කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න
කවිය කෙටි කතාව නව කතාව ආදී සාහිත්‍ය ආකෘති අතුරින් වඩාත්ම ප්‍රබල මේකයි කියා කියන්න බෑ
සන්නිවේදනයට අපූර්වත්වයක් එක් කළේ සාහිත්‍යයි
සන්නිවේදනය සහ සාහිත්‍ය රේඛාවකින් වෙන් කරන්න බෑ
වත්මන් සමාජය සන්නිවේදනය පිළිබඳ පෙරට වඩා ඇල්මකින් පසුවෙයි. තාක්ෂණික සන්නිවේදන මෙවලම්වල දියුණුව ඊට ප්‍රධාන හේතුවක් වනවාට සැකයක් නැත. නමුත් සාහිත්‍යය පිළිබඳ දක්වන උනන්දුව ක්‍රමයෙන් අඩුවන්නේ ද යන්න ප්‍රශ්නයකි. මෙවැනි වටපිටාවක අද වටමඬලින් ඔබ හමුවන්නේ ටෙලි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතාය. ජන සන්නිවේදනය හා භාෂාව පිළිබඳ ගත් කතුවරයකු වන ඔහු දේශීය ඥානයන් හා සාම්ප්‍රදායික විද්‍යාවන් පිළිබඳ පර්යේෂකයෙකි.
ප්‍රශ්නය:- සාහිත්‍යය සන්නිවේදන මෙවලමක් වන්නේ කෙසේද?
පිළිතුර:- සන්නිවේදනය සඳහා යොදාගන්නා මෙවලම් බොහොමයක් තිබෙනවා, ඒ අතර කලාව කියන්නේත් එක් මෙවලමක්. කලාව ගැන කතා කරද්දි අපිට භෞතිකව දැකිය හැකි මෙවලම් වන්නේ ගායනය, වාදනය, නර්තනය, චිත්‍ර, මූර්ති, කැටයම් ආදියයි. මේවා අපේ පංච ඉන්ද්‍රියන් භාවිත කරමින් සන්නිවේදනය සඳහා යොදා ගනු ලබනවා. මෙම සන්නිවේදන මෙවලම්වලට යම්තාක් දුරට වෙනස් හැඩයක් ගන්නා මෙවලමක් තමයි සාහිත්‍යය කියන්නේ. එතෙන්දි භෞතිකව දකින්න ලැබෙන සන්නිවේදන මාධ්‍යයක් වගේම මානසිකව එහෙමත් නැතිනම් ආධ්‍යාත්මිකව පෙන්වන කාරණා සාහිත්‍යය තුළ ගැබ්ව තිබීම මා ඉහතින් සඳහන් කළ පංච ඉන්ද්‍රියන්ට ගෝචරය වන සන්නිවේදන මාධ්‍යයන්ගෙන් වෙනස් වන්නට හේතු වනවා. සාහිත්‍යය කියන්නෙත් කලාවක්, කලාව පිහිටන්න සම්ප්‍රදායන් තිබෙනවා. භාෂාව කියන්නෙත් එවැනි සම්ප්‍රදායක්, භාෂාව තුළ ගොඩනැගුණු ඓතිහාසික කතාන්දර තිබෙනවා. ඒවා ජන කතා, ප්‍රස්ථාපිරුළු, ආප්තෝපදේශ, උපමා උපමේය, උපමා රූපක, භාෂාව තුළ නිර්මාණය වූ රීතීන්, සමාන විරුද්ධ යුගල පද වැනි අලංකාරයන් භාෂාව මගින් සාහිත්‍යයට එකතු කරලා තියනවා. යම් කෙනෙකුට දෙයක් වඩා හොඳින් පැහැදිලි කිරීම සඳහා එහෙමත් නැතිනම් සාර සන්නිවේදනයක් සඳහා, නිර්මාණාත්මක සන්නිවේදනයක්, අපූර්ව සන්නිවේදනයක් සඳහා භාෂාවෙන් ගොඩනැගුණු සාහිත්‍යය වඩා වැදගත් සාධකයක් බවට පත්වෙනවා. සංකීර්ණ කාරණාවක් සරලව පැහැදිලි කිරීමටත්, සරල දෙයක සංකීර්ණ හෝ න්‍යායාත්මක කාරණා පැහැදිලි කිරීමටත් සාහිත්‍ය කලාව තරම් හොඳ සන්නිවේදන මෙවලමක් ලෝකයේ බිහිවෙලා නැහැ.
ප්‍රශ්නය:- ඔබට අනුව සාහිත්‍යය හා සන්නිවේදනය වෙන්කර ගත හැකි රේඛාවක් තිබිය හැකිද?
පිළිතුර:- සන්නිවේදනය අපට සරලව පැහැදිලි කර ගැනීමට හැකිවන්නේ කෙනෙක් තමන් විඳගත් දෙයක් කෙනෙකුට ඉදිරිපත් කිරීම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීම ලෙස අපට දැක්විය හැකියි. බොහෝවිට එවැනි ඉදිරිපත් කිරීමේදී එය වඩාත් පැහැදිලි කිරීම සඳහා අප සාහිත්‍යයේ යම් යම් කොටස් ඒ තුළට උකහා ගන්නවා. උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් එදිරිවීර සරච්චන්ද්‍රයන් තම බිරිඳ සහ දරුවන්… විශේෂයෙන් තම කුඩා දියණිය හැර යන්නට සිදුවීම ප්‍රකාශ කිරීම සඳහා යොදාගන්නවා සාහිත්‍යයේ එන සිංහබාහු කතා පුවත. මෙතෙන්දි අපිට පේනවා සාර සන්නිවේදනයක් සඳහා සාහිත්‍යය අපූරුවට යොදාගත් ආකාරය. අපි භාෂා හැකියාව කියන්නෙ යම් දෙයක් භාෂාව ඔස්සේ ඉතා හොඳින් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව. සන්නිවේදන හැකියාව කියන්නේ එම කාරණාව වඩා හොඳින් ග්‍රාහකයාට,ප්‍රේක්ෂකයාට, පාඨකයාට හෝ ශ්‍රාවකයාට දැනෙන විදිහට ප්‍රකාශ කිරීමයි. ඒ අනුව සාර සන්නිවේදනයක් සඳහා සාහිත්‍යය කියනදේ අනිවාර්ය සාධකයක් වනවා. ඒ අනුව සන්නිවේදනය හා සාහිත්‍ය අතර රේඛාවකින් වෙන් කිරීමේ හැකියාවක් අපට නැහැ.
ප්‍රශ්නය:- අපේ සාකච්ඡාවෙදි සාහිත්‍යය හා සන්නිවේදනය අතර අන්‍යොන්‍ය බැඳියාව කතා කළා. නමුත් සාහිත්‍ය සන්නිවේදනයට බාධාවක් වෙන්න බැරිද?
පිළිතුර:- සන්නිවේදනය කියන කාරණාව අපි තවදුරටත් විග්‍රහ කරගත්තොත් පංච ඉන්ද්‍රියන් හා තාක්ෂණික මෙවලම් භාවිත කරමින් වාචිකව හෝ නිර්වාචිකව කරන ප්‍රකාශයක් සන්නිවේදනයක් ලෙස අපිට අර්ථකථනය කරගන්න පුළුවන්. මෙහිදී නිර්වාචික සන්නිවේදනයේදී සාහිත්‍යය යොදා ගැනීමක් සිදුවන්නේ නැහැ. සාහිත්‍යය සන්නිවේදන මෙවලමක් ලෙස ගැනෙන නිසාවෙන්, සාහිත්‍යය සන්නිවේදනයට බාධාවක් වනවාට වඩා සන්නිවේදනයේදී සාහිත්‍ය යොදාගැනීමේ සීමාවන් පවතින බව පෙන්වා දිය හැකියි. සන්නිවේදනයේදී ඕනෑම දෙයක් විවිධ මාධ්‍යයන් භාවිත කිරීමෙන් ප්‍රකාශ කළ හැකි වෙනවා. නමුත් සාහිත්‍යයේදී එසේ කිරීමේ හැකියාව සීමාසහිත වනවා. උදාහරණ හැටියට කීවොත් ඇස්වලින් ප්‍රකාශ කරන දේවල්, වචනයෙන් ප්‍රකාශ කරන දේවල්, චිත්‍රයෙන් වර්ණයෙන් ප්‍රකාශ කරන දේවල් සහ චලනයෙන් ප්‍රකාශ කරන දේවල් සාහිත්‍යයෙන් ප්‍රකාශ කිරීමේදී අපහසු අවස්ථා ඒමට හැකියාව තිබෙනවා. ඒ නිසා සාහිත්‍යය සන්නිවේදනයට බාධාවක් කියන කාරණයට වඩා සාහිත්‍යයේදී කරන සන්නිවේදනයන්ට යම් යම් සීමා පැවතිය හැකි බව සඳහන් කළ හැකියි.
ප්‍රශ්නය:- සාහිත්‍යයේ ප්‍රගමනයට සන්නිවේදනයේ දායකත්වය මොනවගේ ද?
පිළිතුර:- සාහිත්‍යය බිහිවීමට පෙරාතුව සන්නිවේදනය බිහි වුණා. මානව ශිෂ්ටාචාරවල ආරම්භයටත් එහා සිට සන්නිවේදනය බිහිවෙලා පැමිණ තිබෙනවා. යම් අවස්ථාවක මානවයා ශිෂ්ටසම්පන්න ජාතියක් වනවාත් සමගම සාහිත්‍යය බිහිවුණා යැයි අපට සැලකිය හැකියි. මුලින් ප්‍රකාශිත සාහිත්‍යයක් පසු කාලීනව ලිඛිත සාහිත්‍යයක් බවට පත්වෙනවා. ඒ ලිඛිත සාහිත්‍යය භාෂාව සමග ගොඩනැගෙනවා. මානවයා තම අවශ්‍යතාවන් ප්‍රකාශ කිරීමට යොදාගත්තේ සන්නිවේදනය, එම සන්නිවේදනයට අපූර්වත්වයක් එකතු කිරීමට සාහිත්‍යයට හැකියාව ලැබෙනවා. මානවයාට තුළ හටගත් හැඟීම් සමුදායට සාහිත්‍යය සමග රස භාවයන් මිශ්‍ර වනවා. මානවයාගේ අවශ්‍යතාවන් වැඩි වන විට, විවිධ ජන කොටස් සමග මුසුවන විට සන්නිවේදනය දියුණුවනවා සේම සාහිත්‍යයට ද හර පද්ධතීන් එකතුවුණා. උදාහරණ විදිහට චීනය ඉන්දියාව සමග කෙරෙන සන්නිවේදනය නිසා දෙරටේ සාහිත්‍යය දියුණුවට එය හේතුවක් වනවා. ලංකාවේ ළමා සාහිත්‍යයේ පෝෂණයට රුසියාව සමග පැවති යහපත් සබඳතාව හේතුවක් වනවා. මේ නිසා සන්නිවේදනය සාහිත්‍යයේ ප්‍රගමණයට බලපාන ප්‍රබල සාධකයක් වනවා.
ප්‍රශ්නය:- අවසාන වශයෙන් ඔබෙන් මෙහෙම ඇහුවොත් කවිය, කෙටි කතාව, නවකතාව ආදී විෂයන් තුළින් සාහිත්‍යයේ ප්‍රබලම විෂය කුමක්ද? ඒ ඇයි…
පිළිතුර:- සාහිත්‍යයේ විවිධ අංශ පවතිනවා, නවකතාව, කෙටි කතාව, කවිය කියන්නේත් එම අංශයන්ගෙන් කිහිපයක්. සාහිත්‍යයේදී ප්‍රබල අංශය මේකයි කියා අපට බෙදා වෙන් කිරීමේ හැකියාවක් නැ. සාහිත්‍යකරුවා යම් ප්‍රකාශයක් කිරීම සඳහා ඔහු තුළ ඇති සිද්ධි හා පුද්ගලයන් යම් රාමුවකට පෙළගැස්වීමක් කරනවා. එය කවිය, කෙටිකතාව, නවකතාව ආදී ලෙස අපිට හඳුන්වන්නට හැකියාව තිබෙනවා. කවිය යනුවෙන් හඳුන්වන්නේ සීමිත සිදුවීම් ටිකක් භාවිත කරමින් සීමිත වචන ප්‍රමාණයකින් යම් ප්‍රකාශයක් කිරීමයි. එම අවස්ථාවේදී දීර්ඝ පැහැදිලි කිරීම් නොකරයි, කෙටිකතාවේදී කවියේ සඳහන් ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කිරීමක් ලෙස අපට අර්ථකතනය කළ හැකියි. එක තේමාවක් යටතේ සිද්ධීන් කිහිපයක්, උපමා රූපක සහිතව තරමක් දීර්ඝ ප්‍රකාශයක් විය හැකියි. නවකතාව තේමා කිහිපයක් ඔස්සේ සිද්ධීන් විශාල සංඛ්‍යාවක් ඇති උපමා රූපක, විවිධ වැනුම්, චරිත බොහොමයකින් සමන්විත එකිනෙකට ගැලපෙන නොගැලපෙන සිදුවීම් සහිතව කරන දීර්ඝ ප්‍රකාශයක් ලෙස අපට සඳහන් කළ හැකියි. කවිය ප්‍රබල වනවා සීමිත වචන භාවිතය සහ කෙටි ඉදිරිපත් කිරීම නිසාවෙන්. කෙටි කතාව ප්‍රබල වනවා කවියට වඩා යම් ගවේෂණශීලිත්වයකින් සමන්විතවීම නිසාවෙන්. නව කතාව ප්‍රබල වනවා ගැඹුරු හැදෑරීමකින් ඉදිරිපත් කළ යුතු නිසාවෙන්. එම නිසා සාහිත්‍යයේදී දකින්න ලැබෙන විවිධ ආකෘති අතරින් එක් ආකෘතියක් ප්‍රබල යැයි ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ.

සාකච්ඡා කළේ – නිශාන්ත ප්‍රේමරත්න