ෂෙයික් හසීනා, මිලියන 170 ක ජනගහනයක් වාසය කරන බංගලාදේශය, 2009 වසරේ සිට පාලනය කළ අතර, සිවිල් සේවා කෝටාවන් අහෝසි කිරීමට විරුද්ධව ඇරඹි විරෝධතා ව්‍යාපාරය, ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා ව්‍යාපාරයක් දක්වා වර්ධනය වීමෙන් පසුව ඇයව බලයෙන් නෙරපා හැරිණි. 76 හැවිරිදි ඇය පසුගිය වසරේ අගෝස්තු 05 හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පලා ගිය අතර ඒ අවස්ථාව වන විට දහස් ගණනක් විරෝධතාකරුවන් ඩකා අගනුවර පිහිටි ඇගේ නිල නිවසට කඩා වැදී ඇගේ මිල අධික සාරි, යට ඇඳුම් පවා පැහැර ගෙන ගියහ. දකුණු ආසියාවේ ආර්ථික ප්‍රගතිය ඉහළ දැමීමෙහිලා ගෞරවයට පාත්‍ර වූ හසීනා ප්‍රජාතන්ත්‍ර හිතවාදී සංකේතයක් ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළාය. 1947 දී නැගෙනහිර බෙංගාලයේ මුස්ලිම් පවුලක උපත ලද හසීනාට දේශපාලනය තම ලේ උරුමයක්ව තිබුණි. ඇගේ පියා 1971 දී පකිස්තානයෙන් නිදහස ලබාගෙන එහි පළමු ජනාධිපති බවට පත් වූ බංගලාදේශයේ “ජාතියේ පියා” වූ ජාතිකවාදී නායක ෂෙයික් මුජිබර් රහ්මාන් ය. ඒ වන විට හසීනා ඩකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කීර්තියක් අත්කර ගෙන සිටියාය.
1975 හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ පියා ඔහුගේ පවුලේ බොහෝ සාමාජිකයන් සමග ඝාතනය විය. ඒ වන විට විදේශගතව සිටි හසීනා සහ ඇගේ බාල සොහොයුරිය පමණක් දිවි ගලවා ගත්හ. නමුත් දැන් මේ හිටපු අගමැතිනිය ඉන්දීය හමුදා ආරක්ෂාව යටතේ දිල්ලියේ වෙසෙයි. ඇය පන්නා දැමීමෙන් පසුව බංගලාදේශය සන්සුන් වී තිබේද? නැත. එය තවත් අවුලට පත්වෙමින් පවතී. දැන් වාර්තාවන්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මොහොමඩ් යූනුස් අවුලට පත්ව ඇති බවය. ඔහු හා එරට හමුදාපති අතර ගැටුමක් හටගෙන තිබේ.
ඇත්තෙන්ම බංග්ලාදේශයේ දේශපාලන-හමුදාමය ගැටුමක් උත්සන්න වෙමින් පවතී. භාරකාර ආණ්ඩුව මතභේදාත්මක චිතගොං – රඛයින් කොරිඩෝව අනුමත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් හමුදා ප්‍රධානී ජෙනරාල් වකාර් උස් සමාන් මොහොමඩ් විවෘතව අභියෝග කර තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා බංග්ලාදේශය මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය සමග සම්බන්ධ කිරීමට අදහස් කෙරේ. මියන්මාරය තුළ සිටින රෝහින්ග්‍යා ජනගහනයට භාණ්ඩ සැපයීම සඳහා මානුෂීය මාර්ගයක් ලෙස කොරිඩෝව ස්ථානගත කර ඇත. නමුත් බංග්ලාදේශ හමුදාව එය බෙහෙවින් වෙනස් ලෙස දකී. ජෙනරාල් වකාර් මෙම පියවර ප්‍රසිද්ධියේ හෙළා දැක ඇති අතර, එය
“ලේ වැකි කොරිඩෝවක්” ලෙස හඳුන්වන අතර එය බංග්ලාදේශයේ ජාතික ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වය අනතුරේ දැමිය හැකි බවට අනතුරු අඟවයි. කවරක් නමුත් යූනුස්ගේ විදේශ කටයුතු උපදේශක තවුහීඩ් හුසේන්, එරට හමුදාවන්ගෙන් උපදෙස් නොගෙන එක්සත් ජාතීන්ගේ පිළිගත් සැලැස්මට රජයේ එකඟතාවය ඒකපාර්ශ්විකව ප්‍රකාශයට පත් කර ඇති නිසා අර්බුදය උත්සන්නව ඇත.
එරට හමුදාපති ජෙනරාල් වකාර්, පසුගිය සතියේදී දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය: “බංග්ලාදේශ හමුදාව අපගේ ස්වෛරීභාවයට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට කිසි විටෙකත් සහභාගී නොවනු ඇත. අපි වෙනත් කිසිවකුට එසේ කිරීමට ඉඩ නොදෙමු,” මෙය යූනුස් රජයට පැහැදිලිවම අවසාන නිවේදනයක් බව පෙනේ. අත්තෙන්ම් චිතගොං-රඛයින් කොරිඩෝවට ඉන්දියාව කොහෙත්ම කැමති නැත. මෙය මුස්ලිම් අන්තවාදී බලවේග සන්තෝෂ කරන ව්‍යාපෘතියකි. එහෙත් මෙයට ඇමෙරිකාව ප්‍රිය කරන්නේ තමන්ට වඩා පහසුවෙන් එතනට සම්බන්ධ විය හැකි නිසාය. මැතිවරණයකින් බලයට පත් නොවුණු යුනුස් ගේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති දිශාව සම්බන්ධයෙන් හමුදාව තුළ නොසන්සුන්තාව වර්ධනය වන බව එරට ආරංචි මාර්ග පවසයි.
ජෙනරාල් වකාර් පසුගිය සතියේ වැදගත් රැස්වීම් කිහිපයක් කැඳවා ඇති අතර, අභ්‍යන්තර අවුල්සහගත තත්ත්වයන් හෝ විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව දැඩි අවධානයෙන් සිටින ලෙස තම නිලධාරීන්ට උපදෙස් දී තිබේ. “හමුදාව අවුල්සහගත බව ඉවසන්නේ නැත,” ඔහු ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ට පවසා ඇත.
මේ අවුල මැද ජෙනරාල් වකාර් බලයෙන් ඉවත් කිරීම සඳහා පකිස්තාන බුද්ධි අංශ සහාය ඇතිව රහසිගත උත්සාහයන් පැවති බව වාර්තාවේ. පකිස්තානයට අනුකම්පා කරන අයකු ලෙස සැලකෙන ලුතිනන් ජෙනරාල් ෆයිසුර් රහ්මාන්, පාකිස්තාන බුද්ධි නිලධාරීන් සමග සම්බන්ධ වී ඔවුන්ට සංවේදී තොරතුරු ලබා දුන් බව වාර්තා වේ. කෙසේ වෙතත්, බංගලාදේශ හමුදා බුද්ධි ඒජන්සිය ජෙනරාල් වකාර්ගේ නියෝග මත රහ්මාන්ව සෝදිසියෙන් තැබීමෙන් පසුව කුමන්ත්‍රණය හෙළිදරව් විය. වත්මන් හමුදාපතිවරයා ඉන්දීය හිතවාදියෙක් බව ප්‍රකටය. නමුත් යුනුස් මෙන්ම ඔහුගේ ආණ්ඩුවද ප්‍රබල ලෙස ඉන්දීය විරෝධීව කටයුතු කරයි. පාකිස්තාන හමුදාව සමග වඩා හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යයි. එම නිසාම මේ ගැටුම දේශීය එකක් පමණක් නොවේ. කලාපීය ආරක්ෂාව සඳහා ඉන්දියාව සමග ශක්තිමත් සබඳතා අත්‍යවශ්‍ය බව ජෙනරාල් වකාර් පැහැදිලි කර ඇත. මෙය ඉන්දීය විරෝධී බලවේග සතුටු කරන්නක් නොවේ.
ඉන්දියාව වැදගත් අසල්වැසියෙක්. බංග්ලාදේශය සමානාත්මතාවය සහ සාධාරණත්වය මත පදනම්ව සබඳතා ගොඩනඟාගත යුතුය. ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතාවලට තර්ජනයක් වන කිසිදු ප්‍රතිපත්තියක් අපි අනුගමනය නොකරමු, ඒ සඳහා අපිත් එයම අපේක්ෂා කරමු,” යනුවෙන් බංග්ලාදේශ් හමුදාපතිවරයා මේ වසර මුලදී පැවසීය. ඇත්තෙන්ම ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ලබන වසරේ ජනවාරි වන විට මහ මැතිවරණයකින් බලයට පත්වන රජයක් තම අපේක්ෂාව බවයි. ඒ කියන්නේ ඉක්මනින් මැතිවරණ පැවැත්විය යුතු බවයි. නමුත් යුනුස් එයට කැමති නැත. තමාට දේශපාලන අවශ්‍යතා නැති බවත් ජෙනරාල් වකාර් පවසයි. ඔහු පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනිර්ට වඩා වෙනස් වේ. අසීම් මුනිර් පාකිස්තානයේ සියල්ල පාලනය කරන අතර සිවිල් ආණ්ඩුවට වඩා ඔහු බලවත්ය. නමුත් ජෙනරාල් වකාර්ගේ අභිලාෂයන් වෙනස් වේ. ඔහුට අවශ්‍ය රටේ ස්ථාවරත්වය පමණකි.
අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වූ මහාචාර්ය මොහොමඩ් යූනුස් එම කටයුතුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා පසුගිය සතියේ පල වුවත් පසුව ඔහු එම තීරණය ආපසු හරවාගෙන තිබේ. මේ වන විට, බංග්ලාදේශයේ දේශපාලන පක්ෂ කිහිපයක් අතර මතභේද පවතින අතර ජාතික ආරක්ෂක උපදේශකයන් දෙදෙනකුට ඉල්ලා අස්වන ලෙස බංග්ලාදේශ් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ. ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූසුෆ් ඉල්ලා අස්වීමට සැරසෙන්නේ මෙවැනි වාතාවරණයක් තුළ ය. ජූලි අරගලයට නායකත්වය දුන් තරුණ පක්ෂය වන අලුතින් පිහිටුවන ලද ජාතික පුරවැසි පක්ෂයේ දකුණු කලාප ප්‍රධාන සංවිධායක හස්නාත් අබ්දුල්ලා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ, රටේ සහ ජාතියේ යහපත වෙනුවෙන් අනපේක්ෂිත බෙදීම් නතර කළ යුතු බව ය. “මට මේ විදිහට වැඩ කරන්න බැහැ. ඕගොල්ලන්ගේ ඔක්කොම දේශපාලන පක්ෂවලට එක මතයකට එන්න බැරි ද?” යනුවෙන් මහාචාර්ය මොහොමඩ් යූනුස් බංග්ලාදේශයේ ජාතික පුරවැසි පක්ෂයේ කැඳවුම්කරු නහීඩ් ඉස්ලම් හමුවේ ප්‍රකාශ කර තිබේ. එයින්ම භාරකාර ආණ්ඩුවේ 85 හැවිරිදි ප්‍රධානියාගේ කණස්සල්ල පෙනෙයි. හමුදාවෙන් එල්ලවෙන පීඩනය ඔහු තවත් අර්බුදයට ලක්කරයි. තෝරා පත් කර නොගත් අන්තර්කාලීන පාලනයක් නොව, තේරී පත් වූ රජයක් ජාතියේ අනාගතය තීරණය කළ යුතු බව හමුදා ප්‍රධානියා ඉල්ලා තිබීම එයින්ම පසක් වෙයි.
මෑත මාසවලදී, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක මැදිහත්කරුවන්ට යූනුස් පවසා ඇත්තේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් වසර අවසාන වන විට මැතිවරණ පැවැත්වීමට අදහස් කරන බවයි. නමුත් ප්‍රතිසංස්කරණ සඳහා වැඩි කාලයක් අවශ්‍ය නම්, 2026 මැද භාගය වන විට මැතිවරණ පැවැත්විය හැකි බව ඔහු පවසා තිබේ. හමුදාපතිට ලබන වසරේ මැද වනතෙක්ම රට අස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය නැත. ඉන්දියාවටත් අවශ්‍ය කෙසේ හෝ ඉක්මනින් මැතිවරණය පැවැත්වීම දැකීමටය.
යුනුස් ගේ රජය අස්ථාවර වනු දැකීම පාකිස්තානයේ අභිලාශය නොවේ.
ජෙනරාල් වකාර් සිය මිතුරන් හමුවේ පවසා ඇත්තේ මේ භාරකාර රජයේ නොහැකියාව නිසා රට දිනෙන් දින අස්ථාවර වන බවය. නමුත් ඔහු හමුදාව බලය ඇල්ලීමට සූදානම් නැති බව පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ හමුදා ආණ්ඩු ජනයා තුළ ජනප්‍රිය නොවන නිසා එවන් තීරණයක් ගැනීම අපහසු වී ඇති බවයි. 2006 -08 කාලයේ පැවතී හමුදා ආණ්ඩුවට මහජන ප්‍රසාදයක් තිබුණේද එය ඉක්මනින්ම දියවී ගිය බව තරු හතරේ ජෙනරාල් පවසා ඇත. ජෙනරාල් වකාර් සෘජු හමුදා පාලනයක් ජනප්‍රිය නොවන බව දැන කටයුතු කරන නමුත් තමන්ගේ රට අස්ථාවර වනු දැක නිසොල්මන්ව බලා සිටීමටත් කැමති නැත.
චතුර පමුණුව