වසර 29කට පසු ශ්‍රී ලංකාව දකුණතින් ඉනිම අරඹයි
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු 495ට හොඳ පිළිතුරක් ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ඉතා සුවිශේෂී තැනක පසුවෙමිනි.
තෙවැනි දිනයේ තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 489ක් ලබා තිබුණු අතර තෙවැනි දිනයේ බංග්ලාදේශයට එක්කර ගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. බංග්ලාදේශයේ අවසන් කඩුල්ල දවාගැනීමට අසිත ප්‍රනාන්දුට හැකියාව ලැබුණි. ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 495කට සීමා වීමට සිදුවිය.
ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ දකුණතින් පිත්ත හසුරුවන පැතුම් නිස්සංක සහ පළමු තරගය ක්‍රීඩා කරන දකුණත් පිතිකරණයේ යෙදෙන ළහිරු උදාරයි.

එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඊයේ පැමිණියේ වසර 29කට පසුවයි. ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 260කදී දකුණත් පිතිකරුවෝ දෙදෙනෙක් ක්‍රීඩා කර නොමැත. එලෙස අවසන් වරට එවැන්නක් සිදුවී තිබුණේ 1996 වසරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ දකුණතින් ක්‍රීඩා කිරීමට පැමිණීමෙනුයි.
ශ්‍රී ලංකා ඉනිම අරඹමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් ළහිරු උදාර සහ පැතුම් නිස්සංක වේගයෙන් තම කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කරන අයුරු ඉතා මැනවින් දක්නට ලැබිණි. ඒ අනුව මුල් පන්දු ඕවර දහය තුළදී ලකුණු 47ක් ලබා ගත්හ.
කෙසේ වෙතත් ළහිරු උදාරට සිය ඉනිම නවතා දමන්නට ලකුණු 29ක් ලබා සිටියදී සිදුවිය. හතරේ පහර 6ක් ඇතුළත් වූ ළහිරුගේ ඉනිම අවසන් වූ පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල සඳහා කිසිදු කරදරයකින් තොරව පන්දුවට පහර දෙමින් රිසිසේ ලකුණු අතරට පැමිණියහ.
පැතුම් නිස්සංකට තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වන ශතකය ලබාගැනීමට ඊයේ හැකියාව ලැබුණි. අගනා හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් පැතුම්ගේ හැඩකාර ශතකයට ඇතුළත් විය.
තවද පැතුම් ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යෑමට සමත් විය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් දැවී ගියේ දිනේෂ් චන්දිමාල්ය. චන්දිමාල් ද හැඩකාර අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු දැවී ගියේ ලකුණු 54කටයි. සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39කට දැවී ගිය අතර සිය ටෙස්ට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කළ පැතුම් දිත්ව ශතකයට ලකුණු 13ක් ඉතිරිව තිබියදී දැවී ගියේ අවාසනාවන්ත ලෙසය. පැතුම් ලකුණු 187ක් ලබා ගත්තේ පන්දු 256කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 23ක් එකතු කරමිනි.
කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 37ක් සහ නායක ධනංජය සිල්වා නොදැවී ලකුණු 17ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

තරගය තෙවැනි දින නිමාවට පත්වන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා සිටියේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 495ට ලකුණු 127ක් පිටුපසිනි.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි