Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ජාතික සංහිඳියාවට ලියැවුණු රත්න ශ්‍රී ගී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ජාතික සංහිඳියාවට ලියැවුණු රත්න ශ්‍රී ගී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අකුරු දි​ගේඉරිදා සංග්‍රහය විශේෂාංග

ජාතික සංහිඳියාවට ලියැවුණු රත්න ශ්‍රී ගී

5 days ago
436 Views

(ප්‍රවීණ ගේයපද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ 72 වැනි උපන්දිනය ජුනි 02දාට යෙදේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

ශ්‍රී ලංකාවේ දශක හතරකට ආසන්න කාලයක් පුරාවට පැවැති උතුරු නැගෙනහිර යුද්ධය එක් ජනවර්ගයක් දෙමළ වීමත්, අනෙක් ජනවර්ගය සිංහල වීමත් නිසා ඇති වූවක් නොවේ. උතුරු – නැගෙනහිර යුද්ධය වූ කලී මෙරට පාලනය කළ අධිරාජ්‍යවාදින්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. සුදු පාලකයෝ ක්‍රි.ව. 1796 මෙරට පාලන බලය අතට ගත්හ. එහෙත් ඔවුනට මුහුදුබඩ ප්‍රදේශ පහසුවෙන් අල්ලා ගැනීමට හැකි වූ නමුදු කන්ද උඩරට බලය අල්ලා ගැනීම දුෂ්කර වූයේ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර්, මැලේ යන සියලුම ජන කොටස් මාතෘ භූමියේ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිත පරදුවට තබා සටන් කළ බැවිනි. ඒ උදාර වීර දූ පුතුන් ජාතියේ නාමයෙන් හෙලූ ලේ, කඳුළු, දහඩිය නිසා ලක්මවගේ දිවි රැකුණි. පශ්චාද් යුද්ධයෙන් පසුව සුදු පාලකයෝ හැම සටනක්ම පරාජය වීමට හේතු සොයා බැලූහ. ඊට ප්‍රබලම හේතුව වූයේ ලක්වැසි ජනතාවගේ එකමුතුභාවය බව ඔවුහු වටහා ගත්තහ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සදහටම භේද කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙන් ජාතිමූල නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ මෙරට මහා ජාතිය වන සිංහලයාගෙන් දෙමළ, මුස්ලිම් ආදි සුළු ජාතීන්ට අසාධාරණයක් වන බව ඒත්තුගැන්වීමෙනි. “භේද කර රජ කරනු” බ්‍රිතාන්‍ය පාලකයින්ගේ න්‍යාය මෙරට නිදහසින් පසුව ද කළු පාලකයෝ ක්‍රියාවට නැගුහ.

1948 පෙබරවාරි 04 දා අපි බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුවෙමු. එදා ජනතාවට ඔසවන්නට ජාතික කොඩියක් තිබුණේ නැත. ගායනා කරන්නට ජාතික ගීතයක් තිබුණේ නැත. රාජ්‍ය භාෂාව පිළිබඳව පාලකයෝ අඥාන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ” සිංහල රාජ්‍ය භාෂාව” කිරීමේ පනත 1956 දී පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේය. දෙමළ භාෂාවට දෙන තැන මේ පනතට අඩංගු කළ යුතුව තිබුණ ද මැතිවරණ පොරොන්දුව පමණක් ඉටු කළේය. දෙමළ ජනතාව ඊට විරුද්ධ වීම මත ප්‍රමාද වී 1958 දී දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ද ගෙන ආවේය. මේ අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ අතර දෙමළ භාෂාවට නිසි තැන ප්‍රදානය කිරීම සඳහා උතුරු – නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව වශයෙන් දෙමළ භාෂාවට ඉඩ ලබා දීමෙන් බණ්ඩාරනායකවරු රාජ්‍ය භාෂා ප්‍රශ්නය අපූරුවට විසඳූහ. එහි භයානක ප්‍රතිඵලය වූයේ කල් ගත වන විට සිංහලයා දෙමළ බස නොදැනීමත්, දෙමළ ජනතාව සිංහල බස නොදැනීමත් සමග ඔවුනගේ අදහස් උදහස් හුවමාරු කිරීමේ ඌනතා මතු වීමයි. එකිනෙකාගේ අදහස් අන්‍යයන්ට හුවමාරු කිරීමේ භාෂා ඌනතා වර්ධනය වීමත් සමග උතුරු – නැගෙනහිර – දකුණු ජනතාව දුරස් වූහ. ඔවුහු විවිධ සමාජ සංවිධානවලට බෙදී විනාශ වූහ. බටහිර ජාතීහු ඔවුනට ඊලම් රාජ්‍යයක් උදෙසා සටනට අවැසි අවි ආයුධ, මුදල් ලබාදුන්හ. සිංහල ආණ්ඩු තාවකාලිකව බලයට ඒමට ර්‍ණභේද කර පාලනය කිරීමේ” න්‍යාය අනුගමනය කළහ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් බලයට කෑදරව දෙමළ ජනතාව පළිහක් කර ගත්හ. සිංහල පාලකයෝ යුද්ධය විකුණාගෙන කෑහ. අවසානයේ යුද්ධයෙන් දිනූ දේශයක් නැත. සිංහල – දෙමළ ජනතාව මෙම සාපරාධී යුද්ධය නිසා දස දහස් ගණනින් ජීවිත පූජා කළහ. අර්බුදය ජනවාර්ගික අර්බුදයක් දක්වා පාලකයෝ ජාත්‍යන්තරයට ගෙන ගියහ. අවසානයේ සිදු වූයේ පාලකයින්ගේ ගසා කෑම පිණිස දශක හතරකට ආසන්න වූ කාලයක් යුද්ධ කිරීමටය. යුද්ධය අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කරති. ඔවුහු සුදු අදිරද පාලකයින් මෙරටට එන්නට පෙර එකම කාර්යාලයේ, එකම ගොවි පොළේ එකට වැඩ කළහ. ඒ දුටු පාලකයෝ ජාතීන් අතර සැක සංකා ඇති කළහ. විශ්වාසය නැති කළහ. ඔවුහු අනවබෝධය නිසා දශක හතරක්ම විනාශ වූහ. මේ තත්ත්වය අවබෝධ කර ගත් සාහිත්‍ය කලාකරුවෝ රටට අහිමිව ගිය ජාතික සමගිය සංහිඳියාව ගොඩනංවනු වස් ගීත නිර්මාණ බිහි කළහ. රත්න ශ්‍රී විජේසිංහ වාර්ගික අරගලය ප්‍රස්තූත කරගෙන රචනා කර ඇති ගීත හෘද සංවේදීය. ශාන්තිනී ගීතය නිදර්ශනයකි.

මෙම ගීතයේ සමස්ත දෘශ්‍ය රූපයෙන් උද්ධෘත කළේ ස්ථායි (Chours) කොටස පමණි. ඒ කොටස වුවද යුද්ධයේ බිහිසුණු බව වටහා ගන්නට ප්‍රමාණවත්ය. ශාන්තිනී යනු නව යොවුන් දෙමළ තරුණියකි. ඇයගේ නළලෙහි ඇති කුංකුම තිලකය තෙමී යයි. එසේ තෙමී යන්නේ “අහසේ අඬන චන්දිරන්” ගේ (හඳේ) කඳුළු වැටීමෙනි. සඳ අඬනුයේ කිම? සිංහල – දෙමළ සහෝදරයින් එක්ව තැනූ ශුද්ධස්ථානයට (පහන් පැළට) සතුරෝ ගිනි අවුළුවති. ඒ ගින්නට පෙර අහසට නඟින දුම් වැදීමෙන් සඳ හඬයි. සඳේ උණුසුම් කඳුළුබිඳු ශාන්තිනීගේ නළල මත පතිත වෙයි. ඒ කඳුළුවලින් තිලකය දිය වී යයි. “ අන්න නැගෙන දුම්” මගින් ආසන්නයේ ම ගින්නක පෙරනිමිති ඇති බව ඉඟි කරයි. ඒ නිසා කථකයා ශාන්තිනීට කියන්නේ “අන්න නැගෙන දුම්” බලා ඉක්මනටම මනුෂ්‍යත්වය වඳ වී ගිය තැනින් අවදිව දෙවියන් ඇති තැනකට යන්නට එන්ට කියාය. දෙවියන් යනු සානුකම්පිත සිත් ඇත්තෝ වෙති. එහෙත් එවැනි දෙවියෝ කොහි සිටිත්ද? උතුරෙත් නැත. දකුණෙත් නැත. දැන් ශාන්තිනී රැකවරණය පතා කොහි යන්නට ද? සැබෑවටම දෙවියන් ඇති තැන කොතැන ද?

රත්න ශ්‍රී ගේ මේ ගීත කාව්‍යයේ පළමු අන්තරා කොටසේ වචන සුසංයෝගය ප්‍රබලය. ශාන්තිනී ගේ ඇසේ නළියන “කඳුළු උඩට” තිරුවංගලේ එළිය වැටීමෙන් ඇගේ මුහුණ කියා ගන්න බැරි කවියකි. ඇය හදවතින් බියට පත්ව සිටින්නීය. බය වැඩිකමටම ඇගේ දෑත වෙව්ලයි. අතපුරාම ඇති වළලු සෙලවෙයි. කථකයා ඒ දැක විමසනුයේ “බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්” බර ද? යන්නයි.

මියුරු ස්වර මාධුර්යයෙන් ගුණදාස කපුගේ සංගීතවත් කළ මේ සුගීතය කරුණාරත්න දිවුල්ගනේගේ සුලකළ මියුරු ස්වරයෙන් ගැයෙන සඳ සංගීතයෙහි විශ්ව ව්‍යාප්ති බව දෑස් අබිමුව සත්‍යයක් බවට පත්වෙයි.

“සියල් සිරිත් දෑ කුල ගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි,
ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න
දෑස පියා ගන්න
මහත්වරුනි මා නෙළු මල
මට සිඹින්න දෙන්න. //

ජාතිවාදි, කුලවාදි, ආගම්වාදි ගෝත්‍රිකයෝ මනුෂ්‍ය ප්‍රේමය නොහඳුනති. කථකයා පවසනුයේ ඒ ගෝත්‍රිකයින්ට ජාතිය, කුලය, ආගම ආදි සියල් සිරිත් කුල ගෝත්‍ර ආපසු ගන්නා ලෙසය. එහෙත් ශාන්තිනී පමණක් ඔහුට ආපසු දෙන ලෙස ආයාචනා කළේය. “තිරුක්කුරල් පොත අරින්න” යන යෙදුම මඟින් බොහෝ දෑ සඟවා ගෙන ඇත. තිරුක්කුරල් පොත හින්දු භක්තිකයින්ට බෞද්ධ ජනතාවගේ ධම්මපදය තරම්ම වැදගත් වූවකි. තිරුක්කුරල් පොත තීරුවල් ඔරු කවියාගේ ප්‍රශස්ත කාව්‍ය ග්‍රන්ථයකි. එහි ඇත්තේ රටක යුක්තිය, සාධාරණය ගැන අදහස්ය. එම අදහස් දෙමළ ජනතාව අතර පැතිර ගියේ නම් “යුද්ධයෙන් දිනූ දේශයක් නැති බව දමිළ තරුණ තරුණියෝ වටහා ගනිති. ඒ සඳහා පාලකයෝ ඔවුනට සාක්ෂරතාව නොදුන්හ. ඔවුහු එකිනෙකාගේ බස නොදන්නා කමින් අසරණ වූහ. එහෙත් ජාතිය, කුලය, ආගම නමැති දරුණු විෂකටු පසෙකලා ආදරයට ආදරය කළ දෙමළ – සිංහල තරුණ තරුණියන්ගේ අනුවේදනීය ප්‍රේමය ගැන දකුණේ උපන් රත්න ශ්‍රී ගීපද වැල් ගෙතුවේ ය.

“සිංහල සිංදු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී”

රත්න ශ්‍රී ගේ මේ පද මාලාව කාල, දේශ සීමා බිඳ විශ්ව ව්‍යාප්ත වීමට ගුණදාස කපුගේ ස්වර රටා හා ගායනයෙන් කළ මෙහෙවරද ඉවහල් වන්නට ඇත. සරල පද මාලාවක් වුවද ඉන් කියවෙන අත්දැකීම අනුවේදනීය එකකි. රත්න ශ්‍රී කියන ආකාරයට සිංහල සින්දු කියන කිරීල්ලි මාතර කඹුරුපිටියේ වීනීතා සමරසිංහ ගුණසේකරය. ඇය පොලිසියට බැඳී මිරිහාන පොලිසියේත්, කිරුළපන පොලිසියේත් සේවය කළාය. කිරුළපන පොලිසියේ දී ඇය එස්. නඩේෂන් නමැති දෙමළ පොලිස් නිලධාරියා හඳුනාගත්තාය. ටික කලක් ගතවන විට ඔවුනගේ හිතවත්කම ආදරයකට පෙරළී ගියේ නිරායාසයෙනි. ඒ ප්‍රේමය දැන ගත් දකුණේ ඥාතීහු ඊට ප්‍රබල ලෙස විරුද්ධ වූහ. තරුණිය අසරණ වූයේ එවිටය. ඇය ප්‍රේමය වෙනුවෙන් ජාතිය, ආගම ආදි සියල් සිරිත් දෑ කුලගොත් අමතක කළාය. උතුරේ යුද්ධය ප්‍රබලව තිබූ එකල එස්. නඩේෂන් උතුරට ගොස් L.T.T.E යේ පොලිස්පතිවරයා බවට පත්ව පසු කලෙක L.T.T.E යේ ප්‍රධාන දේශපාලන අංශයේ නායකයා බවට පත්වූයේ ය. සිංහල තරුණිය ඔහු සමග විවාහ වී L.T.T.E සංවිධානයට බැඳී ප්‍රේමය වෙනුවෙන් ජාතියට එරෙහිව සටන් කළාය. අවසන් සටනේ දී දෙදෙනාම මිය ගියහ. ඒ නිසා රත්න ශ්‍රී මේ ගීතයෙන් අවධාරණය කරනුයේ මනුෂ්‍ය ප්‍රේමය සියලු ආගම්, කුල, ගෝත්‍ර ඉක්මවා යන උතුම් මානව බැඳීමක් බවය. ඒ බැඳීම නිසා මාතර උපන් තරුණිය උතුරට ගියාය. ඇය “සිංහල සිංදු” කීවත් “නළලේ තිලක තියා” තම සැමියාගේ දමිළ සංස්කෘතිය නියෝජනය කළාය. ඇය තම සැමියාගේ ගම නිවස බලා මධුසමය ගත කරනට එන කල අරඹ ගිනිගෙන තිබුණි.

කවියා ගීතයේ දෙවැනි අන්තරා කොටස මගින් ධ්වනිත කරන අදහස ඉතා ගැඹුරු ය. දිව නුහුරු බසින් (දෙමළ භාෂාවෙන්) පෙම් කවි කී කුරුල්ලා (එස්. නඩේෂන්) ය. ඔහුගේ කැඩුණු මියුරු වචනවලට ඇය ආදර කළාය. විවාහයේ දී බොහෝ මනාලියෝ මනාලයාගෙන් මල් පොකුරු ගනිති. එහෙත් එස්. නඩේෂන් ඇයට ප්‍රදානය කළේ “ගිනි මලින් තැනූ මල් පොකුරකි.” ඇය සුරූපිනියක් (ලස්සන යුවතියක්) වුවද මධු සමයේ මිහිර ලබන්නට තරම් වාසනාවන්ත නොවූවා ය. ඇය ගිනිමලක් (අවියක්) රැගෙන සිංහල හමුදාවට එරෙහිව යුද වැදුණාය. එය නිෂ්ඵල ක්‍රියාවකි. කවියා පවසනුයේ “ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විහඟ සෙනඟගේ කඳුළු” සිංහලට නගන ලෙසය. එය කරන්ට හැකි ඇය දේවතාවියකි. ඒ දේවතාවියට ආදරය බාරය. “රැක ගනින් දේවතාවී” යන විධානයකින් රත්න ශ්‍රී පද මාලාව සමාප්ත කරයි. මේ පද මාලාව සිංහල දෙමළ ශ්‍රාවකයා බොහෝ සේ අසන්නට ප්‍රිය කළේ කපුගේ සංගීත නාදාකෘතිය හා හඬ පෞරුෂයෙහි මහිමයෙනි.

වර්ගවාදය. ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය පිටු දැකීමේ හොඳම පියවර ජාතීන් අතර අනුකලනයක් සිදු කිරීමය. රත්න ශ්‍රී විජේසිංහ සමන්තුරේ අක්කරේපත්තූව පැත්තේ, මල්වත්ත (අම්පාර) රථයකින් ගමන් කරන අවස්ථාවේ එළුවන් 400ක් පමණ දක්කාගෙන යන අවුරුදු 12ක පමණ දෙමළ දියණියක් දුටුවේය. ඔහු රථය මදක් නතර කර අර දැරියගෙන් නම කුමක් දැයි විමසූ කල ඇය සුභාරති මැණිකේ යැයි පිළිතුරු දී ඇත. ඇගේ ජාතිය කුමක් දැයි විමසූ විට හිස දෙපසට වනා නොදන්නා බව පවසා ඇත. “සුභාරති” යනු දෙමළ නමකි. මැණිකේ යනු උඩරට සිංහල නමකි. ඇගේ පියා ගාල්ලේ ඇත්තිලිගොඩය. මව මඩකලපුවේය. දැන් අර දියණිය ඇගේ ජාතිය කියන්නේ කෙසේ ද? මේ සුගීතය ඇගේ මනුෂ්‍ය වර්ගයා ම වෙනුවෙනි.

නින්දවුර් කලපුව ළඟ
ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහින් බලනා
සුභාරති මැණිකේ
මට ලියන්න බැරි කවියේ //

ආදරය හමුවේ ජාතිය, කුලය, ආගම පා දූවිලි තරමට පාවී යයි. සුභාරතී මැණිකේගේ පියා දකුණින් ආදරය රැගෙන ආවෙකි. මව මඩකලපුවේ බත කිරි කර දුන්නාය. කවියාට සුභාරතී මැණිකේ රත්තරං වටී. ඔහු සැබෑවටම ඇගෙන් විමසන්නේ “රත්තරනේ නුඹ කවුරුද?” සිංහල මට නොදැනෙන බවයි. ඒ ඇයි? ජාතීන් අතර මෙවැනි අනුකලනයක් ඇති වූයේ නම් මේ අවි ගැටුම් වහා නතර වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ සත්‍ය දන්නා රත්න ශ්‍රී දෙමළ පෙම්වතියකගේ දෘෂ්ටියෙන් කෝවලන් පද රචනා කර තිබේ.

ජාතිවාදී බිහිසුණු යුද්ධය නිසා රටට අහිමි වූ මිනිස් ජීවිත ගණන නිශ්චය කළ නොහැකි තරම්ය. ඒ නිසා අපේ මාතෘභූමිය අද අමු සොහොන් බිමකි. ඒ සොහොන් බිමේ “පස් කඳු වැඩිවෙයි” යන ගීත්‍යෝක්තිය මඟින් මරා දමන ප්‍රමාණයේ විශාලත්වය ගණනය කරන්නට බැරි තරම් බව ඉඟි කරයි.

උතුරු – නැගෙනහිර බිහිසුණු යුද්ධය ප්‍රස්තුත කරගෙන රත්න ශ්‍රී විජේසිංහ රචනා කළ සමස්ත ගීත සාහිත්‍යයෙහිම දක්නට ලැබෙන සුවිශේෂී සලකුණක් ඇත. එනම් සෑම නිර්මාණයකින්ම ඔහු ප්‍රාර්ථනා කරන්නේ සිංහල – දෙමළ ජනතාව අතර සංහිඳියාවයි. රොෂාන් ප්‍රනාන්දු ස්වර රචනයෙන් හැඩ ගැන්වූ ප්‍රදීපා ධර්මදාස ගායනය කරන “යාල් දේවී” සුගීතය අතීතයේ කඳුළු පිසදා යහපත් අනාගතයකට ආසිරි ගෙනෙයි.

ප්‍රේමය දළුලා තල්වැට පිපුණාවේ
තාලී අරුංගල් දිලිසෙන මේ වේලාවේ
සිංහල සිංදුත් ඉඳහිට යළි ඇහුණාවේ
යාල් දේවී යළි නෑගම් අරඹන
දෝස නිවාරණ
පුණ්‍යවන්ත හෝරාවේ

රත්න ශ්‍රී ගේ ප්‍රාර්ථනාව පිරිසිදු ය. අවුරුදු හතළිහක් පුරාවටම එකිනෙකාට වෛර කරගන්නා මිනිසුන් සිටි රටක දැන් කවියා ප්‍රාර්ථනා කරන්නේ එකිනෙකාට ආදරය කරන සමාජයකි, රටකි. තල්වැට පුරා තිබුණු වෛරය, ක්‍රෝධය වෙනුවට කවියා ප්‍රාර්ථනා කරන්නේ “ප්‍රේමය දළුලා තල් වැට පිපෙන්නටය.” දෝස නිවාරණය කරන පුණ්‍යවන්ත හෝරාවේ යාල් දේවී දුම්රිය නැවත නෑගම් ඇරඹිය යුතු බවය. එවිට දෙකට බෙදුණු උතුරු දකුණු සංගීතය යළි බද්ධවනු ඇත. එවැනි රටක සෞභාග්‍යය, සෞන්දර්ය ලක්වැසි ජනතාවට දකින්නට දෙඇස් විවර වනු ඇති.

ආචාර්ය මහේෂ් ක්‍රිශාන්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

අහිංසක ආත්මය මාලිනී

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනී – මිහිතලය මත දිස්වුණු රන් තරුව

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

මාලිනිය තිළිණ කළ සංස්කෘතික කලා ප්‍රාග්ධනය

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

ඔයගොල්ලෝ හැමෝටම මම ආදරෙයි…

අතිරේක ඉරිදා සංග්‍රහය විශේෂාංග

ජීවිතේ ඔහොම තමයි, කොයිවෙලාවෙද කියන්න බැහැ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok