දෙවියන් ගැන සාහිත්‍ය
වීරමුණ්ඩ යනු මලල රජ්ජුරුවන්ගේ මානෙල් පොකුණේ මානෙල් මලෙන් උපන් මලල කුමාරයාය. මේ කුමාරයාට සහෝදරයින් තිදෙනෙකි. මේ දෙදෙනා පියාට එරෙහිව දඩබ්බරකම් කළ නිසා ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය කරන්නට වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස රජතුමා අට්ටික්කා ලීයෙන් නැවක් සාදවා ඒ නැවට බඩු බාහිරාදිය, ආහාරපාන සමග පටවා කුමාරවරුන් තිදෙනා සහචරයින් සමග නැවට නංවා පා කර හැරීය. උපද්‍රාවකින් තොරව එම නැව දෙවුන්දර තුඩුවට පාවී ආ කල්හි දෙවිනුවර ජනයාගේ විරෝධය නිසා ගොඩබැසීමට නොහැකි විණි. එහිදී මේ කුමාරවරුන් ඔවුන්ගේ තෙද බලය පාමින් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ මුරුතැන ඉවීමට පැන් ගන්නා ළිඳේ මල් පණුවන් හෙළා මුරුතැන් අඩුක්කුව වරද්දා, කතරගමට ගොස් වීර ගසක් කඩුවෙන් දෙබෑ කොට තෙද බල පෙන්නා ගාල්ලට ගොස් එතැන් සිට හැඬි දෙමළාට වසූරිය සාදවා බිය ගන්වා මහ මුහුදේ මාලිගාවක් තනා කොත් පලන්දවා මාලිගාවේ ඉන්න වේලාවේ එහි පැමිණි ඊරියගමට අධිපති යක්ෂයා කොටා මරා ඊරිය ගස කප්පවා, එතැනින් පිටත් වී නවගමුවට පැමිණ පත්තිනි දේවියගේ රන් හලඹේ හඬ නවත්වා විල්බාවට පැමිණ පත්තිනි දේවාල මළුවේ තල් ගස් දෙක අඹරවා බලය පෙන්වා එතැනින් කුරුණෑගලට පැමිණ වත් හිමි කුමාරයා ගල පල්ලේ හෙළා මරා දමා මේ ශ්‍රී ලංකා ද්වීපය පුරා බලය පතුරුවා, ඔවුන්ට පෙර මෙරට පැමිණි සියලු යකුන්ගෙන් දෙවියන්ගෙන් මෙතෙක් පැවති සියලු කරදර ඉවත් කර දැමීමට නම් ලංකාවේ සියලු ජනයා විසින් අප වෙත මුරුතැන් කඳක් පිදිය යුතු යැයි අණ කර පතුරුවා හැරියෝය. එය වර්තමානය දක්වා ඇතැම් ප්‍රදේශවල චාරිත්‍රයක් වශයෙන් පවතී. මේ අනුව වී අස්වැන්න කපා පාගා ගත් පසුව ඒවා භාවිතයට ගැනීමට පෙර වීරමුණ්ඩ දෙවියන්ට මුරුතැන් අඩුක්කුව පිදීම පළාත්වාසීන්ගේ සිරිතකි. කොහොඹා කන්කාරියේ එන ‘වීරමුණ්ඩ දෙවියන්ගේ උප්පත්තිය’ යන කවිවල ඇතුළත් තොරතුරු අනුව මේ දෙවියන් පහසුවෙන් හඳුනාගත හැකිය. දඹදිව මලල දේශයේ රජ බිසවට උපන් කුමාරවරු තිදෙනෙකි. වැඩිමල් දරුවා දෙවොල් කුමාරයාය. මද්දුමයා වීරමුණ්ඩ කුමාරයාය. බාලයා කුමාර බණ්ඩාරය.
ගල් නැව සරසා මලෙල කඩුව ගෙන සමග ගාල්ලට වැඩිය උතුන්
හිසේ බැඳපු සොඳ රන්වන් තොප්පිය සිරස පැලඳගෙන පෑ තෙදවන්
පත්තිනි නවගමුවේ ඉඩමට පැන හලඹ ගිගිරි හඬ නැවතු උතුන්
ඊරියගම යකු පියසට වැඩලා යකාඩ කොටමින් නෙයියාඩන්
එතෙර තිබුණු සක් ගෙඩි තුන මෙතෙර මෙදේසේ තියෙන්ඩ
ආරලියේ තද වතුරත් සේ අණසක පැතිර යන්ඩ
නැවත අඩිය ගසා සෙනඟ ගොස් වාසල මුර කරන්ඩ
නව සීයයක් මලෙලුන්ගෙන් උතුම් කෙනෙකි වීරමුණ්ඩ
උඩරට පළාත්වලදී සම්මානයට පාත්‍රවන වීරමුණ්ඩ දෙවියෝ එම ප්‍රදේශවලදී දොළහ දෙවියන්ට වඩා බලවත් ගුණවත් අයකු ලෙස සැලකේ. කොහොඹා යක් කංකාරියේදී වීරාමුණ්ඩ දෙවියන්ට අයත් නැටුම් කොටස් මුලින්ම නැටීමෙන් ප්‍රථම ස්ථානය එතුමාට පිරිනැමීම සිරිතකි. කොත්මලේ වටද්දර දේවාලයේ ද වීරමුණ්ඩ දෙවියන්ගේ මල් අස්න දෙවොල් දෙවියන්ගේ මල් අස්නට වඩා අඟල් 6ක් උසින් තැනේ. කොත්මලේ, කඩදොර, උඩුගබ්බෙල දේවාලය, වීරමුණ්ඩ දෙවියන් පුදන මූලස්ථානයයි. මෙහි පුරාණ දේවාලය පිහිටා තිබුණේ ගල් ලෙනක් තුළය. එය වසර නවසීයක් තරම් පැරණි බව යාතිකාවෙන් කියවේ. මස්, මාළුවලින් තොරව හත්මාළුවක්, බතක්, කැවිලි සහිතව අඩුක්කු පිදීම සිදුකෙරේ.

නිමල් කුඩාතිහි
කතරගම