රෝහල්වල නැති ඖෂධ පිටතින් ගෙන්වා ගැනීම නීතියක් වෙන ලකුණු
- සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති – රවී කුමුදේශ්

පසුගිය කාලය පුරාවටම රටේ පැවැති ඖෂධ හිඟය ගැන අපි අනාවරණය කළෙමු. එහෙත් කනගාටුවට කරුණ වන්නේ තවමත් මෙරට රෝහල් පද්ධතිය තුළ දැඩි ඖෂධ හිඟයක් පැවතීමය. රජයේ රෝහල් පද්ධතියේ පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය නිසා රෝගීන්ට සිදුව ඇත්තේ බාහිර ඔසුසල්වලින් වැඩි මුදලක් වැයකොට ඖෂධ මිලදී ගන්නටය. එහි අයහපත් ප්‍රතිඵලය ඖෂධ මාෆියාව හිසඑසවීමය. පසුගිය දිනක හෙළිවූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය සිදුකළා යැයි කියන වෛද්‍ය උපකරණ වංචාවද එවැන්නකි. එකී සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනකු දැන් සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතව ය. අදාල වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමටද මේවනවිට පැමිණිලි 92ක් ලැබී ඇත. තවත් පැමිණිලි 200ක් ඉදිරියේදී ලැබීමටද නියමිතය.
පසුගිය කාලය තුළ මේ සියලු වංචාවන් සිදුවන්නේ රටේ පවතින ඖෂධ හිඟයත් සමඟමය. එහෙත් මෙරට ඖෂධ හිඟයක් නැතැයි ආණ්ඩුවේ වගකිවයුත්තන් පුනපුනා කීවද දිනපතාම පාහේ රටේ රෝහල් පද්ධතියෙන් ඇසෙන්නේ ඖෂධ නැති බවට රෝගීන්ගේ දුක් අඳෝනා ය. මේ කියන ඖෂධ ප්‍රශ්නය හිතනවාට වඩා බරපතළ වන්නේද මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් හා ශල්‍ය උපකරණ රැසක්ම මෙරට රෝහල් පද්ධතියේ නොමැති වීමය.
කොටින්ම කිවහොත් අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝගවලට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව වෛද්‍යවරු කියති. වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ ද ඒ අතර ය. මේ අයුරින් තවමත් නිසි පිළියම් නොමැතිව ඔඩුදුවා ඇති ඖෂධ අර්බුදය ගැන කියන්නේ ද අප නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම්ය. එහෙත් රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය දිනක කියා තිබුණේ රටේ ඖෂධ හිඟයක් නොමැති බවය. ඔහු එසේ කිව්වද රටේ පවතින ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුතාවයට පත්වෙද්දී මේ වනවිට ද වැඩි මිලට ඖෂධ විකිණීමේ ජාවාරම්ද ඕනෑ තරම්ය.
ඖෂධ වර්ග 180 ක් හිඟයි
මෙරට රෝහල් පද්ධතිය තුළ වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු ආදී රෝගවලට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් හිඟව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා මාධ්‍යට කියා තිබුණි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටින්නේ මේ වනවිට මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ හිඟයක් පවතින බවත්, රෝහල් පද්ධතිය තුළ ඖෂධ වර්ග 50-60 කට අධික ප්‍රමාණයක් හිඟව පවතින බවය. එපමණක් නොව පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් හිඟවීම නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවලද යම් සීමා මතුව ඇති බවත්, සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍ය හා ශල්‍ය උපකරණ ගණනාවක හිඟයක් පවතින බවද ඔහු කියන්නේය.
පිළිකා ඖෂධය හිඟ බව කියන GMOA
රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් හිඟයි…මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක හිඟයක්
– රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ

රටේ ඖෂධ ප්‍රශ්නය ගැන පාර්ශ්ව දෙකකින් ඇසෙන්නේ කතා දෙකකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මේ වනවිට රෝහල් තුළ ඖෂධ හිඟයක් පවතින බවය. එහෙත් ආණ්ඩුවේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා කියන්නේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව රෝගීන්ට ලබාගත හැකි බවය. එහෙත් රජයේ රෝහලකට ගිය විට නම් පවතින ඖෂධ හිඟය කෙබඳුදැයි යන්න අවබෝධ කරගත හැකිය. බොහෝ රෝගීන් ඖෂධ ගැනීමට පෞද්ගලික ෆාමසි කරා යන්නේද රජයේ රෝහල්වල අවශ්‍ය ඖෂධ නොමැති වීම නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ආකාරයට පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරීමට ලබාදෙන කීමෝතෙරපි නික්ෂේපනය සමග ලබාදියයුතු Filgrastim ඖෂධය රෝහල් පද්ධතියේ නොමැතිවීමද ඖෂධ හිඟයේ තවත් අයහපත් ප්‍රතිඵලයකි. වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන්නේ එම ඖෂධය නොමැතිවීමෙන් පිළිකා රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් පවා දැන් උද්ගත වී ඇති බවය. ඔවුන් පවසන ආකාරයට පිළිකා රෝගීන්ට කීමෝතෙරපි නික්ෂේපනය ලබාදීමෙන් පසුව සිරුරේ සුදු රුධිරාණු විනාශ වන බැවින් එය ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ප්‍රතිශක්තිකරණය යථාවත් කිරීමට Filgrastim ඖෂධය රෝගියාට ලබාදිය යුතුය. එසේ ලබාදීමට නොහැකි වුවහොත් කීමෝතෙරපි ලබාදුන් රෝගියාට විවිධ සංකූලතාවන් මතුවී මරණය පවා සිදුවිය හැකි අතර බවත්, මේ වනවිට ඇතැම් රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාර ලබාදිය යුතු දිනයන්ට එය ලබාදීමට නොහැකිවීමෙන් රෝගීන් දැඩි ලෙස අසරණ වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ඖෂධ හිඟයක් රටේ නැතිලු නියෝජ්‍ය ඇමැති කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එසේ කියද්දී නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි කියන්නේ රජයේ රෝහල්වල බහුලව නිර්දේශ කරනු ලබන ඖෂධයන්හි හිඟයක් නොමැති බවට තමන් ජනතාවට සහතික වන බවය. ඔහු එසේ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රෝහල් බලධාරීන් විසින් ඖෂධ හිඟයක් පවතින බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරක් හැටියටය. නියෝජ්‍ය ඇමැතිවරයා කියන්නේ අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි තත්ත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ලබාගත හැකි බවකි.
“අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවල්වලට දෙන ඖෂධ හිඟයක් නෑ. නමුත් ඖෂධ වර්ග කිහිපයක සැපයුමේ යම් යම් බිඳ වැටීම් අපි නිරීක්‍ෂණය කරලා තියෙනවා. ඒවාට අපි අවශ්‍ය ප්‍රතිකර්ම යොදල තියෙනවා. ඒක අද ඊයේ ඇතිවුණ දෙයක් නෙමෙයි අවුරුදු ගණනාවක් පැවතුණ තත්ත්වයක්. එහෙම තත්ත්වයක් වුණත් ඇති නොවෙන්න අපි දැන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. 2026 අවුරුද්ද වෙනකොට මේක සම්පූර්ණයෙන් වගේ මග හරවගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. යම් කිසි බෙහෙතක් නැත්නම් ඒ බෙහෙත ප්‍රාදේශීයව මිලදී ගැනීමේ ක්‍රියාවලියක් අපිට තියෙනවා. ඒ හරහා අපි ලබාදෙනවා. ඒ නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැතිවුණා කියලා රෝගීන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ. ඒ සඳහා වූ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවල බෙහෙත් තියෙනවා. මේ දිනවල පිළිකා ඖෂධයක් ගැන නිතර කතා වෙනවා. ඒ බෙහෙත පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදීලා ඊට පසුව දෙන බෙහෙතක්. ඒ ඖෂධය පසුගිය සතියක දෙකක වගේ සප්ලයි චේන් එකේ බිඳ වැටීමක් සිදුවුණා. අපි දැන් ඒක නිවැරදි කරගෙන යනවා. අපිට මාස 10කට ආසන්න තොගයක් ළඟදීම ලැබෙනවා.” නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කියන්නේ ය.
එහෙත් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ රෝගීන්ට අවශ්‍ය උපකරණ, වෛද්‍ය පරීක්‍ෂණ සහ ඖෂධ රෝහල් සඳහා විධිමත්ව සපයා නොමැති බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය මගින් සෞඛ්‍ය ඇමැතිවරයාට යොමු කළ ලිපිය මගින්ද සනාථ වන බවය. පසුගිය 25 වැනිදා මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටින්නේ රෝහල්වල ඖෂධ නොමැති නම් රෝගීන් ලවා පිටතින් ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතියක් වන ලකුණු ඇති බවය. එම සංගමය මගින් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යොමුකරන ලද ප්‍රශ්න පහකට පිළිතුරු ඉල්ලා ඇති බවද ඔහු කියයි.
ඒ අනුව රෝගියාට හෝ ඥාතියාට ඖෂධ වට්ටෝරුව ලබාදී පිටතින් ඖෂධ ගන්න කියන්න පුළුවන්ද?, එම දේවල් මිලදී ගන්න පුළුවන් ස්ථාන දැනුම් දෙන්න පුළුවන්ද? ඕ.පී.ඩී වලින් ආපු අයට වට්ටෝරු දිය හැකිද? නොමැතිනම් එයට සෞඛ්‍ය පරිපාලකගේ අනුමැතිය අනිවාර්යයද? රෝහල්වල නොමැති රසායන පරීක්‍ෂණ පිටතින් කරවන්න වට්ටෝරු දිය හැකිද හා ඖෂධ, උපකරණ, පරීක්‍ෂණ නොමැති බව රෝගියාට හෝ ඥාතීන්ට දන්වන්න පුළුවන්ද යන්න එම ප්‍රශ්න පහය. සභාපතිවරයා කියන්නේ එවැනි තත්ත්වයක් තිබියදී පවා රෝගීන් ලවා විවිධ ද්‍රව්‍ය බාහිර ආයතනවලින් මුදලට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවට නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබූ බවය.
ඖෂධ නැතිව වකුගඩු රෝගීන් පීඩාවෙන්

කොළඹ ජාතික රෝහල, මාලිගාවත්ත වකුගඩු රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ වකුගඩු ආශ්‍රිත වෛද්‍ය ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඖෂධ හිඟයක් ගැනද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් කියන්නේ වකුගඩු ආශ්‍රිත වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන රෝහල් තුළ රෝගීන්ට අවශ්‍ය කරන Albumin ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, AVF needle ආදියේ හිඟය නිසා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවය. ඒ අනුව ඇල්බියුමින් ඖෂධ කුප්පියක් වෙළෙඳපොළේ රුපියල් 1500ක් පමණ මුදලක් වන අතර වකුගඩු කාන්දුපෙරණය සිදුකරන රෝගියකු සඳහා අවම වශයෙන් එවැනි කුප්පි 15කට ආසන්න ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවත් දැනට එම ඖෂධය ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස සිදුකරන බැවින් රජයට විශාල අලාභයක් සිදුවන බවද වෛද්‍යවරයා කියයි.
තවද දැඩි සත්කාර සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝගීන්ට අවශ්‍ය කරන CVP line හිඟය දිවයින පුරා පවතින බැවින් වකුගඩු කාන්දුපෙරණයේදී අදාළ රෝගියා යන්ත්‍රයට සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන AVF needle නොමැති වීම නිසා ඒවා බොහෝ විට බාහිරින් වැඩි මුදලක් ගෙවා ගෙනඒමට රෝගීන්ට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම පිළිකා රෝගීන්ට ලබාදෙන 5FU කාණ්ඩයේ ඇතැම් ඖෂධවල ඇති විෂ සහිත බව දුරු කිරීමට ලබා දෙන හා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු ඇතිවන සංකූලතා මඟහැරීමට ලබාදෙන ෆොලනික් ඇසිඩ් ද මේ වනවිට රජයේ රෝහල්වල නොමැති බව වෛද්‍ය චමල් සංජීව කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවසන්වරට ගෙන්වා තිබූ ෆොලනික් ඇසිඩ් මාර්තු මාසයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ අතර ඊට පෙර එහි තොග අවසන් වී ඇති බවත් මේ දක්වාම එම ඖෂධය යළි ගෙන්වා නැති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
ඉන්සියුලියන් හිඟයක්
දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඉන්සියුලින් වර්ග තුනක් රජයේ රෝහල්වල හිඟව පවතින බව වෛද්‍යවරු කියති. එනම් සොලියුබල් ඉන්සියුලින් (වහා ක්‍රියාත්මක වෙන), ලෙන්ටේ ඉන්සියුලින් (හෙමින් ක්‍රියාත්මක වෙන), මික්ස්ටාර්ට් ඉන්සියුලින් (අතර මැද ක්‍රියාකාරීත්වය) යන ඉන්සියුලින් වර්ග තුනම මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ හිඟව පැවැතීමෙන් දියවැඩියා රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. තවද වකුගඩු රෝගීන් ඇතුළු රුධිර සෛල ජනනය වීමේ අඩුවක් ඇති රෝගීන් සඳහා ලබාදෙන එරිත්‍රොප්‍රොයටීන් නමැති එන්නත ද මේ වනවිට රෝහල්වල හිඟයක් පවතින බවද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙහෙළිය ගෙනාවේ බාල බෙහෙත් දෙකක් නොවේ
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී මෙරට ඖෂධ හිඟයක් ඇති බව පවසමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ එකසිය අසූ හතක් ගෙන ඒම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියයි. ඔහු සඳහන් කරන්නේ ඉමියුනොග්ලොබියුලින් සහ රිටූක්ෂිමැබ් යන ඖෂධ ඉන් දෙකක් පමණක් වන බවය. වෛද්‍යවරයා ඒ බව කියා සිටින්නේ මෙරටට බාල ඖෂධ ගෙන ඒම සඳහා වගකිවයුතු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධවද කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් සංවිධානය අල්ලස් කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවක අතරතුරදීය.
ඔහු කියන ආකාරයට ඖෂධ වර්ග එකසිය අසූ හතක් ගුණාත්මකභාවය පරීක්ෂා නොකොට මෙරටට ගෙන්වීම බරපතළ කාරණයකි. එබැවින් මෙම ප්‍රසම්පාදන යාන්ත්‍ර වලට සම්බන්ධ හිටපු රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපතිවරයාද භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, තාක්ෂණික කමිටුවේ සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඝණකාධිකාරීවරිය ඇතුළු නිලධාරීන් කෙරෙහි විමර්ශන දැඩි කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. එසේම රුධිර ගත පරීක්ෂණ සඳහා යැයි සඳහන් කරමින් රුධිරය අලෙවි කිරීම සඳහා රුධිර බැංකුවට සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් ලබා දී තිබූ නමුත් එවන් පරීක්ෂණයක් සඳහා නිසි විද්‍යාත්මක කමිටුවකින් අවසරයකින් තොරව අවස්ථාව ලබාදිය නොහැකි බව දැන දැන ඒ සඳහා කටයුතු කළ රුධිර බැංකුවේ සියලු නිලධාරීන්ටද අල්ලස් කොමිසම දූෂණය යන වරද යටතේ විමර්ශන පැවතිය යුතු බවද වෛද්‍ය චමල් සංජීව කියයි.
කෘතීම දණ හිස් ඇට ජාවාරමක්
කෘතිම දණහිස් ඇටයකුත් ලක්ෂ තුනහමාරයි
- රෝහල්වල සිදුවන අස්ථි ශල්‍යකර්ම ජාවාරමක් ගැන වෛද්‍ය චමල් හෙළිකරයි

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය උපකරණ බාහිරින් ගෙන්වා විකිණීමේ ජාවාරම පුදුමයට කරුණක් නොවන බවය. වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විටද රජයේ රෝහල් රැසකම හිඟව පවතින අස්ථි ශල්‍ය කර්ම සඳහා කෘත්‍රීම දණහිස බද්ධ කිරීමට අවශ්‍ය කරන දණ හිස් ඇට (Artificial knee Transplant) උපකරණ ආදිය පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙසට රෝගීන්ට දැනුම්දෙන බවය. ඔහු කියන්නේ එය දැන් සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බවය.
ඒ අනුව රෝගියා විසින් අදාළ ඖෂධ සමාගමට රුපියල් ලක්ෂ තුනහමාරකට අධික මුදලක් ගෙවීම සිදු කළ යුතු අතර අනතුරුව සමාගමේ නියෝජිතයන් විසින් අවශ්‍ය කරන උපකරණය ශල්‍යාගාරයට භාරදීම සිදුකරන බව ඔහු කියයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීම හා මෙම ක්‍රියාව අතරද වැඩි වෙනසක් නොමැති බවය.
මෙරට දුප්පත් අසරණ රෝගීන්ට මේ අන්දමින් ඉතා විශාල මුදලක් ගෙවා අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීමේ හැකියාවක් නැත. එහෙත් වෛද්‍යවරයා කියන්නේ දැනට මාස කිහිපයක සිටම වෛද්‍ය සැපයුම් ඒකකය මගින් අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණ සැපයීමට කටයුතු නොකිරීම මෙම ජාවාරම් වලට උල්පන්දම් දෙන බවය.
හෘද ශල්‍යකර්ම, වකුගඩු ශල්‍ය කර්ම, අවයව බද්ධය, දැඩිසත්කාර ඒකක වෛද්‍ය ප්‍රතිකාර, රුධිර කාන්දු පෙරණය, අක්ෂි රෝග, ස්නායු ශල්‍ය රෝග, ආදී සැත්කම් රැසක් සඳහා අවශ්‍ය කරන ශල්‍ය උපකරණය හිගය ජනතාව ගෙනදෙන්නේ දැඩි පීඩාවකි. මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස කඩා වැටී වසර තුනකට ආසන්න කාලයකි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව යන ආයතනවල පවතින දැඩි අකාර්යක්ෂමතාව සහ නිලධාරීවාදය නිසා රට තුළ බරපතළ සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී හමාරය. වත්මන් ආණ්ඩුවද බෙහෙත් හිඟයක් රටේ නැතැයි කිව්වද රජයේ රෝහල් පද්ධතියේ ඖෂධ නැති බව දන්නේ එහි යන රෝගී ජනතාවය. ඔවුන්ට සිදුවන්නේ වැඩි මිලට හෝ ඖෂධ හා උපකරණ මිලදීගෙන ජීවිතය රැකගැනීමටය. එහෙත් පුදුමයට කරුණ වන්නේ ආණ්ඩුවේ රෝහල් තුළ පවතින ඖෂධ හිඟයේ පිහිටෙන් තවමත් වැඩි මිලට බෙහෙත් විකුණන ජාවාරමුන් සුපුරුදු පරිදි ජාවාරම කරගෙන යෑමය. කෙසේ වුවද නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති රටක දැන් ජනතාවට ඉතිරිව ඇත්තේ නොමිලයේ නිකුත් කරන බෙහෙත් තුණ්ඩුව පමණය.
රමින්ද මාවතගේ