මූල්‍ය අරමුදලේ අලුත්ම කතාව
කිසියම් ප්‍රමාදයකින් පසුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පස් වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදලක්, මේ වන විට අපට හිමි වී ඇත. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක කරන මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සිව්වන සමාලෝචන අනුමැතිය ලබාදිය යුතුව තිබිණි. ඒ සඳහා අප විසින් එකඟ වී ඉටු කළ යුතුව පැවති ක්‍රියාමාර්ග ඉටු කිරීමේ ප්‍රමාදය නිසා ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට අනුමැතිය දීමේ ප්‍රමාදයක් ද ඇති විය. 2025 වසරේ ජූලි මස 01වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීමට අප සමත්වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා මූල්‍ය අරමුදල විසින් විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් පමණ වූ මූල්‍ය පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය අප වෙත ලබා දෙන ලදී.
මේ පස්වන ණය වාරිකයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මුදල විශේෂ ගැනුම් හිමිකම් බිලියන 1.27ක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් පමණ දක්වා ඉහළ යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමග පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් එම අරමුදල විසින් පසුගිය ජූලි 03 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.

“වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ අවදානම්වලට විසඳුම් ලබා දීමත් සමග විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ කාර්යසාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතී. 2025 වසරේ ඉතිරි කාලසීමාව සඳහා පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැළපුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම යන පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා සපුරා ඇත. හිඟ වියදම් තොගය හැර 2025 වසරේ මාර්තු මස අවසානය සඳහා වූ සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ඇත. 2025 වසරේ මැයි මස අග භාගය වන විට සැපිරිය යුතුව තිබූ ව්‍යුහාත්මක මිනුම් දඬු සියල්ල සපුරාගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. 2025 වසරේ දෙවන කාර්තුවේ දී උද්ධමනය මුදල් ප්‍රතිපත්ති උපදේශන වගන්තියේ දක්වා ඇති පහළ පිටත කලාපයට වඩා අඩු අගයකට පහළ වැටුණු අතර, බලශක්ති මිල එයට මූලික වශයෙන් හේතු විය. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට ළඟා වී ඇත.
ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතී. කෙසේ වුව ද, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියේ අවිනිශ්චිත බව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජ ස්ථායීතාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි. මෙම ආර්ථික කම්පනවලට මුහුණදීමට සිදු වුවහොත්, එහි බලපෑම් තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග සමීපව කටයුතු කරනු ඇත.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ප්‍රකාශයෙන් අපට පැහැදිලි වන කරුණු කිහිපයක් පවතී. එනම් මේ කතාබහට ලක් වූ මූල්‍ය අරමුදලේ පස්වන ණය වාරිකය ප්‍රමාද වූයේ, 2025 වසරේ මැයි මස අග භාගය වන විට අප විසින් සැපිරිය යුතුව තිබූ ව්‍යුහාත්මක මිනුම් දඬු සපුරා ගැනීමේ අපගේ ප්‍රමාදය නිසාය. එහෙත් මේ වන විට ඒ සියල්ල නිසි කාලයේ දී හා ඇතැම් ඒවා ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කිරීමට අප සමත්වීම නිසා, කිසියම් ප්‍රමාදයක් සහිතව මෙම අයිඑම්එෆ් පස්වන වාරිකය අප වෙත හිමිව ඇත.
පසුගියදා සිදු වූ විදුලි ගාස්තු වැඩිවීමත් මේ අනුව සිදුවූවකි. එනම් මේ වන විට පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැළපුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම යන අවශ්‍යතා සපුරා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප වෙත විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළේ, 2023 වසරේ මාර්තු 20 වැනිදාය. එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා, විශේෂ ගැනුම් හිමිකම් බිලියන 2.286 ක එනම් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ ණය පහසුකමක් අනුමත කර තිබුණි. ඒ අනුව මේ වන විට අප විසින් එම ණය මුදලින් භාගයකටත් වැඩි මුදලක් ලබාගෙන, ණය මුදලේ සම්පූර්ණ වසර හතරක කාලයෙන් වසර දෙකකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට සමත්ව ඇත. එහෙත් අප අමතක නොකළ යුතු වන්නේ මෙය හුදෙක් ණය මුදලක් පමණක් නොවන බවයි. ඇතැම් විවේචකයන් මෙය තවත් එක් ණය මුදලක් පමණක් ලෙස අදහස් දක්වමින් සිටියත් එය එසේ නොවේ. මෙය අප විසින් මුහුණ දුන් විනිමය අර්බුදයෙන් මිදීම සඳහා දෙපාර්ශ්වය එක්ව සකස් කරගත් වැඩසටහනකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම පවසන පරදී එම වැඩසටහන සකස් කර ඇත්තේ සමස්ථයක් ලෙස රටේ ආර්ථික ස්ථායීතාව දිගුකල් පවතින ලෙස නැවත ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමටය. ඒ සඳහා එම වැඩසටහන තුළ ඉටු කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන අංග කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.
(I) අවදානමට ලක්වූවන් ආරක්ෂා කරන අතරම රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරබව යළි ස්ථාපනය කිරීම,
(II) මිල ස්ථායීතාව සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ආරක්ෂා කිරීම,
(III) බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැඟීම,
(IV) දූෂණ අවදානම් අවම කිරීම හා යහ පාලනය ශක්තිමත් කිරීම සහ
(V) වර්ධනය ඉලක්ක කරගත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම
මේ ක්‍රියාමාර්ග හරහා සාර්ව ආර්ථික ස්ථායීතාව දිගුකාලීනව නැවත ඇති කිරීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහාය ලැබේ. ඒ නිසා මෙය දේශපාලනිකව බලනවාට වඩා අවශ්‍ය කරන්නේ ආර්ථිකමය වශයෙන් බලා, මේ වන විට යම් දුරකට ස්ථාවර වී ඇති ආර්ථිකය තවදුරටත් ස්ථාවර කර ගැනීමයි. ඒ සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මේ රජයත් කැප වී සිටීම සතුටට කරුණකි. ඒ නිසා අපගේ මේ 17 වැනි අයිඑම්එෆ් වැඩසටහන සාර්ථකව අවසන් කරගෙන 2022 වසරේ දී අප මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට අපට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක වන අතරම, අපේ ආර්ථික ක්‍රියාකාරීත්වය තවත් වැඩිකරගෙන ඉහළ ආර්ථික වර්ධන වේගයකට ගමන් කිරීමට සමත් ආර්ථික වැඩපිළිවෙළක් රජය සතුව ද තිබිය යුතු වේ. ජනයාගේ ආදායම් මට්ටම් වර්ධනය වනු ඇත්තේ එවිටය. අයිඑම්එෆ් සමග එකඟ වී පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හමුවේ රටේ ජනයාට සැලකිය යුතු බදු බරකට මුහුණ දීමට සිදුව ඇති බව රහසක් නොවේ. මෙයට පිළියම් ලෙස අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරම, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය වේගවත් කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම මගින් ජනයාගේ ආදායම් මට්ටම් ද ක්‍රමයෙන් වර්ධනය වනු ඇත.
මෙවර සමාලෝචනයේ දී තවත් දෙයක් සිදුව ඇත. එනම් ශ්‍රී ලංකාවේ බැඳීම් උල්ලංඝනය කිරීමක් සිදුවන ලෙස අප විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිවැරදි නොවන දත්ත සැපයීමක් සම්බන්ධයෙන් වන වාර්තාවක් අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් සමාලෝචනයට ලක් කිරීමයි. මේ වැරැද්ද ගැන සහනයක් සලසන ලෙස ද අපගේ බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන සමාලෝචනයෙන් පසුව අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් එම ඉල්ලීම ද අනුමත කර තිබේ. අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබා දීම චේතනාන්විතව සිදු වී නොමැති බවත් රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තා කිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු වී ඇති බවත් මේ ගැන මූල්‍ය අරමුදලේ අදහස වී තිබේ. ඒ අනුව, අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබාදීමට විධායක මණ්ඩලය එකඟ වී ඇති අතර අදාළ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත. මේ සිදුවීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

කෙන්ජි ඔකමුරා
“ශ්‍රී ලංකාව විසින් මධ්‍යම රජයේ හිඟ වියදම්වල මුළු එකතුවෙහි උපරිම සීමාව පිළිබඳව චේතනාන්විතව සිදු නොවූ නිරවද්‍ය නොවන දත්ත සැපයීම සම්බන්ධයෙන් කළමනාකාර අධ්‍යක්ෂවරයා යොමු කළ වාර්තාවක් විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී. වැය විෂය අනුව අයවැය ප්‍රතිපාදන පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මගින් හඳුනාගත් හිඟ වියදම්වල මුළු එකතුව අඩුවෙන් වාර්තා කිරීම අනුකූල නොවන මිලදී ගැනීම්වලට (noncomplyμng purchases) හේතු වූ අතර, ඒ හේතුවෙන් VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් උල්ලංඝනය කිරීමක් සිදු විය. නිවැරදි කරන ලද දත්ත සැපයීම සඳහා බලධාරීන් මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමග විවෘතව සහ සමීපව කටයුතු කළ අතර, හිඟ වියදම්වල මුළු එකතුව නිවැරදි කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධව පියවර කිහිපයක් ගෙන ඇත. මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහායට අනුකූලව ඉදිරියට යමින් වාර්තාකරණ සහ දත්ත සත්‍යාපන පිළිවෙත් වැඩිදියුණු කිරීමට ද ඔවුහු කැපවී සිටිති. මෙම ක්‍රියාමාර්ග මත පදනම්ව, අනුකූල නොවීම සම්බන්ධයෙන් සහන සැලසීමට බලධාරීන් විසින් සිදු කළ ඉල්ලීම විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම උපදේශනය සඳහා සකස්කරන ලද නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශනයට බලධාරීන් විසින් අනුමැතිය පළකර ඇත.”
එසේම මේ ගැන අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
“වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ අවදානම්වලට විසඳුම් ලබා දීමත් සමග, මූල්‍ය අරමුදලෙන් සහාය ලැබෙන වැඩසටහන යටතේ කාර්යසාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතී. ආර්ථික වර්ධනය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත ගොඩනැඟීම සහ රාජ්‍ය ආදායම වැඩිදියුණු වීම සමග ප්‍රතිසංස්කරණ ඵලදායී වෙමින් පවතින බව පෙනී යයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට ළඟා වෙමින් ඇත. ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක වුව ද අවදානම් ඉහළ ගොස් ඇත. ආර්ථික කම්පන ඇති වුවහොත් එහි බලපෑම් තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා බලධාරීන් අරමුදල සමග සමීපව කටයුතු කළ යුතුය. ස්ථාවර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වනු ඇත.
රාජ්‍ය මූල්‍ය තිරසාර බව යළි ඇති කිරීම සහ රාජ්‍ය මූල්‍ය අවකාශයක් ඇති කිරීම සඳහා රජයේ ආදායම් රැස්කිරීම දිගුකාලීනව ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ. බදු සහන රාමුව ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම, සහ ඵලදායී ලෙස හිඟ මුදල් කළමනාකරණය සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම වැදගත් වේ. අවදානමට ලක්විය හැකි අය සඳහා සහාය ලබාදීමට සමාජ ආරක්ෂණ ජාලවල ආවරණය සහ ඉලක්කගත කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ. පවතින රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ ප්‍රාග්ධන වියදම් සිදු කිරීම සුමටව ක්‍රියාවට නැංවීම මැදිකාලීන වර්ධනය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත. පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළි ක්‍රියාවට නැංවීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැළපුම් ක්‍රියාවට නැංවීම ප්‍රශංසනීය වන අතර රාජ්‍ය මූල්‍ය අවදානම් මැඬපැවැත්වීම සඳහා මෙම ප්‍රතිපත්ති ඉදිරියට පවත්වාගෙන යා යුතුය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන යෑමේ ප්‍රගතිය කැපී පෙනේ. ඉතිරි නිල සහ වාණිජ ණය හිමියන් සමග පවතින ද්විපාර්ශ්වික ගිවිසුම් නියමිත කලට අවසන් කිරීම ප්‍රමුඛතාවක්ව පවතී.”
ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක බව කෙන්ජි ඔකමුරා මහතා ඔහුගේ ප්‍රකාශයෙන් කීවත් ඒ සමගම අවදානම් ඉහළ ගොස් ඇති බව ද කියයි. එනම් අප මුහුණ දී සිටින නව ලෝක ආර්ථික වාතාවරණය හමුවේ සහ ඇමෙරිකානු නව තීරු බදු ක්‍රියාත්මක වීම හමුවේ අපේ යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති විය හැකි වීමයි. එසේ වුවහොත් එම නව තත්ත්වයන්ට අනුගත වන ලෙස මේ අයිඑම්එෆ් වැඩසටහන කිසියම් යාවත්කාලීන කිරීම් සමග ඉදිරියට ගෙන යෑමට ද සිදුවනු ඇත. ඒ නිසා කෙන්ජි ඔකමුරා මහතා කියන්නේ එහි බලපෑම් තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා බලධාරීන් අරමුදල සමග සමීපව කටයුතු කළ යුතු බවත් ස්ථාවර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වනු ඇති බවත්ය.
මේ වන විටත් නව මහ බැංකු පනත අනුව රජයේ අයවැය පරතරය මහ බැංකුව මගින් මූල්‍යනය කරන්නේ නැත. ඒ නිසා අයවැය හිඟය සීමා කරගනිමින් අයවැය හිඟය පියවා ගැනීමට රජයට සිදුවනු ඇත. මුදල් ප්‍රතිපත්තිය මගින් මිල ස්ථායීතාවට ප්‍රමුඛත්වය ලබා දීම අඛණ්ඩව සිදු විය යුතු බවත්, බාහිර ස්වාරක්ෂක සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව නැවත ගොඩ නැංවීමට විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලීබව සහ ගෙවුම් තුලනය සම්බන්ධයෙන් ගෙන ඇති පරිපාලනමය සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම ඉතා වැදගත් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ ණය වැඩසටහනේ ඉදිරිය ගැන සඳහන් කර තිබේ. මේ වන විට සියයට 5 ක ධන ආර්ථික වර්ධනයක් අපගේ ආර්ථිකය වාර්තා කරමින් තිබුණත්, තවමත් 2018 වසරේ තිබූ ආර්ථික මට්ටමට අපට ළඟා වීමට හැකිව නැත. අප තවමත් සිටින්නේ ඊට පසුපසිනි. ඒ නිසා ශ්‍රී ලකාවට මීට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එම විභව මට්ටම කරා ළඟා වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතා වැදගත් බවත්, ඒ අනුව අපනයන වර්ධනය හා විවිධාංගීකරණය ඉහළ නැංවීමට රජය විසින් පාලන ප්‍රතිසංස්කරණ සහ වෙළෙඳ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපගේ ණය වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත. මේ නිසා අපගේ ආර්ථිකය දියුණු කරගත යුතු වන්නේ අප විසින්මය. එය අයිඑම්එෆ් එක පැමිණ කරදෙන දෙයක් නොවේ. මේ නිසා අයිඑම්එෆ් වැඩසටහනන ක්‍රියාත්මක කරමින්, ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගනිමින් අප මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදෙන අතරම අපේ ආර්ථිකය දියුණු කර ගැනීමේ සැලසුම් හා උපායමාර්ග ආණ්ඩුව සතුව පැවතිය යුතුය. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේත් ආණ්ඩුවටය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]