මිනිහා එක්කයි හැප්පුනේ. ඔබතුමත් එක්ක හැප්පුන දවසේ ඉඳලම දැන් එයා දිගටම එයා මඩ කනවා..” එතන සිටි කෙනෙකු කියද්දී කවුද මේ අලුත් බී ආර් කියා කට්ටියම කල්පනා කරන්නට වූහ.
අලුත් වතුර නාන ආණ්ඩුවට
අලුත් පක්ෂයක උත්තර
මේ සියලු දේවල් දෙස ඉතා උපේක්ෂාවෙන් බලා සිටින දේශපාලනඥයකු ලෙස රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේත් කැපී පෙනුණි. පුංචි ආණ්ඩුවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුණු මන්ත්‍රීවරු සිරිකොත මහගෙදරදී බ්‍රහස්පතින්දා ප්‍රතිඥා දුන්හ. ඒ අවස්ථාවට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ අලුත් අදහසක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ආණ්ඩුව දැන් සතියෙන් සතියට සතියෙන් සතියට අලුත් වතුර නා ගනිමින් සිටින බවකි. අලුත් වතුර නාන ආණ්ඩුවට උත්තර දීමට අපි අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගිය යුතු යැයි රනිල් යෝජනා කළේය. මේ අවස්ථාවට වජිර, තලතා, අකිල, නවීන්, සාගල ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් සහභාගි වී සිටියහ.
“ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්ද දැන් වැඩිවෙලා තියෙනවා. මේවා වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට භාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උප සභාපති, උප නායක මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා. ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට භාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එයභාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූණුත් දාන්න වෙනවා” රනිල් එම උත්සවයේදී අදහස් දක්වමින් පළ කළේ අලුත් ඉඟියකි.
මාලිනී ෆොන්සේකාට රනිල් ජනාධිපති ධුරය දරන සමයේ ලබාදුන් අරමුදල් පිළිබඳව සමාජ කතිකාවක් ඇති වී තිබුණු හෙයින් වජිර මාධ්‍ය හමුවකදී ඊට කදිම පිළිතුරක් ලබා දුන්නේය.
“එතුමිය අසනීප වූ අවස්ථාවේ රනිල් ජනපති රජයෙනුත්, පුද්ගලිකවත් කළ යුතු යුතුකම් එතුමිය වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කළ බව මා පුද්ගලිකවම දන්න නිසා එය ප්‍රකාශ කරනවා.
කොහොම නමුත් එතුමිය දැන් අපේ ජාතියට අහිමි වෙලා තිබෙනවා. මොකද එවැනි කලාකාරිනියක් නැවත සමාජගත වීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසාම තමයි එක්තරා අවස්ථාවක එතුමියට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් ජාතික ලැයිස්තුව තුළින් අවස්ථාව ලබාදුන්නේ. ඒ හරහා සමස්ත කලා ක්ෂේත්‍රයටම ගෞරවයක් හිමිවුණා කියලා අපි හිතනවා.
ඒ වගේම අද ඇතැම් අය එතුමියට ජනාධිපති අරමුදලින් ලබාදුන් මුදලක් ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. ඇතැම් අය කියනවා එතුමියට දුන්නට අපිට දුන්නේ නෑ කියලා. ඉතින් මෙවැනි අවස්ථාවක සෑම පුද්ගලයෙක්ම එක හා සමානව බලන්න බෑ. ජාතික වස්තුන් හැටියට සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම ජාතියේ වගකීමක් බව අප මතක තබා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් නැවත වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම වැපිරීම නොකළ යුතුයි කියා ප්‍රකාශ කර සිටිනවා යැයි වජිර කීය.
හිටපු ජනාධිපති රනිල් මෙම සති අන්තයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු නැවත ලබන සඳුදා රාත්‍රියේදී අලුත් පණිවිඩයක් රැගෙන යළි මව්බිමට පැමිණීමට නියමිත බව එජාපය කියයි.
මාලිනියගේ මරණයේ වැඩ කටයුතු අවසන් වන විට මේ රටේ මාධ්‍යවලට තවත් අලුත් ප්‍රවෘත්තියක් ලැබෙන්නට විය. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ 2015 වසරේදී අල්ලස් කොමිසම විසින් මහින්දානන්ද හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට හා නලින් ප්‍රනාන්දු හිටපු සතොස සභාපතිවරයාට එරෙහිව පවරණ ලද නඩුවක ප්‍රතිඵල පැමිණීමක් ගැනය. ප්‍රතිඵලය වූයේ නලින් ප්‍රනාන්දු මහතාට අවුරුදු විසිපහක හිරදඬුවමකුත් මහින්දානන්ද හිටපු ඇමැතිවරයාට අවුරුදු විස්සක හිර දඬුවමකුත් නියම කරන්නට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කිරීමයි.
මැතිවරණයක් කටේ තබාගෙන වාසිදායක වන අයුරින් රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් හා දාම් ලෑලි විශාල ප්‍රමාණයක් බෙදාදීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වගඋත්තරකරුවන් කර අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණි. නඩුවේ ප්‍රතිඵලයෙන් මේ රටේ බොහෝ පාර්ශ්වයන් සන්තෘෂ්ටියට පත්ව සිටින ආකාරය දැකගත හැකිවිය. සමාජ මාධ්‍යවල ද ප්‍රවෘත්ති පළ වූයේ වැඩි හරියක්ම මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට එරෙහිවය. මේ පිළිබඳ ප්‍රවෘත්ති පළ වන අවස්ථාවේ දී එය ඇසූ චන්න ජයසුමන හිටපු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ අපූරු කතාවක් කීවේ මෙසේය.
“දැන් ඉතින් මේ ආණ්ඩුවේ කිසිම ආයතනයක් කිසිම අමාත්‍යාංශයක් ඉස්කෝර් කරන්නේ නෑ. ඉස්කෝර් කරන්න ඉන්නෙ ආයතන දෙකයි. එකක් අල්ලස් කොමිසම. අනිත් එක සී අයි ඩී එක. ඔන්න ඔය දෙක වැඩ කරන හින්දා යන්තන් ආණ්ඩුවේ ගෞරවය රැකිලා තියෙනවා.”
බුලිත ප්‍රදීප් කුමාර