හමුදාවට බැඳෙන හැමෝටම හමුදාවේ රැඳෙන්න බෑ. ඒකට දරාගැනීම හා කැපවීම අත්‍යාවශ්‍යයි
විශ්‍රාමික/ ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ගැටලු විසඳීමට සෑම කඳවුරකම රණවිරු සුබසාධන අංශ
ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වැනි යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ පත් කරන ලද්දේ 2024 දෙසැම්බර් 31 දිනය.
හෙතෙම ජාඇල, පමුණුගම දී උපත ලද්දෙකි. ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ පියා බී. කැමිලස් රොද්‍රිගෝ ය. ඔහු වෘත්තියෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාරවරයකු ලෙස කටයුතු කළේය. මව ෆීලිස් ජයතිලකය. කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන වත්මන් හමුදාපතිවරයා 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළකාය වෙත බැඳී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික කෙඩෙට් පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයකු වශයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට එක්විණ.
එක්සත් රාජධානියේ සෑන්ඩ්හර්ට්ස් රාජකීය යුද හමුදා ඇකඩමියේ පළමු කණ්ඩායමේ පුහුණුව ලැබූවකු වන බ්‍රිගේඩියර් ජස්ටස්
රොද්‍රිගෝ යුද්ධ හමුදාපතිවරයාගේ මහප්පාය. බ්‍රිගේඩියර් ජස්ටස් රොද්‍රිගෝ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වශයෙන් 1977 සිට 1981 වසර දක්වා කටයුතු කිරීමෙන් අනතුරුවය. යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පසු 1982 වසරේ සිට 1986 දක්වා ඔහු ගම්පහ දිසාපති වශයෙන් කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු 1991 සිට 1994 කාල සීමාව තුළ ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති අතර යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිවිල් සේවයට එක් වූ පළමු හමුදා නිලධාරියා ඔහු බව පැවසේ. එසේම යුද හමුදාවෙන් විශ්‍රාම ලබා ඇත.
සිය 36 වසරක යුද්ධ හමුදා දිවිය තුළ යුද්ධ හමුදා මූලස්ථානය ඇතුළු විවිධ බලසේනා, සේනාංක හා පුහුණු පාසල්වල ක්‍රියාන්විත, මාණ්ඩලික හා උපදේශක රාජකාරි කර ඇති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මානුෂීය මෙහෙයුම පැවති කාලසීමාවේ 18වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කර ඇත.
පසු කාලයක වත්මන් හමුදාපතිවරයා, 661 සහ 663 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්ෂක සේනා ආඥාපති – මධ්‍යම, ශ්‍රී ලංකා කාලතුවක්කු බළකායේ කර්නල් සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වැනි උපදේශක, ක්‍රියාන්විත සහ මාණ්ඩලික තනතුරුවල රාජකාරි ඉටු කර ඇත.
මේ යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මාධ්‍යකට ලබා දෙන පළමු සම්මුඛ සාකච්ඡාවය.
යුද්ධය පැවති හා ඉන් පසු කාල සීමාව සලකා බැලීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිදුවූ රාජකාරීමය පරිවර්තනය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?
මුලින්ම මම කියන්න කැමතියි අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය ජනතාවට එරෙහි යුද්ධයක් කළේ නැහැ. මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගෙන් සාමාන්‍ය ජනතාව මුදාගැනීම වෙනුවෙන් වූ මානුෂීය මෙහෙයුමක තමයි යුද හමුදාව නිරත වුණේ.
මානුෂීය මෙහෙයුම අවසන්ව රටට සාමය උදා වූ පසු යුද්ධ හමුදාව ජාතිය ගොඩනැඟීමේ කාර්යභාරය සමග එකතුවුණා. එහිදී යුද්ධය නිසා හානියට පත් වූ උතුරු නැගෙනහිර ප්‍රද්ශවල ජන ජීවිතය යළි නඟාසිටුවීම වෙනුවෙන් යුද හමුදාව සුවිශේෂී මෙහෙවරක් ඉටුකළා. එම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කර යටිතල පහසුකම් සංවර්ධනය කර ජනතාව යළි පදිංචි කරවීම දක්වාත් නිවාස ඉදිකිරීම් ඇතුළු විවිධ සමාජ සේවා කටයුතු මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ගොඩනැංවීම සඳහාත් යුද්ධ හමුදාව ඉටු කළේ සුවිශේෂී මෙහෙවරක්. මේ සියලුම රාජකාරීන් ඉටු කිරීමේ දී සක්‍රීය දායකත්වය සහ නායකත්වය ලබාදුන් සියලු හමුදාධිපතිවරුන්, සියලුම නිලධාරීන් නම් වශයෙන් සඳහන් නොකළත් ඔවුන්ව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. තවද එම කටයුතුවලදී යුද්ධ හමුදාවට ශක්තියක් වූ අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයන්, සියලු සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි.
වර්තමානයේදීත් හදිසි ආපදා තත්ත්වයන්වලදී මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා කටයුතුවලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එදා මෙන්ම අදටත් දැවැන්ත මෙහෙවරක නිරත වෙනවා. මෙහි තියෙන සුවිශේෂීම කාරණය වෙන්නේ මේ කවර වටපිටාවක වුවත් අපගේ ප්‍රමුඛතම රාජකාරිය වන ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉතා උපරිමයෙන්ම ඉටුකිරීමට වග බලාගැනීමයි.
යුද හමුදාධිපතිවරයා වශයෙන් ඔබේ නායකත්වය යටතේ යුද හමුදාවේ වෘත්තීය ප්‍රගමනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
යුද හමුදා නිල ඇඳුමක් අඳින ඕනම කෙනෙක් සොල්දාදුවෙක්. පරිපාලනයේ පහසුව වෙනුවෙන් තමයි නිලතල ලබාදීලා තියෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ වෘත්තීය හමුදාවක්. එය මට පෙර යුද්ධ හමුදාවට අණදුන් සියලුම හමුදාධිපතිවරුන්ගේ නායකත්වය හා මඟපෙන්වීම මත ගොඩනැඟුණු දෙයක්. මගේ කාලය තුළ මම බලපොරොත්තු වෙනවා “සොල්දාදුවා පදනම් කරගත්” හමුදාවක් යන සංකල්පය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිරියට ගෙන යෑමට. එහිදී සොල්දාදුවාගේ වෘත්තීමය දැනුම, පුහුණුව හා සුබසාධන කටයුතු පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරනවා. මේ හැම දේම එක්ක වෘත්තීමය සොල්දාදුවෙක් බිහිකිරීමේ වැදගත්ම අංශය තමයි විනය, පුහුණුව හා කැපවීම. ඒ අනුව විනයගරුක සොල්දාදුවෙකු බිහිකිරීම සහ එම විනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අවධානයක් මම යොමුකරනවා. මොකද සුළු පිරිසක් විසින් කරන වැරදි නිසා එක්ලක්ෂ හතළිස්දාහක් සේවය කරන සමස්ත හමුදාවටම අගෞරවයක් වෙන්න දෙන්න මට බැහැ. ඒ නිසා විනය හා යුද හමුදාවේ කීර්ති නාමයට කැලලක් වෙන ඕනෑම කෙනකුට තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, යුද හමුදාවේ කීර්ති නාමය සැමදා රැකගැනීමටත් කැපවෙනවා.
ඉදිරියේදී යුද හමුදාව තුළ ප්‍රගමනයක් තියෙන්නේ විනයගරුක සහ වෘත්තීයමය හැකියාවන් ගොඩනඟාගත් ගුණාත්මකභාවයෙන් යුතු දක්ෂතා සහිත නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණයි. එමගින්ද අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීමය නිපුනතාවය තවදුරටත් ඉහළ නැංවීමයි.
යුද හමුදාවේ සාමාජිකයන් හමුදාවෙන් පැන ගොස් පාතාල කණ්ඩායම් සමග සම්බන්ධ වෙනවා කියලා චෝදනා එල්ලවෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
ඕනම කෙනකුට නිසි සුදුසුකම් මත යුද්ධ හමුදාවට බැඳෙන්න පුළුවන්. හැබැයි යුද්ධ හමුදාවට බැඳෙන හැමෝටම යුද හමුදාවේ රැඳෙන්න බැහැ. මොකද යුද හමුදාවට බැඳිලා පුහුණුවෙලා කැපවීමෙන් රාජකාරි කරමින් පැමිණෙන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් අයට විතරයි යුද හමුදාවේ අඛණ්ඩව රැඳී ඉන්න පුළුවන්. එහෙම අභියෝගවලට මුහුණ දෙන්න බැරි අය හමුදාවට බැඳිලා ටික කාලෙකින්ම හමුදාවෙන් පැනලා යනවා.
එහෙම පැනලා ගියාම ඔවුන්ට විවිධ වූ ප්‍රශ්න ඇති වෙනවා. ජීවත් වෙන්න විදිහක් නැති වුණාම මානසිකව ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඔවුන් ලේසියෙන්ම පාතාල කල්ලිවල ගොදුරක් බවට පත් වෙනවා. හැබැයි ඔවුන් ඔය කියන තරම් විශේෂ අය නෙවෙයි. මොකද ඔවුන් වැඩි දෙනකුට තියෙන්නේ හමුදාවේ මූලික පුහුණුව විතරයි. සමාජය විසින් තමයි ඔවුන්ට එක එක විශේෂ නම් පටබඳින්නේ. ඔවුන් කරන අපරාධ කිසිම ආකාරයක වීරක්‍රියාවන් නෙවෙයි. ඒවා බියගුළු ක්‍රියාවන් විදිහට තමයි මම දකින්නේ. මොකද මුදලට නිරායුධ පුද්ගලයකුගේ ජීවිතේට හානියක් කරන එක කොයිතරම් බියගුළු හා පහත් ක්‍රියාවක්ද කියලා ඔබම හිතලා බලන්න. ගෞරවණීය අභිමානවත් සොල්දාදුවෙක් කිසිම දවසක දුක්විඳලා, මහන්සි වෙලා, කැපවීමෙන් ලබාගන්න පුහුණුව රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මිසෙක අපරාධකාරයන්ගේ පහත් වූ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන්නේ නෑ. ඒ විශ්වාසය කැපවීම මත තමයි සොල්දාදුවන් නිලඇඳුම සහ අවිය අත දරා සිටින්නේ.
මේ වෙනකොට යුද හමුදාවට තවත් භාරධුර වගකීමක් පැවරිලා තියෙනවා. ඒ තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා යුද හමුදාව ලබාදෙන දායකත්වය මොන වගේද ?
යුද හමුදාවක් කියන්නේ එක නායකත්වයක් යටතේ එක අරමුණක් වෙනුවෙන් ක්‍රියාකරන විශේෂිත වූ ආයතනයක්. යුද හමුදාව තුළ විවිධාකාර හැකියාවන් තියෙන අය ඉන්නවා. කෙටියෙන්ම කියනවානම් ඔවුන් මේ සමාජයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරන කොට්ඨාසයක්. එහෙම බලද්දි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ලබාගත හැකි දායකත්වය ඉතා සුවිශේෂයි.
කෙටියෙන් කියතොත් රටේ පුරවැසියන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා නායකත්වය ලබාදීමේ සිට මාර්ග සංවර්ධනය, වැව් අමුණු ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය, ගොඩනැඟිලි සහ නිවාස සංකීර්ණ ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් දියුණු කර රට සංවර්ධනය කිරීම දක්වා සියලුම කාරණාවලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ක්‍රියාශීලීව මැදිහත් වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍යය වැඩකටයුතු විශාල ප්‍රමාණයක් මේ වන විටත් අපි කරල තියෙනවා. ඉදිරියටත් රජයේ අනුග්‍රහය හා උපදෙස් මත තවත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.
උදාහරණයක් විදිහට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විශාල වැඩ කොටසක් සිදුකළා. ඉදිරියටත් ජනාධිපතිතුමා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු රජය විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් අපට පවරන ඕනෑම වගකීමක් නොපිරිහෙළා ඉටුකරන්න අපි කටයුතු කරනවා.
පසුගිය දිනවල නිරන්තරෙයෙන්ම කියවුණු කාරණයක් තමයි යුද හමුදාව සතු අවි ආයුධ තොගයක් අතුරුදන්වීම කියන කාරණය. මේ පිළිබඳ පරීක්ෂණයේ වත්මන් තත්ත්වය කුමක්ද ?
ඔව්. එම අවි අතුරුදන් වීම පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් මත විධිමත් පරීක්ෂණයක් සිදුකරනවා. ඒ යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව සතු සියලුම අවි ආයුධ පිළිබඳ පුළුල් වූ විගණනයක් සිදු කෙරෙනවා.
මෙම විගණන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණයි. සෑම අවියක්ම භෞතික වශයෙන් පරීක්ෂා කරන්න ඕනෑ. ඒවාට අදාළ සටහන් ඇති පොත්පත් හා ලෙජර් සමග එහි නිවැරදිතාවයන් පරීක්ෂා කරන්න ඕනෑ. මෙහි ඇති සංකීර්ණ බව නිසාම ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ඒ නිසා ඒ පරීක්ෂණ අවසන් වූ වහාම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව ඇති රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ක්‍රියාත්මක කෙරෙන සුබසාධක වැඩසටහන් මොනවාද?
යුද්ධය නිසා නිලධාරීන් සහ සෙසු නිලයින් 23540 කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම තවත් 23139 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. මේ වන විටත් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන විවිධ රණවිරු සුවතා මධ්‍යස්ථානවල රණක්ෂිතයට පත්වූ නිලධාරීන් සහ සෙසු නිලයන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. අපිත් සමග උරෙන් උර
ගැටී සටන් බිමේ සිටි ඔවුන් රැකලබා ගැනීම අපගේ අත්හළ නොහැකි වගකීමක් ලෙස අප සලකනවා. එබැවින් ඔවුන් රැකබලා ගැනීමේ කටයුතු ඉතා විධිමත්ව සිදුවෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරලා තියෙනවා. ඔවුන් දෙදෙනා විසින් මේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය සහ උපදෙස් නිරන්තරයෙන් අපට ලබාදෙනවා.
ඔවුන් වෙනුවෙන් රණවිරු සුබසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒවා අතරට නිවාස පහසුකම් ලබාදීම, ඉඩම් සහ ඔප්පු පහසුකම්, විරුසර වරප්‍රසාද කාඩ්පත් ලබාදීම, නිදහස් දුම්රිය බලපත්‍ර පහසුකම්, නිදහස් ගමන් බලපත්‍ර පහසුකම්, රැකියා බැංකු පවත්වාගැනීම, ශිෂ්‍යත්වය/ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්වන සහ ඉහළ දස්කම් දක්වන දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, වෛද්‍යාධාර උපකරණ නිෂ්පාදනය කරදීම සිදුකෙරෙනවා. ඒ වගේම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේත් මියගිය යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා ඇති සෞඛ්‍ය ගැටලු විසඳීම වෙනුවෙන් දිවයින පුරා බහුවිධ සායන පවත්වා එමගින් ඔවුන්හට ප්‍රාථමික රෝග විනිශ්චයේ සිට ශල්‍යකර්ම දක්වා අවැසි සෞඛ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ලබා දෙනවා.
මීට අමතරව එහිදී ඔවුන්ගේ වැටුප්, සෞඛ්‍ය හා සුබසාධන ගැටලු සබැඳිව විසඳුම් ලබාදෙනවා. මෙම ආබාධිත හා මියගිය රණවිරු සුබසාධන කටයුතුවලදී ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය ද සුවිශේෂී දායකත්වය ලබා දෙනවා.
මේ වෙනකොට සේවයේ නිරත හමුදා සාමාජිකයන්ටත් ඒ වගේ සුබසාධක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවාද?
ඔව්. ශ්‍රී ලංකා යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු සියලුම දෙනා වෙනුවෙන් සුවිශේෂී වූ සුබසාධන වැඩකටයුතු රාශියක් මේ වන විටත් ක්‍රියාත්මකයි. ඔවුන්ටත් සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් දිවයින පුරා පිහිටා ඇති යුද්ධ හමුදා රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ගැනීමේ හැකියාව තියෙනවා. යුද හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන සුව සහන රක්ෂණ අරමුදල හරහා ලැබෙන සේවාව අති විශාලයි. ඒ වගේම අඩු පොළී අනුපාතයක් යටතේ ණය මුදල් ලබාදීම, රජයේ පාසල් හා ආරක්ෂක සේවා විද්‍යාලයන් වෙත ළමුන් ඇතුළත් කිරීම සඳහා පහසුකම් සැලසීම, යුද්ධ හමුදා මරණාධාර අරමුදල, රියැදුරු සහන අරමුදල වැනි සුබ සාධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මකයි. ඒවාගෙන් ඔවුන්ට ලැබෙන ප්‍රථිලාභ විශේෂිතයි.
ඒ වාගේම තමයි මෙවර පැවති රණවිරු සැමරුමට සමගාමීව යුද්ධ හමුදාවේ නිලධාරීන් 184කට සහ සෙසු නිලයන් 10093කට නිල උසස්වීම් ලබාදුන්නා. නිසි කලට ඔවුන්ට ලැබිය යුතු නිල උසස්වීම් ලබා දීම වෙනුවෙන් තමයි එවැනි වූ විශාල ප්‍රමාණයකට උසස්වීම් ලබාදුන්නේ. ඉදිරියටත් නිසි කලට සුදුසුකම්මත එම නිල උසස්වීම් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.
යුද හමුදා සාමාජිකයන්ගේ හා සිවිල් සේවක කාර්යමණ්ඩලයේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් විශාල වැඩකොටසක් සිදුකරනවා. ඒ අතර ඔවුන්ට නිවාස, නිවාස ආධාර, වෛද්‍ය ආධාර හා ඔවුන්ගේ දුවාදරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පොත්පත් ලබාදීම වැනි වැඩකටයුතු සුවිශේෂයි.
මේ වන විට යුද හමුදාවේ භට පිරිස් ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරමින් තිබෙනවා. මේ විදිහට යුද හමුදාවේ සාමාජිකයන් ප්‍රමාණය අඩු කිරීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් නෙවේද?
ජාතික ආරක්ෂාව කියන්නේ පුළුල් වපසරියක පැතිරුණු කාරණයක්. ආරක්ෂාව, සෞඛ්‍ය, ආහාර, බලශක්ති, විදෙස් සබඳතා හා ආර්ථිකය යනාදී පුළුල් වපසරියක සාකච්ඡා කළ යුතු කාරණයක්. ඔබ ප්‍රශ්නකරන කාරණාවේදී සිදුවෙන්නේ යුද්ධ හමුදාව යථායෝග්‍යය ප්‍රමාණකරණයකට ලක්කිරීම පමණයි. මොකද යුද්ධය පැවති කාලසීමාවේ පැවති යුද සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශාල වශයෙන් යුද්ධ හමුදාවට සාමාජිකයන් බඳවා ගැනීමට සිදුවුණා. නමුත් දැන් ඒ ප්‍රමාණය වර්තමානයට හා අනාගත අභියෝගවලට ගැළපෙන පරිදි සකස් කළ යුතුයි. ඒ නිසා එම කාරණා සැලකිල්ලට ගෙන විධිමත් සහ ප්‍රතිඵලදායී ලෙස යුද්ධ හමුදාව යථායෝග්‍යය ප්‍රමාණකරණයකට ලක් කරනවා. ඒ වාගේම නවීන තාක්ෂණය හා ඩිජිටල්කරණය යුද හමුදාවේ ඉදිරි ප්‍රගමනය සඳහා යොදා ගන්නවා. මෙම යථායෝග්‍යය ප්‍රමාණකරණයට සමගාමීව යුද්ධ හමුදාව හැකියාව අතින්ද බලාත්මක කරනවා. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම ආකාරයේ අවතක්සේරුවක් කරන්නේ නැහැ.
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම රටේ ආරක්ෂාවට තර්ජනයක් කියන චෝදනාව එල්ල වෙමින් තියෙනවා. මේ සඳහා ඔබේ පිළිතුර මොකක්ද ?
රජය හෝ ශ්‍රී ලංකා යුද හමුදාව සෑම මොහොතකම කටයුතු කරන්නේ රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ තබාගෙනයි. ඒ අනුව කිසිම වෙලාවක ජාතික ආරක්ෂාවට හානි වෙන තීරණ ගන්නේ නෑ. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම කියන කාරණයේදීත් අපි මූලිකවම සලකා බලන්නේ ඒවායින් ජාතික ආරක්ෂාවට සිදුවෙන බලපෑම සම්බන්ධවයි. එහිදී ජනාධිපතිතුමා කිසිම විටෙක ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිම කඳවුරක් ඉවත් කරන්නේ නෑ. වර්තමානයේ සිදුවන්නේ සෙබළුන් උතුරු ප්‍රදේශයෙන් ඉවත් කිරීම නොව ඔවුන් කුඩා කඳවුරු තුළින් ප්‍රධාන කඳවුරු තුළ ස්ථානගත කිරීමයි. ජාතික ආරක්ෂාවට වැදගත් ලෙස තක්සේරු කර ඇති ආරක්ෂක මර්මස්ථානවල පිහිටා ඇති කඳවුරු ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යනවා.
යුද හමුදා සාමාජිකයන් යුද හමුදාව හැරයෑම වැඩිවෙලා කියලා පසුගිය දිනවලදී වාර්තා වුණා. මේ තත්ත්වය තවදුරටත් ඒ විදිහටම තියෙනවාද?
යුද හමුදා සාමාජිකයන් හමුදාව හැර යනවා කියන කාරණාවට ප්‍රධානම හේතුව වෙලා තිබුණේ ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දුන්නු ආර්ථික අභියෝගය. එය එම අයවලුන්ගේ පුද්ගලික ජීවිතවලටත් බලපෑවා. ආර්ථික අර්බුදය නිසාවෙන් සිදුවූ උද්ධමනය ඉහළ යෑමට සාපේක්ෂව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවුණේ නැහැ. නමුත් මේ වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. රාජ්‍යය අංශයේ වැටුප් වැඩි කිරීමත් සමග යුද හමුදා සාමාජිකයන්හට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සිදුවුණා. ඒ වගේම යුද හමුදාව වශයෙන් අපි යුද හමුදා සාමාජිකයන්ගේ සුබසාධන පහසුකම් ඉහළ නැංවීමටත් කටයුතු කළා. ඒ තත්ත්වයන් යටතේ ඔවුන්ගේ ආර්ථිකය යහපත් වෙමින් පවතිනවා යුද්ධ හමුදා සාමාජිකයන් යුද හමුදාව හැර යෑමේ ප්‍රවණතාවයේ අවම වීමක් දක්නට තිබෙනවා.
අවසාන වශයෙන් ඔබ රටට දෙන පණිවිඩය කුමක්ද?
ශ්‍රී ලංකා යුද හමුදාව යනු පුහුණුවේ සිට රාජකාරිය දක්වාම විනය සහ කැපවීමට මුල් තැන දෙමින් කටයුතු කරන ආයතනයක්. මම ඒ කාරණාව මේ සාකච්ඡාව අතරතුරත් කිව්වා. මේ ක්‍රමවේදයට හුරුවෙන්න අනුගත වෙන්න බැරි කිහිප දෙනෙක් යුද හමුදාව හැරයනවා. එසේ හැර ගිහින් විවිධ සමාජ විෂමාචාරවල යෙදෙනවා. මේ සුළු පිරිස නිසා සමස්ත යුද්ධ හමුදාව පිළිබඳව වැරදි වැටහීමක් ලබාගත යුතු නැහැ. මොකද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කියන්නේ ඔබේ හමුදාව. ඔබේ ස්වාමිපුරුෂයා, බිරිඳ, සහෝදර සහෝදරියන්, දුව, පුතා රැකියාවේ නියුතු ආයතනය. ඒ නිසා යුද්ධ හමුදාව පිළිබඳ පූර්ණ විශ්වාසය තියන්න. ඒ වගේම තමයි නැවත නැවතත් කියන්න කැමතියි ස්වභාවික ව්‍යසනයකදී, ජාතික අවශ්‍යතාවයකදී සෑම විටෙකම ඔබ වෙනුවෙන් පෙරට එන්න ශ්‍රී ලංකා යුද හමුදාව සූදානම්. ජාතියේ ආරක්ෂකයක් වශයෙන් අපි නිරතුරුවම ඔබේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙනවා. සෑමවිටම අපි කටයුතු කරන්නේ ඒ වගකීම අපේ දෙවුර මත රඳවාගෙනයි.
සාකච්ඡාව –
දිලංක ගුණතිලක