වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙක්
මන්නා රමේෂ්ගේ ඝාතන ප්‍රයත්න 3කින් කොටහැර පොඩ්ඩා දිවි බේරා ගනී
බූස්සේ සිට මන්නා රමේෂ්ගේ පාතාල වැඩ යළි පටන්ගෙන
මන්නා රමේෂ් නමැති පාතාල නායකයාගේ නියෝග මත කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි පාතාල සාමාජික කොටහැර පොඩ්ඩා ඇතුළු තිදෙනකුට වෙඩි තැබීමේ සිද්ධියේ කුලී වෙඩික්කරු ඇතුළු තිදෙනකු මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කුලී ඝාතකයන් කප්පම් මුදල් ලබා නොදුන් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා මීගොඩ ප්‍රදේශයේ ආරක්ෂිත නිවස්නයක සැඟවී සිටියදී මීගොඩ පොලිසියට කොටුවී තිබේ.
කොස්ගම සුදුවැල්ලේදී ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිසට ප්‍රහාර එල්ල කිරීම මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින මන්නා රමේෂ්ගේ නියෝග මත ලලිත් කන්නන්ගර නමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මන්නා රමේෂ්ගේ සොහොයුරකුට තල්දුව ප්‍රදේශයේදී පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියට එකට එක කිරීමක් ලෙස කොටහැර පොඩ්ඩා ඝාතනය කිරීමට මෙම ප්‍රහාරය එල්ල කළ බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
කොස්ගම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුලී වෙඩික්කරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කර ඉන් ඉවත්වූ අයෙකි.
මෙම කුලී වෙඩික්කරුට අමතරව කොස්ගම ප්‍රහාරය සඳහා යතුරුපැදියක් පදවාගෙන ආ පුද්ගලයා ද එම යතුරුපැදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කොටහැර පොඩ්ඩාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදි දෙකකින් පාතාල සාමාජිකයන් සිව් දෙනකු පැමිණ ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
මීට කාලයකට උඩදී අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි සිව් දෙනකු වෙඩි ප්‍රහාර එල්ල කර ඉන් තිදෙනකු ඝාතනය කිරීමට මන්නා රමේෂ් කටයුතු කර තිබිණි.
තම සොහොයුරාට පහරදී බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් ලෙස තල්දුවේ ප්‍රහාරය මන්නා රමේෂ් විසින් සිදු කළ බව පසුව හෙළි විය. එම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොටහැර පොඩ්ඩා ද ත්‍රිරෝද රථයේ සිට ඇති අතර ඔහු තුවාල ලබා දිවි ගලවා ගත්තේය.
මේ ආකාරයට අවස්ථා තුනකදීම කොටහැර පොඩ්ඩා ඝාතනය කිරීමට මන්නා රමේෂ් උත්සාහ කළ ද ඔහු දිවි ගලවා ගැනීමට සමත් විය. කොස්ගම සුදුවැල්ලේදී පෙරේදා අලුයම එල්ල වූ ප්‍රහාරයෙන් කොටහැර පොඩ්ඩා තුවාල ලබා දිවි ගලවා ගත්තේය. එම ප්‍රහාරයේදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් සහ ඇගේ 12 හැවිරිදි දියණිය ද තුවාල ලබා තිබිණි.
අවිස්සාවේල්ල, රත්නපුර. හංවැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත් කරගෙන මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධවල නිරතවූ මන්නා රමේෂ් මීට වසරකට පමණ පෙර ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දී තිබිණි.
මාස 3කට ආසන්න කාලයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි මන්නා රමේෂ් පසුව අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කෙරිණි.
මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මන්නා රමේෂ් නැවතත් පාතාල ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු