මහෙස්ත්‍රාත්වරුන්ටත් අපරාධ යුක්තියේ මූලධර්ම කියා දෙන්න
විරෝධතා විසුරුවා හැරීම ගැන පොලිසියට ප්‍රායෝගික පුහුණුවක් ඕනෑ
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
වල් අලින් විසින් දිගින් දිගටම සිදුකරන දේපළ හා ජීවිත හානි කිරීම් වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙසට බලධාරීන්ට බලකරමින් කලුකැලේ ප්‍රදේශවාසීන් කලුකැලේ මංසන්ධිය අසලදී අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ යැයි චෝදනා කරමින් ගොවීන් දෙදෙනකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් අධිකරණය ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගොවීන් දෙදෙනාට සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000 බැගින් වූ වන්දි ගෙවන ලෙසට අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියාට නියෝග කළේය.
පොළොන්නරුව – මහියංගනය මාර්ගය අවහිර නොකරන ලෙස අරලගංවිල පොලිසිය කළ ඉල්ලීමක් අනුව පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගයේ පෙත්සම්කාර ගොවීන් දෙදෙනාගේ නම් සඳහන්ව නොතිබියදීත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය ඉල්ලීමක් කළ පමණින් යමකු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මහෙස්ත්‍රාත්වරයකු සිදු නොකළ යුතු බවත් සිය තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය. යමකු රක්ෂිත බන්ධනාගාර ගත යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බවත් අපරාධ යුක්තිය අනුව මහෙස්ත්‍රාත්වරයකු කටයුතු කළ යුතු බවත් එකී මූලධර්මය විනිසුරු පුහුණු ආයතනවලට ඔවුනට ඉගැන්විය යුතු බවත් පෙන්වා දෙමින් විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයා වෙත එකී තීන්දුව යැවීමට ද නියෝග කළේය.
එමෙන්ම මහජන විරෝධතා විසුරුවා හැරීම සහ එහිදී අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුත්තේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් බවද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ හා විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ එකඟත්වය ඇතිව සකස් කළ සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වහාම ඒ පිළිබඳ සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කළේය.
2018.06.06 වැනිදා එම විරෝධතාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන්නැයි ඉල්ලා පොළොන්නරුව අරලගංවිල කලුකැලේ ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ. ගාමිණි ජයරත්න හා හෙට්ටිආරච්චිගේ රංගික එරංද යන ගොවීන් දෙදෙනා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
එවකට අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර (වර්තමානයේ වැලිකන්ද පොලිසියට අනුයුක්ත) අරලගංවිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එල්.ජී.එච්. හේරත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් වෘත්තීය ගරුත්වයට නොගැළපෙන මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදුනොවීම සඳහා මහෙස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම කළ යුතු බවටද විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයාට විනිසුරු මඬුල්ල නියෝග කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චතුර වෙත්තසිංහ මහතා සමග නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනි සිටියේය. එමෙන්ම රටේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරන වල් අලි සිදුකරන විපත් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කළ විනිසුරු මඬුල්ල වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ එකී අයුතු ක්‍රියා කලාපය නිසා පෙත්සම්කරුවන් සතු භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද තීන්දු කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක