උණ්ඩ කොපු තිබුණු ස්ථාන සලකුණු කර නෑ
හිස් පතොරොම් සහ උණ්ඩ කොපු අතර නොගැළපීම්
සී.සී.ටී.වී. දර්ශන පරස්පරයි
වැලිගම ‘ඩබ්ලිව් 15’ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් සිදුකරන ලද විමර්ශනවල අඩුපාඩු රැසක් පැවැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රධානී අශෝක ෂෙල්ටන් කරුණාතිලක මහතා පෙරේදා (19දා) පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
මෙම සිදුවීමට අදාළව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර ඇත.
පෙරේදා (19දා) 8 වැනි දිනටත් රැස්වූ මෙම කමිටුව හමුවේ සාක්‍ෂිකරුවන් 7 දෙනකු ප්‍රකාශ ලබාදුන් අතර එහි අවසන් සාක්‍ෂිකරු වූයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රධානී අශෝක ෂෙල්ටන් මහතාය. මෙම වෙඩි තැබීමට අදාළව වැලිගම පොලිසිය විසින් සිදුකර ඇති පරීක්‍ෂණවලට අදාළව තවදුරටත් සාක්‍ෂි ලබාදෙමින් අශෝක ෂෙල්ටන් කරුණාතිලක මහතා මෙසේ ද කීවේය.
“ස්වාමීනි, වැලිගම පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට අරගෙන ගිහින් තියෙන්නේ අඩුපාඩු ගොඩක් සහිතවයි. අපරාධ ස්ථානයේ තිබුණු උණ්ඩ කොපු පවා තිබුණු ස්ථාන සලකුණු කර නැහැ.
“අදාළ ස්ථානයේ තිබුණු හිස් පතොරොම් සහ උණ්ඩ කොපු අතර නොගැළපීමක් තිබෙනවා. අපරාධය සිදුවූ ස්ථානය අවට සී.සී.ටී.වී. දර්ශන පරස්පරයි.
“එවැනි අඩුපාඩු විමර්ශනය තුළ ඇතිවූ නිසයි වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට එරෙහිව නඩු පැවැරීමට ක්‍රියා කළේ.”
“වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ද නිවැරදි විමර්ශනයක් සිදුකර නැහැ ස්වාමිනී.”
දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එස්. වීරවික්‍රම මහතා,
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගත්තේ දේශපාලනික හෝ අමාත්‍යාංශ ලේකම්වරයකුගේ අවශ්‍යතාවය මතද?
අශෝක ෂෙල්ටන් කරුණාතිලක මහතා
නැහැ ස්වාමීනි,
මෙහිදී නීතිඥ එස්. වීරවික්‍රම මහතා දිගින් දිගටම උස් හඬින් සාක්‍ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළ අතර එහිදී පරීක්‍ෂණ කමිටුවේ විනිසුරුවරයකු ඔහුට උපදෙස් දුන්නේ කේන්ති නොගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන ලෙසටයි.
ඒ අනුව මෙම පරීක්‍ෂණ කමිටුව හමුවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීම අවසන් විය.
කමල් බෝගොඩ