නන්දසේන පලිහක්කාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ගත් ප්‍රතිභා සම්පන්න කලාකරුවෙකි. ඔහු අගනුවර තරුණ කවි සමාජයේ (අ.ත.ක.ස) සමලේකම් ලෙස මින් පෙර බොහෝ කාලයක් කටයුතු කළේය. මෑතදී ‘ මිරිඟු දිය’ නමින් කාව්‍ය ග්‍රන්ථයක් ද එළි දැක්වූ හෙතෙම මෙවර වටමඬල සාහිත්‍යය කතිකාවට එක්ව සිටියි.
ප්‍රශ්නය:- කවිය අතීතයේ සිටම සමාජ ප්‍රගමනයට මග පෙන්වූ කලාංගයක්. ඔබ සිතන පරිදි කවියාගේ සමාජ වගකීම කෙබඳු එකක්ද…?
“ශ්‍රී ලාංකික සමාජ සංස්කෘතික පදනමේ මූලික කලාංගයක් තමයි කවිය. සීගිරි ගී කවිවලින් දෘශ්‍යමාන වන සිංහල පද්‍ය සම්ප්‍රදාය නූතනය දක්වා විකාශනාත්මක ඓතිහාසික ගමන් මගක් ප්‍රකට කරනවා. සත්‍ය වශයෙන්ම සිංහල පද්‍ය වංශයක් අප සතුව ඇති බවයි මගේ විශ්වාසය. ජනකවිය පිළිබඳව අවධානය යොමු කරන විට හැඟෙන්නේ දැනෙන්නේ කවිය හා බැඳුණු සමාජ ප්‍රගමනය පොදු ජන කවි අතරින්ම නිර්මාණය වූ අයුරුයි.
කවිකම සහජ කුසලතාවයක්. ඒ අනුව උපන් කවියා උගත් කවියා යන අදහසක් ද ප්‍රකාශ වෙනවා. නිරන්තර අභ්‍යාසයේ නිරත වීමෙන් සහජ කුසලතාවය ප්‍රවර්ධනය කිරීම සාර්ථක ප්‍රබන්ධකරණයටත්, රසෝද්දීපනයටත් ඉවහල් වන බව මගේ අත්දැකීමයි.
එම ගද්‍ය හෝ පද්‍ය රසය සාහිත්‍යය වශයෙන් සමාජ ගත කිරීමයි, කවියාගේ මූලික වගකීම විය යුත්තේ. විවිධ ගණයේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් සමාජ යහපැවැත්මට ඉදිරි දැක්මක් කවියෙන් ප්‍රතිනිර්මාණය කිරීම කවියාගේ සමාජ වගකීමේ තවත් පැතිකඩක්. සමාජ විෂමතා, පන්ති භේදය, අයුක්තිය, අසාධාරණය හමුවේ පෙනී සිටිමින් සාධාරණ සමාජයක් ස්ථාපිත කිරීමට ජනමතය පෙළඹීමට කවියා බැඳී සිටිනවා. නිර්මාණ ප්‍රතිභා කෞශල්‍යයි මේ සඳහා පාදක වන්නේ. ඒ මහා සම්ප්‍රදායට හෝ චූල සම්ප්‍රදායට අනුගතව ප්‍රගුණ කරගත යුතු දෙයක්.”
ප්‍රශ්නය:- නූතන කවීන් බස පිළිබඳව සැලකිලිමත් වන්නේ අඩුවෙන්. මෙය නූතන පරපුරේ ඌනතාවක්ද? නැත්නම් නව ප්‍රවණතාවක්ද?
බස පිළිබඳව නොසැලකිලිමත් වීම නව ප්‍රවණතාවක් නොව ඌනතාවක්. කුමරතුඟු මුණිදස් සූරීන් සුබස යන වදන බස් වහරට එකතු කළේ අර්ථයක් ඇතිවයි. නිකම්ම නෙවෙයි. නිදොස් බස් වහර ලේඛන කලාවට උපයෝගී කර ගැනීමෙන් තමයි ගද්‍ය, පද්‍ය, කාව්‍ය සරුවට පබැඳීමට හැකි වන්නේ. අකුරු, පද, වැකි මෙතුන් ගණයම නිදොස් නොවන්නේ නම් අංග සම්පූර්ණ ලේඛන කලාවක් නෑ.
බස නොදත්කමින්, නූගත්කමින් නව ප්‍රවණතා ගොඩනැගීම් මව් බස මැරීමක්. කවිය කෙලසීමක්. නිමවුම් සවිය, රසවින්දනය බිඳවැටීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ප්‍රශ්නය:- ඔබේ නවතම කාව්‍ය ග්‍රන්ථය ‘මිරිඟු දිය’ ඇසුරෙන් සමාජයට ලබාදීමට තැත් කරන්නේ කුමන ආකාරයක පණිවුඩයක්ද?
විරිත් භාවිත පද්‍ය සම්ප්‍රදායත් නිසඳැස් කවියත් සංකලනය වූ කව් රස වින්දනය සමාජගත කිරීම මූලික කරුණක්. විරිත් පද්‍ය ආකෘතික රටාවට වඩා නැඹුරු වුවත් අත්දැකීම් නිර්මාණාත්මක ව විශ්වසනීයව ඉදිරිපත් කිරීමට සරල සුගම නිදොස් බස් වහර උපයෝගී කරගත් ආකාරය, කුසලතා ප්‍රගුණ කිරීමක් බව රසිකයින්ට දැන්වීම. කොළඹ යුගයේ කවි පරපුරේ ආභාසය ලබමින්, අගනුවර තරුණ කවි සමාජයේ ලේකම් ලෙස ක්‍රියා කරමින් දැන උගත් පද්‍ය නිර්මාණාත්මක හරය තමයි මිරිඟු දිය කියන්නේ. එහෙත් පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලබාගත් දැනුම අවබෝධය මෙහිදී අමතක කරන්න බෑ.
දෛනික ජීවන රටාවේදී උද්ගත වන ගැටලු ගැන සංවේදීව සමාජයේ යථාර්ථ ස්වභාවය පොදු ධර්මතාවක් බව හුවා දැක්වීමට මා උත්සුක වුණා.
අවි දුර දිසි නොදිසි තොටියන් දෙගොඩ සිට
සවි බල දුබල දෙපසක ඔරු පදින විට
දිවි ගඟ සුළි පෙරළි මනසේ තරඟ යට
පිවිතුරු දිය කැරලි දැවටේ හබල වට
මේ පැදි ආර කවියන් හුරු පුරුදු කළ යුතු සාහිත්‍යාංගයක් ලෙසයි මා සලකන්නේ. සඳහසින් බැහැර නිදහස් රිද්මයානුකූලව කියවීමෙන් හෘදයංගම සෞන්දර්යාත්මක වින්දනයක් අත්විඳිය හැකි බව මිරිඟු දිය ප්‍රකාශ කරනවා.
ප්‍රශ්නය:- අද සමාජ මාධ්‍ය තුළ ඉක්මන් ප්‍රතිචාර ලැබෙනවා. අතීතය හා සසඳන විට තරුණ කවීන්ට මෙය මහඟු අවස්ථාවක්. එහෙත් හොඳ කවියකු බිහිවීමට මේ නව මාධ්‍ය බාධාකාරී බවයි ඇතැමුන්ගේ අදහස. අත්දැකීම් බහුල කවියකු, සංස්කාරකවරයකු ලෙස මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද…?
“සිතට නැගෙන සිතුවිලි දහරා ප්‍රකාශ කිරීමට සමාජ මාධ්‍ය යොදා ගැනීම ඉතා පහසු කාර්යයක්. ඒ මගින් ජනගත වන්නේ කවිද, හැඟීම් දැනීම් පමණක් ද යන්න ගැටලුවක් මතු කරනවා. කවියක්, ලේඛනයක් සකස් වූ පමණින්ම ප්‍රශස්ත
ගණයට වැටෙන්නේ නැහැ. ඒ සඳහා ගුණ නැණ දෙකම එකසේ වැඩිය යුතු බවයි මා පිළිගන්නේ. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු යන සුභාෂිතයේ උවම් වැකිය අද අපට අමතක වෙලා. ඒ අනුව සමාජ මාධ්‍ය කවිය දෙස සර්ව සුබ අසුබවාදීව කාලානුරූපීව බැලීමයි කළ යුත්තේ.”
“තවත් අතකින් තරුණ ප්‍රජාව කවියට සමීප කරවීමට කවි රචනාකරණයට පෙළඹවීමට සමාජ මාධ්‍ය යොදා ගැනීම පහසුයි. එහෙත් සමාජ මාධ්‍ය කවි බහුතරයක් බොළඳත්වය මත රඳා පැවතීම අභාග්‍යයක්. ඉන් අත් මිදීමට නිසි මඟ පෙන්වීමක් අවශ්‍යමයි.”
ප්‍රශ්නය:- පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අද දවසේ ඉලක්කගතව ඇත්තේ විභාග මූලික අරමුණකට. හොඳ නිර්මාණකරුවන් බිහිවීමට රටක අධ්‍යාපනය කුමන ආකාරයකට හැඩ ගැසිය යුතුද…?
“කවිය ලේඛන කලාව දියුණු තියුණු කරගැනීමට නම් ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම නිවැරදි භාෂා භාවිත හුරුව, නිර්මාණශීලී රචනාකරණය පිළිබඳ අවබෝධයක් ළමා පරපුරට ලබාදිය යුතුයි. රටේ අනාගත සාහිත්‍ය පැවැත්මට කවියන්, ලේඛකයන් බිහි කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ළමා හා යොවුන් ප්‍රකාශන පළකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා මට මතකයි. එහෙත් සාර්ථක අසාර්ථක බව සම්බන්ධව පසු විපරමක් සිදුවුණේ නෑ. සංස්කෘතික කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව සාහිත්‍ය ප්‍රකාශන කමිටුවක් සංස්ථාපනය කර සාර්ථක සාහිත්‍ය පොතපත පාඨකයා අතරට එක් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහිදී පාසල් දරුවන්ගේ නිර්මාණවලට මුල් තැනදීම වැදගත්ම කාර්යයයි. වර්තමාන හා අනාගත දැක්ම පසුබිම් කරගත් ශිෂ්‍ය කුසලතා ප්‍රවර්ධන වැඩසටහනක් සම්පාදනය කිරීම තවත් කරුණක් වනවා. කවිය සම්බන්ධ ඉගැන්වීමට නම් සාහිත්‍යමය කුසලතා, ගුරු පුහුණු වැඩසටහනක් සම්පාදනය විය යුතුයි. නිර්මාණශීලී ගුරු භවතෙක් බිහි කිරීමයි මෙයින් අදහස් කරන්නේ. එවිට ශිෂ්‍යයා නිරායාසයෙන්ම නිර්මාණශීලී වෙනවාමයි. මේ මාගේ පෞද්ගලික සාර්ථක අත්දැකීමක්.”

සාකච්ඡා කළේ – සුගත් ප්‍රේමතිලක