කෙටි කතාව
“කවුද මනුස්සයෙක් ඉස්සරහ බිල්ඩිමේ පිලේ නිදි”
ඉහලගෙන ආ කුඩය ඉහලූ ගමන්ම වැරන්ඩා එකේ හිරිකිඩ නොවැදෙන තැනක තියපු අසංග දොරට හේත්තුවෙලා ඉන්න නිලූකට කිව්වා.
“කවුද අඳුනන කෙනෙක්ද”
“පේන්නේ නැහැ. සරම ඔලුවේ ඉඳලම පොරවගෙන සයිස් එකෙන් නම් පුංචි මනුස්සයෙක් වගෙයි”
“වැස්සට ගොඩවුනු කෙනෙක් වෙන්න ඇති.
රෑ වුණු නිසා නවතින්න ඇති. උදේට යයි”
නිලූකා කිව්වා.
“පොඩි වැස්සක්ද? දවස් දෙකක ඉඳලම එක විදියට වහිනවා.”
අසංක ගෙට ඇතුල්වෙලා දොර වහලා දැම්මා.
නිලූකලාගේ නිවස පිහිටා තියෙන්නේ උස් බිමක. පාර අයිනට වෙන්න අසංගට අයිති ගොඩනැඟිලි කීපයක්ම තියනවා. ඒත් ඒවායේ ව්‍යාපාර පවත්වාගෙන ගියේ වෙනත් අය. අසංග කළේ කුලිය ගන්න එක විතරයි. කවුරු ව්‍යාපාර කරගෙන ගියත් රෑට නිදාගන්න ඉස්සරවෙලා තමන්ගේ ගොඩනැඟිලි පැත්තේ රවුමක් ගිහින් එන එක අසංගගේ පුරුද්දක්.
පාරත් ගොඩනැඟිලිත් අතර සීමාව රෑට යකඩ පොලු හිටවලා අතරින් දම්වැල් ඇදලා වහලා දාන්නේ රෑට වාහන නවත්තගෙන බොන නිසා. ඒත් වැස්ස දවසට මෝටසයිකල් රිංගවගෙන මිනිස්සු පියස්ස යට ඉන්නවා. මෙච්චර කලකට රෑට පිලේ නිදාගෙන ඉන්න මනුස්සයෙක් අසංකට දකින්න ලැබිලා නැහැ.
“ඒ මනුස්සයා උදේට යයි”
නිලූකා නැවත කීවේ ඒ සිද්ධිය ගැන අසංක හිතන බව දැනුන හින්දයි.
දින දෙකතුනකට පස්සෙ රැයකත් අසංක ආවේ
“අදත් අර මනුස්සයා පිලේ නිදි” කියාගෙනයි.
“අදවත් බැලුවේ නැද්ද මොනවගේ කෙනෙක්ද කියලා”
“මොන පිස්සුද. ඔළුවේ ඉඳලම පොරවගෙන හොඳටම නිදි. බෑග් එකක් දෙකට නවලා ඔළුව ළඟ තියනවා. සෙරෙප්පු දෙක ගලවලා පැත්තක තියලා තියනවා.”
“නිකම්ම බිමද නිදාගෙන ඉන්නේ”
නිලූකා ඇහුවා
“ඔව් අපිට තමයි කොට්ට, මෙට්ට, ෆෑන් ඔක්කොම තිබිලත් රෑ දෙගොඩහරියක් වෙනකම්ම නින්ද යන්නේ නැත්තේ ඒ මනුස්සයා සන්තකය ඔක්කොම වෙන්න ඇති බෑග් එකේ තියෙන්නේ. එක අතකට මොණ තරම් සරල ජීවිතයක්ද”
අසංග කීවේ ඒ පුද්ගලයා පිළිබඳ ඉරිසියාවකින් වගේ.
“ඒත් ඉතින් මදුරුවො කනවා ඇති අනේ”
“ඔව්, ටිකක් මදුරුවෝ නම් ඉන්නවා. ඒත් ඔළුවේ ඉඳන්ම රෙද්දක් පොරවගෙන නේ”
“අපි සැහැල්ලුවට ගත්තට ඕක පස්සේ අපිටම කරදරයක් වෙයිද දන්නේ නැහැ. ඔය මනුස්සයා ලෙඩෙක් නම් අපිටම කරගහන්න වෙයිද දන්නෙත් නැහැ.”
නිලූකා, අසංක නොදැක්ක පැත්තක් පෙන්නුවා.
“ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඒත් නිදාගන්න තැනක් නැතිව වැටිලා ඉන්න මිනිහෙක්ව එලවන්නේ කොහොමද? අපි තව දවස් දෙකතුනක් බලමු.”
අසංක කිව්වේ අනුකම්පාවෙන්.
“ඔව්, අපි වුණත් ඔය තත්වෙට වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ”
සුසුමක් පිටකරන ගමන් නිලූකා කිව්වා.
“අදත් අර මනුස්සයා හිටියද”
පසුවදා රාත්‍රී තම සුපුරුදු රාත්‍රී සංචාරය නිමවා ගෙට ගොඩවන අසංගගෙන් නිලූකා ඇහුවා.
“නෑ, අද නැහැ. දවාලෙ හිටපු තැනකම ඇති. හොඳට පායපු දවසක්නේ.”
ඊළඟ දවස් කිහිපයේද එම පුද්ගලයා පැමිණ සිටියේ නැත
ඔහු පිළිබඳව මතකය අමතකව යමින් පැවති දිනයක, අසංග ගෙට ගොඩවුණේ
“අද අර මනුස්සයා පිලේ නිදි” කියාගෙනමය.
“අදවත් දැක්කද මොන වගේ කෙනෙක්ද කියලා”
“කොහෙ දකින්නද? ඔළුවේ ඉඳන්ම පොරවගෙන”
“ඔයා එන සද්දෙට නිදි වගේ ඉන්නවද දන්නේ නැහැ”
“ඉන්න විදියෙන් කියන්න පුළුවන්. හොඳටම නිදි. වයසක කෙනෙක් වගෙයි දැනෙන්නේ. නින්දෙන්ම කැස්සා.”
“ඔය බලන්න ඉතින්. ලෙඩෙක්ද දන්නෙත් නැහැ. මොකුත් වුණොත් අපිටයි කරගහන්න වෙන්නේ” නිලූකා කිව්වා.
“අපි මොනවට කරගහන්නද. අපි කියලා නවත්තගත්තා නෙවෙයිනේ. ලෙඩක් වුණොත් හැමෝම කරනවා වගේ ඇම්බියුලන්ස් එකකට කතාකරලා ඉස්පිරිතාලෙට යවන එකනේ තියෙන්නේ.”
අසංග කිව්වෙ සැහැල්ලුවෙන්.
“අනේ මන්ද අහක යන දේවල්මයි හැමදාමත් අපේ පිට වැටෙන්නේ”
එහෙම කියන ගමන් නිලූකා වැරන්ඩා එකේ ලයිට් නිවාදැමුවා.
එදා සිට දිගටම නාඳුනන පුද්ගලයා පිලේ නිදාගන්නා බව අසංග නිලූකා සමග පැවසුවා. නමුත් ඔහු පිළිබඳව කිසිම හෝඩුවාවක් නම් ලැබුණේ නැහැ. නින්දෙන් ඇහැරවලා කතාකරන්න දෙන්නම කැමති වුණෙත් නැහැ. දින දෙකතුනක්ම පාන්දරින්ම අසංග පාර පැත්තට ගියත් ඒ යන විටත් ඔහු පිටව ගොස් තිබුණේ කිසිවකු නිදා සිටි බවට ළකුණක් හෝ ඉතිරි නොකරමිනුයි.
ඉස්සරහ බිල්ඩිමේ කඩවල කැමරා සවිකර ඇති බව අසංගට මතක් වන විට සති දෙක තුනක් ඉක්ම ගොස් අවසන්.
“මම පියල්ට කියලා කැමරා චෙක් කරගෙන එන්නම්” කියා ගිය අසංග නැවත ආවේ මූණ කළු කරගෙන.
“දන්නවද අර නිදාගන්න මනුස්සයා කවුද කියලා”
“කවුද”
“සුනිලා…”
“මොන සුනිලද” නිලූකට කුතුහලයක් මේ කතාව
“ඉස්සර පොල් කඩ කඩ ඇවිද්දේ, දැන් අර සතියකට විතර පාරක් ඇවිත් ඔයාගෙන් කීයක් හරි කඩාගෙන යන්නේ”
“අර බොන්න සල්ලි එකතුකරන සුනිල්ද?
හරි කරදරයක් වුණානේ. ඒ මිනිහා හොඳටම කහිනවා. හතියත් තියනවා. බීඩි වලටම පපුව තැම්බිලද කොහෙද”
“ඒත් ඉතින් රෑට වැටිලා ඉන්න තැනින් එලවන්නේ කොහොමද? දැන් බොන්නෙත් නැද්ද කොහෙද” නිලූකා අනිත් අතටත් කිව්වා.
“හ්ම් අපි තව ටිකක් බලමු. අපි දන්න වග අඟවන්නේ නැතිව ඔයා වටින් පිටින් අහලා බලන්න ගෙදරක් එහෙම තියනවද කියලා”
අසංග උපදෙස් දුන්නා
පසුවදා දවල් නිලූකා උයමින් ඉන්න අතරෙදියි
“නෝනා…. නෝනා…..”
කියන හඬ ඇසුනේ.
රුපියල් සීයකුත් අතේ ගුලි කරගෙන නිලූකා එලියට බැස්සා.
“සුනිල්ට ඉන්න හිටින්න තැනක් නැද්ද”
“තියෙනවා නෝනා ඒත් මම යන්නේ නැහැ.”
“ඒ මොකද? දරවෝ නැද්ද?”
“පුතෙක් ඉන්නවා. කච්චේරියේ පියුං කෙනෙක්. උන් දැන් මගේ ඉඩමේ ගෙවල් දොරවල් හදාගෙන ජයට ඉන්නවා. මගේ ගෑණිත් උන්ට එකතුවෙලා. මට දොට්ට බැහැලා පලයං කිව්වා. ඉතිං මං යයි උං ළඟට.”
“බීලා කරදර කරන නිසා එහෙම කියන්න ඇති.”
“නෑ නෝනා උං දැන් ඉහළ ගිහිල්ලා. මම දැන් බොන්නේ නෑ නෝනා.”
“රෑට ඉන්නේ කොහෙද”
“මට ඉන්න ඕන තරං තැන් තියනවා”
“ඔහොම කිව්වට එකතැන් වුණොත් එහෙම කවුද බලන්නේ. දැනුත් හතියයි කැස්සයි තියනව නේද? ග්‍රාම නිලධාරි නෝන හම්බවෙලා මහළු නිවාසයකටවත් යන්න බලන්න. මාත් කියන්නම්”
“මම හිතාගෙන ඉන්නේ පොලිසි යන්න. මගේ වත්තෙන් උන්ව එලවලයි මම පස්ස බලන්නේ”
“ඊට වඩා නරක නැද්ද පිළිවෙලකට එක තැනකට වෙලා අවසාන කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න එක. රුපියල් සීය දී ගේට්ටුව වසන ගමන් නිලූකා කිව්වා.
පෝයට පෙර දින සුපුරුදු නිරීක්ෂණ චාරිකාව නිමකර අසංග ආවේ කේන්තියෙන්.
“අද සුනිලා පැදුරකුත් එලාගෙන නිදි. නින්දෙන් කහිනවා. බීඩි ගඳකුත් ගැහුවා. දැන් ඔතනම මොකක්හරි වෙනවා. උදේට පැදුර කොහේ හරි හංගලා යයි. කඩ අයිතිකාරයෝ දැනගත්තොත් අපටත් හොඳ නෑ. අනිත් දවසේ ආවහම ඔයා කෙලින්ම කියන්න මෙතන නිදාගන්න එපා කියලා.”
“ඉතින් ඔයා කියන්න” නිලූකා කිව්වා
“ඔයාගෙනේ යාළුවා. ඔයාම කියන්න”
“ඔව් ඉතින් තමන් කරන්න අකමැති දේවල් මගේ පිට පටවන එක හැටියක්නේ” කියමින් නිලූකා ගෙට ගියේ අමනාපයෙන්.
“නෝනා… නෝනා…”
යනුවෙන් අමතනු ඇසෙන විට නිලූකා හිටියේ රූපවාහිනියේ විකාශය වන බණක් අහමින්. අසංග පන්සලට ගිහින්.
නිලූකා රුපියල් දෙසීයක්ම අරගෙන එළියට බැස්සා.
“සුනිල් එනකම්මයි හිටියේ.”
“ඇයි නෝනා”
“සුනිල් මොකද අපේ බිල්ඩිමේ පිලේ නිදාගන්නේ. මෙතන අම්බලමක් නෙවෙයිනේ. ව්‍යාපාර කරන තැනක්. ඒ මිනිස්සු කොහොමටවත් කැමති වෙන්නේ නැහැ හිඟන්නෝ බෝ වෙනවට. සුනිල් ඉන්නවා දැකලා තවත් අය එන්න පුළුවන්. අදම ඔය වැඩේ නවත්වන්න. නැත්නම් මහත්තයා පොලිසි යයි.”
“ඇත්ත නෝනා ඇත්ත. මම ආයෙ එතන නිදාගන්න එන්නේ නැහැ.”
සුනිල් කිව්වේ බිඳුණු හඬින්.
“ඔන්න මට ආයේ කියන්න තියන්න එපා” එහෙම කියන
ඉන් මද වෙලාවකට පසුව බෑග් එක එල්ලාගෙන ඇකිලූ පැදුරත් කිහිලි ගන්නාගෙන කොර ගසමින් පාර දිගේ හන්දිය පැත්තට යන සුනිල්ව නිලූකා දුටුවේ ගේට්ටුවේ කම්බි කූරු අතරින්. ඇයත් නොදැනීම ඇසට ඉනූ කඳුලක් නිලූකා පිටි අල්ලෙන් පිසදැමූවා.
ෂර්මිලා බංදුනී දංවත්ත