ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP ශානි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් ඔහු එම ධුරයට පත් කරනු ලැබීය. ඒ ජුනි 30 වැනිදාය. එනම් අබේසේකර මහතාගේ උපන්දිනය දා ය. ශානි අබේසේකර යනු කවුද? මේ ලිපිය ශානි ගැනයි.
1961 ජුනි 30 වැනිදා උපත ලද ශානි අබේසේකර මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. උසස් පෙළ සම්පූර්ණ කිරීමෙන් පසු 1985 දී උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගන්නා විභාගයට අයැදුම් කර ඉන් සමත්වූ ඔහු 1986 පෙබරවාරි 10 වැනිදා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්විය. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබීමෙන් පසු 1985 මැයි 30 වැනිදා මුල්ම පත්වීම ලැබුණේ කොළඹ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසය. ඔහු එහි සේවය කළේ වසරකට ආසන්න කාලයක් පමණි. 1986 ජූලි පළමු වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්ත වූ අබේසේකර එතැන් සිට 1986 දෙසැම්බර් 05 වැනිදා තෙක් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී හමුදා බලඇණි පුහුණුව ලැබීය. 1986 දෙසැම්බර් 09 වැනිදා මඩකලපුව කිරාන්හි විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත වූ ඔහු එතැන් සිට යලබෝව, කිරාන්, මාරාකොටන්චේන, සංගමංකන්ද, සාස්ට්‍රාවෙල ආදී ප්‍රදේශවලට ස්ථාන මාරු ලැබීය.
1991 ජනවාරි මස පළමු වැනිදා ඔහු විශේෂ කාර්ය බළකායේ සිටියදීම පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලැබීය. 1992 ජනවාරි 27 වැනිදා ශානි අබේසේකර පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂක කොට්ඨාසයට අනියුක්ත කෙරිණි. 1992 අප්‍රේල් 11 වැනිදා සිට 1994 ඔක්තෝබර 06 වැනිදා තෙක් ශානි අබේසේකර ජනාධිපති සහ කැබිනට් ඇමැතිවරුන්ගේ සමීපතම ආරක්ෂක වළල්ලේ සාමාජිකයකු ලෙස පත් කෙරිණි. මේ කාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ උසස්වීම් සඳහා සම්මූඛ පරීක්ෂණ පැවැත්වූ අතර ඊට සහභාගි වූ අබේසේකරට උසස්වීම් නොලැබිණි. ඔහුට වඩා කණිෂ්ට නිලධාරීන්ට ද උසස්වීම් ලැබුණ ද ඔහුට උසස්වීම් ලැබුණේ නැත. ඒ වන විට ඔහු ප්‍රභල ඇමැතිවරයෙක් වූ සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වූ සිරිසේන කුරේගේ ළඟම ආරක්ෂක වළල්ලේ සේවය කළ අතර ඔහුගේ ප්‍රධාන ආරකෂක නිලධාරියා ද විය. එහෙත් ඔහු මෙම උසස්වීම් ගැන අමාත්‍යවරයාට දැනුම් දී තිබුණේ නැත. උසස්වීම් ලැයිස්තුවේ ශානිගේ නම නැති බව දැනගත් සිරිසේන කුරේ ඔහු කැඳවීය. “ඇයි මට ඉන්ටර්විව් එකක් තියනවා කියලා කිව්වේ නැත්තේ? මගේ ළඟ ඉන්න මිනිහට ප්‍රොමෝෂන් නෑ කියලා අනිත් අය දැනගත්තම මට තියන තත්ත්වෙ මොකක්ද?” සිරිසේන කුරේ දොස් නැඟුවද ශානි උසස්වීම් ලබා ගැනීම සඳහා දේශපාලකයන් පස්සේ ගියේ නැත.
1994 ඔක්තෝබර 06 වැනිදා ඔහු නැගෙනහිර පළාතේ පෝරතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස පත් කෙරිණි.
සාමාන්‍ය පොලිස් සේවයට යළි අනියුක්ත විය යුතු බවට අබේසේකර කළ ඉල්ලීමක් අනුව 1995 ජනවාරි 20 වැනිදා ඔහු සාමාන්‍ය පොලිස් සේවයට යළි මුදාහැර නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ දෙවැනියා ලෙස පත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංකීර්ණ විමර්ශන ගණනාවක සිට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස විශ්‍රාම ගිය ප්‍රේමතිලක මහතා අබේසේකර මහතාට හමුවන්නේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේදී ය.
යළි පොලිසියට
1996 ජනවාරි පළමු වැනිදා ශානි අබේසේකර ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස පත්කරනු ලැබීය. ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී අපරාධ විමර්නයේදී දැක්වූ දක්ෂතාවය නිසාම උසස් පොලිස් නිලධාරීහු ඔහුගේ දක්ෂතාවය හඳුනාගත්හ. 1998 ජුනි 08 වැනිදා කොළඹ මාළු වෙළෙඳ සංකීර්ණය අසලදී සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර ඝාතනය කිරීම වාර්තා වූයේ මේ අතරතුරදීය. සිද්ධිය වූයේ කොළඹ දී වුවද අදාළ පොලිසියට මෙම විමර්ශනයේ සැකකරුවන් හඳුනා ගැනීමට හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබිණි. විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්න ද අදාළ විමර්ශන හරිහැටි සිදු කිරීමට ඔවුනට හැකියාවක් නොලැබිණි. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හානි අබේසේකර මෙම අපරාධය විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාවකාලිකව බඳවා ගැනීමට එවකට එය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පුණ්‍යා ද සිල්වා කටයුතු කළේය. එය දීර්ඝ හා සංකීර්ණ විමර්ශනයක් විය. සහකාර පොලිස් අධිකාරීවරයා ඝාතනය කළේ ක්‍රිස්ටෝපර් බැරී නම් එවකට අපරාධ කිහිපයකට සැක කළ සහ ශානි අබේසේකරගේම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට පත්වී ඇප ලබා සිටි පුද්ගලයා බව අබේසේකර හඳුනාගත් අතර විමර්ශනය අවසන් වූයේ 1998 සැප්තැම්බර් 08 වැනිදා බැරී සැඟවී සිටි නිවස වටලද්දී ඇතිවූ බව කියන වෙඩි හුවමාරුවකින් සැකකරු ඝාතනය වීමෙන් පසුවය.
තාවකාලිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කර සිටි අබේසේකර අදාළ විමර්ශනය අවසන් කිරීමෙන් පසු නැවත ග්‍රෑන්ඩ්පාස් පොලිසියට නිදහස් කෙරුණ ද, කොළඹ දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට නැවත ග්‍රෑන්ඩ්පාස් පොලිසියට යෑමට ඉඩ දුන්නේ නැත. කොළඹ දිසාවේ නොවිසඳුණු අපරාධ විමර්ශනය කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවා එහි ස්ථානාධිපති ලෙස අබේසේකර පත් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළේය.
පොලිසියෙන් රහස් පොලිසියට

කෙසේ වෙතත් ඔහුට එහි කටයුතු කිරීමට ලැබුණේ කෙටි කාලයක් පමණි. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථිර වශයෙන්ම බඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පුණ්‍යා ද සිල්වා තීරණය කර තිබිණි. ඒ අනුව 1999 ජනවාරි මස 10 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථිරවම සම්බන්ධ විය. ඔහුට මුලින්ම ලැබුණු විමර්ශනය වූයේ හිටපු නාගරික මන්ත්‍රී ඉමිටියාස් 1998 දෙසැම්බර් 09 වැනිදා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශනයයි. විමර්ශන ආරම්භ කළ දින තුනක් යන්නටත් පෙර එහි ප්‍රධාන සැකකරු හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට ඔහුගේ මෙහෙයවීමෙන් කටයුතු කළ රහස් පොලිස් කණ්ඩායමට හැකි විය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වූයේ එවකට ප්‍රභලතම පාතාල කල්ලි නායකයකු ලෙස පොලිසිය සහ ජනමාධ්‍ය හැඳින්වූ කොස්වත්තගේ නිහාල් ඩොනල්ඩ් වික්‍රමසිංහය. කවුරුත් ඔහු හඳුනාගන්නේ නාවල නිහාල් ලෙසය.
එතැන් සිට ඔහු ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන සිදු කළේය. 2007 වසරේ දී ඔහු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම් ලැබූ අතර ඒ අනුව ක්ෂේත්‍ර රාජකාරි සඳහා පිටවී යෑමට ඔහුට සිදුවිය. ඔහු යාපනය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට ගියේය. නැවත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ 2009 අප්‍රේල් මාසයේදීය. 2010 වසරේ දී මාස තුනක කාලයක් සඳහා ඔහු හෝමාගම සහකාර පොලිස් අධිකාරී ලෙස රාජකාරි කළ අතර එම රාජකාරිය අවසානයේ යළි රහස් පොලිසියට පත් කෙරිණි. එතැන් සිට 2019 නොවැම්බර් 20 වැනිදා ඔහු ඉවත් කරන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඒ අතරතුර ඔහු පොලිස් අධිකාරී ධුරයටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයටත් උසස්වූ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2017 දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයට පත් කරනු ලැබීය.
2019 නොවැම්බර් මස 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ අතර ඔහු තම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමටත් ප්‍රථමයෙන් සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරය හොබවමින් සිටි ශානි අබේසේකර එයින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමය. ශ්‍රී ලංකා පොලිසියේ එවකට සිටි ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊළඟ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරනවා වෙනුවට කළේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුද්ගලික සහකාරවරයකු ලෙස පත්කිරීමය.
චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් බවට පත්වූ හතර දෙනාම ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ශානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කළ සමස්ත කාලය තුළ විවිධ අවස්ථාවල විමර්ශන පවත්වා තිබේ.
විමර්ශන රැසක්
ලංකාවේ ආන්දෝලනාත්මක අපරාධ වන අඟුලාන ද්විත්ව මිනීමැරුම, කෝටි දෙකේ කප්පම, දෙල්කඳ සය පුද්ගල ඝාතනය, කොළඹ නාගරික මන්ත්‍රී ඉමිතියාස් ඝාතනය, උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි ඝාතනය, ටවුන්හෝල් බෝම්බය, පිත්තල හංදියේ බෝම්බය, 1999 රේගු බදු වංචාව, 2001 කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරය, උඩතලවින්න දස පුද්ගල ඝාතනය, කැලණිතිස්ස
බලාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමේ තැත, හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන තැත, දොම්පේ පොලිස් අත්අඩංගුවේදී තරුණයකු ඝාතනය කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ් ශියාම් ඝාතනය ඇතුළු විමර්ශන ගණනාවක් එක්කෝ ශානි අබේසේකර විසින් සිදු කර තිබේ. නැත්නම් ශානි අබේසේකර එම විමර්ශන අධීක්ෂණය කර තිබේ.
එසේම මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කප්පම් ගැනීම සඳහා තරුණයන් 11 දෙනකු පැහැරගෙන යෑම, රතුපස්වල වෙඩි තැබීම, වෛද්‍ය සාෆි ශිහබ්දීන් ගැන විමර්ශනය ඇතුළු සංවේදී විමර්ශන රැසක් අධීක්ෂණය කිරීම හේතුවෙන් ඔහු ඇතැම් දේශපාලනඥයන්ගේ වෛරයට ද පාත්‍ර විය.
2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ ශානි අබේසේකර මහතා තමන් යටතේ විමර්ශන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග 50කට අධික ප්‍රමාණයක් ලබා දෙමින් පරීක්ෂණ නිසි ආකාරයට කිරීමට උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් කෙටි කාලයක් ඇතුළත මෙම සිද්ධියට අදාළ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්වූහ. ශානි අබේසේකර 2019 නොවැම්බර් මාසයේදී රහස් පොලිසියෙන් ඉවත් කෙරුණේ මෙම ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් ගැන විමර්ශනය කරමින් සිටියදීය. අබේසේකරලාගේ විමර්ශන අනුව අත්අඩංගුවට ගත් පාස්කු සැකකරුවන් වටඋත්තරකරුවන් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණවල නඩු 40කට ආසන්න ප්‍රමාණයක් පවරා තිබේ.
රහස් පොලිසියෙන් ඉවත් කර ගාල්ලට යැවීමෙන් පසුව 2020 ජනවාරි මාසයේ දී කිසිම හේතු දැක්වීමකින් තොරව ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහුගේ වැඩ තහනම් කළේය. ඇතැම් ජනමාධ්‍ය විසින් අබේසේකර මහතා ගැන වැරදි චිත්‍රයක් ජනගත කිරීම උදෙසා රංජන් රාමනායක සමග කළ කතාබහක හඬ පට යැයි කියමින් සංස්කරණය කළ හඬපට ප්‍රචාරය කළේය. 2020 ජූලි 30 වැනිදා දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ පැවැති කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහ මැතිවරණයට දින 5ක් තිබියදීය. එතැන් සිට මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැඩි විරෝධය දැක්වීය. එම කාලය තුළදී ඔහුට කොරෝනා රෝගය වැළඳුණු අතර හෘදයාබාධයකට ද ලක්විය. ඒ සඳහා ඔහුට නිසි ප්‍රතිකාරයක් ලබා නොදී සිටියදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීම මත ඔහුට නිසි ප්‍රතිකාරයක් ලැබීමට අවස්ථාව හිමිවිය. බොහෝ දෙනකු සැක කළේ අබේසේකර මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් ලෙස මෙලෙස සිදු වූ බවයි.
බොරු නඩුවක්

ශානි අබේසේකරගේ ඇප අයැදුම් කැඳවන අවස්ථාව වන විට ඔහුට කොරෝනා රෝගය වැළඳී තිබිණි. ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් එම නියෝගවලට එරෙහිව අබේසේකරගේ බිරිඳ කමනි ශ්‍රියන්ති මහත්මිය අභියාචනාධිකරණයේ කළ ඇප අයැදුමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසියම් හේතුවක් නිසා පසුව ඇතිවූ සිතිවිල්ලක් මත ගෙතූ කතාවකට බවයි. අභියාචනාධිකරණයේ නියෝග අනුව ඔහුට ඇප ලැබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ දේශපාලන පිළිගැනීම් කොමිසමේ සභාපති උපාලි අබේරත්න ද ශානි අබේසේකර අපහසුතාවට පත්කිරීම සඳහා එම කොමිසමේ දී අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරීය. අවසානයේ ශානිට එරෙහිව බරපතළ නිර්දේශ
ගණනාවක් ඔහු ලබා දුන්නේය. අභියාචනාධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ද පසුව එම නිර්දේශ බල රහිත කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම නිර්දේශ මගින් ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවයි.
2019 නොවැම්බර් සිට 2023 දෙසැම්බර් දක්වා ශානි අබේසේකරට එරෙහිව විමර්ශන 20කට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදු කර තිබුණ ද, ඔහුට විරුද්ධව කිසිම සාක්කියක් සොයා ගැනීමට ඔවුනට නොහැකි විය. නිරපරාදේ තමා සිරකළ සහ තමාට අපහාස කළ පිරිසට එරෙහිව ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් නඩු සහ වන්දි නඩු පවරා තිබේ.
වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගත් මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතන සිද්ධියට නියෝජ්‍ය පොලිස්පති වාස් ඇතුළු පිරිසට මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ස්ථිර කළේය. එසේම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකරලාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මහාධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් මරණ දඬුවම ද ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ස්ථිර කළේය. දේශපාලන සබඳතා ඇති ප්‍රභලයන්ට මෙලෙස නීතිය ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ ආධාරකරුවෝ සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන ව්‍යාපාර ශානි සමග වෛරයෙන් පසුවෙමින් ඔහු ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය අයුරු පසුගිය කාලයේ දක්නට ලැබිණි.
කෙසේ වෙතත් ශානි අබේසේකර විශ්‍රාම ගොස් සිටිය දී රනිල් වික්‍රමසිංහගේ, සජිත් ප්‍රේමදාසගේ සහ අනුර කුමාර දිසනායකගේ පාර්ශ්වවලින් ඔහුට දේශපාලනයට ආරාධනා ලැබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පොලිස් සාමූහිකය නිර්මාණය වීමෙන් පසු දහස් ගණනක් විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඊට එක්වෙද්දී ශානි අබේසේකර ද ඊට එකතු විය. ඒ සම්බන්ධයෙන් 2024 ජුනි මාසයේ දී ශානි අබේසේකරගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“අවුරුදු ගණනක් අපි රට වෙනුවෙන් වැඩ කළේ. අපි මහන්සි වෙලා කරපු විමර්ශන සමහර ඒවා ඉවර කරන්න අපට ඉඩ දුන්නේ නෑ. ප්‍රධාන පක්ෂ දෙකම රට කරන විදිහ අපි දැකලා තියනවා. මේ රටේ වෙච්ච අපරාධවලට යුක්තිය ඉෂ්ට වෙනවා බලන්න, වංචා දූෂණවලට නීතිය ක්‍රියාත්මක වෙනවා බලන්න අපි කැමතියි. අපිට ඕනා ඒක බලලා මැරෙන්න. දැනට පේන්න තියෙන්නේ ඒකට ජාතික ජනබලවේගය විතරයි. මේ අපරාධවලට යුක්තිය ඉෂ්ටවෙනවා බලන්න අපේ තියන කැමැත්ත වැරදිද? ඒක අපරාධයක්ද?”
පුරුදු තැනටම යළිත්
අබේසේකර මහතා ජාතික ජනබලවේගයේ පොලිස් සාමූහිකයේ රැස්වීම් කිහිපයකට ගිය ද, ඔහු එහි දේශපාලන වේදිකාවේ කථිකයෙක් නොවීය. ඔහු සක්‍රීය දේශපාලනය නොකළේය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ අතර, ඊට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය. ශානි නැවත පොලිසියට ආවේ ඒ අනුවය. එම ක්‍රමවේදය නීත්‍යනුකූල ක්‍රමවේදයක් වන අතර මීට පෙර එම ක්‍රමවේදයට පොලිසියට එක්වූ විශ්‍රාමික නිලධාරීහු සිටිති. කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගත් ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පත් කෙරුණු අතර පසුගිය සතියේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරිණි.
ශානි යළි පුටුවට එද්දී ඇතැම් අය විරෝධය පල කරන්නට පිළිවෙන. වංචාවට දූෂණයට විරුද්ධ සහ මේ රටේ සිදුවූ අපරාධවලට අදාළව යුක්තිය අපේක්ෂා කරන පිරිස් නම් ශානිගේ පත්වීම ගැන අතිෂයින්ම සතුටු වෙති. දැන් අබේසේකරට තම වගකීම ඉටු කළ හැකිය.
තරිඳු ජයවර්ධන