පලස්තීන-ඊශ්‍රායල-ඉරාන-ඇමරිකා යුද ආතතිය මේ වනවිට සටන් විරාම ගිවිසුමකින් තාවකාලිකව සමනය වී තිබේ. අළු යට ගිනි පුපුරු තවමත් නිවී නොමැති වග තතු දත් ඕනෑම අයකු පිළිගන්නා සත්‍යයකි. අපගේ අවධානය එකී ජාත්‍යන්තර යුද වාතාවරණය පිළිබඳ නොවේ. එයින් වුව වඩාත් අවධානයට ලක්වූ වෙනත් කාරණයක් කෙරෙහිය.
ගෙවුණු මාසය තුළ මෙකී යුද ආතතිය නිසාම සාමයට, සාධාරණයට ලැදි ලෝකවාසී ජනයාගේ සිත් තුළ මුල්බැසගත් එකම සිතුවිල්ල වූයේ මෙයයි.
“ජීවිතයේ සැඳෑ සමය ගෙවන මහල්ලන් ලෝකය ගිනි තියමින් සිටියි. දෙවියන්ට කළ හැකි දෙයක් නොමැත. මනුෂ්‍යත්වය පැමිණිය යුත්තේ හදවතිනි”
සැබවින්ම එය අවංකවම විශ්ලේෂණය කළ විට පරම සත්‍යයකි. සාතන් මොවුන්ට ආරාධනා කළ ද, ඔවුන් තවමත් තනියම යෑමට සූදානම් නැත. ඒ වෙනුවට තවත් දස දහස් සංඛ්‍යාත දරුවන්, තරුණයන්, වැඩිහිටියන් ලෙස වටිනා මනුෂ්‍ය ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිති. මහල්ලන් පාලනය කරන ලෝකයක තරුණයන්ට හෝ අනාගත ලෝකය භාර ගැනීමට නියමිත දරුවන්ට ඇත්තේ කිනම් ඉඩක්ද? මහල්ලන් සැබවින්ම අනාගතය ගැන බලා ප්‍රගතිශීලි තීන්දු තීරණ ගැනීමට සෑමවිටම ක්‍රියාකරනු ඇත්ද, යන්න සැක සහිත ය. මන්ද යත් තරුණ සිතුම් පැතුම් තේරුම් ගැනීමටත්, අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවන් හඳුනාගැනීමටත්, ඔවුන්ව සමීපව වටහා ගැනීමටත් හැකියාව ඇත්තේ තරුණයන්ටම වන නිසා ය. වයසට යද්දී කළ යුත්තේ තම ලද අත්දැකීම් තරුණ ප්‍රජාවට දායාද කරමින් යහපත් දැක්මක් සමග ඔවුන් යහපත් මාර්ගයකට තල්ලු කිරීම මිස කුහකත්වය, තණ්හාව, උඩඟුකම කරපින්නාගෙන යෞවනයන් පාගා නොණ්ඩි ගසමින් කෙසේ හෝ ඉදිරියට ගමන් කිරීම නොවේ.
අනෙක් අතට ශ්‍රී ලංකාවේ අපට එය අලුත් දෙයක්ද, නොවේ. අරගලයෙන් යළි ඉපදුණු ලාංකේය ප්‍රජාව යළි පැරණි දූෂිත මහල්ලන්ගේ ක්‍රමයට ඉඩදෙනු නැත. එකී පැරණි ක්‍රමයට පුනර්ජීවනය නොදෙන තාක් යළි පිබිදෙන සිරිලකක බලාපොරොත්තුවක් අපට තබා ගතහැකිය. එසේ වුව ලක්වාසී අප ජාත්‍යන්තර ලෝකයෙන් ද, පාඩම් උගත යුතු ය. වසර 55ට පසුව විශ්‍රාම දිවිය යෝජනා කරන්නන් දෙස වපර ඇසින් බලනා වියපත් රාජ්‍ය හා පෞද්ගලික පරිපාලකයන්ගෙන් මෙන්ම පවතින දේශපාලන අධිකාරියෙන්ද, මා ඉල්ලා සිටින්නේ යළි පිබිදෙන අප්‍රිකාව දෙස අකමැත්තෙන් වුව බලන ලෙසය. මෑත කාලයේ අප වැනි රටකට ගතහැකි මහඟු ආදර්ශය එයයි.
වැඩවසම් යුගයෙන් බැට කා, දරිද්‍රතාවයෙන් අන්තයට වැටී බටහිර ජාතීන්ගේ කෲරත්වය හමුවේ වහලුන් වූ අප්‍රිකාව දැන් සිය වාරුවෙන් නැඟිටිමින් සිටියි. ඊබ්‍රහිම් ටෙරාරා (Ibrahim Traore) පෝල් කාගයේ (Paul Kagame) වැනි නව දැක්මක් සහිතව, අලුත් ඇසකින් ලෝකය දකින පතාක චරිත අප්‍රිකානු මහද්වීපයේ සිය රටවල් දම්වැලක පුරුක් සේ එකට යා කරමින් සිටියි. මේ වනවිටත් අප්‍රිකානු කලාපයේ බොහෝ පිරිසක් අළු ගසා නැඟිට හමාරය. ආක්‍රමණශීලී චීන සටකපට ප්‍රතිපත්තීන් හෝ සූරාකෑම දහම කරගත් බටහිර ප්‍රතිපත්තියත් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට තරම් එරට නායකයන්ගේ පෞරුෂත්වය අප හිරිවට්ටනසුලුය.
අප්‍රිකානු රාජ්‍යයක් වන Burkina Faso රටේ නැඟී සිටීම සැබවින්ම ආශ්චර්යජනක ය. ජනතාවගේ පෞරුෂත්වය නඟාසිටුවීමට ඔවුන්ගේ තරුණ නායකයා කරන සිංහ නාද තුළ විපක්ෂයම විවේචනය කරන, පරණ ප්‍රාණ අතීතයන් සිහිකැඳවන, පළිගන්නාසුලු, ජනතාව කෝප ගන්වන කථිකාවක් අපට සොයාගැනීමට නොහැකි ය. පෞද්ගලිකත්වය යන සංකල්පය පසෙක දමා “අප” සහ “අප උදෙසා” යන ආකල්පය පෙරදැරිව මෙලෙස නැඟී සිටින අප්‍රිකානු නායකයන් ගැන ලෝක බලවතුන්ගේ කෙකරගාන කාඩ්බෝඩ් වීරයන් නිහඬව බලා සිටින්නේ නව යෞවන හදවත් සත්‍යයෙන් පුනර්ජීවනය කරවමිනි.
ශ්‍රී ලංකාව තුළද, යළි පිබිදෙන නව මං පෙත් පවතින බව සැබෑය. එහෙත් අප්‍රිකානු කලාපයේ මෙන් ඍජු තීරණ මත, මනා සහයෝගයෙන් යුතුව, අන්‍යොන්‍ය වශයෙන් එකට බැඳුණු වැඩපිළිවෙළක් දැකීම තවමත් අසීරුය. නිසි කරුණු අවබෝධවී ඇතත්, බොහෝ තැන්වල තවමත් මළවුන්ගේ අවතාරයන් රජකරමින් සිටියි. අලුත් වැඩසටහන් හෝ ව්‍යාපෘතිවලට අකුල් හෙළමින් සිටියි. එහෙත් කලාතුරකින් හෝ දැකිය හැකි පැහැදිලි යමක් ඒ අතර නැතුවා නොවෙයි. නිදසුනක් ලෙස කලකට ඉහතදී අත්දෙක ඔසවා මාධ්‍යයට පෙන්වමින්, අධිකරණ තීන්දු දෙස නක්කලේට බලමින්, සිරගෙදරට වීරයන් සේ පියනඟන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් එසේ නොකරයි. ඒ වෙනුවට කන පාත්කරමින් අද ඔවුන් ගමන් කරන්නේ සැබවින්ම ඔවුන්ගේ හදවත් තුළ ඇති බිය මොනවට පැහැදිලි කරමිනි. රජකම් කළත් කළ කම් පලදෙන්නා සේ කරන ලද පව්වලට විපාක විඳිය යුත්තේ ය. නමුත් තවමත් එය සිදුවන්නේ ඉබි ගමනේ ය. මන්දයත් මුදල හා බලය තවමත් ඉහළ පහළ දෝලනය වන්නේ වත්මන් දේශපාලන කඳවුර තුළ ප්‍රබලයන්ගේ හුනු කිල්ලෝටවලද කුණු ටික ටික ඇති බව ඔප්පු කරමින් බැව් නොකියා බැරි ය.
පරීක්ෂා කිරීමෙන් තොරව නිදහස් කර යැවුණු කන්ටේනර් ගැන චෝදනාව හෝ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කර යැවුණු පුද්ගලයා ගැන රටේ ජනතාවට තවමත් ඇත්තේ සැක සංකාවන් ය. කන්ටේනර් තදබදයක් නිර්මාණය කරමින් ලංකාවට පැමිණි කන්ටේනර් ඉන්දීය වරාය දක්වා හරවා යවන තැනට කටයුතු යෙදුණේ කෙසේ දැයි යන්නද විමර්ශනයට ලක්විය යුතු ය. ජනාධිපතිවරයා විසින්ම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ අනුව කඩිනම් ක්‍රියා මාර්ග ගතයුතුය. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමක් පිළිබඳ මේ වනතෙක් නිසි තොරතුරක් අනාවරණය වෙන්නේ නැත. ජනාධිපති සමාවට මුවාවී අයුතු ලෙස බන්ධනාගාරයෙන් නිදහස ලබා ගිය අයගේ ලැයිස්තුවක් ගැන කරුණු අනාවරණය වුව ආන්දෝලනයට තුඩුදුන් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
බන්ධනාගාර නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන අයුරින් අයුතු ලෙස නිදහස් වූ පුද්ගලයාට එරෙහිවද, නීතිය ක්‍රියාත්මක විය යුතු ය. වත්මන් ආණ්ඩුව පිළිබඳ තවමත් ජනතා විශ්වාසය පළුදුවී නැතත්, මෙවැනි සංසිද්ධි යනු කිරි කළයට ගොම බින්දුවක් මුසුවෙන්නාක් මෙන් සමස්ථයම ගර්හාවට පාත්‍රවීමට තුඩුදෙන සංසිද්ධින් බැව් කිසිසේත්ම අමතක නොකළ යුතු ය. ලංකාවේ මහල්ලන්ගේ දූෂිත මජර දේශපාලන සංස්කෘතිය විසින් සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම බූවල්ලෙකු මෙන් ගිලගෙන ඇතත්, නව දේශපාලන පුනරුදය විසින් සියල්ල ශුද්ධ පවිත්‍ර කිරීමේ මෙහෙයුම ආරම්භ කළ හැකිය. ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් දැක්මක් ඇති බව පෙනෙන්නට තිබීම සියලු කනගාටුදායක ආරංචි මධ්‍යයේ වුව සතුටුවිය හැකි කාරණයකි.
පසුගියදා ජනාධිපතිවරයා සහභාගිවූ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ දේශපාලන ජීවිතය හා පුද්ගලික ජීවිතය කිසිසේත්ම පටලවා නොගන්නා බවයි. මීට පෙරාතුව සිටි පාලකයන් ජනතා මුදලින් සාප්පු සවාරි යෑම හෝ සුඛෝපභෝගී නිවාඩු නිකේතනවල නිවාඩු ගතකිරීම මෙරට ජනතාව නොරිස්සූ බව තමාට මතක බැව් හෙතෙම අවධාරණය කළේය. තමන් ජීවිතය නිසි ලෙස වටහාගෙන ඇති බවත්, වගකීම් පුරුදු ලෙස දැරිය නොහැකි කාලයක්, අලුත් දේවල් තේරුම් ගැනීමට නොහැකිවන කාලයක් උදාවන බවත්, නව පරම්පරාවේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට නොහැකි අවධියක් ඒමට නියමිත බවත් ඔහු පිළිගනියි. එය ලෝකයේ සාමාන්‍ය ස්වභාවය බවත්, ඒ අවධියේදී බහුජන දේශපාලනයෙන් සමුගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. එසේ වුව අවශ්‍ය වුවහොත් මඟපෙන්වීම, අත්දැකීම් බෙදාහදා ගැනීම කළ හැකි වුවද, නායකත්වය දීම හෝ වගකීම් දැරීමෙන් නිදහස් වන බව ඔහු නොපැකිළිව කියා සිටියි. මෙම අව්‍යාජ ප්‍රකාශනය අප අගය කළයුතුවා මෙන්ම එහි පවත්නා දිග පළල ද තේරුම් ගතයුතුය.
ලෝකයේ එක් පසෙක මහල්ලන් විසින් තාරුණ්‍යයත්, උදාවන නව යෞවනයත් අකාලයේ මිහිදන් කෙරෙන තැනට යුද්ධයට ආවඩද්දී, තවත් පසෙක (අප්‍රිකානු කලාපයේ) අලුත් නායකයන් නව ජවයකින් යුතුව අලුත් ගමනක් ආරම්භ කර තිබේ. අතීතයේ යටත් විජිතයන් ලෙස දිගු කාලයක් පීඩා විඳිමින් මෙන්ම බලවත් රටවල සංවර්ධ උපාය මාර්ගික ව්‍යාපෘතිවල අවසානාවන්ත ගොදුරු බවට පත්වූ ඔවුන් එයින් ලැබූ අනූපමේය අත්දැකීම් ඔස්සේ අලුත් ලෝකයක සිහින දකිමින් සිටිති. සැබෑ සතුරන්ද, සැබෑ මිතුරන්ද හඳුනාගනිමින් උපාය මාර්ගිකව මේ මොහොතේ කුමන කඳවුරක හෝ කොටස්කරුවන් වීම පසෙක ලා කලාපයේ ශක්තිය එකතු කරගනිමින් එක්ව ගමන් කිරීමේ අඩිතාලම දමාගෙන තිබේ. ඒ අචල විශ්වාසය නිසාම චීනය වැනි සටකපට රාජ්‍යයන්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් තමන්ගේ කර්මාන්ත හා නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය පදනම දා ගනිමින් සිටියි. රත්‍රං ආකරවල සිටිමින් මහා බලවතුන්ගේ ගොදුරු බවට පත්වූ රුවන්ඩාව වැනි රටවල් රුසියාව වැනි රටක තාක්ෂණික දැනුම නොමිලේ ලබාගනිමින් තමන්ට අහිමි කළ තමන්ගේ මව්බිමේ සම්පත් උපරිම ලෙස තම රටේ සංවර්ධනයට දායක කරගනිමින් සිටියි. සියයට 15-20 ගිනි පොලියට චීනයේ ආර්ථික උපාය මාර්ගවල ගොදුරු බවට පත්වීම ප්‍රතිපත්තියක් ලෙසම අත්හැර තිබේ. කලක් මලයාසියාවෙන්, සිංගප්පූරුවෙන් අප ආදර්ශයන් ලබාගත්තද, දැන් නව ලෝක තත්ත්වය වෙනස් වී තිබේ. වැඩිහිටි, මහලු නායකත්වයන්ගෙන් අත්දැකීම් උකහා ගැනීම මිස ඔවුන්ටම සියල්ල පවරා නිහඬව සිටීමේ ප්‍රතිපත්තියෙන් මිදීම මෙම කලාපයේ තරුණයන් දුර දක්නා නුවණින් කරමින් සිටිනා මහඟු කර්තව්‍යයකි.
ශ්‍රී ලංකාවේ අප ද, මේ මොහොතේ පසුකරමින් සිටින්නේ යළි ඉතිහාසයේ කිසිදු දිනක උදාවීමට ඉඩක් නොමැති තරමේ මහඟු අවස්ථාවකි. අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක සිට රටේ පාලකයා දක්වා පැමිණි ජනාධිපතිවරයාට, ඉතිහාසයේ දරුණු ලේ වැගිරීම් පසු කළ දේශපාලන ව්‍යාපාරයකට මුහුණ දී ජයගත නොහැකි අභියෝගයක් තිබිය නොහැකි ය. ජනතාව විසින් සැබෑ ජනවරමක් ලබාදී අවසන් ය. දැන් එළඹ ඇත්තේ වගකීම් ඉටුකරන කාලය යි. ඒ සඳහා පූර්ව සූදානමකට බොහෝ කාලය ලබාදීමට ජනතාව යළි සූදානම් නැත. මන්දයත් අප මේ වනවිටත් ඉතාම ඛේදජනක ඉරණම්කාරී සංසිද්ධි රාශියක් පසුකොට ඇති නිසාය.
පාර්ලිමේන්තුවේ වත්මන් ආණ්ඩුවට හිමි අති බහුතර අසුන් යනු මොනවාදැයි, ඒවායේ අසුන්ගෙන ඇත්තේ කවුරුන්දැයි නිවැරදිව හඳුනා තක්සේරු කරගත යුතුය. ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන පෞද්ගලික න්‍යාය පත්‍රයන්ගෙන් ඔබ්බට කටයුතු කරන, දක්ෂයන් මෙන්ම නිවරදි රාජ්‍ය තාන්ත්‍රිකයන් හඳුනාගෙන පක්ෂ විපක්ෂ නිවැරදි මිනිසුන් සමග ඉදිරියට යා යුතුය. මහලු පාලකයන් මේ රටට කළ විනාශය යළි කිසිදාක සිදුනොවෙන්නට මෙන්ම කළ ජාතික අපරාධවලට නිසි දඬුවම් දීමේ යාන්ත්‍රණය තවත් ශක්තිමත් කළ යුතුම ය. එසේ කළ හොත්, නැඟිටින අප්‍රිකානු මහද්වීපයට හා කරට කර නැඟිටින ශ්‍රී ලාංකික සිහිනයට පණ පෙවීමට අපට හැකිවෙනු ඇත.

ආචාර්ය රංග ජයකොඩි