ආණ්ඩුවේ දූෂණ හා අල්ලස් විරෝධී ක්‍රියාන්විතය සාර්ථකව ඉදිරියට යෑම පිළිබඳව මෙරටේ පොදු ජනතාව මෙන්ම සිවිල් ක්‍රියාකාරීහු ද ප්‍රසාදයට පත්ව සිටිති. සතියේ හැම දවසක්ම ජනතාවට රැගෙන එන්නේ දේශපාලන නිල බලයොදා ගනිමින් දූෂිත මෙහෙයුම් සිදු කර ඇතැයි චෝදනා එල්ලව චෞරයන් පිළිබඳ පුවත්ය. හිටපු ජනාධිපති මහින්දගේ පුත් යෝෂිතටත් ඔහුගේ නැන්දණියටත් නීතිපතිවරයා විසින් පවරන ලද නඩුවකට අදාළ අධිචෝදනා පත්‍ර භාර දී තිබුණි. තවත් හිටපු ප්‍රබල ඇමැතිවරයකු විසින් අයථා ලෙස කෝටි 12ක පමණ වාහන ලියාපදිංචි කරන ලද බව සඳහන් පුවතක් ද මාධ්‍යවල පළවී තිබුණි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලද බැව් කියවෙන හිටපු ඇමැති අසනීප නිසා නොපැමිණෙන බව දැනුම් දුන් වගක් ද මාධ්‍යවල දැක්විණි. ආණ්ඩුව මේ දූෂණ විරෝධී ක්‍රියාන්විතයට ලබාදෙන ප්‍රමුඛතාවට විපක්ෂය දක්වන ඇල්මැරුණු ප්‍රතිචාර අපට තේරුම් ගතහැකිය. ඇත්ත වසයෙන්ම පසුගිය පාලන කාලවලදී සිදුවී තිබෙන විවිධ දූෂණ, අක්‍රමිකතා, වංචා ආදිය මුළු සමාජ දේහයම වසා ගත් පිළිකාවක් සේ පැතිර ගොස් තිබෙන්නකි.
ඉහත දැක්වූ පරිදිම කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාරදෙන අතර තව තවත් මෙහෙයුම් ගැන ද වාර්තා වේ. උත්ප්‍රාසය දනවන කරුණක් වන්නේ කෙහෙළියට එරෙහිව සිදු කෙරෙන අධිකරණ ක්‍රියාවලියට සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති රනිල්ට මෙන්ම හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල හා විජයදාස රාජපක්ෂ, රොෂාන් රණසිංහ යන නම් ද සඳහන් වී තිබීමය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දූෂණය නමැති වරදට අත්අඩංගුවට පත්ව සිටියදී 2010 සිට 2025 දක්වා කාලය තුළ සිදුවී ඇතැයි කියවෙන අනීතික ක්‍රියා පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින්ම කමිටුවක් ද පත්කර ඇත. මේ වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳගේ සහෝදරයකු බව කවුරුත් දනිති. රුපියල් මිලියන ගණනින් විනාශ කිරීමටත්, යටිමඬි ගැසීමටත් මේ අයට හැකි වී ඇත්තේ දේශපාලන සබඳතා නිසා බව ද රහසක් නොවේ.

මේවා ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ලැබීමට හේතු වන බැරෑරුම් කරුණුය. එසේ වුවද ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් අතර මේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් ඇත්තේ විවේචනය හා සමග මුසු වූ කුතුහලයකි. පසුගිය දිනවල විපක්ෂය දිගින් දිගටම ප්‍රශ්න කළ කොළඹ වරායෙන් පිටකරන ලද බහලුම් 325ක් සම්බන්ධ පුවත ගැන සජබ මන්ත්‍රී මුජිබර් රහමන් පාර්ලිමේන්තුවේදීත් දැඩිව විවේචනය කළේය. ඔහු අත තිබුණේ ද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු බව ද පෙනුණි. ඒ වාර්තාව එළිදැක්වීමට පෙර ඔහු අතට පත්වූවක් බව පැහැදිලි විය. එය වෙනම කතාවකි. එහෙත් මේ බහලුම් පිට වූ ආකාරය පිළිබඳව සමාජය තුළ තිබෙන විවේචන යහපත් නැත. ඇමැති සුනිල් හඳුන්නෙත්ති මෙන්ම කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. ඔවුන් පැවසුවේ ද එයට අදාළ නිලධාරීන් අතින් වරදක් සිදුවී තිබේ නම් නීතිය ක්‍රියාත්මක වන බවය. විපක්ෂවල විවේචනයට මෙන්ම ජනතාවගේ ද සැකයට තුඩු දී තිබෙන ඒ සිද්ධිය ජනතාවට අනාවරණය කිරීම ඒ විවේචකයන්ට දියහැකි හොඳම පිළිතුර වේ. මේ රටේ බොහෝ දේශපාලන චරිත මෙන්ම රාජ්‍ය නිලධාරීහු ද විශ්වාසය බිඳගත්තෝ වෙති. ඒ ආයතන හෝ ප්‍රධානීන් ගැන ජනතාව ද ඉඳුරා දනිති.
මේ දිනවල ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචන එල්ල වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙනි. විදුලි බිල වැඩි කිරීමට සාධාරණ හේතු තිබෙන බව පිළිගන්නා ජනතාව වුව ද ඉන්ධන මිල ඉහළ දැමීම ගැන නොසතුටට පත්ව සිටිති. ඊශ්‍රායල – ඉරාන යුද්ධය නිසා මැදපෙරදිග කලාපයේ තෙල් මිලට බලපෑමක් සිදුවූයේ නැත. මේ සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයාගෙන් ප්‍රකාශ වූයේ ද තවත් මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනකුම මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා වට කීපයක් ද පවත්වා තිබුණි. ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තුවල වැඩි කිරීමක් නොවුව ද, බස් ගාස්තු සංශෝධන කතාව යට
ගොස් තිබේ. බස් ගාස්තු මිල ද ඉන්ධන මිල සූත්‍රය සමග ගැට ගැසී තිබෙන්නකි. කොහොමටත් වේලාසනින් ප්‍රකාශයට පත් කර තිබුණු සියයට 2.5ක ප්‍රතිශතයවත් දැන් ලබාගැනීමට මගී ජනතාවට නොහැකිය. ඇතැම් වාර්තාවක සඳහන් වූයේ සියයට දශම 55ක අඩු වීමක් සිදුවන බවය. මේවා විහිලු කතන්දරය. තවමත් මගියාට ඉතුරු රුපියල් දෙක හෝ තුන නොදෙන බස් සේවය බොහෝවිට වලංගු බස් ටිකට් පතක් පවා ලබානොදෙයි.
මෙරටේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට ඇමැති බිමල් රත්නායක උද්යෝගයෙන් කටයුතු කරනු පෙනේ. බස් රියැදුරන් සඳහා ආසන පටි නීතිය පැනවීම නිරීක්ෂණය සඳහා ද ඔහු ගියේය. අපේ ජනතාවට තිබෙන්නේ බස් නොව ලදරම් බව ප්‍රත්‍යක්ෂව දැක ගැනීමට ඒ ගමන් හේතු වන්නට ද ඇත. බොහෝ රියැදුරන් පෙන්වා දුන්නේ මේ රටේ ධාවනය වන (පොදු ජනයාට තිබෙන) සමහර බස්, ලොරිවලින් නිෂ්පාදනය කළ ඒවා බව බොහෝ අවස්ථාවල කියනු ඇසෙයි. ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ සියලු නිෂේධනීය ලකුණු තවමත් වැඩිපුරම තිබෙන සේවය මේ පෞද්ගලික බස්ය. ඒවායේ ක්‍රියාත්මක වන රියැදුරු කොන්දොස්තර බලය අබියස මුදල් ගෙවන මගියා වුවද නිවටයෙකි.
මහ පාරේ ඉගිලෙන, විනයක්, සංවරයක් නැති පෞද්ගලික බස් සේවය විධිමත් ලෙස සකසා ගැනීම අදටත් දුෂ්කරය. බස් සඳහා මාර්ග බලපත්‍ර දීම ඇතුළු බොහෝ දේවල් ඉතා දූෂිත මෙහෙයුම්ය. අද තත්ත්වය අපි නොදනිමු. එහෙත් බස් අයිති පොලිස් නිලධාරීහු ද එකල වූහ. බස් ව්‍යාපාරය මගියා පෙළන්නක් වුවද කිසිවකුට එයට අභියෝග කළ නොහැකි විය. දුර ගමන් බස් සේවය වෙනම ඒකාධිකාරයකට යටත් වූවකි. ඒ බොහෝ බස්වල කන් අඩි පුපුරුවන ඝෝෂාකාරි සංගීත කැසට් පට ද වාදනය වේ. දුර ගමන් යන මගීන්ට තේ කෝප්පයක් බීමට හෝ නිදහසේ ආහාර වේලක් ලබාගැනීමට කිසිදු පහසුකමක් නැත. රියැදුරාගේ හෝ කොන්දොස්තරවරයාගේ හිතවත් හෝටල ඒ සඳහා යොදාගත යුතුය. මේ හැම දෙයක්ම දේශපාලන බලවතුන්ගේ රැකවරණය යටතේ සිදුවූ දේවල්ය. මේවා අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළත් සිදු වූ දෙයක් නැත. බස්රිය හා දුම්රිය සේවාවන්වල ගරා වැටීම ගැන ආණ්ඩුවක් ගත් පියවරක් ද නැත. ඒ පසුබිම තුළ අද මේ බස් සේවය ගැන අවධානය යොමුවීම යහපත් දෙයකි.
මේ දිනවල මාධ්‍යවල බොහෝවිට සාකච්ඡා වන තවත් ප්‍රශ්නයක් ඇත. ඒ ගොවිජනයා මුහුණ දී සිටින විවිධ ගැටලු හා දුෂ්කරතාවන්ය. ගොවි සටන්වලින් ජනතාවගේ මනාපය දිනාගත් සමහරුන්ට ගොවිදුක නොපෙනෙන බවට ගොවියෝම චෝදනා කරති. ගොවි සංවිධාන ආණ්ඩුවට එල්ල කරන විවේචන ඉතා දැඩිය. දැන් ගොවියාගේ අංක බවට පත්ව තිබෙන්නේ වී මිල පිළිබඳ ගැටලුවය. ගොවියන් මුහුණ දෙන බීජ අර්බුදය මෙන්ම වගා ඉඩම්වල අස්වනු අලෙවියද බරතළ ප්‍රශ්නයකි. වාණිජ කෘෂි කර්මාන්තයක් ගැන බයිලා කියන නිලධාරීහුද සිටිති. වී ගොවියා, කිරි ගොවියා, මුහුණ දී සිටින සදාකාලික ප්‍රශ්න කීපයක්ම තිබේ. මේ රටේ ජනතාවට බත සැපයීමේ වගකීමට උරදුන් ගොවියා සරණාගතයකු බවට පත් කළේ මේ ආණ්ඩුව හෝ අද ඊයේ හෝ නොවේ. කලට පොහොර ටික මෙන්ම වගාවට නිසි වේලාවට ජලය නොලැබීමද ඒ ප්‍රශ්න අතර කැපී පෙනේ. ජනතාවට ප්‍රමාණවත් පරිදි සහල් නිෂ්පාදනය නොවේ නම් එයට එකම විසඳුම සහල් ආනයනය කිරීම පමණි. ගොවියන්ගේ දුක් වේදනා හඳුනන, බත මෙන්ම කෙතද හඳුනන මැති ඇමැතිවරු මේ ආණ්ඩුවේ සිටිති. රජරට ගොවියාගේ හද ගැසෙන රාවයද දන්නා මැති ඇමැතිවරුද මේ ආණ්ඩුවේ සිටිති.
මේ රටේ කෘෂිකර්මය – විශේෂයෙන් වී ගොවිතැන ගැන විධිමත් අවධානයක් යොමු කිරීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. ගොවියන්ට ඔටුණු පලඳවා ගොවි රජුන් තේරූ යුග අපට මතකය. වග්‍රා සංග්‍රාමවල අඬහැර ගුවන් විදුලියෙන් ඇසුණු යුගද තිබුණි. එපමණක් නොව ජේ.ආර්. පාලන සමයෙහි වප්මඟුල නමින් සිදු වූ විගඩමක් ගැනද අපි දනිමු. ඒ කිසිවකින් ගොවියාට ලැබුණු දෙයක් නැත.
දින කීපයකට පෙර විපක්ෂ නායක සජිත් පැවසූවේ ගොවියන් සමග මහමඟට බැසීමට තමන් නුදුරු අනාගතයේදීම ක්‍රියා කරන බවය. අනුරාධපුරයේ පැවති ආගමික වැඩ සටහනකින් පසු ඔහු මාධ්‍යවලට පැවසූවේ ගොවියා සරණාගතයකුගේ තත්ත්වයට පිරිහෙළා ඇති බවය. ගොවියන්ගේ කරමතින් ගිය අයට ගොවි දුක නොපෙනෙන බවය. කුමක් වුවත් ගොවියන්ට කරන ආමන්ත්‍රණයකට ගොවියා සවන් දෙන පසුබිමක් වර්ධනය වීම ආණ්ඩුවට හොඳ නැත. කෘෂිකර්ම ඇමැති ලාල්කාන්ත යළි යළිත් පැවසුවේ ගොවියා රැකගැනීම තමාගේත් ආණ්ඩුවේත් අරමුණ බවය. ඒ කුමක් වුවත් ආණ්ඩුව යළිත් සහල් ආනයන කිරීමට සූදානම්ය. මීට පෙර හාල් ආනයනය කිරීමේදී ඇමැතිවරුන් මෙන්ම නිලධාරීන්ද පැවසූ කථා ගැන අපි යළි මතක් නොකරමු. එහෙත් රටක් ඉදිරියට ගෙනයෑමට දෙස-බස, රැස මෙන්ම කුසද රැකිය යුතු බව පමණක් අපි මතක් කරමු.
මේ සියල්ල එලෙස සිදුවෙද්දී ආණ්ඩුවට සැලසිලිදායක පුවතක් අසා ගතහැකි විය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් මිලියන 350ක් වූ සිව්වන ණය වාරිකය අනුමත කර තිබීමය. රටේ ආර්ථික ස්ථවරත්වයට එයින් ලැබෙන ශක්තිය ප්‍රබලය. මේ ආර්ථික සහනය පිළිබඳව එම ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික විද්වත්හුද අදහස් දක්වති. ඔවුන් පවසන්නේ ආණ්ඩුව අප්‍රමාදව තම ආර්ථික ප්‍රතිසංස්කරණ සැලසුම් ඉදිරිපත් කළ යුතු බවය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ ජනගහනයෙන් 1/4ක් පමණ දුප්පතුන් බවට පත්ව සිටින රටකට ඉදිරියට යෑමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් විය යුතු බවය. දුගී බව හා විරැකියාව ජයගත හැක්කේ නිෂ්පාදන ආර්ථිකයකින් බවද ඔහු සඳහන් කරයි. මේ වනවිට මහා භාණ්ඩාගාර ලේකම් ලෙස පත්ව සිටින ආචාර්ය සූරියප්පේරුමටද විශාල වගකීමක් පැවරෙනු ඇත. ඔහු මෙම තනතුරට පත් වූයේ මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමැති ලෙස හෙබ වූ දේශපාලන වගකීම අත්හැර දමමින්ය.

එහෙත් දැන් ඔහු රටේ ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රමුඛ නිලධාරියා වේ. ඔහුගේ මෙම පත්වීම සම්බන්ධයෙන් වුවද විපක්ෂවල විවේචනයක් ඇත. ඒ ජාජබයේ දේශපාලන ක්‍රියාකාරියකු වී සිටින ඔහු මහාභාණ්ඩාගාර ලේකම් වැනි ධුරයක් හෙබවීම නිසා එම තනතුර දේශපාලනීකරණයට ලක්ව තිබෙන බවට එල්ල වන විවේචන හා චෝදනාව නිසාය. එහෙත් මෙරටේ එම තනතුර සඳහා දේශපාලන සබඳතා සහිත කෙනෙක් පත්කර ගැනීමට මේ ආණ්ඩුවට බාධාවක් නැත. එහෙත් ඒ ගාම්භීර තනතුරට අවශ්‍ය විද්වත් භාවය, විචක්ෂණශීලි බව තිබේ නම් කිසිවකුට එයට අභියෝග කිරීමට ද නොහැකිය.
අද මේ රට තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් දීමට සමත් විශේෂඥ දැනුම ආණ්ඩුව විසින් පත් කරන ලද පුද්ගලයාට තිබේද යන්න අපට දැකබලා ගතහැකිය. ඒ ගැන කලබල වියයුතු නැත. ඔහුගේ ශාස්ත්‍රාලයීය සුදුසුකම්, උපාධි ආදිය ගැනද විස්තර ප්‍රකාශයට පත්ව තිබේ. ප්‍රායෝගික දැනුම අත්දැකීම් ඔහු වගා කරගත යුතු අභියෝගයකි.
අද ආර්ථික විශේෂඥයන් සඳහන් කරන සංචාරක ව්‍යාපාර හා ආයෝජන ලබාගැනීම මේ අර්බුදයට සාධනීය යෝජනා බව අපට ද හැඟේ. තවමත් මෙරටේ තිබෙන ඇතැම් නීතිරීති හා ආයෝජකයන්ට ලැබෙන ප්‍රතිලාභ වෙනත් රටවලට සාපේක්ෂකව ප්‍රමාණවත් නොවන බව එම කේෂ්ත්‍රවලම සමහරු ප්‍රකාශ කරති. ඇතැම් රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ඇමැතිවරුන්ගේ ප්‍රතිලාභ අපේක්ෂාවන් නිසා මෙරටට පැමිණි ඇතැම් ආයෝකයන් ආපසු හැරී ගිය බවද කියනු ඇසෙයි. සංචාරක ආකර්ෂණය මෙන්ම ආයෝජකයන්ට අවශ්‍ය මූලික කොන්දේසි සපුරාදීම යනු රටක් විනාශකාරී මාවතකට ඇද දැමීමක් ලෙස හැඳින්විය නොහැක. එහෙත් මෙරටේ බොහෝ දුෂ් පිළිවෙත් ව්‍යාප්ත වූයේ සංචාරකයන් හා ආයෝජකයන් වෙනුවෙන් නොව අවස්ථාවාදී ගසාකෑම් අරමුණු කරගත් වසලයන්ගේ මෙහෙයුම් ලෙසය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් වියරු තීන්දු තීරණ නිසා චීනයෙන් බැහැර වන ඇතැමි ආයෝජකයන්ගේ තෝරාගැනීම වී ඇත්තේ ඉන්දියාව බවද කියති. ජපන් හා ඉන්දීය ආධාර සහිත ඇතැම් ව්‍යාපෘති සඳහා ලැබුණු දුර්වල ප්‍රතිචාර නිසාද ආයෝජකයන් ලංකාව තෝරානොගත් බවට ආර්ථික ක්ෂේත්‍රවලට සමහරු චෝදනා කරති. අදානි සමූහ ව්‍යාපාරය විදුලිය උත්පාදනය සඳහා එකඟ වූ ව්‍යාපෘතියක්ද අත්හැර දමා ඇතැයිද කියති. මේවා අදාළ අංශවල අවධානයට යොමු විය යුතු අතර, ජාතික ආයෝජන ප්‍රතිපත්තියක් අවශ්‍යතාව ද සමහරු පෙන්වා දෙති.
කෙසේ හෝ ආණ්ඩුව මේ රට ගොඩනඟන අදිටන අත් නොහරින බවද ඉතා පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා එලෙසම පවත්වා ගෙන යෑම ගැන ආණ්ඩුවට විවේචන තිබේ. ඒවා බොහෝ විට දේශපාලන හෝ සිල්ලර විවේචන බවද පෙනේ. එහෙත් ඉහත සඳහන් කළ පරිදිම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව මෙන්ම ඒ සඳහා වූ සාධනීය මෙහෙයුමක් ගැනද ආණ්ඩුව තේරුම් ගතයුතුය. මේ ආර්ථික සමාජ දේශපාලන කැළඹීම් අස්සේ වෙන වෙන න්‍යාය පත්‍ර හා සූත්‍ර ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින පිරිස් ද වෙති. අප මෙයට පෙරත් සඳහන් කරන ලද පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ අවධාරණයන් වුවද ආණ්ඩුව නිරවුල්ව වටහා ගෙන අවශ්‍ය ප්‍රතිචාර දැක්විය යුතු බව පමණක් සඳහන් කරමු.