බුද්ධගයා මහාබෝධි විහාරස්ථානයේ පාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධ ප්‍රජාවට ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරන ලද පෙත්සම විභාග කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක් කරමින් සහ බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය බෞද්ධ ප්‍රජාව විසින් පාලනය කිරීම සහ කළමනාකරණය කිරීමට ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් භාරගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01දා) ප්‍රතික්ෂේප කර තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන වගන්තිය යටතේ ගොනු කරන ලද පෙත්සම එම්.එම්.සුන්දරේෂ් සහ කේ.විනෝද් චන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරන ලදී. මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවත්වා ගත නොහැකි බව පැවසූ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුට පැට්නා මහාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නිදහස ලබා දුන්හ. “ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන වගන්තිය යටතේ පෙත්සම භාර ගැනීමට අපි නැඹුරු නොවෙමු. කෙසේ වෙතත්, පෙත්සම්කරුට මහාධිකරණයට පිවිසීමට නිදහස ලබා දී ඇත” යනුවෙන් විනිසුරු මඩුල්ල පැවසූහ.
1949 මහාබෝධි පනත සංශෝධනය කර මහාබෝධි විහාරයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පැවරීමට මධ්‍යම රජයට සහ බිහාර් රජයට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලමින් සුලේඛායි නලිනිතායි නාරායන්රාඕ කුම්භරේ විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
චතුර පමුණුව