Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හමුදාවට උතුර අහිමි කිරීමේ ජිනීවා වුවමනාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හමුදාවට උතුර අහිමි කිරීමේ ජිනීවා වුවමනාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

හමුදාවට උතුර අහිමි කිරීමේ ජිනීවා වුවමනාව

July 6, 2025
174 Views

යාපනයේ සහ කිලිනොච්චියේ ස්ථානගතවීම අවම තත්ත්වයක

ජගත් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානි අපූරු රංගනයක

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය දුර්වලයි, කනගාටුදායකයි

උතුරේ සහ නැගෙනහිර 2009 වන විට හමුදාව යටතේ තිබූ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 91% නිදහස් කර අවසන්

විශ්‍රාමික හමුදා ප්‍රජාවේ ඉල්ලීම ඉවතට

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සාමුහික වගකීමක් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති දුෂ්ට ව්‍යාපෘතිය ව්‍යර්ථ කිරීමේ වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතුය. ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායක අනුර කුමාර ජනාධිපතිවරයාය. කැබිනට් මණ්ඩලයේ මෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ද එතුමාය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂිත වූ ආංශික අධීක්ෂණ කොමිටියක් පාර්ලිමේන්තුවේ නැත. නමුත් අදාළ විෂය (ජාතික ආරක්ෂාව) ඇතුළත් කළ ආංශික අධීක්ෂණ කොමිටියක් ජාතික ලැයිස්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ක්‍රියාත්මකය. ශ්‍රී ලංකාවට එරෙහිව නැඟෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරය දැක්වීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සාමුහිකව ක්‍රියාකළ යුතුය. බටහිර අවශ්‍යතාවය මත එක්සත් ජාතීන් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන්නේ උතුර සහ නැගෙනහිර ස්ථානගත යුද, නාවික සහ ගුවන් කඳවුරු ඉවත් කිරීමයි. ආරක්ෂක හමුදා බලය හීන කිරීමයි. රටේ අවාසනාවකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සාමුහිකව මෙම තත්ත්වයට අවධානය යොමු කර නැත. පාර්ලිමේන්තුවේ පුදුමාකාර හැසිරීම අවධාරණය කිරීමට එක සිද්ධියක් සඳහන් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාව ජිනීවා මර උගුලේ චේතාන්විතව පැටලවූ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කි මුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2023 පෙබරවාරි මාසයේදී මහත් හරසරින් පිළිගනීම ඛේදවාචකයකි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී මහත් කැපකිරීම් කළ ආරක්ෂක හමුදාවන්ට සහ දේශපාලන නායකත්වයට කළ අපහාසයකි.

බෙදුම්වාදී දමිළ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට තවමත් තහවුරු නොකළ යුද අපරාධ චෝදනාවලට නිසියාකාරව පිළිතුරු දිය නොහැකිය. පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක (ජුනි 23 සිට 26 දක්වා) යෙදුන ජගත් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානි වොල්කර් ටර්ක් ඉදිරියේ ශ්‍රී ලංකාව නැවතත් ශෝචනීය නැතහොත් අනුකම්පා උපදවන තත්ත්වයකට පත්විය. ශ්‍රී ලංකාවේ වගකීම සහ වගවීම පිළිබඳව බටහිරට සුපුරුදු ප්‍රකාශය කළ ඔස්ට්‍රේයානු ජාතික නීතිඥයා උතුරු නැගෙනහිර පළාත්වල රජයේ ආරක්ෂක හමුදා අත්පත් කරගෙන ඇති පෞද්ගලික සහ පොදු ඉඩම් වහාම නිදහස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල කඳවුරු ඉවත් කිරීමට එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට කරනු ලබන අතිශය ආන්දෝලණාත්මක බලකිරීම පිළිබඳව අවධානය යොමු කරමු.

මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළ මානව හිමිකම් ප්‍රධානි වූ දකුණු අප්‍රිකානු ජාතික නවී පිල්ලේ (2008-2014) සහ සෙඩ් රාද් අල් හුසේන් ද (2014-2018) පිළිවෙළින් 2013 අගෝස්තු සහ 2016 පෙබරවාරි පොදු සහ පෞද්ගලික ඉඩම්වලින් ආරක්ෂක හමුදාවට ඉවත් වීමට බල කළේය. ඊට පසුව එම තනතුරට පත්වූ හිටපු චිලී ජනාධිපතිවරියක වූ මිෂෙල් බැශලේ (2018-2022) ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා තමන් රැඳී සිටින පොදු සහ පෞද්ගලික ඉඩම්වලින් ඉවත් විය යුතු බව ප්‍රකාශ කළේය. නමුත් ඇයට ශ්‍රී ලංකාවට ඒමට වෙලාවක් තිබුණේ නැත. (එතුමිය තම තනතුර කෙලසුවේ කිසිදු විමර්ෂණයකින් තොරව යහපාලනය මන්නාරමේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් යුද හමුදාවට කළ චෝදනාව අතේ පත්තු වූ නිසාය. සුප්‍රසිද්ධ ඇමෙරිකානු විද්‍යාගාරයක කළ කාබන් පරීක්ෂණයකදී හෙළිදරව් වූයේ එම ඇටකටු වසර සිය ගණනකට එපිට කාලයකට අයත් බවයි) කෙසේ වෙතත් 2022 දී වැඩ භාර ගත් ඇයගේ අනුප්‍රාප්තිකයා නැවතත් කොළඹදී සුපුරුදු ඉල්ලීම කර ඇත.

දැන් මන්නාරමේ සමූහ මිනීවළ අමතකය. ඒ වෙනුවට යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ ඇත. මානව හිමිකම් ලොක්කාගේ ශ්‍රී ලංකාවේ කළ ප්‍රකාශ ඉඟි කරන්නේ දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා දෙමළ සිවිල් වැසියන් සමග යුද්ධ කළ බවයි. ඉන්දීය නිලධාරීන් සහ සෙබළුන් 1,300 කට වඩා වැඩි ප්‍රමාණයක් ඝාතනය කර 3,000 පමන පිරිසකට තුවාල සිදු කළේ දෙමළ සිවිල් වැසියන්ම විය යුතුය. ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව එවූ රජීව් ගාන්ධි ඝාතනයත් කිඹුල් කඳුළු හෙළන්නන්ට අමතකය. ජගත් මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවේදී හැසිරුණේ මේ රට වසර 30 තිස්සේ ඉන්දියාව 80 දශකයේදී ආරම්භ කළ ත්‍රස්තවාදය කළ විනාශය සම්පූර්ණයෙන්ම අමතක කරය. අවාසනාවකට ඔස්ට්‍රේලියානුවට අතීතය නිසියාකාරව මතක් කර දීමට එකෙකු මෙහිදී හමුවූ පුද්ගලයන් අතර සිටියේ නැත.

රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක සහ මේජර් ජෙනරාල් ජී. වී. රවිප්‍රිය ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් ජගත් මානව හිමිකම් ප්‍රධානියා හමුවීමට අවස්ථාවක් ලබා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එම කණ්ඩායමට විනාඩි 45 ක් ලබා දුන්නානම් මානව හිමිකම් ප්‍රධානියාට භූමියේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට තිබිණි. එසේ වූවානම් පොදු සහ පෞද්ගලික ඉඩම්වලින් ඉවත් විය යුතු බවට කළ අනුවණ ඉල්ලීම ඔහු කරන්නේ නැත.

ජගත් මානව හිමිකම් ප්‍රධානියාගේ සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) 2020 පෙබරවාරි මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ කළ ප්‍රකාශයකට ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය ශ්‍රී ලංකාවට අදාළ 2015 ඔක්තෝම්බර් 1 වන දින ජිනීවා හි දී සම්මත කළ යෝජනාවෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය එවකට විදේශ අමාත්‍ය ධුරය දැරූ මහජන එක්සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන විසින් කළේය. එය ජනතාව රැවටීමට ගනු ලැබූ ප්‍රයෝගකාරී පියවරක් විය. ජිනීවා ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.

ජගත් මානව හිමිකම් ප්‍රධානියාගේ බලකිරීම්වලට මාධ්‍ය සැලකිය යුතු ඉඩකඩක් ලබා දී තිබිණි. එහි කිසි වරදක් නැත. යාපනයේ සහ ත්‍රිකුණාමලයේ කළ සංචාරයේදී සහ කොළඹදී කළ ප්‍රකාශයට ආණ්ඩුව නිසි පිළිතුරු ලබා දුන්නාද ?

ඊළාම් යුද්ධය ජයග්‍රහණය කළ හැකි ශක්තිමත් තත්ත්වයක කොටි ත්‍රස්තවාදී සංවිධානය සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධානය, දෙමළ ඩයස්පෝරාව සහ බටහිර ආණ්ඩු විශ්වාස කරන තාක් ද්‍රවිඩ ජනතාව අවතැන් වීම ඉහත සඳහන් කිසිදු පාර්ශ්වයකට ගැටලුවක් වූයේ නැත. පාසල් යන දරුවන් පැහැරගෙන ගොස් ත්‍රස්තවාදී සංවිධානයට බඳවා ගැනීමද ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ නැත. දමිළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් එම කිඹුල් කඳුළු හෙළන කණ්ඩායම්වලට මතක් වූයේ කිසිදා හමුදා ක්‍රියාමාර්ගයකින් තම සංවිධානය පරාජය කළ නොහැකි බවට දැඩි විශ්වාසයකින් සිටි කොටි බලය විනාශ කර දැමීමත් සමගය.

ජගත් මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පසුව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ නීතිඥ ටර්ක් කළ අවධාරණය කිරීම් සම්බන්ධයෙන් අවම වශයෙන් පැහැදිලි කිරීමක්වත් තිබුණේ නැත. පෞද්ගලික සහ පොදු ඉඩම් වහාම නිදහස් කිරීම පිළිබඳ ප්‍රකාශයට අවධානය යොමු කරමු. යාපනයේ සහ කිලිනොච්චි ප්‍රදේශවල 2009 සහ 2025 ජුනි 30 වන දින වන විට යුද හමුදාව ස්ථානගතවීම අවධානයට ලක් කරමු. වසර 2009 දී යාපනයේ පොදු සහ පෞද්ගලික ඉඩම් අක්කර 24,600 පමණ යුද හමුදාව යටතේ විය. එම ඉඩම් ප්‍රමාණය අද වනවිට අක්කර 1,700 දක්වා අඩු වී ඇත.

කිලිනොච්චි බල ප්‍රදේශයේ තත්ත්වය ඊටත් වඩා හොඳය. ත්‍රස්තවාදය 2009 විනාශ කළ අවස්ථාවේදී හමුදාව යටතේ පැවැති ඉඩම් අක්කර 24,000 න් අද වනවිට රඳවා ගෙන ඇත්තේ අක්කර 600 කටත් වඩා අඩු ප්‍රමාණයකි.

වොල්තර් ටර්ක්

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සැබෑ තත්ත්වය ප්‍රසිද්ධියේ ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ආණ්ඩුව පැකිලෙන්නේ ඇයි? ආරක්ෂක හමුදා සතු උතුරු සහ නැගෙනහිර භූමියේ විස්තර අනුව 2009 දී ආරක්ෂක හමුදා රැඳී සිටි පොදු සහ පෞද්ගලික ඉඩම්වලින් 91% නැවත අදාළ පාර්ශ්වවලට භාර දී ඇත. මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සහ දේශීයව ජනතාව දැනුවත් කළ යුතු නොවේද?

යාපනයේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම ආරම්භ වූයේ 2010 වසරේදීය. ඊට අවශ්‍ය මැදිහත්වීම කළේ වෙන කිසිවකු නොව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් වූයේ ගෝඨාභය රාජපක්ෂය. ඊට පසුව ජනාධිපති ධුරය හෙබවූ මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යටතේද එම ක්‍රියාවලිය ඉදිරියට ගිය බව රහසක් නොවේ. පසුගිය සැප්තැම්බර් මාසයේ දී ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක ද ඉඩම් නිදහස් කර දුන් අතර යම් ප්‍රදේශවල දශක තුනකට වඩා වැඩි ප්‍රමාණයක් වසා තිබූ පාරවල් නැවත විවෘත කළේය.

නමුත් ද්‍රවිඩ දේශපාලන නායකත්වය මේ කිසිවක් නොදන්නා ලෙසට කටයුතු කරයි. ජගත් මානව හිමිකම් ප්‍රධානියා භූමියේ තත්ත්වය නොදැන සිටීමට කිසිදු හේතුවක් නැත. වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එන බව එක්සත් ජාතීන්ගේ කොළඹ සිටින නිත්‍ය නියෝජිත මාර්ක් අන්ද්‍ර ෆ්‍රෙන්ච් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුවත් කළේ මීට සති ගණනාවකට පෙරය. මානව හිමිකම් ප්‍රධානියා කොළොඹ පැමිණීමට පෙර ජිනීවා සංවිධානයේ දැඩි සැලකිල්ලට භාජනය වූ ප්‍රධානතම කරුණක් වූ ආරක්ෂක හමුදා පොදු සහ පෞද්ගලික ඉඩම්වල රැඳී සිටීම සම්බන්ධයෙන් නවතම තොරතුරු ඔහුට ලබා දීම එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ වගකීමයි. එසේ නොවුනා නම් ඒ පිළිබඳව නිව්යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සහ ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු නොවේද?

ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමස්ත මුස්ලිම් ප්‍රජාව උතුරු පළාතෙන් 1990 අග භාගයේදී පලවා හැරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කොටි සංවිධානය වෙනුවෙන් කඳුළු හෙළන කිසිවකු එදා විරුද්ධ වූයේ නැත. එදා බලයේ සිටි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ආරක්ෂක හමුදා ද අන්ත අසරණ විය. ඒ වනවිට වවුනියාවට උතුරෙන් නුවර – යාපනය ප්‍රධාන මාර්ගය ත්‍රස්තවාදීන් අතට පත්වී තිබූ අතර කොටි සංවිධානය ඉතාමත් ජයග්‍රාහී මනසකින් දෙවන ඊළාම් යුද්ධයට අවතීර්ණ වී තිබිණි.

වසර 2009 සිට සටන්, සටන් විරාම ගිවිසුම් නොයෙකුත් අවස්ථාවල ක්‍රියාත්මක වුවත් වැසියන් ලක්ෂ ගණනාවක් අවතැන් වූ අතර රටට සැබෑ සාමය උදා වූයේ ත්‍රස්තවාදය 2009 වසරේදී මුලිනුපුටා දැමීමත් සමග බව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට මතක් කර දිය යුතුව ඇත.

ජාත්‍යන්තරයේද සහය ඇතිව සෑම ආණ්ඩුවක්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට ගනු ලැබූ පියවර නැවත පදිංචි කිරීම්වලට ඉඩ සැලසීය. ත්‍රස්තවාදය වළපල්ලට යැවීමෙන් පසුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ දියුණු නොවූ බව ප්‍රකාශ කරන්නේ කුහකයින් පමණි. නැතහොත් පිටරටින් ලැබෙන ඩොලර් මත යැපෙන කණ්ඩායම් පමණි.

ජගත් මානව හිමිකම් ප්‍රධානියා සමග සාකච්ඡාවකදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාවට නායකත්වය දුන් එදා ලුතිනල් ජෙනරාල් ධුරය හෙබවූ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී උතුර සහ නැගෙනහිර සියලුම මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කළ බව මතක් කර දිය යුතුව තිබිණි. ෆොන්සේකා ජනාධිපතිවරණ ඡන්ද මිලියන 1.8 කින් පරාජය වුවත් එතුමාගේ උතුරු සහ නැගෙනහිර ජයග්‍රහණය සහ කලකට පෙර කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ද්‍රවිඩ ජාතික සන්ධානය ෆොන්සේකා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම අවධාරණය කරන සත්‍යය කුමක්ද?

අද ඩයස්පෝරාවට කර කියා ගත හැකි දෙයක් නැත. ඩයස්පෝරාව රැඳී පවතින්නේ බටහිර දේශපාලන පක්ෂ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඡන්ද දායකයන් දිනා ගැනීමට කරන උත්සාහය මතය. ජගත් මානව හිමිකම් ලොක්කාද බටහිර සහ ඩයස්පෝරා මෙහෙයුමේ ඉත්තෙකු බවට පත්වී ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව කොළඹට පැමිණි සෑම ජගත් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියකුම කොටි සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්විය. දෙපාර්ශ්වයටම කිසිදු ලැජ්ජාවක් නැත.

ඊළාම් ව්‍යාපෘතිය පරාජය කිරීමට හැකිවූයේ ආරක්ෂක හමුදා සහ පොලිසිය කළ කැපවීම් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ත්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජය කිරීමට එදා ජේ. ආර්. ජයවර්ධන රජය 1987 ක්‍රියාත්මක කළ මෙහෙයුම බලහත්කාරයෙන් නැවැත්වූ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ පියාවූ (මව කීවත් වරදක් නැත) ඉන්දියාව ජුලි 29, 1987 අත්සත් කළ ගිවිසුම හරහා ආරක්ෂක හමුදාව කඳවුරුවලට කොටු කළේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රදේශවලට කොටි ත්‍රස්තවාදීන් කළ ප්‍රහාර නැවත්වීමටවත් එම කඳවුරුවලින් එළියට ඒමට හමුදාවන්ට ඉන්දියාව ඉඩ දුන්නේ නැත. ජයවර්ධන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කළ මැදිහත්වීම ඉන්දියාව නොසලකා හැරියේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2002 පෙබරවාරි වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුමත් උතුරු සහ නෙගෙනහිර හමුදා ශක්තිය හීන කිරීමට කළ තවත් උත්සහයක් විය. ඊට බටහිර සහයෝගය ලැබිණි. තමන් සිටින ස්ථානවලින් ඉවත් වීමට ආරක්ෂක හමුදා සහ කොටි ත්‍රස්තවාදීන්ට එම ගිවිසුම අදාළ බව බැලූ බැල්මට පෙණුන නමුත් යටි පරමාර්ථය ආරක්ෂක හමුදාවන්ට උන් හිටි තැන අහිමි කිරීම බව පැහැදිලි විය. එදා වික්‍රමසිංහ ආණ්ඩුව අවම වශයෙන් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා නායකත්වයෙන් වත් විමසීමට කටයුතු කළේ නැත. එම අපූරු ගිවිසුම අනුව එය අත්සන් කළ දිනයේ සිට (2022 පෙබරවාරි 21) දින 30 ඇතුළත සියලුම ආගමික ස්ථානවලින් ඉවත් විය යුතුය. සියලුම පාසල් ගොඩනැඟිලි දින 160 තුළ නැවත අදාළ පාර්ශ්වයන්ට භාර දිය යුතුයි.

ඊට අමතරව යාපනයේ එවකට ක්‍රියාත්මක අධි ආරක්ෂක කලාප සියල්ල අහෝසි කිරීමට එජාප නායකත්වය ගනු ලැබූ උත්සාහය එදා යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා නොවූයේනම් සාර්ථක වන බවට කිසිදු සැකයක් නැත. ත්‍රස්තවාදීන් සතුව මෝටාර් සහ කාලතුවක්කු තිබෙන තුරු අධි ආරක්ෂක කලාප කිසිසේත් ඉවත් කළ නොහැකි බවට පසුව හමුදාපති වූ ෆොන්සේකා එදා ගනු ලැබූ අතිශය තීරණාත්මක තීන්දුව නොවන්නට හතර වන ඊළාම් යුද්ධයේ ප්‍රතිඵලය වෙනස් වනු ඇත.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ කිසිසේත්ම විදේශීය අවශ්‍යතා මත ගත නොහැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාතික අවශ්‍යතාවයකි. ඔස්ට්‍රේයානු ජාතික ජගත් මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව පවසන්නේ ඔහුගේ රට මෑතකදී එවැනිම නීතියක් ක්‍රියාත්මක කළ බව නොදැනද? නමුත් එම තත්ත්වය සම්බන්ධයෙන් අවම වශයෙන් සඳහනක්වත් කිරීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ කිසිවකුට නොහැකි විය. සුද්දා කියන දේ පමණක් අසා සිටීමේ තේරුමක් නැත. මහා බ්‍රිතානයේ සහ ප්‍රංශයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනකු මෙරටට පැමිණ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක ආරක්ෂක හමුදා මෙහෙයුම (හතරවන ඊළාම් යුද්දය) වහාම නවතා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කළ බලකිරීම එතුමා ඍජුව ප්‍රතික්ෂේප කළේය. එතුමා එම නිර්භීත තීරණය නොගන්නට අද වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ක්‍රියාත්මකය. මෙම තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි, තේරුම් ගත්තත් එය පිළිගැනීමට අකමැති දේශපාලන කුහකයන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත සිටිති.

අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් දොඩවන කණ්ඩායම්වලට වහාම කළ හැකි දෙයක් ඇත. මරණයට පත්වූ සහ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාවන් පිළිබඳව නිවැරදිව ආසන්න ලෙස තොරතුරු රැස්කිරීමයි.

(1) රජයේ හමුදා සහ පොලිසිය අතින් මරණයට පත්වූ ත්‍රස්තවාදීන්/සිවිල් වැසියන්

(2) රජයේ හමුදා සහ පොලිසිය අතුරුදන් කළ ත්‍රස්තවාදීන් /සිවිල් වැසියන්

(3) ඉන්දීය හමුදාව අතින් මරණයට පත්වූ ත්‍රස්තවාදීන්/සිවිල් වැසියන්

(4) ඉන්දියාව ස්ථාපිත කළ ත්‍රස්තවාදී කණ්ඩායම් අතර සිදුවූ සටන්වලදී මියගිය පුද්ගලයන්/අතුරුදන් වූ පුද්ගලයන්

(5) ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් මරණයට පත්කළ/අතුරුදන් කළ තමන්ගේ සාමාජිකයන්.

(6) ත්‍රස්තවාදී කණ්ඩායම් අතර ඉන්දියාවේදී සිදුවූ ගැටුම්වලදී මරණයට පත්වූ පුද්ගලයන්

(7) රජිව් ගාන්ධි ඝාතනයෙන් පසුව ඉන්දියානු ආරක්ෂක හමුදා/පොලිසිය විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකික ත්‍රස්තවාදීන්

(8) මාලදිවයින් ජනාධිපතිවරයා 1988 නොවැම්බර් මාසයේදී ඝාතනය කිරීමට කළ උත්සාහයට එරෙහිව මාලදිවයින් ආරක්ෂක අංශ සහ ඉන්දීය නාවික හමුදාව එල්ල කළ ප්‍රහාරවලදී මරණයට පත්වූ පුද්ගලයන්

(9) යුද්ධය පැවතුණ කාලයේදී සහ ඊට පසුව රටින් අනීතිකව පිටවී විදේශීය පුරවැසිභාවය ලබා ගනු ලැබූ පුද්ගලයන්

(10) ආර්ථික හේතු මත විදේශ පුරවැසිභාවය ලබා ගනු ලැබූ පුද්ගලයන්

(11) කොටින්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව අතින් මරණයට පත්වූ පුද්ගලයන්

(12) ඉන්දු – ලංකා මුහුදු හරහා අවි ආයුද ප්‍රවාහනයේදී මියගිය පුද්ගලයන්

මේ සියල්ල ශ්‍රී ලංකාව පිට පැටවිය නොහැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
විශේෂාංග

CIDය ශානිට

විශේෂාංග

ඉදිරි දැක්ම ධනාත්මකයි…ඒත් අවදානම ඉහළයි

විශේෂාංග

සක්කරයාගෙ පුතා වයිමා ආවත් තවමත් මට්ටු කරන්න බැරි බෙහෙත් මගඩි

විශේෂාංග

සජිත් ගොවි සටනට…හොඳ නෑ වගෙයි එන පොට!

විශේෂාංග

ආයෙත් රටින් හාල්?

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok