රිටොක්සිමැබ්වල ලුණු වතුර
ජර්මානු රසායනාගාරයක පරීක්ෂණවලින් හෙළි වූ බව නීතිපති උසාවියට කියයි
ප්‍රශ්නගත ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධ තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක රිටොක්සිමැබ් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් සිදුකළ පරීක්ෂණ වාර්තා අනුව හෙළි වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (19දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් නව දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.
පැමිණිල්ල විසින් එකී රසායනාගාරය වෙත සාම්පල් 200ක් යොමු කළ බවත් ඒවා පරීක්ෂා කළ රසායනාගාරය එකී වාර්තා නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය. ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ද එහිදී අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව අද (20දා) හෝ ලබන සඳුදා වනවිට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට නඩු පැවරීමට පියවර ගන්නා බව ද අධිකරණයට දැනුම් දුන්නාය.
මෙම නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, එම නඩුවේ සැකකරුවකු වන බාල ඖෂධ සැපයූ අයුසුලේට් බයෝටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු සමග එම සමයේ දුරකථන ඇමතුම් අටක් ලබාදී ඇති බවත් තවත් සැකකරුවකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමග 31 වතාවක් දුරකථන මගින් සම්බන්ධ වී ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නාය.
සෙසු ඖෂධ සැපයුම්කරුවන් සමග ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ වී ඇතිදැයි සොයා බැලූ නමුත් ඒ ආකාරයෙන් සම්බන්ධ වූ බවට කරුණු අනාවරණය නොවූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට වැඩිදුරටත් පැවසුවාය. පැමිණිල්ල ඉදිරිපත් කළ එකී කරුණු අනුව තම අධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්ත අවසන් කිරීමට මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය.
ඒ.ජේ.ඒ. අබේනායක